නොරොච්චෝලේ යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින 4 ක්

නොරොච්චෝලේ යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින 4 ක්

*********************************************

නොරොච්චෝලේ යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින 4 ක්

(26.01.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala)

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900 ක ධාරිතාවක් එක් කරන නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රියව පවතින මෙගාවොට් 300 ක ජනන යන්ත්‍රය එළඹෙන 29 වනදා හෝ 30 වනදා යළි පද්ධතියට එක්කළ හැකි බව විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි කියා සිටියේ, එහි අලුත්වැඩියා කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවයි.

මේ දිනවල දෛනික විදුලි අවශ්‍යතාවය උපරිමයට පත්වන අවස්ථාවේදී සියයට 30 ක් පමණ ජල විදුලියෙන් සපයා ගන්නා අතර, නොරොච්චෝලේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය පද්ධතියට එක් කිරීමෙන් අනතුරුව ජල විදුලි උත්පාදනය සීමා කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ වනවිට විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශ ආශ්‍රිත ජල මට්ටම සියයට 60 ක සීමාවේ පවතිනවා.

සපුගස්කන්ද – ඒ බලාගාරය දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට ක්‍රියාත්මක නොවන අතර, ඊට දැවිතෙල් ලබාගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව සමඟ ඊයේ (25) සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත් එය සාර්ථක වී නොමැති බවයි වාර්තාවන්නේ.

මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යලි ආරම්භ කිරීම ලබන 30 වන දා දක්වා කල් යාහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ, බොරතෙල් ලැබීම ප්‍රමාද වීම ඊට හේතුව බව යි ෴

+++++++++++++++

පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

(26.01.2022 – 08:14 +0530 – hirunews.lk/sinhala)

කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.

ඒ සඳහා අවසර ලබාදෙන්නේ නම් අඛණ්ඩ විදුලි සැපයුම පිළිබද තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනී හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

අදාළ පෞද්ගලික විදුලි බලාගාරයෙන් මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොටි 160 ක ප්‍රමාණයක් එක්වනවා.

එබැවින් අද (26) දහවල් විදුලිය කප්පාදු කරන්නේ ද නැද්ද යන්න පිළිබදව තීන්දුවක් ගන්නා බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ ෴

+++++++++++++++

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

(26.01.2022 – 11:39 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ එම තනතුරෙන් ඉල්ලා අස් වන බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මෙම ලිපිය හරහා විදුලි බල මණ්ඩල සභාපති වරයා දැනුම් දෙන්නේ පෙබරවාරි මස පළමුවන දා (01) සිට තමන් මෙම තනතුරෙන් ඉවත් වන බවයි.

අවස්ථා ගණනාවකදී විදුලිබල මණ්ඩල සභාපතිවරයා ලෙස කටයුතු කළ එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ අමරිකානු සමාගමක් සමඟ යුගදනවි විදුලිබලාගාරයේ රජය සතු කොටස් පවරාදීමට ගිවිසුම් අත්සන් කිරීමත් සමග දැඩි කතාබහකට ලක් වුණා.

මේ හේතුව නිසා ඔහුගේ ක්‍රියා කලාපය විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන්ගේ සහ අනෙකුත් කාර්යමණ්ඩලයේ දැඩි විරෝධයට ලක් වුණා.

+++++++++++++++

නියඟයක් පැමිණියහොත් විදුලියට, ජලය දීම ගැටලුවක් – වාරිමාර්ග ඇමති කියයි

(26.01.2022 – 20:56 +0530 – hirunews.lk/sinhala)

නියඟයක් පැමිණියහොත් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ජලය මුදා හැරීමේ හැකියාවක් නොමැති බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

මේ අතර, යළි විදුලි කප්පාදුවක් සිදුකරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම හෙට (27) රැස්වී සාකච්ඡා කිරීමට නියමිතයි.

එසේම, ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්කෙරුණු රොහාන්ත අබේසේකර අද එම ධූරයේ වැඩ භාර ගත් අතර, එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු එම ධුරයෙන් අද ඉල්ලා අස්වුණා.

මේ අතර, විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900 ක ධාරිතාවක් එක් කරන නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රියව පවතින මෙගාවොට් 300 ක ජනන යන්ත්‍රය ලබන 29 හෝ 30 යන දිනයන් තුළ යළි පද්ධතියට එක්කළ හැකි බවයි.

අද (26) දිනයේ එහි පරීක්ෂණ ධාවනයක් සිදුකිරීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා.

මේ අතර, සපුගස්කන්ද විදුලි බලාගාර සංකීර්ණයේ ඒ බලාගාරය දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් තවදුරටත් අක්‍රීය වී ඇති අතර ඊට දැවිතෙල් ලබාගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව සමඟ විදුලිබල මණ්ඩලය යළි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත්, එහි ඊ-බලාගාරයට අවශ්‍ය ඉන්ධන ලබාදීම ඊයේ (25) සිට ආරම්භ කෙරුණු අතර එම බලාගාරය පමණක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇත්තේ ඊයේ (25) පස්වරුවේ සිටයි.

මීට අමතරව කොළඔ වරායේ පාවෙන විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධනද යළි ලබාදීමත් සමඟ එහි විදුලි ජනන කටයුතුද මේ වනවිට සිදුවනවා.

කෙසේ වෙතත් නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්‍රීය කර තිබෙනවා.

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වන විදුලිය ප්‍රමාණය මෙගාවොට් 162 ක්.

අප කළ විමසීමකදී විදුලි බල මණ්ඩලය සඳහන් කළේ මෙම බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට සතියක පමණ කාලයක් ගත වනු ඇති බවයි.

පවතින විදුලි අර්බුදය හමුවේ මෙම බලාගාරය අක්‍රීය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා. එම කොමිසමේ සභාපති ජනක රත්නායක ඇතුළු නිලධාරින් කණ්ඩායමක් අද (26) එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා.

කෙසේ වෙතත්, මහනුවරදී අද (26) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ කියා සිටියේ නියං තත්ත්වයක් පැමිණියහොත් ජල විදුලිය නිෂ්පාදනය සඳහා ජලය මුදාහැරීම සිදුකළ නොහැකි බවයි.

***************************************

ලොරි රථයක් මාර්ගයේ ඉවතට පැනීමෙන් රියදුරා ජිවිතක්ෂයට

(26.01.2022 – 07:23 +0530 – hirunews.lk/sinhala)

තේ දළු ප්‍රවාහනය කරන ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා ලොරි රථයට යට වි රෝහල් ගත කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පවසනවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කොටගල ප්‍රදේශයේ පදිංචි කරුපයියා කාතිගයන් (36) නැමති එක්දරු පියෙක්.

දිඹුල පතන පොලිස් වසමට අයත් මවුන්ට්වර්නන් වත්තේ තේ දළු ප්‍රවාහනය සදහා ලොරි රථය පණ ගන්වා තිබියදි රියදුරු ලොරි රථයෙන් බැස පසකට වි සිටියදි එකවරම ලොරි රථය ඉදිරියට ධාවනය වන අවස්තාවේ ලොරි රථය නතර කිරිමට ලොරි රථයේ රියදුරා ලොරි රථයට නැගිමට උත්සහ කරන අවස්තාවේ එම ලොරි රථයට යට වි රියදුරා බරපතල ලෙස තුවාල ලබා සිටියදි වතු කම්කරුවන් එක් ව රියදුරු රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

***************************************

පානදුර වෙන්දේසිවත්තේ නිවෙස්වලට ගල් ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

(26.01.2022 – 08:16 +0530 – hirunews.lk/sinhala)

පානදුර – නල්ලුරුව – දිබ්බැද්ද – වෙන්දේසිවත්ත ප්‍රදේශයේ නිවෙස්වලට රාත්‍රී කාලයේ ගල් ගසා නිවැසියන් භීතියට පත් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

වෙන්දේසිවත්ත ප්‍රදේශයේ නිවෙස්වලට රාත්‍රී කාලයේදී ගල් ගසන බවට නිවැසියන් නගන චෝදනාව පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය මීට පෙර අනාවරණ කළා. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබුණේ ප්‍රදේශවාසීන් සිදුකරන ලද පැමිණිලිවලට අනුවයි.

මාස එක හමාරකට (1½) අධික කාලයක සිට රාත්‍රී කාලයේදී සිය නිවාසවලට ගල් සහ බෝතල් ප්‍රහාර එල්ල වීම නිසා නිවෙස්වල වහලවලට හානි සිදුව ඇති බව ද ප්‍රදේශවාසීන් එහිදී චෝදනා කළා.

කෙසේ වෙතත් පොලීසිය මේ සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු පානදුර දිබ්බැද්ද ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි තරුණයෙක් ෴

***************************************

හම්බන්තොට ලුණු ලේවායට නව සභාපතිවරයෙක්

(26.01.2022 – 08:18 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට ලුණු සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අයවැය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කළ ජී.එම්.ජේ.කේ. ගුණවර්ධන පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් හම්බන්තොට ලුණු සංස්ථාවේ මෙතෙක් සභාපති ධූරයේ කටයුතු කල නිශාන්ත සඳබරණ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, තමාව සභාපති ධුරයෙන් ඉවත් කළ බවට මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නො මැති බව යි ෴

***************************************

ලිට්රෝ ගැන තවත් හෙළිදරව්වක්

(26.01.2022 – 08:34 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සමයේ රජයේ විගණනයෙන් ඉවත්වීම සඳහා ලිට්රෝ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ නඩුව සඳහා එම සමාගමේ රුපියල් ලක්ෂ 200 ක මුදලක් වැය කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 63 වන වාර්ෂික මහා සම්මේලනයට කොළඹදී ඊයේ (25) එක්වෙමින් ෴

***************************************

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් සිවු දෙනෙකු (4) ජිවිතක්ෂයට

(26.01.2022 – 08:42 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සිව්දෙනෙකු (4) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තලංගම පොලිස් වසමේ කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ මධ්‍යම පරිසර අධිකාරීය අසලදී සිදුවූ රිය අනතුරනික් 27 හැවිරිදි පොලිස් නිලධාරීයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (25) රාත්‍රී කාලෙයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.

කොස්වත්ත දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, කරඳගොල්ල ප්‍රදේශයේ පදිංචි බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුත්ත පොලිස් කොස්තාපල්වරයෙක්.

මේ අතර මීගොඩ පොලිස් වසමේ නාවලමුල්ල – ලෙනගල අතුරු මාර්ගයේ නාවලමුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 48 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලෙනගල දෙසට ධාවනට වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර දිඹුලපතන පොලිස් වසමේ මවුන්ට්වර්නත් පතන අතුරු මාර්ගයේ මවුන්ට්වර්නත් උඩ කොටස ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 37 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර වැලිගෙපොළ පොලිස් වසමේ කපුගල රජවක මාර්ගයේ කපුගල ප්‍රදේශයේදී රජවක දෙස සිට කපුගල දෙසට ධාවනය වූ ටිපර් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක ගැටී එම රිය අනතුර සිදුව ඇත.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, 50 හැවිරිදි මකුණමලේ, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හෙරොයින් වැටලීම් – කාන්තාවන් දෙදෙනෙකු (2) ද අත් අඩංගුවට

(26.01.2022 – 08:56 +0530 – hirunews.lk/sinhala)

දික්වැල්ල නගරයේ දී තංගල්ල විශේෂ කාර්‍ය බලකා නිලධාරින් විසින් සිදු කළ වැටලීමකින් හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගන්නා විට සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 122 ක් හා ඩිජිටල් තරාදියක් ද තිබූ බව වාර්තා වෙනවා.

සැකකරු වයස අවුරුදු 24 ක දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද (26) මාතර මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර පරීක්ෂණ දික්වැල්ල පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති.

මේ අතර, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස් පාර ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 23 යි මිලි ග්‍රෑම් 200 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 800 ක් සමඟ කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක කාන්තාවක්.

අද (26) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඇය ව ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ, කොළඹ අපරාධ කොට්ඨාසය යි.

කොම්පඤ්ඤවීදියෙන් ද හෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇති අතර, කොම්පඤ්ඤවීදිය පොලිස් නිලධාරින් විසින් වැටලීම සිදු කරන විට ඇය සතු ව හෙරොයින් ග්‍රෑම් 08 යි මිලි ග්‍රෑම් 700 ක් තිබුණු බව වාර්තා වෙනවා.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 66 ක කොම්පඤ්ඤවීදියේ පදිංචි කාන්තාවක්.

සැකකාරිය අද (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කොම්පඥ්ඥවීදිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *