ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

*********************************************

ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

(26.01.2022 – 17:27 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගිකයන් විසින් භාවිත කර එහෙත් ගෑස් අවසන් නොවූ දෝෂ සහිත බවට සැක කෙරෙන ගෑස් සිලින්ඩර යළි භාරදීමට කැමති පාරිභෝගිකයන්ට ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගෑස් සමාගම් වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව ලිට්‍රෝ ලංකා ලිමිටඩ් සහ ලාෆ් ගෑස් පී එල් සී ආයතන වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි එම අධිකාරිය නිවේදනය කළේ.

එලෙස භාරගනු ලබන ගෑස් සිලින්ඩරවල ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වත්මන් වෙළඳපොල මිල අනුව ගණනය කර එම වටිනාකම නව ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමේදී අඩු කළ යුතු බවට අදාළ සමාගම් වෙත උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව ගෑස් බෙදාහරින්නන් හෝ නියෝජිතයන් විසින් ගෑස් සිලින්ඩර යළි භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබඳ පාරිභෝගික අධිකාරියට දැනුම්දීමට මහජනතාවට හැකියාව පවතිනවා.

ඒ සඳහා 1977 ක්ෂණික ඇමතුම් අංකය හෝ අදාළ දිස්ත්‍රික්වල සම්බන්ධීකරණ නිලධාරීන්ගේ දුරකථන අංකවලට අමතා තොරතුරු ලබාදිය හැකියි.

***************************************

සිමෙන්ති ගැන තීරණයක් ගනී

(26.01.2022 – 16:13 +0530 – hirunews.lk/sinhala)

ලකුණු කළ මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන ව්‍යාපාරිකයන් සොයා දිවයින පුරා වැටලීම් සිදු කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

මේවන විට වෙළඳපල වැටලීම් හා විමර්ශන ආරම්භ කර ඇති බවයි එම අධිකාරිය නිවේදනය කළේ.

ඒ අනුව පසුගිය දින කිහිපය තුල කොළඹ, කලුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මොණරාගල, අනුරාධපුර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වල සිමෙන්ති වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරික ආයතන 56 ක වැටලීම් සිදුකර තිබෙනවා.

ඊට අමතරව සිමෙන්ති අලෙවි කිරීම ප්‍රතික්ෂේප කිරීම, තම සන්තකයෙහි තබාගෙන නොමැති බවට ප්‍රකාශ කිරීම, කොන්දේසි සහිතව අලෙවිය හා තොග සඟවා තබා ගැනීම නොකළ යුතු බවට ද පාරිභෝගික අධිකාරී පනතෙහි සටහන්ව තිබෙනවා.

තම සන්තකයෙහි නොමැති බව ප්‍රකාශ කිරීම සහ තොග සඟවා තබා ගැනීම යන වැරදි කරනු ලබන වෙළඳුන් සතු සිමෙන්ති තොග තහනමට ගැනීමටත් එම තොග අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත රාජසන්තක කිරීමටත් පාරිභෝගික අධිකාරියට බලතල පවතිනවා.

ඒ අනුව නීතිය උල්ලංඝනය කරනු ලබන අලෙවිකරුවන්ට එරෙහිව 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත ප්‍රකාරව කටයුතු කරන බවයි දැනුම්දෙන්නේ.

මේ අතර වැටලීම් සිදුකළ ද, ඇතැම් ව්‍යාපාරිකයින් අධික මිල ගණන් යටතේ තවදුරටත් සිමෙන්ති අලෙවි කරන බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

බෙහෝ ප්‍රදේශවල මේ වන විට සිමෙන්ති කොට්ටයක් රුපියල් 1600 ත්, 1800 ත් අතර මිලකට අලෙවි වන බවටයි වාර්තා වන්නේ.

පාරිභෝගිකයින් ගෙන් ලැබෙන පැමිණිලි හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දින කිහිපය තුළ දිවයින පුරා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කළා.

මේ අතර, වැඩිමිලට සිමෙන්ති අලෙවි කිරීම වැළැක්වීමට සහ සිමෙන්ති හිඟයට විසඳුම් සෙවීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින්, සිමෙන්ති ආනයනකරුවන්ගේ සහභාගිත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්වුණා.

මේ අතර, අර්ධ වශයෙන් භාවිත කරන ලද ගෑස් සිලින්ඩර ආපසු භාර ගැනීම ප්‍රතික්ෂේප කරන ගෑස් බෙදා හරින්නන් සහ නියෝජිතයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (26) දුරකථන අංක ප්‍රසිද්ධියට පත් කළා.

පාරිභෝගිකයින් විසින් භාවිත කරන ලද එහෙත් අවසන් නොවූ, දෝෂ සහිත බවට, සැක සහිත ගෑස් සිලින්ඩර ආපසු භාර ගන්නා ලෙසයි ගෑස් සමාගම් වෙත දැනුම් දුන්නේ.

ඒ අනුව, ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වත්මන් වෙළඳපොල මිලට අනුව ගණනය කර එහි වටිනාකම නව ගෑස් සිලින්ඩරය මිලදී ගැනිමේදී අඩු කළ යුතු බවට අදාළ සමාගම් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම්දී තිබෙනවා.

***************************************

හිතට එකඟව වැඩ කළ නොහැකි බව කියමින් ගොවිජන රක්ෂණ මණ්ඩල සභාපතිත් ගෙදර යයි

(26.01.2022 – 16:45 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙත යොමු කර තිබෙනවා.

ගොවිජන රක්ෂණ මණ්ඩල සභාපතිවරයා මෙලෙස සිය ඉල්ලා අස්වීමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත යොමු කර ඇත්තේ පසුගිය සදුදා (24) යි.

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ඇතැම් පත්කිරීම් සම්බන්ධයෙන් ගොවිජන රක්ෂණ මණ්ඩල සභාපතිවරයා මීට පෙර අවස්ථා කිහිපයකදී ත් ඔහුගේ දැඩි අප්‍රසාදය පළ කර තිබුණා.

පවතින තත්ත්වය යටතේ තව දුරටත් කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය තුල තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට නොහැකි බැවින් මෙලෙස සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මේ අතර අද (26) පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු ද සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබෙනවා.

එම ලිපිය හරහා ඔහු ජනාධිපතිවරයා දැනුවත් කර තිබුණේ පෙබරවාරි පළමුවැනිදා (01) සිට තමන් විදුලි බල මණ්ඩල සභාපති ධූරයෙන් ඉවත් වන බවයි ෴

***************************************

හෙරොයින් ඔත්තුවකට දෙන තෑගි මුදල් ඉහළ නැංවීමට යෝජනා – දකුණු මුහුදේදී ඇල්ලූ 17 දෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරේ

(26.01.2022 – 17:00 +0530 – hirunews.lk/sinhala)

දකුණු මුහුදු තීරයේදී රුපියල් මිලියන 3300 කට අධික හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 17 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර දුන්නා.

ඒ එම සැකකරුවන් අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මෙම මත්කුඩු තොගය දැනට ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ගේ ගෝලයෙකු වන ‘රන් මල්ලී’ නමැත්තාගේ බවට අනාවරණ වී තිබෙනවා.

මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (25) දික්වැල්ල ප්‍රදේශයේදී ඩුබායි රාජ්‍ය වෙත පළා ගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පැවැත්වූ 25 හැවිරිදි තරුණයෙකු හෙරොයින් ග්‍රෑම් 122 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු එම ප්‍රදේශයේම භාවිතයට නොගන්නා හෝටලයක ආරක්ෂාවට සිටි පුද්ගලයෙකු බවයි පොලීසිය කියා සිටියේ.

එමෙන්ම, අවුරුදු එකහමාරක් (1½) සහ දෙකක් (2) වයසැති තම දරුවන් සමග ත්‍රිරෝද රථයකින් හෙරොයින් බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකු (2) ඇතුළු 4 දෙනෙකු කුරණ 20 කණුව අසලදී මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවන් දෙදෙනා (2) කිසිවෙකුට සැක නොසිතන පරිදි ගමන් කිරීම සඳහා කුඩා දරුවන් දෙදෙනා (2) රැගෙන ගොස් තිබූ බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර, හෙරොයින් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට පිරිනමන ත්‍යාග මුදල් වල වටිනාකම ඉහළ නැංවිය යුතු බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පොලිස්පතිවරයාට යෝජනා කර තිබෙනවා. ඒ හෙරොයින් ජාවාරම්කරුවන් සම්බන්ධ වැටලීම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්.

ඒ අනුව, මේ වනවිට ග්‍රෑම් 10 ත් 25 ත් අතර හෙරොයින් වැටලීම් සඳහා ලබා දුන් රුපියල් 5000 ක මුදල් ත්‍යාගය රුපියල් 10,000 දක්වාත්, ග්‍රෑම් 25 ත් 50 ත් අතර හෙරොයින් වැටලීම් සඳහා ලබාදුන් මුදල රුපියල් 10,000 සිට රුපියල් 20,000 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.

ග්‍රෑම් 50 සිට 100 දක්වා වන හෙරොයින් වැටලීම් සඳහා ලබාදුන් මුදල ඉහළ නංවා ඇත්තේ රුපියල් 20,000 සිට 30,000 දක්වායි.

එසේම, හෙරොයින් කිලෝග්‍රෑම් 1 ක වැටලීමක් සඳහා තොරතුරක් ලබාදුනහොත් මෙතෙක් ලබාදුන් රුපියල් 75,000 මුදල් ත්‍යාගය දෙගුණ (2) කිරීමට යෝජනා කර තිබෙනවා ෴

***************************************

දකුණු කොරියාවේ රැකියා ලැබීම ක්‍රමයෙන් ඉහළට

(26.01.2022 – 17:11 +0530 – hirunews.lk/sinhala)

දකුණු කොරියාවේ රැකියා සඳහා ගිවිසුම් ලැබීම මේ වනවිට ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.

80 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (25) රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර, ඒ අනුව මෙම මාසය තුල පමණක් පුද්ගලයින් 169 දෙනෙකු එරට රැකියා සඳහා ගොස් තිබෙනවා.

මේ අතර රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් – සියෝග් (Park Byeong-Seug) මහතා පසුගියදා ප්‍රකාශ කළා.

පාර්ක් බ්යෝන්ග් – සියෝග් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර පසුගිය (20) වනදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දීයි මේ බව සඳහන් කෙරුණේ.

පාර්ක් බ්යෝන්ග් -සියෝග් (Park Byeong-Seug) කොරියානු ජනරජයේ 21 වන ජාතික සභාවේ කතානායකවරයා යි.

ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව තුළ පුළුල් අවකාශයක් පවතින අතර එම අවස්ථාව උදාකරගැනීමට කොරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් දිරිගන්වන ලෙසටයි ජනාධිපතිවරයා පාර්ක් බ්යෝන්ග් -සියෝග්ගෙන් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් 22,000 කට ආසන්න සංඛ්‍යාවක් දකුණු කොරියාවේ රැකියාවල නිරත වන අතර ඔවුන් ඉතා සතුටින් ඉහළ ශ්‍රම දායකත්වයක් ලබා දෙනවා.

එම ශ්‍රම වෙළෙඳපොළෙහි වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ට ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බවයි සියෝග් මහතා ජනාධිපතිවරයා සමග ප්‍රකාශ කර ඇත්තේ.

මෙරට වෘත්තීය පුහුණු අවස්ථා දියුණු කරගැනීමට කොරියානු රජයේ ආධාර ලබාදීමට ද දකුණු කොරියානු කථානායකවරයා එකඟතාව පළ කර තිබෙනවා.

එමෙන්ම මෙරට අවශ්‍යතාව අනුව එය ඉටුකර දීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වන බවයි කථානායකවරයා සඳහන් කර ඇත්තේ.

ජාතික සභාවේ මන්ත්‍රී ජුන්ග් පිල්මෝ (JUNG Pilmo), ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (JEONG Woonjin), විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මෙම අවස්ථාවට එක්ව සිටියා ෴

***************************************

දේවස්ථානයේ බෝම්බයට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගෙන් රහස් ප්‍රකාශයක්

(26.01.2022 – 18:37 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල දේවස්ථානයක තිබී අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැය 2 ක රහස් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

මේ අතර පාස්කු ප්‍රහාරයේ දින 1000 සිහි කිරීම අඩාල කිරීමේ අරමුණින් බොරැල්ල දේවස්ථානයේ බෝම්බය තබන්නට ඇතැයි සැක මතුවන බවට ඊයේ (25) අධිකරණයේදී අනාවරණ වුණා.

ඒ, රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින දේවස්ථානයේ සේවකයෙකු ඇතුළු තිදෙනෙකු (3) වෙනුවෙන් පෙනී සිටි ජනාධිති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා කරුණු දැක් වූ අවස්ථාවේදී.

මේ අතර ඊයේ (25) එම නඩුව කැඳ වූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසයි ෴

***************************************

ශ්‍රී ලංකාවේ වන අලි වෙනුවෙන් ජනප්‍රිය හොලිවුඩ් නලුවෙක් තැබූ සටහන

(26.01.2022 – 19:40 +0530 – hirunews.lk/sinhala)

කසල ආහාරයට ගැනීමෙන් මියයන ශ්‍රී ලංකාවේ වන අලි පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍යවල පළවූ පුවතක් ට්විටර් (? FB) සටහනක් ලෙසට පළ කිරීමට ජනප්‍රිය හොලිවුඩ් නලු ලියනාඩෝ ඩිකැප්‍රියෝ කටයුතු කර තිබෙනවා.

එම මාධ්‍ය වාර්තාව මගින් පෙන්වා දෙන්නේ අම්පාර ප්‍රදේශයේ කසල කන්දක් හේතුවෙන් වන අලි විශාල පිරිසක් මියගොස් ඇති බවටයි.

ගතවූ වසර 8 ක පමණ කාලය තුල පල්ලක්කාඩු කසල කන්දේ ඇති ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් වන අලින් 20 ක පමණ ප්‍රමාණයක් මියගොස් ඇතැයි තොරතුරු වාර්තා වන බවටයි එමගින් සඳහන් කර ඇත්තේ.

අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලකාඩු කසල කන්දේ කසල ආහාරයට ගැනීමෙන් පසුගිය සති අන්තයේ තවත් වන අලින් දෙදෙනකු (2) මියගොස් සිටියදී හමුවී ඇති බවටයි අදාළ විදෙස් මාධ්‍ය වාර්තාව පෙන්වා දෙන්නේ.

විවෘත කසළ රඳවනයක ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් එම කලාපයේ අලි ඇතුන් මිය යන බවට වන අලි සංරක්ෂණවේදීන් සහ පශු වෛද්‍යවරු අනතුරු අඟවන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.

මියගිය සතුන් පරීක්ෂා කිරීමේදී ඔවුන් කුණු කන්දේ ඇති දිරාපත් නොවන ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් ගිල දමා ඇති බව වනජීවී පශු වෛද්‍යවරයෙකු වන නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කර තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ පොලිතීන්, ආහාර දවටන, ප්ලාස්ටික්, නොදිරන වෙනත් ද්‍රව්‍ය සහ ජලය පමණක් මෙම අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී දැකගත හැකි වූ බවයි.

අලි ඇතුන් සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා ආහාර පැහැදිලිව පෙනෙන්නට නොතිබු බව ද සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අලි ඇතුන් ශ්‍රී ලංකාවේ ගෞරවයට පාත්‍ර වුව ද මේ වනවිට වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවයි.

රටේ පළමු අලි සංගණනයට අනුව 19 වන සියවසේ වන අලි 14,000 ක් පමණ සිට ඇති අතර එය 2011 වසර වන විට 6,000 දක්වා අඩු වී තිබෙනවා.

වන අලින්ගේ ස්වභාවික වාසස්ථාන අහිමි වීම සහ වන විනාශය හමුවේ එම සත්වයන්ගේ ජිවිත වැඩි අවදානමට ලක්ව තිබෙනවා.

බොහෝ වන අලි ආහාර සොයා මිනිස් ජනාවාසවලට පැමිණෙන අතර ඇතැමුන් දඩයම්කරුවන් හෝ ගොවීන් විසින් ඔවුන්ගේ වගාවන්ට හානි කිරීම නිසා මරා දමනු ලබනවා.

මේ හේතුව මත කුසගින්නෙන් පෙළෙන අලි කුණු කන්දේ ඇති අපද්‍රව්‍ය සොයමින් තම ආහාර ජීර්ණ පද්ධතියට හානි කරන ප්ලාස්ටික් මෙන්ම තියුණු වස්තූන් ද පරිභෝජනය කරන බවයි වනජීවී පශු වෛද්‍යව පුෂ්පකුමාර මහතා කියාසිටියේ.

ඉන්පසු අලි ඇතුන් ආහාර ගැනීම නතර කරන අතර ඔවුන්ගේ සිරුරු ඔවුන්ට ඍජුව තබා ගැනීමට නොහැකි තරමට දුර්වල වනවා.

අනතුරුව ඔවුන්ට ආහාර හෝ ජලය පරිභෝජනය කළ නොහැකි වන බැවින් එය ඔවුන්ගේ අවසානය ලඟා කරනවා.

අලි ඇතුන් ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය පරිභෝජනය කිරීම වැළැක්වීම සඳහා වනජීවී කලාප අසල කසළවල ඇති කසළ ප්‍රතිචක්‍රීකරණය කරන බව 2017 දී රජය නිවේදනය කළා.

සතුන්ට එම ස්ථානවලට ළඟාවීමට නොහැකි වන ආකාරයෙන් එම ස්ථාන වටා විදුලි වැටවල් ඉදිකරන බවද ප්‍රකාශ කර තිබුණා.

කෙසේවෙතත් මෙතෙක් ඉන් එක් යෝජනාවක් හෝ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වී නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

දිවයින පුරා වනජීවී කලාපවල අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 54 ක් පමණ පවතින අතර, ඒ අවට අලි ඇතුන් 300 ක් පමණ ගැවසෙන බව නිලධාරීන් ප්‍රකාශ කරනවා.

පල්ලක්කාඩු ගම්මානයේ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය 2008 දී යුරෝපා සංගමයේ ආධාර ඇතිව පිහිටුවන ලද අතර අවට ගම් නවයකින් (9) එකතු වන කසළ එම ස්ථානයට දැමුව ද ප්‍රතිචක්‍රීකරණය කිරීමක් සිදු නොවන බව සඳහන්.

2014 වසරේදී මෙම ස්ථානය ආරක්ෂා කරන විදුලි වැටට අකුණු සැර වැදී ඇති අතර බලධාරීන් එය අලුත්වැඩියා නොකළ අතර අලි ඇතුන්ට කුණු කන්දට ඇතුළු වීමට එමගින් ඉඩ සැලසෙන බවයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

වන අලි අපද්‍රව්‍ය වළ අසලට පැමිණ නිරන්තරයෙන් ගැවසීම හේතුවෙන් අවට ගම්වාසීන් තුළ ද භීතියක් ඇති වී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

ගම් වදින වන අලි පලවා හැරීමට ජනතාව රතිඤ්ඤා හෝ අලි වෙඩි පත්තු කරන අතර ඇතැමුන් නිවෙස් වටා විදුලි වැට ද ඉදිකර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ වන අලි උවදුරක් බවට ප්‍රකාශ කළ ද වන අලිත් සම්පතක් බවයි.

තම කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට ඉඩ සලසන මිනිස් ජීවිත මෙන්ම අලි ඇතුන් ද ආරක්ෂා කර ගැනීමට ක්‍රමයක් බලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු සහ නිශ්පාදකවරයෙකු වන ලියනාඩෝ ඩිකැප්‍රියෝ තම ට්විටර් (? FB) ගිණුමටද ශ්‍රී ලංකාවේ වන අලි පිළිබඳ සටහනක් තබා තිබුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *