වන්දි ඉල්ලමින් ගොවීන් අරගලයේ

වන්දි ඉල්ලමින් ගොවීන් අරගලයේ

*********************************************

වන්දි ඉල්ලමින් ගොවීන් අරගලයේ

(27.01.2022 – 14:25 +0530 – hirunews.lk/sinhala)

වී වගාවට පමණක් නොව කාබනික පොහොර භාවිතයෙන් සිදුකළ වෙනත් වගාවන්ටත් වන්දි ලබාදෙන ලෙස එම ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

එලෙස බඩඉරිඟු ඇතුළු ගොඩ භෝග වගාවන්ට වන්දි ඉල්ලා මහවැලි සී කලාපයේ ගොවීන් පිරිසක් අරම්භ කළ උපවාසය අද (27) තෙවැනි (3) දිනටත් ක්‍රියාත්මක වනවා.

කාබනික පොහොර භාවිතයෙන් සිදුකළ ගොවිතැනින් අස්වැන්න අඩු වී ඇති බව පවසමින් ඊට සාධාරණ වන්දි ඉල්ලා ගොවීන් පසුගිය දිනවල විරෝධතාවල නිරත වුණා.

ඒ අනුව මෙවර මහ කන්නයේ වී අස්වැන්නේ අඩුවීමක් සිදු වුවහොත් වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 25 බැගින් වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දිනවල සඳහන් කළා.

කෙසේ වෙතත් හානි සිදු වූ තම වගාවන්ට රජය ලබාදීමට තීරණය කර ඇති වන්දි මුදල් ප්‍රමාණවත් නොවන බව මින්නේරිය, LB 9 ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

මේ අතර රජයෙන් ලබාදුන් උපදෙස් මත කාබනික පොහොර භාවිතයෙන් සිදුකළ ගොවිතැනට හානි සිදුව ඇති බව කන්දකැටිය, තලාකුඹුර ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

ඔවුන් මේ වන විට වගාවන්ට අවශ්‍ය ජලය නොමැතිකමින්ද පීඩා විඳිනවා.

මේ අතර සිදු වූ වගා හානිවලට නිසි වන්දියක් ලබා දෙන ලෙස රජයට බල කරමින් මහවැලි සී කලාපයේ දෙහිඅත්තකණ්ඩිය ගොවි සංවිධාන කිහිපයක් එක්ව ආරම්භ කළ උපවාසය අද (27) දෙවන (2) දිනටත් ක්‍රියාත්මකයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ ඉරිගු ඇතුළු ගොඩ බෝග වගාවන්ටද සිදුව ඇති හානිය සලකා වන්දි ලබාදෙන ලෙසයි.

රසායනික පොහොර නොමැතිකමින් තම වගාවන්ගෙන්ද අපේක්ෂා කළ අස්වනු නොලැබෙන බව ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ බඩඉරිඟු ගොවීන් පවසනවා.

ඔවුන් චෝදනා කරන්නේ තම වගාවන්ට රසායනික පොහොර භාවිතයට අවසර ලබා නොදුන්නත් මහ පරිමාණ සමාගම්වලට ඒ සඳහා අවසර ලබා දී ඇති බවයි.

මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගොඩකවෙල ප්‍රදේශයේ ගොඩ භෝග හා එළවළු ගොවීන් ඉල්ලා සිටින්නේ පොහොර අර්බුදයෙන් වගා හානි සිදුව ඇති තම වගාවන්ට ද සාධාරණ වන්දියක් ලබාදෙන ලෙසයි.

***************************************

මීතොටමුල්ල කුණු කන්ද පිහිටි ස්ථානය යළි සැලසුමට උපදෙස්

(27.01.2022 – 14:27 +0530 – hirunews.lk/sinhala)

මීතොටමුල්ල කුණු කන්ද නාගරික උද්‍යානයක් බවට පත් කිරීමට පසුගිය රජය රුපියල් මිලියන 430 ක රජයේ මුදල් වැය කරමින් සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹුව ද එහි කිසිදු සංවර්ධනයක් සිදුවී නොමැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය සිදුකළ පරීක්ෂණයකදී මේ බව අනාවරණ වූ බවයි.

ඒ අනුව රජයේ මුදල් වැය නොකර මීතොටමුල්ල කුණු කන්ද පිහිටි ස්ථානය කොලොන්නාව නගරයට පහසුකම් සපයන ස්ථානයක් බවට පත්කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා ෴

***************************************

මංකොල්ල කෑ ජන මුදල් ආපහු දෙන බව හඳුන්නෙති කියයි

(27.01.2022 – 14:39 +0530 – hirunews.lk/sinhala)

ජනතාව බිය වද්දමින්, ලබාගත් බලය තුළින් මේ වනවිට රටේ ජීවත් වන සියලුම දෙනා දැඩි පීඩාවකට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ජන හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජනතාව බිය වද්දා මේ වනවිට කෝටි ගණනින් මුදල් මංකොල්ල කා ඇති බවයි.

නව රජයක් යටතේ එම කොල්ල කෑ සියලුම ජන දේපොල යළි ජනතාව වෙත හිමි ගැන්වීම සිය අරමුණ බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ගැන නීතිපතිගෙන් වාර්තා දෙකක් (2)

(27.01.2022 – 15:12 +0530 – hirunews.lk/sinhala)

වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති වාර්තා දෙකට (2) අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) පෙත්සම්කාර පාර්ශ්වයට කල් ලබා දී තිබෙනවා.

වෘත්තීකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් කපිල රේණුක පෙරේරා ගොනුකර ඇති පෙත්සමෙන් දක්වා ඇත්තේ ව්‍යවස්ථාවෙන් පනවා ඇති සීමා ඉක්මවා යමින් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු (2) සහ රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු වැඩිපුර පත් කර ඇති බවයි.

මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉදිරියේ අද (27) කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය පිළිබඳව වාර්තා දෙකක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

ඊට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දින ලබාදෙන ලෙස පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටි අතර ලබන 11 වනදාට පෙර එම විරෝධතා ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා ෴

***************************************

ආදිවාසී නායකයාගේ පෙත්සම විභාගයට අවසර

(27.01.2022 – 16:22 +0530 – hirunews.lk/sinhala)

රඹකැන්ඔය, පොල්බැද්ද, ප්‍රදේශයේ ආදිවාසීන්ට අයත් භූමිය එළපෙහෙළි කර ඒවායේ බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගමක් වෙත පවරා දීමට මහවැලි අධිකාරිය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසී නායකයා ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (27) අවසර ලබා දුන්නා.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම් ගොනුකර ඇති අතර, එය සලකා බැලුණේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේයි.

මෙහි වගඋත්තරකරුවන් වන මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වන රක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවයන්ට අප්‍රේල් 05 වනදා කරුණු දක්වන ලෙස මෙහිදී නොතීසි නිකුත් කෙරුණා ෴

***************************************

ජයශ්‍රී සංගීත කණ්ඩායමේ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

(27.01.2022 – 16:24 +0530 – hirunews.lk/sinhala)

‘ජය ශ්‍රී ’සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනා (2) වෙත කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන මස 23 වනදා දක්වා අද (27) යළි දීර්ඝ කෙරුණා.

රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් විසින් ගායනා කරන ‘මොඩ් ගොවියා’ සහ ‘සුන්දරියේ’ යන ගීත ඇල්බම්වල අඩංගු ගීත 20 ක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම සහ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වාලමින් මීට පෙර මෙම නියෝගය නිකුත් කෙරුණේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි ෴

***************************************

පානදුරේදී ගිලන් රථ රියදුරෙකුට වෙඩි තැබීමක්

(27.01.2022 – 12:00 +0530 – hirunews.lk/sinhala)

පානදුර රෝහලට ගිලන් රථයක් පදවාගෙන පැමිණි රියදුරෙකුට, අද (26) දහවල් වෙඩි තැබීමට උත්සාහ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ පානදුරේ කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථයක රියදුරෙකුට මෙලෙස වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවයි.

කෙසේ වෙතත්, උණ්ඩය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් යතුරුපැදිවලින් පැමිණි සැකකරුවන් එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පානදුර – දකුණ පොලීසිය සඳහන් කළේ.

+++++++

පානදුරේ නූලෙන් ගිලිහුණු ඝාතන වෑයම – වෙඩි ප්‍රහාර දෙකක් (2) එල්ල කළත් පිස්තෝලය ක්‍රියාත්මක වී නැහැ

(27.01.2022 – 17:01 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික රෝහලක සිට පානදුර මූලික රෝහලට ගිලන් වූ කාන්තාවක් රැගෙන ආ ගිලන් රථයේ රියැදුරාට කිසියම් පිරිසක් විසින් වෙඩි තැබීමට ගත් උත්සාහයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

පානදුර පොලීසිය සඳහන් කරන්නේ මෙම සිද්ධිය අද (27) දහවල් 11:45 ට පමණ සිදු වූවක් බවයි.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමේ උත්සාහයෙන් කිසිවකුටත් හානියක් සිදු වී නැත්තේ අදාළ වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

අදාළ ගිලන් රථය පානදුර මූලික රෝහලේ ගේට්ටුවෙන් ඇතුළු වනවාත් සමගම යතුරුපැදි දෙකකින් (2) පැමිණි පිරිසක් එම ගිලන් රථය හරස්කර රියදුරාට වෙඩි තැබීමට උත්සාහ දරා ඇති බවටයි මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

අනෙක් යතුරුපැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා (2) ගිනි අවි අත දරා රියදුරාට වෙඩි තැබීමට උත්සාහ කළ පුද්ගලයාට ආරක්ෂාව සපයා තිබෙනවා.

ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඉන් ගිලිහුණු උණ්ඩයක් ගිලන් රථයේ ඉදිරිපස රියැදුරු අසුන අසල වැටී තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක සිදුවීමක් හා සමාන වූ මෙම සිද්ධියත් සමග පානදුර රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සහ රෝගීන් බැලීම සඳහා පැමිණ සිටි පිරිස් හිස් ලූ ලූ අත දිව ගිය බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරුවන් රියදුරාට පිස්තෝලය එල්ල කර වෙඩි පහර දෙකක් (2) එල්ල කළ ද ගිනි අවිය ක්‍රියාත්මක වී නැහැ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ රියදුරා උතුරු කළුතර තොටුපළ පාරේ පදිංචිකරුවකු බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමට හේතුව ලෙස පසුගිය වසරේ පෙබරවාරි මස 28 වන දින වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් හොරණ දික්හේනපුර ප්‍රදේශයේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධ බවට සැක කෙරෙනවා.

එම වැටලීමේදී වලාන දූෂණ මර්දන ඒකකය මගින් රුපියල් කෝටි හතළිස් දෙකක් (42,00,00,000) පමණ වටිනා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් හතලිස් දෙකක් (42) සොයා ගනු ලැබුවා.

එම හෙරොයින් ප්‍රවාහනය සඳහා භාවිත කර තිබුණේ ගිලන් රථයක්.

කෙසේ වෙතත් එම සම්බන්ධය තවමත් තහවුරු කර ගෙන නැති බවයි උසස් පොලිස් නිලධාරියකු පවසා සිටියේ.

සිද්ධිය වූ ස්ථානය අවට ප්‍රදේශය පානදුර අපරාධ සිදුවීම් ස්ථානීය පරීක්ෂණ කණ්ඩායම් පැමිණ දැඩි පරීක්ෂාවකට ලක් කළා.

++++++++

https://www.youtube.com/watch?v=d4L1tTCmgog

***************************************

කූලී ත්‍රිරෝද රථවලට මනු සවීකිරීම පෙබරවාරි පළමුවැනිදා (01) සිට

(27.01.2022 – 17:05 +0530 – hirunews.lk/sinhala)

කූලි ත්‍රීරෝද රථ සදහා මනු සවීකිරීමේ වැඩපිලිවෙල පෙබරවාරි මස පලමුවැනිදා (01) සිට ක්‍රියාත්මක කරන බව මිනුම් එකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂක එස්.එන්. අකුරන්තිලක ප්‍රකාශ කළේ අනුමැති ලබාගත් වෙළද ආයතනවලට පමණක් කුළි රථවලට මනු විකීණිමටත් සවි කිරිමටත් අවසර ලබාදී ඇති බවයි.

නිෂ්පාදනය කිරීම හෝ විකිණීමට පෙර වෙළද කටයුතු සදහා භාවිතයට සුදුසු බව පරීක්ෂා කරන ලද මාදිලි සදහා අනුමැතිය දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතුයි. එසේම, අනුමත කුලී රථ මනු සඳහා හඳුනා ගැනීමේ ස්ටිකරයක් ඇලවීමට ද අපේක්ෂා කරන බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

***************************************

සද්දන්තයෙකු නිහඬ කළ වෙඩිල්ල – ඝාතකයා අත්අඩංගුවට

(27.01.2022 – 17:25 +0530 – hirunews.lk/sinhala)

තිරප්පනේ – ඔරුක්මාන්කුලම ප්‍රදේශයේ දී වෙඩි තබා වනඅලියෙකු ඝාතනය කර තිබෙනවා.

මෙම දැවැන්තයා ඝාතනය කළ පුද්ගලයා මේ වනවිට තිරප්පනේ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අදාළ සැකකරු විසින් අද (27) උදෑසන මෙලෙස ඝාතනය කර ඇත්තේ, උසින් අඩි 07 ක් පමණ වන වයස අවුරුදු 18 – 20 ත් අතර පසුවන වනඅලියෙකු බවයි වනජීවී කාර්යාලය පැවසුවේ.

තිරප්පනේ වනජීවී කාර්යාලය මගින් සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති අතර, ඉන් අනතුරුවයි පොලීසිය සිදු කළ විමර්ශනවල දී වනඅලියා ඝාතනය කළ සැකකරු සොයා ගැනුණේ.

පොලීස් අත් අඩංගුවට ගැනුණු සැකකරු 57 හැවිරිදි වියෙහි පසුවන ඔරුක්මාන්කුලම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

මියගිය වනඅලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) සිදු කෙරුණු අතර, හිසට වෙඩි වැදීමෙන් මෙම සත්ත්වයා මියගොස් ඇති බවටයි හෙළි වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

***************************************

සිරිලක මහා වන්දනා ගමන, හිරු සිරිපා කරුණාවට සියල්ල සූදානම්

(27.01.2022 – 19:31 +0530 – hirunews.lk/sinhala)

සිරිලක මහා වන්දනා ගමන හිරු – සිරිපා කරුණාව කරුණාව සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම්.

හිරු එෆ්.එම්. සංවිධානය කරන මේ බැතිබර වන්දනා චාරිකාවට මෙවරත් එක්ව සිටින්නේ රටපුරා විසිරුණු හිරු ශ්‍රාවකයින්.

ඒ අනුව වන්දනා නඩ රැගත් බස් රථ හෙට (28) අලු‍යම දිවයිනේ ස්ථාන 6 කින් උතුම් ශ්‍රීපාද ස්ථානය බලා ගමන් අරඹනු ඇති.

හිරු එෆ්.එම්. වසරක් පාසා සංවිධානය කරන මහා සිරිපා කරුණාව හෙට (28) අලු‍යම ආරම්භ වන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුවයි.

ඒ අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි තෝරා ගත් වන්දනාකරුවන් රැගත් වන්දනා නඩ කැබිතිගොල්ලෑව, බිබිල, කන්තලේ, පිටබැද්දර, හෙට්ටිපොළ හා කොළඹ යන ප්‍රදේශවලින් සිරිපා කරුණාවට එක්වනු ඇති.

එමෙන්ම වන්දනා නඩ ගමන් අරඹන ස්ථානවල සිටම ශ්‍රී පාදස්ථානය දක්වා උත්තරීතර පුජා කරඬු වහන්සේලා 6 නමක් ද සිරිපා පුද බිම වෙත වැඩම කරවීම ද මීට සමගාමී ව සිදුවනවා.

වන්දනා නඩ ශ්‍රී පාදස්ථානය දක්වා ගමන් කරන මඟ දෙපස සිට පිං කැමති සැඳැහැවත් ජනතාවට එම කරඬු වහන්සේලා වන්දනාමාන කිරිමටත් අවස්ථාව සලසා තිබෙනවා.

මේ මහා වන්දනා ගමනට එක්වන සියලු‍ වන්දනාකරුවන්ට අවශ්‍ය ආහාර පාන, නවාතැන් ඇතුළු පහසුකම් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව නොපිරිහෙළා සැපිරීමටත් හිරු එෆ්.එම්. කටයුතු කර තිබෙනවා.

පූර්ණ එන්නත්කරණයට ලක් වූ වන්දනාකරුවන් පමණක් මෙවර සිරිපා කරුණාව සඳහා එක්වනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *