සිමෙන්ති හිඟයෙන් රජයේ ව්‍යාපෘති නවතින ලකුණු

සිමෙන්ති හිඟයෙන් රජයේ ව්‍යාපෘති නවතින ලකුණු

*********************************************

සිමෙන්ති හිඟයෙන් රජයේ ව්‍යාපෘති නවතින ලකුණු

(27.01.2022 – 13:38 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින සිමෙන්ති හිඟය හේතුවෙන් රාජ්‍ය ව්‍යාපෘති නියමිත කාලයට අවසන් කර භාරදීමට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

විශේෂයෙන් මාර්ග ලක්ෂයේ ව්‍යාපෘතියට ද මෙමගින් බලපෑම් එල්ල වී ඇති බවයි එම සංගමයේ සභාපති සුසන්ත සෙනෙවිරත්න කියා සිටියේ.

සිමෙන්ති හිඟය මෙන්ම ඇතැම් වෙළදුන් අධික මිලට සිමෙන්ති අලෙවි කරමින් සිටින බවට තවදුරටත් තොරතුරු වාර්තා වනවා.

රත්නපුරය වැනි ප්‍රදේශවල සිමෙන්ති කොට්ටයක් රුපියල් 2100 ක් වැනි අධික මිලකට අලෙවි වන බවයි ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමය පෙන්වා දුන්නේ.

මේ අතර, සිමෙන්ති කොට්ට ලක්ෂ 02 ක් රැගත් තවත් නෞකාවක් හෙට (28) දිවයිනට ළඟාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

***************************************

ජනපති දානමය පිංකමකට එක්වෙයි

(27.01.2022 – 11:27 +0530 – hirunews.lk/sinhala)

රටට සහ ජනතාවට සෙත් පතා ආරක්ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධාන කරන ‘ජය පිරිත් සඡ්ඣායනය’ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවත්වුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මහානායක හා අනුනායක හිමිවරු ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කළ භික්ෂූන් වහන්සේ දහස් නමකගේ සහභාගීත්වයෙන් මෙම ජය පිරිත් සඡ්ඣායනය ඊයේ (26) පස්වරුවේ ආරම්භ කෙරුණා.

මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් ආබාධිත රණවිරුවන්ට සහ ත්‍රිවිධ හමුදාවට ආශිර්වාද කිරීම ජය පිරිත් සඡ්ඣායනයේ තවත් අරමුණක්.

පිරිත් සඡ්ඣායනය ආරමභ කරමින් සධාතුක කරඩුව තැන්පත් කිරීම සිදු කළේ ජනධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමි, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමි, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි හා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස යන ස්වාමීන් වහන්සේ අනුශාසනා සිදු කිරීමෙන් අනතුරුව ජය පිරිත් සඡ්ඣායනය ආරම්භ වුණා.

මේ අතර අද (27) පෙරවරුවේ පැවති හීල් දානමය පිංකමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්වුණා.

***************************************

හවුල්කාර පක්ෂ 10 න් ආණ්ඩුවට යෝජනාවලියක්

(27.01.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

රට මුහුණ දී ඇති බරපතල අර්බුදවලින් ගොඩගැනීම සඳහා යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයින් තීරණය කර තිබෙනවා.

ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පෙරේදා (25) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වුණා.

අදාළ යෝජනාව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කඩිනමින් භාරදීමටත් අනතුරුව ජනතාවට එය ප්‍රසිද්ධ කිරීමටත් එහිදී තීරණය කර තිබෙනවා.

මෙහිදී විදුලි අර්බුදය, යුගදනවි ගිවිසුම, පොහොර අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.

රට මුහුණ දී ඇති අර්බුදය පිළිබදව සත්‍ය තොරතුරු ජනතාවට ඉදිරිපත් කළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ වී ඇත්තේ.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර මෙන්ම අනෙකුත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් ද එක්වුණා ෴

***************************************

යළි මැතිවරණයකට තරග නොකරන බව, රතන හිමියන් කියයි

(27.01.2022 – 13:33 +0530 – hirunews.lk/sinhala)

තමන් යළි මැතිවරණයකට තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා.

මොනරාගල ඊයේ (26) පැවති වැඩසටහකට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.

වසවිසෙන් තොර වගාවට තමන් කැමති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසනවා.

උන්වහන්සේ කියා සිටියේ, එහෙත් එම වැඩපිළිවෙළට තමන් කැමති වුව ද, මේ ගමන් කරන අයුරින් අවිධිමත් ලෙස ක්‍රියා කළහොත්, සිදුවන විපත තවත් බැරෑරුම් බවයි.

***************************************

ඩෙංගු රෝගීන්ගේ කැපී පෙනෙන ඉහළ යාමක්

(27.01.2022 – 13:44 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙලෙස ඉහළ යද්දී, ඩෙංගු රෝගීන් හමුවීම ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ වසරේ ගත වූ දින 26 තුළ දී ඩෙංගු රෝගීන් 6923 දෙනෙකු වාර්තා වී ඇති අතර පසුගිය වසරේ ජනවාරි මාසයේදී පමණක් වාර්තා වූයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1909 ක් පමණයි.

මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, ගාල්ල, මාතර, යාපනය, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්මුණේ, කුරුණෑගල, පුත්තලම, බදුල්ල සහ ප්‍රදේශවලින් ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතිනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේ මදුරු විකර්ෂණ ආලේපන ගල්වා දරුවන් පාසල් වෙත එවන ලෙසයි.

බස්නාහිර පළාතේ සිදු කරන ලද පරීක්ෂණවලදී ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතව ඩෙංගු කීටයන් වැඩි වශයෙන් සිටින බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවට ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය ශිලන්ති සෙනෙවිරත්න ද එක්ව සිටි අතර එහිදී ඇය කියා සිටියේ කොරෝනා සහ ඩෙංගු රෝගයන් හි ලක්ෂණ යම් මට්ටමකට සමාන කමක් දක්වන බැවින් පැය 24 ක් පුරා උණ රෝගී තත්ත්වය පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.

2021 වසරේ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,925 ක්. එම වසරේ දෙසැම්බර් මස හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 8966 ක්.

මේ අනුව බලන විට ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් සංඛාව ඉතා ඉහළ මට්ටමක පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

රෝගීන්ගෙන් 53.4% ක් ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

ඩෙංගු රෝගීන් වයස් කාණ්ඩ වශයෙන් ගත්විට 30% ක් අවුරුදු 05–19 ත් අතර පාසැල් ළමයි වනවා.

වයස අවුරුදු 05 ට අඩු ළමුන්ගෙන් 5% ක් ද ඩෙංගු උවදුරට ගොදුරුව ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙනවා.

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන ඇති අතර මෙම තත්ත්වය දිගින් දිගට පැවතුණොත් 2017 වසරේදී මෙන් ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර අර්නෝල්ඩ් සඳහන් කළා.

ඩෙංගු රෝගය මර්දනය සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් සිදු කළ නොහැකි අතර සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ පොදු මහජනතාව ඒකාබද්ධව ඩෙංගු රෝග පාලනයට ප්‍රවේශයක් ගත යුතු බවයි මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා කියාසිටියේ.

ජනවාරි මස 12 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ චක්‍රලේඛයක් මගින් මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ගත යුතු ප්‍රවේශය පැහැදිළි කර තිබෙනවා.

ඒ අනුව සියලු රාජ්‍ය, පෞද්ගලික සහ පොදු ආයතනවල ඩෙංගු උවදුරෙන් තොර පරිසරයක් ඇති කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියාසිටියේ.

ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති ඉදිකිරීම් පරිශ්‍ර, පාසල්, ආගමික ස්ථාන, ඇතුළු පොදු ස්ථානවල රෝග ව්‍යාප්තිය වර්ධනය වී තිබෙනවා.

සෑම ආයතනයකම ඩෙංගු රෝග පාලනයට වෙනම නිලධාරියෙකු පත් කළ යුතු අතර ඔහු සෑම මසකම තම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත ඩෙංගු රෝග ව්‍යාප්තියට වාර්තාවක් දිය යුතු බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.

ලෝකයේ රටවල් 129 ක් පමණ ඩෙංගු රෝගයෙන් පීඩා විඳිනවා. ඉන් 70% ක් ආසියානු කලාපීය රටවල්. ජනවාරි මාසය තුළ හඳුනා ගත් රෝගීන්ගේ 50% ක් වාර්තා වූයේ බස්නාහිර පළාතෙන්.

2021 ජනවාරි මස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 408 ක් වුවද 2022 ජනවාරි මස 3681 ක් පමණ රෝගීන් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසියම් ඉලක්කයක් කරා ළඟා වීම එම ක්ෂේත්‍රයට තනිව කළ නොහැකි අතර ඒ සඳහා සියලු අංශවල සක්‍රීය දායකත්වය ලබා ගත යුතු බවයි බස්නාහිර පළාතේ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ ප්‍රජා වෛද්‍ය බුද්ධික මහේෂ් මහතා පැවසුවේ.

පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශිය හා ග්‍රාමීය වශයෙන් කමිටු පිහිටුවමින් සියලු අංශවල සක්‍රීය දායකත්වය මේ සඳහා අවශ්‍ය බවත් වෛද්‍යවරයා වැඩි දුරටත් කියසිටියා.

වැඩි වශයෙන් මහජනතාව ගැවසෙන ආගමික ස්ථාන ඩෙංගු අවදානම සහිත ප්‍රදේශ ලෙස කීට විද්‍යා සමීක්ෂණය මගින් සනාථ වී තිබෙනවා.

ආගමික ස්ථාන සතියකට වරක් තම පරිශ්‍ර නිරීක්ෂණය කළ යුතුයි.

මේ පිළිබඳව දැනුවත් කිරීමේ සැසිවාර පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් වෛද්‍යවරයා කියසිටියා.

ඒ අනුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ජනවාරි මස 18, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේනතුවේ ජනවාරි මස 20 මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වුණා.

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ජනවාරි මස 31 සහ හින්දු ආගමික දෙපාර්තමේන්තුවේ පෙබරවාරි මස 01 දින සැසිවාර පැවැත්වෙන බව ද වෛද්‍යවරයා සඳහන් කළා ෴

***************************************

ගාල්ලටත් වරාය නගරයක්

(27.01.2022 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ගාලු වරාය සංවර්ධනය සඳහා, නව දියකඩනයක් ඉදිකිරීමෙන් පසු අලුතින් හෙක්ටයාර 40 ක භූමි ප්‍රමාණයක් හිමිවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා.

එම වරාය සංවර්ධනය කිරීම පිළිබඳ සූම් තාක්ෂණය ඔස්සේ විදේශ ආයෝජකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ ඊයේ (26) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ වරාය නගරය හා සමානව එය සංවර්ධනය කරන බවයි.

දේශීය ආයෝජකයින් ප්‍රවර්ධනය කිරීමටත්, සංචාරක ආකර්ෂණය තවදුරටත් වැඩිදියුණු කිරීමටත් මෙමගින් අතිරේක වාසි සැලසෙන බව ද වාර්තා වනවා.

***************************************

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත විවාදයට – එජාපයෙනුත් පෙත්සමක්

(27.01.2022 – 14:05 +0530 – hirunews.lk/sinhala)

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණ අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකළා.

ඊයේ (26) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ සම්මේලනය සහ සමගි ජනබලවේගය ද මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනුකළ අතර ඒ අනුව මේ පනත් කෙටුම්පතට එරෙහිව මේ වනවිට පෙත්සම් 3 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.

මේ අතර මෙම පනත් කෙටුම්පතෙහි දෙවනවර කියවීමේ විවාදය ලබන මස 10 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුව ලබන මස 08 වනදා යළි රැස්වීමට නියමිත අතර, කොරෝනා වැළඳීමෙන් අභාවප්‍රාප්ත වු හිටපු අමාත්‍ය මංගල සමරවීර වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනාව පෙබරවාරි 11 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

නීතිවිරෝධී පලිබෝධනාශක හා රසායනික ද්‍රව්‍ය කම්හලකට මුද්‍රා තැබේ

(27.01.2022 – 14:08 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – මාකුඹුර ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය පළිබෝධ නාශක හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ආයතනයක් මුද්‍රා තබා තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාල පරිසර ආරක්ෂණ හා විශේෂ පැවැරුම් ඒකකයට ලද පැමිණිල්ලකට අනුව මධ්‍යම පරිසර අධිකාරිය, මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (26) කළ පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ප්‍රමිතියෙන් තොර රසායනික ද්‍රව්‍ය හා පළිබෝධ නාශක නිෂ්පාදනය කර ගබඩා කිරීම සම්බන්ධයෙන් එම ආයතනයට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරිය මගින් නීතිමය පියවර ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබෙනවා ෴

***************************************

රුපියල් ලක්ෂ දෙකෙන් හැදුව මෝටර් රථය

(27.01.2022 – 14:17 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථයක හිමිකරුවෙකු වීම සැමගේම සිහිනයක්.

ඒත් අද ඒ සිහිනය, සිහිනයක්ම පමණක් වී ඇත්තේ ඩොලර් අර්බුදය හමුවේ මෝටර්රථ ආනයනය නැවතී ගොස් ඇති පසුබිමකයි.

මේ අතර මෝටර් රථයක් නිෂ්පාදනය කළ සහෝදරයින් දෙදෙනෙකු (2) හා පාසල් සිසුවෙකු පිළිබඳවත් වාර්තා වනවා.

මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් මේ අභිමානයෙන් නරඹන්නේ, සිය පාසලේ සහෝදර සිසුවෙකු විසින් නිර්මාණය කළ මෝටර්රථය යි.

මෙම නිර්මාණය හිමිකරු වන්නේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කවිඳු හිම්සර.

ඔහු තාක්ෂණ අංශයෙන් උසස් පෙළ හදාරනු ලබනවා.

යතුරු පැදියක එන්ජිමක් භාවිත කරමින් නිර්මාණය කර ඇති මෙම මෝටර් රථය ධාවනය වන්නේ පෙට්‍රල් භාවිතයෙන්.

කවිඳු පවසන්නේ මෙම මෝටර් රථය ජලයෙන් ධාවනය කිරීම සඳහා ද කටයුතු කරමින් පවතින බවයි.

FOMULA වර්ගයේ මෝටර් රථයක බාහිර පෙනුමට සාමාන ආකාරයෙන් නිර්මාණය කර ඇති මෙම මෝටර් රථය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් අතර වේගයකින් ධාවනය කළ හැකියි.

මේ අතර රත්නපුර – හීන් බැරැණ්ඩුව ප්‍රදේශයේ සහෝදරයින් දෙදෙනෙකු (2) ද මෝටර් රථයක් නිර්මාණය කර තිබෙනවා.

ඒ 28 හැවිරිදි නුවන් බුද්ධික සහ 21 හැවිරිදි උදාර මදුෂංකයි.

ඔවුන් මෙම නිර්මාණය කර ඇත්තේ තේ දලු හා පොහොර ප්‍රවාහනය කිරීමේ අරමුණින්.

පෙට්‍රල් භාවිතයෙන් ධාවනය වන මෙම මෝටර් රථය කදු සහිත මාර්ගවල මේ වන විට සාර්ථකව ධාවනය වනවා.

නුවන් සහ උදාර මෙම මෝටර් රථය තවදුරටත් නවීකරණය කිරීමේ අපේක්ෂාවෙන් සිටින අතර මෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳව වැඩිදුරටත් පැහැදිළි කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *