එන්නත් තුනම (3) නැත්නම් සංගීත සංදර්ශනවලට සහභාගී වෙන්න බැහැ

එන්නත් තුනම (3) නැත්නම් සංගීත සංදර්ශනවලට සහභාගී වෙන්න බැහැ

*********************************************

එන්නත් තුනම (3) නැත්නම් සංගීත සංදර්ශනවලට සහභාගී වෙන්න බැහැ

(25.01.2022 – 08:38 +0530 – hirunews.lk/sinhala)

මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (24) 877 ක් ලෙස සටහන් වූ අතර කොරෝනා මරණ 14 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 16 ත්, 19 ත් අතර පිරිසට කොරෝනා මර්දන දෙවන එන්නත ලබාදීම ඊයේ සිට ආරම්භ කෙරුණා.

එන්නත්කරණ විශේෂඥ කමිටුවේ අනුමැතියට යටත්ව පළමු මාත්‍රාව ලබාගෙන මාස 3 ඉක්ම වූ වයස අවුරුදු 16 ත්, 19 ත් අතර සියලු දෙනාට ඒ අනුව දෙවන (2) මාත්‍රාව ලබාගත හැකියි.

එසේම අවශ්‍ය තරම් රට තුළ කොරෝනා මර්දන එන්නත් පවතින බව ද කොළඹ දී ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

මේ අතර, පූර්ණ එන්නත්කරණයට එනම් මාත්‍රා 3 ම ලබා නොගත් අයට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශන සදහා සහභාගි වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශනවලට සහභාගිවීමේ හැකියාවක් නොමැති බවයි කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ ෴

+++++++++++++

සෞඛ්‍ය නීති කඩන බස් රථ සොයා විශේෂ මෙහෙයුමක්

(25.01.2022 – 09:55 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථ සොයා විශේෂ මෙහෙයුමක් අද (25) දින කොළඹ අවට ප්‍රදේශය කිහිපයක සිදු කෙරෙනවා.

ආසන ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යන්නේ දැයි පරීක්ෂා කිරීම මෙහි අරමුණයි.

අද (25) පෙරවරු 06:30 ට ආරම්භ වූ පරීක්ෂාව පෙරවරු 09:30 දක්වා පැවැත්වෙනු ඇති.

පොලිසියේ නාගරික රථවාහන කොට්ඨාසය මගින් සිදු කරන මෙහෙයුම වැල්ලවත්ත මයුරා කෝවිල අසල, නව කැලණි පාලම අසල, දෙහිවල රාමක්‍රිෂ්ණා හංදිය අසල, දේවි බාලිකා විදුහල අසල සහ රාජගිරිය ආයුර්වේද විදුහල අසල සිදු කෙරෙනු ඇති.

මේ අතර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පසුගියදා ප්‍රකාශ කළේ, ආසන ධාරිතාව ඉක්මවා මගීන් රැගෙන යන බස් රථ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවයි.

එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත නොවෙමින් ආසන ප්‍රමාණයට වඩා මගීන් ප්‍රවාහනය කරන්නේ නම් නව ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව කිසියම් මගියෙකු බස් රථයේ හිටගෙන ගමන් කරන්නේ නම් ඔවුන්ට එක් ගාස්තුවක් සහ ආසනයක වාඩිවී ගමන් කරන්නේ නම් තවත් ගාස්තුවක් හඳුන්වා දෙනු ඇති ෴

+++++++++++++

රාජ්‍ය ඇමති ජයන්ත සමරවීරට, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට කොවිඩ්

(25.01.2022 – 11:33 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ඇමති ජයන්ත සමරවීරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින්, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ ඔහු කටයුතු කරනවා. කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමිනුයි, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වූණේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමිනුයි, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ.

+++++++++++++

කොවිඩ් ආසාදනයෙන් පසුව දරුවන්ට වැළඳෙන බහු සංකූලතා ගැන හෙළිදරව්වක්

(25.01.2022 – 12:17 +0530 – hirunews.lk/sinhala)

දිනෙන් දින ඉහළ යන කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ඩෙංගු අවදානම පිළිබඳ ව ජනතාවට අමතක ව ගොස් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාදිතව ළමුන් 42 දෙදෙනකු ප්‍රතිකාර ලැබූ බවත්, කිසිදු බරපතළ හෝ අපහසු තත්ත්වයේ රෝග ලක්ෂණ නැත්නම් අවශ්‍ය නිරෝධායන කාලසීමාවෙන් පසුව එම දරුවන් නිවෙස්ගත නිරෝධායනයට යොමු කළ බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

නමුත් දරුවාට වෛරසය ආසාදිතව ඇත්නම් කිසිදු ගැටලුවකින් තොරව දරුවාව රෝහල්ගත කිරීමේ හැකියාව ඕනෑම අවස්ථාවක දී ඇති අතර, එහෙත් අධික උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, කෑම අරුචිය වැනි රෝග ලක්ෂණ දිගු කලක් පවතී නම් පමණක් සිය දරුවාව රෝහලට යොමු කිරීමට කටයුතු කරන ලෙසයි වෛද්‍ය දීපාල් පෙරේරා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මෙවැනි ලක්ෂණ නැත්නම් වෛරසය ආසාදනය වුව ද, වෛද්‍ය උපදෙස් මත සිය දරුවාව නිවෙස්ගත නිරෝධායනයට යොමු කරන්නේ නම් වඩාත් සුදුසු යැයි ද හෙතෙම ප්‍රකාශ කළා.

එමෙන්ම, වෛද්‍යවරයා කියා සිටියේ, කොරෝනා වෛරසය ද මාරාන්තික වුව ද, ඩෙංගු ඊට වඩා මාරාන්තික බවයි.

ඔහු එලෙස සඳහන් කිරීමට හේතුව ලෙස පෙන්වා දෙන්නේ, කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන් හමු වුණ ද කිසිදු දරුවෙකුට කොවිඩ් වෛරසය ඩෙංගු රෝගය මෙන් මාරාන්තික තත්ත්වයක් ඇති නොකළ බවයි.

එබැවින් කොරෝනා මෙන්ම ඩෙංගු පිළිබඳ ව මනා අවධානයකින් යුතුව කටයුතු කර, සිය දරුවන් ඉන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස ද වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලා සිටිනවා.

එමෙන්ම වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලා සිටින්නේ, මෙම රෝග තත්ත්වයන් දෙකෙහි (2) දි ම කෑම අරුචිය ඇති වන හෙයින් විශේෂයෙන්ම වයස අවුරුදු 02 කට අඩු දරුවෙකුගේ මෙවැනි රෝග ලක්ෂණ පවතී නම්, කිසිදු පමාවකින් තොරව දරුවා රෝහල්ගත කරන ලෙසයි.

මේ වනවිට කොරෝනා වෛරසයෙන් දරුවන් රැකගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය එන්නත්කරණය ද ක්‍රියාත්මක වන අතර, ඉදිරියේ දී වයස අවුරුදු 16 ට වැඩි දරුවන් හට කොවිඩ් එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීමට සහ අවුරුදු 12 ට අඩු දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමට ද යොමුව ඇති බව ද ඔහු සඳහන් කළා.

කොවිඩ් වෛරසය ආසාදිත වූ බොහෝ දරුවන්ට වෛරසය අසාදනය වී සති දෙකක් (2) සිට මාස දෙක (2) පමණ ගත වනවිට ‘බහු ඉන්ද්‍රීය ආසාදන රෝගකතාව’ ‍යන සංකූලතාව ඇතිවන බව පවසන වෛද්‍ය දීපාල් සඳහන් කළේ, මෙම තත්ත්වය අවම කර ගැනීමට මිත්‍යා මතවලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කර දරුවන්ට කොවිඩ් එන්නත්කරණය ලබාදීම කළ යුතු බවයි.

නැතහොත් වෛරසය ආසාදනය වූවායින් පසුව එය බරපතළ වුවහොත් පසුතැවීමෙන් තේරුමක් නැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

+++++++++++++

කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 50 කට ඔමික්‍රෝන්

(25.01.2022 – 14:32 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 50 ක් පමණ ඔමික්‍රොන් ආසාදිතයින් විය හැකි බව, නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට ද කොරෝනා ආසාදනය වී ඇති බව අද (25) තහවුරු වුණා.

ගෙවුනු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 877 ක් වාර්තා වූ අතර, එය පසුගිය දින කිහිපය හා සැසදීමේදී වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වනවා.

ඒ අනුව කඩිනමින් බූස්ටර් එන්නත ලබාගැනීම සිදුකරන ලෙසයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඉල්ලා සිටියේ.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුශ්මන්ත මිත්‍රපාල මෙන්ම නාලක බණ්ඩාර කෝට්ටේගොඩට ද කොරෝනා ආසාදනය වූ අතර, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර නිරෝධායනය සදහා මේ වන විට යොමුකර තිබෙනවා.

මේ අතර, පවතින කොරෝනා ව්‍යාප්තියත් සමග පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගී ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිතභාවය සම්බන්ධයෙන් ද මේ වන විට අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව, ආසන ගණනට වඩා මගීන් ගෙනයන මගී බස්රථ කාර්යමණ්ඩල සදහා හෙට සිට නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අදාල වැඩපිලිවෙල සම්බන්ධයෙන් බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුම්වත් කිරීම අද සිදුකෙරුණා.

+++++++++++++

ආසාදිතයින් 216 ක් පූර්ණ සුව අතට

(25.01.2022 – 15:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් 216 දෙනෙකු අද (25) දිනයේ දී පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ සමග මෙරට වෛරසය ආසාදිත ව සුවය ලද සමස්ත සංඛ්‍යාව 5,76,540 ක්.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන මුළු සංඛ්‍යාව 10,910 ක් වන අතර, ඊයේ (24) දින වන විට වාර්තා වූ සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 6,02,763 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

මෙරට සිදුව ඇති මරණ සංඛ්‍යාව ද 15,313 ක්.

කෙසේවෙතත් වෛරසය මර්දනය කිරීමට මෙන්ම ව්‍යාප්තිය අවම කිරීමට මේ වනවිට දිවයින පුරා කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක අතර, එය පූර්ණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුම සහ මැදිහත් වීම මත ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය අංශවල ද මැදිහත් වීමෙන් සිදු වනවා ෴

+++++++++++++

තවත් කොරෝනා මරණ 17 ක්

(25.01.2022 – 18:48 +0530 – hirunews.lk/sinhala)

අද (25) මෙරටින් කොරෝනා ආසාදිත මරණ 17 ක් වාර්තා වී තිබෙනවා. ඒ ඊයේ (24), මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිත මරණ වනවා. ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 15,330 ක් ෴

+++++++++++++

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 43 කට මේ දක්වා කොරෝනා

(25.01.2022 – 19:37 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 43 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට ද කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු වීමත් සමගයි. මේ අතර අද (25) දිනයේ අලුතින් මරණ 14 ක් වාර්තාවී තිබෙනවා.

පසුගිය සතියක කාලය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනෙකුට පමණ කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති අතර, ඊට වෛද්‍යවරුන් කිහිපදෙනෙකුද ඇතුළත්.

එමෙන්ම කලුතර තිස්ස මහා විද්‍යාලයේ සිසුන් 50 දෙනෙකු සඳහා කල කොරෝනා පරීක්ෂණයේදී සිසුන් 13 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකම කොරෝනා අසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් අද (25) පැවති මිනුවන්ගොඩ ප්‍රාදේශිය කොරෝනා මර්ධන කමිටු රැස්වීමේදී තීරණය කෙරුණේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය උත්සව වලට සහභාගී වීම සඳහා පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමටයි ෴

***************************************

‘ශිල්ප අභිමානී – 2021’ සම්මාන ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

(26.01.2022 – 07:08 +0530 – hirunews.lk/sinhala)

දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන ‘ශිල්ප අභිමානී – 2021’ ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රධානත්වයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.

සාම්ප්‍රදායික, සංස්කෘතික හා කලා වටිනාකමකින් යුත් විශිෂ්ට නිර්මාණ සංරක්ෂණය, සංවර්ධනය හා කලා ශිල්පීන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් ‘ජාතික ශිල්ප අභිමානී’ ජනාධිපති සම්මාන උළෙල වාර්ෂිකව පැවැත්වෙනවා.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ජාතික ශිල්ප සභාව විසින් සම්මාන උළෙල සංවිධාන කෙරුණා.

දිවයින පුරා විසිරී සිටින පාරම්පරික හා නූතන හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ පළාත් හා ජාතික මට්ටමින් මෙහිදී ඇගයීමට ලක් කරනු ලැබුවා.

විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් ප්‍රධාන අංශ 21 ක් යටතේ නිර්මාණ තෝරාගැනීම සිදු කෙරුණා.

නිර්මාණ 8,000 ක් අතරින් තෝරාගත් පළාත් මට්ටමින් තෝරාගත් ජයග්‍රාහකයන්ට රිදී සම්මාන පිරිනමනු ලැබුවා.

ජාතික මට්ටමින් සාම්ප්‍රදායික හා නූතන කලා අංශයන්ගෙන් සුවිශේෂි දක්ෂතා දක්වමින් ජයග්‍රහණය කළ කලාකරුවන් දෙදෙනෙකුට (2) ජනාධිපතිතුමා අතින් ‘ස්වර්ණ සම්මාන’ පිරිනැමුණා.

හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපකිරීම් කළ ශිල්පීන් සඳහා ජීවිත කාලයටම බල පැවැත්වෙන මාසික මූල්‍යාධාර ලබාදීම සංකේතවත් කරමින් ශිල්පීන් දෙදෙනෙකු (2) සඳහා ආධාර ප්‍රදානය, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අතින් සිදු කෙරුණා.

අවශ්‍ය මූලික යටිතල පහසුකම් සපයා දෙමින් සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගාසිටුවීමට කොවිඩ් වසංගතය හමුවේ වුව ද තම අමාත්‍යාංශය කටයුතු කළ බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සම්මාන උළෙල අමතමින් සඳහන් කළා ෴

***************************************

‘ටික්-ටොක් කිරි සමන්’ගේ ෆේස්බුක් පිටුවක් අක්‍රිය කෙරේ – ඇඩ්මින්වරයා ද අත් අඩංගුවට

(26.01.2022 – 08:13 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ලක්වූ ‘ටික්-ටොක්’ සමාජ මාධ්‍යයේ ‘කිරි සමන්’ ලෙස හඳුන්වන තරුණයා විසින් අපයෝජනයට ලක්කළ බව කියන 11 හැවිරිදි දැරිය ඇතුළු දැරියන් සිය ගණනකගේ ඡායාරූප පළ කර තිබූ ෆේස්බුක් පිටුවක් වහාම ක්‍රියාත්මක වන පරිදි අක්‍රීය කර තිබෙනවා.

ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත කළ දැනුම් දීමකට අනුව යි.

එමෙන්ම අදාළ ෆේස්බුක් පිටුව පවත්වාගෙන යන පුද්ගලයාව කැඳවා ප්‍රකාශ ලබා ගෙන ඇති අතර, ඡායාරූප ලබා ගැනීමට හා ඒවා සංස්කරණය කිරීමට යොදා ගත් කැමරා, පරිගණක ඇතුළු උපකරණ ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය භාරයට ගෙන තිබෙනවා.

ඔහු පිළිබඳ අද (26) අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කිරීමට නියමිත බව යි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ.

රාජගිරිය – කළපළුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු, ‘කිරි සමන්’ නමින් ‘ටික්-ටොක්’ මධ්‍යය ජාලයේ පෙනී සිටි අයෙකු වනවා.

එකොළොස් (11) හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙනු යි ඔහු ව අත් අඩංගුවට ගැනුණේ.

දැරිය ව අවස්ථා කිහිපයක දී ම නිවසින් රැගෙන ගොස් මත්ද්‍රව්‍ය බොන්නට දී ඇය ව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා ගොනි වී තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *