‘හිරු CIA’ හෙළි කළ ගල්කිස්ස වදකාගාරයේ නොදුටු පැත්ත එළියට

‘හිරු CIA’ හෙළි කළ ගල්කිස්ස වදකාගාරයේ නොදුටු පැත්ත එළියට

*********************************************

‘හිරු CIA’ හෙළි කළ ගල්කිස්ස වදකාගාරයේ නොදුටු පැත්ත එළියට

(27.01.2022 – 20:33 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ හරහා ඊයේ (26) අප හෙළි කළේ ගල්කිස්ස – දක්ෂිණාරාම පාරේ පිහිටා ඇති වදකාගරයක් බදු වු මෙම ලැගුම්හල පිළිබඳවයි.

ගල්කිස්ස අවට සැරිසරන වීදි ගණිකාවන් තමන් සොයා පැමිණෙන පුද්ගලයින් මෙම ලැගුම්හල වෙත සංවිධානාත්මක රැගෙන විත් පසුව එහි රැක සිටිනා සහචරයන් සමග එක්ව ඔවුන්ගේ රන් භාණ්ඩ, මුදල් පසුම්බි කොල්ල කන අයුරු දක්නට ලැබෙනවා.

මුදල් කොල්ලකෑමට අමතරව මෙම සංවිධානාත්මක කොල්ලකරුවන් ගණිකාවන් රැගෙන එන පුද්ගලයන්ගේ ත්‍රීරෝද රථ, යතුරු පැදි ආදිය ද ඇතැම් අවස්ථාවල බලහත්කාරයෙන් රඳවා තබා ගන්නවා.

ඉන් අසරණ වන පුද්ගලයන් ජාවාරම්කරුවන් ඉදිරියේ හඬා වැටුණා.

මෙරට නීතිය තඹයකට හෝ මායිම් නොකරමින් දිනපතා රාත්‍රියේ මෙන්ම දහවල් කාලයේ ද මොවුන් රිසි සේ මෙම කොල්ලකෑම් සිදුකර ගෙන යන බවට ද තොරතුරු අනාවරණ වුණා.

මෙහි ඇති විශේෂිතම සිදුවීම වන්නේ මෑතක සිට මෙම කොල්ල කණ්ඩායමට කුඩා දරුවන් දෙදෙනෙකු සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු යුවලක් ද එක්වීමයි.

මෙම කොල්ලකෑම් සියල්ල සිදුව තිබුණේ මෙම කුඩා දරුවන් දෙදෙනා ඉදිරියේ යි.

වීදි ගණිකාවන් හා එක්ව සිදුකරන මෙම මංකොල්ලය ‘හිරු සී.අයි.ඒ.’ හරහා ඊයේ (26) රාත්‍රියේ හෙළි කිරීමත් සමග ගල්කිස්ස පොලිසියේ ජීප් රථ දෙකක් (2) අදාළ තිප්පොල වෙත පැමිණ තිබුණා.

කෙසේ වෙතත් එම පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ එම අවස්ථාවේ කිසිවෙකුත් අත්අඩංගුවට නොගත් බවයි.

පොලිසිය පැමිණි පසු ජාවාරමට සම්බන්ධ යුවල දරුවන් සමග එම ස්ථානයෙන් ඉවත්ව යන අයුරු ද දක්නට ලැබුණා.

මෙම කාන්තාව කිසිවක් නොදන්නා ලෙස දැන් මෙලෙස පැවසුව ද වීදි ගණිකාවක් ලෙස මැය, මෙන්ම ඇගේ සැමියා ද තරුණයන් කොල්ලකෑම සදහා එකම කල්ලියේ සාමාජිකයන් වෙමින් ක්‍රියා කළ අයුරු ලබාගත් දර්ශන සාක්ෂි සපයනවා.

එහෙත් ගල්කිස්ස පොලිසියෙන් ලද කරුණාව මත ඔවුන් කද මළු බැදගෙන නීතිය ද මගහැර මෙම ස්ථානයෙන් පිටව ගිය අයුරු ද අප කැමරා කාචයේ සටහන් වුණා.

***************************************

විපක්ෂ නායකගෙන් පාලකයින්ට උපදෙසක්

(27.01.2022 – 19:34 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට පාපැදියෙන් ගමන් කරන ලෙස උපදෙස් දීමට පෙර පාලකයන් ඒවා අනුගමනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

‘සමගි ජනබලවේගයෙන් හුස්මක්’ සහ ‘ජනසුවය’ ඒකාබද්ධව මීගොඩ ආයුර්වේද රෝහලට ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට අද (27) එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ.

එමෙන්ම මේ වනවිට රටේ ජනතාව දැඩි ආර්ථික අර්බුද මැද ජීවත් වන බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා කියා සිටියේ, වහාම රජය විසින් පවතින ගැටලු නිරාකරණය කර ජනතාවට විසඳුම් ලබා දිය යුතු බවයි.

***************************************

ගොවිජන රක්ෂණ මණ්ඩලයේ හිටපු සභාපතිට වෘත්තීය සමිතිවලින් අභියෝගයක්

(27.01.2022 – 19:37 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් ඉල්ලා අස්වූ සභාපතිවරයා සිය තනතුර හෙබවූ කාලසීමාව තුළ උන්මත්තකයෙකු ලෙස කටයුතු කළ බව එම මණ්ඩලයේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

අද (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් හිටපු සභාපතිවරයාට අභියෝග කළේ, නිලධාරීන් දූෂණ අක්‍රමිකතා සිදුකර ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි.

මේ අතර හානි වූ වගාවන් සඳහා ලබාදීමට රජය යොජනා කර ඇති වන්දිය ප්‍රමාණවත් නොවන බවට ගොවීන් තවදුරටත් චෝදනා කරනවා.

මෙවර මහ කන්නයේ අස්වැන්න අඩු වන ගොවීන්ට වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 25 ක වන්දියක් ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ.

ඒ සඳහා රුපියල් මිලියන 40,000 ක් පමණ වෙන් කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා.

සිදු වූ වගා හානිවලට නිසි වන්දියක් ලබා දෙන ලෙස රජයට බල කරමින් මහවැලි සී කලාපයේ ගොවි සංවිධාන කිහිපයක් එක්ව දෙහිඅත්තකණ්ඩිය නගරයේදී ආරම්භ කළ උපවාසය දෙවැනි දිනටත් ක්‍රියාත්මක වුණා.

පොහොර නොමැතිවීම හේතුවෙන් හානි වූ ගොඩ බෝග වගාවන්ට ද සාධාරණ වන්දියක් හිමි විය යුතු බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

මේ අතර, කළුතර බණ්ඩාරගම ප්‍ර දෙශයේ කුඹුරු අක්කර 2000 ක පමණ වී වගාවක් නිරීක්ෂණය කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (27) එක්වුණා.

ගොවීන් චෝදනා කරන්නේ තම වගාවන්ට රසායනික පොහොර භාවිතයට අවසර ලබා නොදුන්න ද මහ පරිමාණ සමාගම්වලට ඒ සඳහා අවසර ලබා දී ඇති බවටයි.

මේ අතර සිය තනතුරෙන් ඉල්ලා අස්වූ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා ඊයේ (26) බරපතළ චෝදනාවක් එල්ල කළා.

ඊට පිළිතුරු ලබා දීම වෙනුවෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වෘත්තිය සමිති එකමුතුව අද (27) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

***************************************

ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහගේ දේහය දිවයිනට

(27.01.2022 – 21:15 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය අද (27) රාත්‍රියේ දී දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඒ ඉතාලියේ මිලානෝ නුවර සිටයි.

අද (27) රාත්‍රී 09:10 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත දේහය රැගත් ගුවන් යානය මෙරටට ළගා වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව දිස්ත්‍රික් රෝහලට රැගෙන ගිය අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, දේහය ඇයගේ නිවස පිහිටා ඇති කොළඹ – පැපිලියාන වෙත රැගෙන යනු ඇති.

පසුගිය දා ඇය ඉතාලියේ මිලානෝ නුවර දී අභාවප්‍රාප්ත වූයේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්.

71 හැවිරිදි වියෙහි පසු වූ ඇය මියයන විට ඉතාලියේ ශ්‍රී ලංකානු කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළා ෴

***************************************

ලියනාඩෝ පෙන්වූ අලි ගැටලුව

(27.01.2022 – 22:52 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – පල්ලක්කාඩු ප්‍රදේශයට බැහැර කරන කසල ආහාරයට ගැනීමෙන් මේ දක්වා අලි ඇතුන් 20 ට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

කසළ සමඟ පොලිතින් ආහාරයට ගැනීම නිසා ආමාශයේ ඇති වූ ආසාත්මිකතා මෙම මරණවලට හේතුව බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

මෙම ඛේදජනක තත්ත්වය පිළිබඳව හොලිවුඩ් සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්රියෝගේ ද අවධානය යොමු වී තිබෙනවා.

මේ ගෙවී යන්නේ තවත් සද්දන්තයෙකුගේ අවසන් විනාඩි කිහිපයයි.

මෙවන් සද්දන්තයින් 20 කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවීමට අම්පාර – දීඝවාපිය පල්ලක්කාඩු ප්‍රදේශයේ පිහිටුවා ඇති මෙම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය මූලික වී තිබෙනවා.

ඒ, කළමනාකරණයකින් තොරව මෙම ස්ථානයට බැහැර කරන කසළ අලි ඇතුන් ආහාරයට ගැනීම හේතුවෙන්.

යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර යටතේ කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයේ අක්කර 5 ක පමණ භූමි භාගයක 2008 වසරේ දී මෙය ඉදිකර ඇතත් මේ දක්වා එහි කිසිදු කසළ ප්‍රතිචක්‍රීකරණයක් සිදුව නැහැ.

අලි මංකඩක් ආසන්නයේ ඉදිකර තිබූ මෙම මධ්‍යස්ථානය, වන අලීන්ගෙන් ආරක්ෂා කර ගැනිම සඳහා ඒ වටා ඉදිකළ විදුලි වැට අකුණු සැර වැඳීමෙන් ක්‍රියාවිරහිත වී ඇත්තේ 2014 වසරේදීයි.

එය මෙතෙක් අළුත්වැඩියා නොකිරීමේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ මෙම කසල කන්ද අලිමංකඩින් ගමන් ගන්නා සද්දන්තයින්ගේ භෝජනාගාරය බවට පත්වීමයි.

අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ කලාපයේ බල ප්‍රදේශ 9 ක කැළි කසල ටොන් ගණනින් අඩ්ඩාලච්චේනෙයි ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් මෙම ප්‍රදේශයට බැහැර කිරීම මේ වනවිටත් සිදුවන්නේ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබූ භූමි ප්‍රමාණයද ඉක්මවා යමින් මෙම ස්ථානයට වනඅලීන්ගේ ආකර්ෂණය ද ඊට සමාන්තරව ඉහළ ගොස් තිබෙනවා.

අලි ඇතුන්ගේ පැමිණිම අවහිර කිරිම සඳහා අගල් කැපීමට බලධාරීන් පියවර ගෙන තිබුනත්, වර්ෂාවත් සමඟ කසළ කන්දෙන් ගලා එන අපජලය අඟල්වල තැන්පත් වීමෙන් තවත් පරිසර ගැටලුවක් නිර්මාණය වී තිබෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමග හොලිවුඩ් සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්රියෝගේ අවධානය ද ඊට යොමු වී තිබෙනවා.

පරිසරවේදියෙකු ද වන ලියනාඩෝ ඩිකැප්රියෝ මිලියන 19 කට අධික ග්‍රාහකයින් පිරිසක් සිටින සිය ට්විටර් ගිණුමේ එම පුවතට ප්‍රචාරය ලබාදීමට කටයුතු කර තිබුණා.

***************************************

හොරොව්පතාන ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි – සභාපති මේසෙටත් නගියි

(27.01.2022 – 23:24 +0530 – hirunews.lk/sinhala)

හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය අවස්ථා දෙකකදීම පරාජයවීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයා අද (27) නව සභාපතිවරයෙකු පත් කිරීමට කටයුතු කළා.

නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ S.R.P. කත්‍රිආරච්චි පත්වීමත් සමග සමගි ජන බලවේගයේ සභාපති ඇතුළු පිරිස සිය විරෝධතාව පළ කරනු ලැබුවා.

එහිදී රැස්වීම් ශාලා මේසය මත නැග ඉතා කලහකාරී අයුරින් සජබෙ සභාපතිවරයා හැසිරුණු අයුරු දැකිය හැකියි.

***************************************

‘මෝඩ යකා’ මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා.. සාරිය ගැලෙවුවම ලස්සනයි කිවුවා.. – මධුෂා රාමසිංහ

(27.01.2022 – 22:22 +0530 – lankacnews.com)

අග්‍රාමාත්‍යවරයාගේ වැටුප සොරකම් කිරීමට චෝදනා එල්ල වී සිටින ‘මෝඩ යකා’ නමින් හැඳින්වෙනවා පුද්ගලයා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව ‘ලක්මවට හෙටක්’ සංවිධානයේ සභාපතිනි මධුෂා රාමසිංහ සඳහන් කරයි.

පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබාදීමට නම් එසේ ලිංගික අල්ලස් ලබා දෙන ලෙස අදාළ ‘මෝඩ යකා’ සහ මෑතක දී ආන්දෝලනාත්මක ලෙස සභාපති ධුරයකට පත් වූවෙක් ඉල්ලා සිටි බවද ඇය පැවසුවාය.

තමන් සාරියකින් සැරසී සිටින විට සාරිය ඉවත්කර කරන ලෙසත් ලස්සන එවිට බවත් ඔවුන් පැවසූ බවද ඇය කියා සිටියාය.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය මෙම අදහස් පළ කර ඇත.

***************************************

සුදුළුණු වංචාවට ඇමතිත් සම්බන්ධයි.. – සුදුළුණු ගෙන්වූ ව්‍යාපාරකයෝ කියති..

(28.01.2022 – 11:20 +0530 – lankacnews.com)

ආන්දෝලනාත්ම සුදුළුණු වංචාවට අදාල සුදු ලුණු තොග ආනයනය කරනුලැබූවේ තම සමාගම් වලින් බව එම සමාගම්වල අයිතිකරුවන් කියා සිටියි.

අදාල ගනුදෙනුව හේතුවෙන් තම සමාගම් වලට රුපියල් කෝටි හතරකට අධික මුදලක් පාඩු වූ බවද ඔවුන් පවසයි.

මෙම සුදුළුණු සතොස ගබඩා වලට නොගොස් කෙළින්ම ඉන්දියානු ව්‍යාපාරිකයන්ගේ ගබඩා වලට ගිය බවද ඔවුන් චෝදනා කරයි.

ඇමතියාගේ සිට සභාපති දක්වාම මෙම වංචාවට සම්බන්ධ බව ඔවුන් පෙන්වා දෙයි.

මේ රට තුළ නැවතත් තමන් ව්‍යාපාර නොකරන බවද ඔවුන් අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී කියා සිටියි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *