විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

*********************************************

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

(26.01.2022 – 20:42 +0530 – hirunews.lk/sinhala)

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට එරෙහිව අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණා.

ඒ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සම්මේලනයේ සභාපති එම්.පී. සරත් අබේරත්න ඇතුළු එහි ලේකම්වරු සිව් දෙනකු (4) විසින්.

පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති අතර, එමගින් පෙන්වා දී ඇත්තේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බලතල හා පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල කප්පාදු වීමක් සිදු වී ඇති බවයි.

එසේම, අදාළ පනත් කෙටුම්පතෙන් මුදල් අමාත්‍යවරයාට අසීමිත බලය පැවරීමක් සිදු වන බව ද පෙත්සම්කරුවන් චෝදනා කර තිබෙනවා.

පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති 13 ක් මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර ඡන්දයකින් සම්මත කොට ඒවා ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.

එමෙන්ම සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ද මීට අදාළව අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර, මෙම පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ සේවකයින් අද (26) අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

***************************************

වන්දි මදි – වී ගොවීන්ගෙන් විරෝධයක්

(26.01.2022 – 20:49 +0530 – hirunews.lk/sinhala)

මහා කන්නයේ වී අස්වැන්නේ අඩුවීමක් සිදුවුවහොත් බලපෑමට ලක්වන ගොවීන්ට ලබාදීම සඳහා වී කිලෝග්‍රෑමයකට වෙන් කළ රුපියල් 25 ක වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව ගොවීන් චෝදනා කරනවා.

අවම වශයෙන් අක්කරයට රුපියල් ලක්ෂයක (1,00,000) මුදලක් වගා හානි වෙනුවෙන් ගොවියාට ලබාදිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අඩුවන අස්වැන්න සඳහා වන්දි ලබාදීමට රුපියල් බිලියන 40 ක මුදලක් වෙන් කිරීමට පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණා.

කෙසේ වෙතත්, සිදුවු වගා හානි සදහා විධිමත් ලෙස වන්දි ලබාදීමට රජය කටයුතු කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද (26) ඇඹිලිපිටිය නගරයේදි විරෝධතා පාගමනක නිරත වුණා.

මේ අතර, වගා හානි සදහා නිසි පරිදි ප්‍රමාණවත් වන්දි ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලා මහවැලි සී කලාපයේ ගොවීන් මේ වන විට උපවාසයක නිරත වනවා.

මේ අතර, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සහ පොලොන්නරුව ප්‍රදේශයේ ගොවීන් අද (26) ප්‍රකාශ කළේ වී කිලෝවක් මිලට ගැනීමේදී ගොවීන්ට ලබාදෙන මුදල ද ඉහළ නැංවිය යුතු බවයි.

මේ අතර, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර ඊට අදාල ලිපිය ඊයේ (25) කෘෂීකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙත භාරදී තිබෙනවා.

මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් 3 දෙනෙකු, වී අලෙවි මණ්ඩලයේ සභාපති ඇතුළු 6 දෙනෙකු ධුරවලින් ඉල්ලා අස්වුණා.

***************************************

විදුහල්පතිවරුන් ලබන 28 වැනිදා සංකේත වැඩවර්ජනයක

(26.01.2022 – 21:01 +0530 – hirunews.lk/sinhala)

ලබන 28 වනදා දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වීමට ‘විදුහල්පති සමිති සන්ධානය’ තීරණය කර තිබෙනවා.

ඒ මේ මස 05 වනදා ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරමින් නිකුත් කෙරුණු චක්‍රලේඛය මගින් විදුහල්පතිවරුන්ට නව වැටුප් විෂමතාවක් හට ගෙන ඇති බව පවසමින්.

එහිදි එකම දින පත්වීම් ලැබ සමාන සුදුසුකම් සහිත ගුරුසේවයේ නිරත නිලධාරීන්ට විදුහල්පති සේවයේ නිළධාරීයාට වඩා වැඩි වැටුප් වැඩිවීමක් හිමිවී ඇති බව විදුහල්පති සමිති සන්ධානය ප්‍රකාශ කළා.

මේ අතර, ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් ඉහළ දැමීමට සාපේක්ෂව අධ්‍යාපන පරිපාලන හා ගුරු අධ්‍යාපනඥ සේවා වල ද වැටුප් වැඩි කරන ලෙස බල කරමින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමය අද (26) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

එය දැඩි කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම සංගමයේ නියෝජිතයින් අද (26) රාත්‍රියේ රැස්වී සාකච්ඡාවක නිරත වීමට නියමිතයි.

මේ අතර, හෙද, පරිපුරක සහ අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්ති සමිති අද බස්නාහිර පලාත තුළ ආරම්භ කළ සංකේත වර්ජනයෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු බස්නාහිර පලාතේ රෝහල් බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්වුණා.

වෘත්තිය සමිති 16 ක සේවකයින් මෙලෙස අද (26) සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළේ වැටුප් සහ උසස්වීම් ගැටලුවලට විසදුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 07 ක් මුල්කරගිනිමින්.

වර්ජනයේ නිරත වෘත්තීය සමිති අද (26) දහවල් කොළඹදී විරෝධතාවක ද නිරත වුණා.

***************************************

වීදි ගණිකාවන්ගේ අලුත්ම සෙල්ලම

(26.01.2022 – 21:27 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස – දක්ෂිණාරාම පාරේ පිහිටා ඇති වදකාගරයක් බදු වු මෙම ලැගුම්හල තුලින් දින පතා මෙලෙස පුද්ගලයන් ජීවිතය යදින අඳෝනා හඬ නැගෙන්නේ ප්‍රදේශයේ නිහැඩියාව සුනු විසුනු කරමින්.

36/1 ලෙස සටහන් කෙටි තාප්පයකින් වට ව ඇති මෙම ස්ථානයේ රාත්‍රිය පුරා පිරිමින් හඩා වැටෙන්නේ මන් දැයි සොයා බැලීමට ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම මෙම ස්ථානයට ලගා වුණා.

දින ගණනාවක් රාත්‍රියේ මෙහි සිදුවන දෑ රූගත කළ අපට දැක ගත හැකිවුයේ මෙය අධික ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වු වීදී ගණිකාවන්ගේ තිප්පොලක් බවයි.

ගල්කිස්ස – දක්ෂිනාරාම මාර්ගය ආරම්භ වන ස්ථානයේ සැරිසරන ගණිකාවන් එක් රැයකට පුරුෂයන් කිහිප දෙනෙකු තම වසඟයට ගෙන මෙම තිප්පොල කරා රැගෙන එනවා.

මෙම ස්ථානයට පැමිණෙන ඇතැම් පිරිස් ඇතුලට යාමට බියක් දැක් වු අවස්ථාවල වීදි ගණිකාවන් කෙලෙස හෝ ඔවුන්ව තම තිප්පොලට රැගෙනයාමට ඇවිටිලි කරනවා.

කෙසේ හෝ ගණිකා තිප්පොලට තුලට රැගෙන ගිය පසු එන පුද්ගලයන්ගේ මුදල් පසුම්බි, රන් භාණ්ඩ ආදිය කොල්ලකෑම සදහා පොලු මුගුරැ රැගත් සංවිධානාත්මක පිරිසක් මෙම ස්ථානයේම රැදී සිටිනවා.

***************************************

පාපැදියේ වාසිය ඇමති අමරවීර පහදයි

(26.01.2022 – 21:43 +0530 – hirunews.lk/sinhala)

රට තුළ මතුව ඇති විදුලි අර්බුදය හා තවත් කරුණු සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් (26) අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ බලශක්ති අර්බුදය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පැවතිය හැකි බවයි.

මේ අතර වාහනයකින් කොළඹට පැමිණීමේදී සිදුවන පාඩුව පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කරුණු පැහැදිළි කළා.

කෙසේවෙතත් කිසියම් අයෙක් බයිසිකලයකින් එම ගමන යන්නේ නම් රජයට ලාභයක් සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

***************************************

උසස් පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට දැනුම්දීමක්

(26.01.2022 – 22:31 +0530 – hirunews.lk/sinhala)

ලබන පෙබරවාරි මස 07 වනදා ආරම්භ වන උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍ර මෙතෙක් ලැබී නොමැති නම් www.doenets.lk වෙබ් අඩවිය වෙතින් ඒවා ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විභාග කාලසටහන ද විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 07 වනදා සිට මාර්තු මස 05 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2438 කදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

උසස් පෙළ විභාගය වෙනුවෙන් මෙවර පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන් සංඛ්‍යාව 3,45,242 ක්.

ඉන් 2,79,141 ක් පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 66,101 ක් වනවා.

එම විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316 ක් ස්ථාපිත කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පැනවූ සංචරණ සීමා සහ පාසල් වසා තැබීම හමුවේයි 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාග කල්දමනු ලැබුවේ.

මේ අතර විභාග පැවැත්වෙන කාලසීමාව තුල විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්වල ඩෙංගු මර්දන ධූමායන කටයුතු සිදු කිරීම සඳහා මේවන විටත් අදාළ බලධාරීන් වෙත දැනුම්දී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කර ගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ඔවුන් සඳහන් කළේ.

විභාගයට පැමිණීමේදී ළමුන් මුව ආවරණ පැළම, දෙඅත් සේදීම, පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම වැනි සෞඛය මාර්ගෝපදේශ වලට අනුව ක්‍රියා කළ යුතුයි ෴

***************************************

ඥාණක්කා ගැන අනුරගෙන් හෙලිදරවුවක්…

(27.01.2022 – 10:00 +0530 – lankacnews.com)

අද වන විට ආණ්ඩුවේ ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන්නේ ඥාණක්කා නම් කාන්තාවක් විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඥාණක්කාගෙන් හොඳ නරක අසමින් රටක් ගොඩනැගිය නොහැකි බවද පැවසූ ඔහු හොඳ රටක් ගොඩනැගීමේ දත්ත විද්‍යාව මත පදනම් ව බවද පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදීය.

***************************************

සිමෙන්ති කොට්ට ලක්ෂ 02 ක් හෙට (28) දිවයිනට

(27.01.2022 – 07:13 +0530 – hirunews.lk/sinhala)

සිමෙන්ති කොට්ට ලක්ෂ 02 ක් රැගත් තවත් නෞකාවක් හෙට (28) දිවයිනට ළඟාවන බව සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් පවසනවා.

ඔවුන් සඳහන් කළේ, පසුගිය සතියේ ද සිමෙන්ති කොට්ට ලක්ෂ 06 ක් රැගත් නෞකා දෙකක් (2) දිවයිනට පැමිණි බවයි.

කෙසේ වෙතත්, අධික ඉල්ලුම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල සිමෙන්ති හිඟයක් වාර්තා වන බව ද ඔවුන් සඳහන් කළා.

මධ්‍යම අධිවේගී මාර්ගය, පෝට් සිටි සහ නාගරික නිවාස ඉදිකිරීමේ කටයුතු මෙන්ම වෙනත් පෞද්ගලික අංශයේ ඉදිකිරීම්වලට තවදුරටත් වැඩි ඉල්ලුමක් පවතින බව ද සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් සඳහන් කළා.

මේ අතර, වැටලීම් සිදු කළ ද ඇතැම් ව්‍යාපාරිකයින් අධික මිල ගණන් යටතේ තවදුරටත් සිමෙන්ති අලෙවි කරන බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

බෙහෝ ප්‍රදේශවල මේ වනවිට සිමෙන්ති කොට්ටයක් රුපියල් 1600 ත් 1800 ත් අතර මිලකට අලෙවි වන බවට යි වාර්තා වන්නේ.

පාරිභෝගිකයින්ගෙන් ලැබෙන පැමිණිලි හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දින කිහිපය තුළ දිවයින පුරා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කළා.

මේ අතර, වැඩිමිලට සිමෙන්ති අලෙවි කිරීම වැළැක්වීමට සහ සිමෙන්ති හිඟයට විසඳුම් සෙවීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින්, සිමෙන්ති ආනයනකරුවන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (26) සාකච්ඡාවක් පැවැත්වුණා ෴

***************************************

පසුගිය රජය සමයේ තවත් සුදු අලියෙක්

(27.01.2022 – 07:16 +0530 – hirunews.lk/sinhala)

මීතොටමුල්ල කුණු කන්ද නාගරික උද්‍යානයක් බවට පත් කිරීමට පසුගිය රජය රුපියල් මිලියන 430 ක රජයේ මුදල් වැය කරමින් සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹුව ද එහි කිසිදු සංවර්ධනයක් සිදු වී නො මැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරියේ සිදු කළ පරීක්ෂණයක දී මේ බව අනාවරණ වූ බවයි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරාට උපදෙස් ලබා දී ඇත්තේ, රජයේ මුදල් වැය නො කර මීතොටමුල්ල කුණු කන්ද පිහිටි ස්ථානය කොලොන්නාව නගරයට පහසුකම් සපයන ස්ථානයක් බවට පත්කළ යුතු බවයි.

2015 වසරට පෙර මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම සඳහා එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැලසුමක් ඉදිරිපත් කර තිබූ බවත්, යහපාලන ආණ්ඩු සමයේ එම සැලසුම් ක්‍රියාත්මක නොවූ බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා ෴

***************************************

අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයෙන් අනතුරු ඇගවීමක්

(27.01.2022 – 08:13 +0530 – hirunews.lk/sinhala)

සති දෙකක් (2) ඇතුළත වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබා නො දුන හොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය පවසනවා.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් සමඟ කඩිනමින් සාකච්ඡාවක් අවශ්‍ය බවයි එහි සභාපති නීල් එස්. අතුකෝරල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *