කුණු කා මැරෙන අලි : සුද්දාගෙන් අහන්න – රාජ්‍ය ඇමති විමලවීර

කුණු කා මැරෙන අලි : සුද්දාගෙන් අහන්න – රාජ්‍ය ඇමති විමලවීර

*********************************************

කුණු කා මැරෙන අලි : සුද්දාගෙන් අහන්න – රාජ්‍ය ඇමති විමලවීර

(28.01.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala)

වන අලි ගැටලුව විසඳීම සඳහා රජයෙන් තමන්ට ප්‍රතිපාදන වෙන් නො කරන බව වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අම්පාර – පල්ලක්කාඩු ප්‍රදේශයට බැහැර කරන කසළ ආහාරයට ගැනීමෙන් මේ දක්වා අලි ඇතුන් 20 කට ආසන්න සංඛ්‍යාවක් මියයෑම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ (27) රාත්‍රියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ අනාවරණයක් ද සිදු කළා.

කසළ සමඟ පොලිතින් ආහාරයට ගැනීම නිසා ආමාශයේ ඇති වූ ආසාත්මිකතා හේතුවෙන් වනඅලි මිය යන බවට යි පරිසරවේදීන් පෙන්වා දුන්නේ.

මෙම ඛේදජනක තත්ත්වය පිළිබඳව සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝගේ ද අවධානය යොමු වී තිබෙනවා.

වන අලි 20 කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවීමට අම්පාර – දීඝවාපිය – පල්ලක්කාඩු ප්‍රදේශයේ පිහිටුවා ඇති කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය මූලික වී තිබෙනවා.

ඒ, කළමනාකරණයකින් තොර ව මෙම ස්ථානයට බැහැර කරන කසළ අලි ඇතුන් ආහාරයට ගැනීම හේතුවෙන්.

අලි මංකඩක් ආසන්නයේ ඉදිකර තිබූ මෙම මධ්‍යස්ථානය, වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනිම සඳහා ඒ වටා ඉදිකළ විදුලි වැට අකුණු සැර වැඳීමෙන් ක්‍රියාවිරහිත වී ඇත්තේ 2014 වසරේදී යි.

එය මෙතෙක් අළුත්වැඩියා නො කිරීමේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ මෙම කසළ කන්ද අලි මංකඩින් ගමන් ගන්නා සද්දන්තයින්ගේ භෝජනාගාරය බවට පත්වීම යි.

අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ කලාපයේ බල ප්‍රදේශ 9 ක කැළි කසළ ටොන් ගණනින් අඩ්ඩාලච්චේනෙයි ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් මෙම ප්‍රදේශයට බැහැර කිරීම මේ වනවිටත් සිදුවන්නේ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබූ භූමි ප්‍රමාණයද ඉක්මවා යමින් මෙම ස්ථානයට වන අලින්ගේ ආකර්ශණය ද ඊට සමාන්තරව ඉහළ ගොස් තිබෙනවා.

අලි ඇතුන්ගේ පැමිණිම අවහිර කිරිම සඳහා අගල් කැපීමට බලධාරීන් පියවර ගෙන තිබුණත් වර්ෂාවත් සමඟ කසළ කන්දෙන් ගලා එන අපජලය අඟල්වල තැන්පත් වීමෙන් තවත් පරිසර ගැටලු‍වක් නිර්මාණය වී තිබෙනවා.

මෙම ගැටළු‍ව සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝගේ අවධානයද ඊට යොමුවුණා.

පරිසරවේදියෙකුද වන ලියනාඩෝ ඩිකැප්රියෝ මිලියන 19 කට අධික ග්‍රාහකයින් පිරිසක් සිටින සිය ට්විටර් ගිණුමේ එම පුවතට ප්‍රචාරයක් ලබා දී තිබුණා.

මේ අතර, පසුගිය දා අතුරුදන් වූ දෙහිවල සත්වෝද්‍යානයේ සිටි නිල් මාල ගිරවා සහ සත්වෝද්‍යානයෙන් පැනගිය බව කියන නිල් කහ මැකෝ ගිරවා යළි සත්වෝද්‍යානය වෙත ලැබී තිබෙනවා.

එහි ආරංචි මාර්ග සඳහන් කළේ නිල් කහ මැකෝ ගිරවා සත්වෝද්‍යානයේ සිටි ගිරවා බවට තහවුරු වී ඇතත්, නිල් මාල ගිරවා සත්වෝද්‍යානයෙන් අතුරුදන් වූ ගිරවා බවට තහවුරු වී නො මැති බවයි ෴

+++++++++

කුණු කන අලි ගැන කියන විමලවීර – අලි අල්ලන්න සල්ලි දීලා නෑ

(28.01.2022 – 14:10 +0530 – hirunews.lk/sinhala)

වනඅලි ගැටලුව විසඳීම සඳහා රජයෙන් තමන්ට ප්‍රතිපාදන වෙන් කර නොමැති බව වනජීවි රැකවරණය, අලි වැට හා අඟල් ඉදිකිරීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අම්පාර – පල්ලක්කාඩු ප්‍රදේශයට බැහැර කරන කසළ ආහාරයට ගැනීමෙන් මේ දක්වා අලි ඇතුන් 20 කට ආසන්න සංඛ්‍යාවක් මියයෑම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

මේ පිළිබඳව අප ඊයේ (27) හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණයක් ද සිදුකළා.

අම්පාර – පල්ලක්කාඩු ප්‍රදේශයට අවධිමත් ලෙස බැහැර කරන කසළ ආහාරයට ගැනීමෙන් වනඅලි මිය යමේ ඛේදජනක තත්ත්වය පිළිබඳව මීට පෙර අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ කිහිපවිටක්ම අවධාරණය කළද ඊට නිසි පිළිතුරක් ලබාදීමට බලධාරීන්ට හැකිව තිබුණේ නැහැ.

මෙම මහා පාරසරික ගැටලුව සම්ඉබන්ධයෙන් සම්බන්ධයෙන් සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝගේ ද අවධානය යොමු වී තිබුණා.

පරිසරවේදියෙකු ද වන ලියනාඩෝ ඩිකැප්රියෝ මිලියන 19 කට අධික ග්‍රාහකයින් පිරිසක් සිටින සිය ට්විටර් ගිණුමේ ඒ පිළිබඳව පළ වූ පුවතකට ප්‍රචාරය ලබා දීමට කටයුතු කර තිබුණු අයුරු ද දැකිය හැකියි.

යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර යටතේ කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයේ අක්කර 5 ක පමණ භූමි භාගයක 2008 වසරේදී මෙය ඉදිකර ඇතත් මේ දක්වා එහි කිසිදු කසල ප්‍රතිචක්‍රීකරණයක් සිදු ව නැහැ.

කෙසේ වෙතත් එය අලි ඇතුන්ගේ බෝජනාගාරයක් බවට පත්වීම හේතුවෙන් සද්දන්තයින් 20 කට ආසන්න සංඛ්‍යාවකට දිවි අහිමි වී ඇති බව අප හිරු ප්‍රවෘත්ති තුළින් පෙන්වා දුන්නා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා මෙන්ම අදාළ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ගෙන් අප විමසීමක් කළා.

අමාත්‍යවරයා විසින් ඊට ලබා දුන් පිලිතුර වූයේ, ආණ්ඩුවෙන් අලි ඇතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රතිපත්ති සැකසුව ද කිසිදු මූල්‍යාධාරයක් ඒ වෙනුවෙන් තමන් හට වෙන්කර නොමැති බවයි.

***************************************

ගිලන්රථ රියදුරුට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් කරුණු රැසක් අනාවරණ වේ

(28.01.2022 – 07:57 +0530 – hirunews.lk/sinhala)

රෝගී කාන්තාවක් රැගෙන පානදුර මූලික රෝහල වෙත පැමිණි ගිලන් රථයක රියදුරෙකුට යතුරු පැදි දෙකකින් (2) පැමිණි නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් කරුණු කිහිපයක් අනාවරණ වී තිබෙනවා.

ඊයේ (27) දහවල් මෙම වෙඩි තැබීම සිදු වූ අතර, ගිණි අවියේ උණ්ඩය ක්‍රියාත්මක නො වීම හේතුවෙන් වෙඩි ප්‍රහාරයෙන් රියදුරුට කිසිඳු හානියක් සිදු වූයේ නැහැ.

පාන්දුර කේතුමතී කාන්තා රෝහලේ සිට මෙම ගිලන් රථය පැමිණ ඇති අතර, පානදුර මූලික රෝහල අසල දී එක් යතුරුපැදියක් ගිලන් රථය අවහිර වන පරිදි නවත්වා තිබෙනවා.

අනෙක් යතුරුපැදියේ පැමිණි දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකු ගිලන් රථය පානදුර රෝහලට ඇතුළු කරනවාත් සමගම රථයේ දොර අසලට පැමිණ වෙඩි තබා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, වෙඩි ප්‍රහාර දෙකක් (2), එල්ල කළ ද ගිනි අවිය අක්‍රිය වීම හේතුවෙන් උණ්ඩ ක්‍රියාත්මක වී තිබුණේ නැහැ.

අදාළ ගිලන් රථයේ රියදුරු කළුතර උතුර තොටුපොළ පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පානදුර මධ්‍යම දූෂණ මර්දන කොට්ඨාශයේ නිලධාරීන් පසුගිය වසරේ පෙබරවාරි 25 වන දා හොරණ ප්‍රදේශයේ දී ‘රුවන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ට අයත් මත්කුඩු කිලෝ 45 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් අතර, පොලීසිය මීට පෙර සැක කළේ, අදාළ ගිලන් රථ රියදුරු ඒ සම්බන්ධයෙන් ඔත්තුවක් ලබාදීම නිසා ඔහුට මෙලෙස වෙඩි තබා ඇති බවයි.

කෙසේ වෙතත්, තවදුරටත් මේ පිළිබඳව විමර්ශන සිදුකර ඇති අතර, එහි දී දැනට පොලිසිය තවත් සැකයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ, අදාළ ගිලන් රථ රියදුරාද මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ අයෙක්ද යන්න පිළිබඳවයි.

පොලිසිය සඳහන් කළේ ඊට අදාළව මේ වනවිට වෙනම විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් පසු යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් 4 දෙනා මොරටුව ප්‍රදේශයට පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් (2) පත් කර තිබෙනවා ෴

***************************************

දික්ඔය බටර්ගල වත්ත ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

(28.01.2022 – 08:04 +0530 – hirunews.lk/sinhala)

හැටන් දික්ඔය ප්‍රදේශයේ මාර්ගයක ධාවනය වූ පෞද්ගලික බස්රථයක් අඩි 45ක පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පොලීසිය සඳහන් කළේ තවත් මගීන් 16 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බවයි.

මෙලෙස අනතුරට පත් වුණේ සලංකන්ද සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස්රථයක්.

අද (28) උදෑසන 8.30ට පමණ හැටන් – දික්ඔය – සලංකන්ද සිට හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන ධාවනය වු අදාළ බස්රථය
බටර්ගලවත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ගොස් තිබුණා.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ හැටන් – දික්ඔය ෆෝඩයිස්වත්තේ පදිංචි සවරිමුත්තු ප්‍රනාන්දු නමැත්තෙක් වන අතර, ඔහු 62 හැවිරිදි තිදරු පියෙක්.

බස්රථයේ වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුරෙ සිදුව ඇති බවට වාර්තා වනවා.

බස්රථයේ රියදුරු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර , රෝහල්ගත කළ සෙසු තුවාලකරුවන්ගේ ද තත්ත්වය තරමක් බරපතළ බවයි හැටන් පොලිසිය
සඳහන් කළේ.

මේ අතර අකුරැස්ස නගරයේ සිව්මං හන්දියකදී ලොරි රථයකට යතුරුපැදියක් යට වී යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

ගාල්ල පොද්දල පදිංචි 22 හැවිරිදි යතුරුපැදිකරු බංගම දෙස සිට අකුරැස්ස නගරයට සිය යතුරුපැදිය ධාවනය කරමින් සිට තිබු බවයි වාර්තා වුණේ.

පොලීසිය සදහන් කළේ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලොරි රථ රියදුරු බීමත්ව සිට ඇති බවට ද අනාවරණ වී ඇති බවයි.

මේ අතර ගනේමුල්ල නගරයේ වංගුවකදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර ඒ අසල ව්‍යාපාරික ස්ථානයක ගේට්ටුවේ ගැටී තිබෙනවා.

පොලිසිය පැවසුවේ මංගල උත්සවයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි මෝටර් රථ රියැදුරාද බීමත්ව සිටි බවයි.

අනතුරට ලක් වූ යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර පොලිසිය සදහන් කළේ මේ වසරේ ගත වූ දින 25 තුළ මාරක අනතුරුවලින් පුද්ගලයින් 198 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අපරික්ෂාකාරී ලෙස අධිවේගයේ මෝටර් රථයක් ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වුණා.

කිරිබත්ගොඩ මාකොළ පාරේ ත්‍රීරෝද රථයක් බස් රියක ගැටෙන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබෙන අයුරු දැකිය හැකියි.

මේ මීගමුව නගරයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මාර්ග නීති නොතකා ගිය යතුරු පැදිය ධාවනය කරන අයුරු ද වාර්තා වුණා.

***************************************

දිවයින පුරා මාරක රිය අනතුරු හතරක් (4) – ජීවිත හතරකුත් (4) බිලි ගනියි

(28.01.2022 – 08:30 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින් පුද්ගල මරණ 04 ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

ඊයේ (27) පස්වරුවේ කොස්ගොඩ පොලිස් වසමේ ඉඳුරුව දුම්රියපොළ ආසන්නයේ දී මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 65 හැවිරිදි වියෙහි පසු වූ මහ ඉඳුරුව ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) සිදු කිරීමට නියමිතයි.

දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ මුවපැටිගේවෙල අතුරු මාර්ගයේ සිදු වූ අනතුරකින් එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මුවපැටිගේවෙල දෙස සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වුණා.

එම අනතුරින් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ, යතුරුපැදිකරු බවයි පොලීසිය පැවසුවේ.

මරණකරු 64 හැවිරිදි වියෙහි පසුවන අතර, සිද්ධියට හේතුව යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය බවයි වාර්තා වන්නේ.

මේ අතර, සීදුව පොලිස් වසමේ මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඊරියගහ ළිඳ හන්දිය අසල පදික මාරුවේ දී මීගමුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ තැනැත්තිය 24 හැවිරිදි වියෙහි පසුවන උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, අකුරැස්ස – බංගම මාර්ගයේ මධුගේ හන්දිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුවීමෙන් 21 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අලුත් පාරේ අමනගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක පිටුපස බංගම දෙස සිට පැමිණි යතුරුපැදියක් ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මියගිය පුද්ගලයා හොරගස්වත්ත – පෝද්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

ඇමති මහින්දානන්ද කුඹුරකට බසියි

(28.01.2022 – 09:19 +0530 – hirunews.lk/sinhala)

කළුතර බණ්ඩාරගම ප්‍රදෙශයේ කුඹුරු අක්කර 2000 ක පමණ වී වගාවක් නිරීක්ෂණය කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (27) එක්වුණා.

එහි දී ගොවීන් සමඟ සුහද පිළිසඳරකට එක්වූ අලුත්ගමගේ අමාත්‍යවරයා පැවසුවේ, කාබනික වගාව හරහා පෙර නොවූ විරී ආකාරයේ ප්‍රතිලාභ රැසක් හිමි වී ඇති බව යි.

අමාත්‍යවරයාගේ කතාවට එකඟ වූ ගොවීන් ද පැවසුවේ, වෙනදා තරම් මෙවර අස්වැන්නේ බොල් වී දක්නට නොලැබුණු බවක්.

විශේෂයෙන් වගාවට හානි කරන කෘමි සතුන්ගේ ද සැලකිය යුතු අඩුවක් මෙවර අස්වැන්නේ දැකිය හැකි බව යි ගොවීන් සඳහන් කළේ.

එය විස්තර කරමින් අලුත්ගමගේ අමාත්‍යවරයා පැවසුවේ, කාබනික වගාව හරහා බත් කූරා, ගැඩවිලා, මකුළුවා වැනි සතුන්ගෙන් ස්වාභාවික ව කෘමි නාශකකරණය සිදු වී ඇති බව යි.

***************************************

ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(28.01.2022 – 09:27 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරකට අනුව දික්වැල්ල පොලිස් වසමේ අළුත්ගොඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර තිබෙනවා.

ඊයේ (27) පසවරුවේ දී සිදු කළ මෙම වැටලීමෙන් විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.

සැකකරු සන්තකයේ තිබී සොයා ගත් ජීව අත් බෝම්බය එස්.එෆ්.ජී. වර්ගයට අයත් වන අතර, හෙතෙම 30 හැවිරිදි වියෙහි පසුවන නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දික්වැල්ල පොලීසියට භාර දී තිබෙනවා ෴

***************************************

නාරාහේන්පිට ගුවන් හමුදා රෝහලට මුල්ගල තබයි

(28.01.2022 – 09:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සම්පූර්ණ අනුදැනුම සහ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිවන නව ගුවන් හමුදා රෝහලට මුල් ගල තැබීම ඊයේ (27) පැවැත්වුණා.

ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට – කිරිමණ්ඩල මාවතේ දී යි.

මෙම නව රෝහල රජයේ අනුග්‍රහය ඇතිව සිදු කෙරෙන අතර, ගුවන්හමුදාවේ වෛද්‍ය පහසුකම් පුළුල් කිරීම අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

මෙලෙස ඉදිවෙන නව රෝහල සියලුම පහසුකම් සහිතව ඉදිවන අතර, මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ද එක් වුණා.

මෙම රෝහල ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ විෂය පථය යටතේ අදියර දෙකක් (2) යටතේ මහල් 12 කින් ඉදිකිරීමට නියමිතයි.

පළමු (1) අදියර යටතේ වාට්ටු, ශල්‍යාගාර, රසායනාගාර, බාහිර රෝගී අංශය සඳහා ක්‍රියාකාරී සායනික ප්‍රදේශ (OPD) සහ රෝගීන් පරීක්ෂා කරන ඒකකවලින් සමන්විත වන පළමු (1) අදියර යටතේ මූලික පස් මහල් (5) සංකීර්ණයක් ඉදිරි වසර තුන (3) ඇතුළත නිම කෙරෙනවා.

සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර, බොහෝ දුරට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු හිටපු හමුදා සාමාජිකයින් සහ මියගිය රණවිරුවන්ගේ සාමාජිකයින්ට ද එම පහසුකම ලබා ගැනීමට අවස්ථාවක් මින් සැලසෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *