හිටපු ඇමති පුතෙක් අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කරයි

හිටපු ඇමති පුතෙක් අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කරයි

*********************************************

හිටපු ඇමති පුතෙක් අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කරයි

(25.01.2022 – 14:57 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ උදිත් ලොකුබන්ඩාරට එරෙහි ව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන බව වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ, උදිත් ලොකු බණ්ඩාර විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අයත් බැංකු ගිනුමකින් රුපියල් කෝටි තුන හමාරකට (3,50,00,000) අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මතුව ඇති චෝදනාවක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සමීප සාමාජිකයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඒ අනුව යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණය දියත් කර ඇත්තේ.

දැනට කරුණු වාර්තා වන ආකාරයට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ, ඒ වෙනුවෙන් නිකුත් කළ ඒ.ටී.එම්. කාඩ්පපතක් භාවිත කරමින්.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ගිණුමෙහි තිබූ මුදල් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ඔහුට ලැබුණු වැටුප් මුදල් බවයි.

මෙම ගිණුමේ ඇති මුදල් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත අදාළ ගිණුම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමක දී එම ගිණුමෙන් පසුගිය වසර ගණනාවක් පුරාම අඛණ්ඩ ව මුදල් ලබාගෙන ඇති බව සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදු කළ සොයා බැලීමක දී හෙළි වී ඇත්තේ, එම ගිණුමට අදාළ ව නිකුත් කර තිබූ ඒ.ටී.එම්. කාඩ් පත තිබී ඇත්තේ, උදිත් ලොකුබණ්ඩාර සතු ව බවයි ෴

***************************************

තරුණියකට සිදු කළ පිහි ඇනුමක් ගැන පරස්පර ප්‍රකාශ

(25.01.2022 – 14:50 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ විදුලි ඉංජිනේරු අංශයේ 23 හැවිරිදි තරුණියකට වෛද්‍ය පීඨ නිල නිවාසයේ ගේට්ටුව අසල දී තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් පසුගියදා වාර්තා වුණු අතර ඊට අදාළ සැකකරුවන් බව පැවසෙන ඡායාරූපයක් ද පළ වී තිබුණා.

කෙසේ වෙතත් ඡායාරූපවල පෙනී සිටි තරුණයන් පවසන්නේ එම ඡායාරූපය 2018 වසරේදී ගත් එකක් බවයි.

ලබුදුව තාක්ෂණ විද්‍යාලයේ සිසුවියට කළ පහරදීම සම්බන්ධ ගැටලුව ඡායාරූප සිද්ධියට අදාළ නොවන බව පවසනවා.

***************************************

කතකට මරු කැඳවූ මාරක රිය අනතුර

(25.01.2022 – 15:08 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දී අද (25) අලුයම මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී අනතුරට ලක් ව ඇත්තේ, බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙනුයි.

අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් මියගොස් එහි සිටි තවත් කුඩා ළමුන් දෙදෙනෙකු (2) ඇතුළු හයදෙනෙකු (6) තුවාල ලැබුවා.

සිද්ධියෙන් පසුව මෝටර් රථයේ සිටි පුද්ගලයින් බේරා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට ද සිදු වුණා ෴

***************************************

ජල සැපයීමේදී සීමා

(25.01.2022 – 15:09 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය මත ඇතැම් ප්‍රදේශවලට හා උස් බිම් ප්‍රදේශ වෙත අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදු වනු ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් අරපිරිමැස්මෙන් ජලය භාවිතයට ගන්නා ලෙසයි එම මණ්ඩලය ජනතාවට දැනුම් දෙන්නේ.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි සහ ප්‍රධාන ජලාශයන්හි ජල මට්ටම් පහළ බැස තිබෙනවා.

එසේම මේ වනවිට ජල පරිභෝජනය ද ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් වාහන සේදීම, ගෙවතු සහ බෝග වගාවන් ඇතුළු අත්‍යාවශ්‍ය නොවන කටයුතුවලට පිරිපහදු කළ පානීය ජලය භාවිත නොකරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටිනවා ෴

***************************************

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ගැන පැහැදිලි කිරීමක්

(25.01.2022 – 15:12 +0530 – hirunews.lk/sinhala)

හොරෝව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයේ අලි ඇතුන් මන්දපෝෂණය හේතුවෙන් මරණයට පත්වන බවට පලවන වාර්තා අසත්‍ය බව වන ජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරියආරච්චි ප්‍රකාශ කළා.

පරිසරවේදීන් පසුගිය දා සඳහන් කළේ රැදවුම් මධ්‍යස්ථානයේ සිටින වනඅලි ඇතුන් මන්දපෝෂණය හේතුවෙන් මිය ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ප්‍රමාණවත් පරිදි එම සතුන්ට ආහාර ලබාදෙන බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

***************************************

එක්නැලිගොඩ වෙනුවෙන් හිස කෙස් දන් දී ඉල්ලූ සාධාරණය

(25.01.2022 – 15:59 +0530 – hirunews.lk/sinhala)

වසර 12 ක සිට අතුරුදන් ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා, ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ අද (25) පෙරවරුවේ මෝදර කාලි අම්මාන් කෝවිලේ දී විශේෂ දේව පූජාවකට එක් වුණා.

ඇය විසින් මෙම විශේෂ පූජාවට එක් වූයේ, වසර 56 ක සිට වවාගෙන සිටි තම හිසකෙස් ද සම්පූර්ණයෙන් ම මුඩු කරමින්.

‘ශුද්ධ වූ වීරදම් පූජාව’ ලෙසින් හඳුන්වනු ලබන මෙම පූජාව මගින් ඇය ඉල්ලා සිටින්නේ, 12 වසරක සිට අතුරුදන් ව සිටින තම සැමියා වෙනුවෙන් නිසි සාධාරණත්වයක් තමන් හට ඉටු කර, එම සිදුවීමට සම්බන්ධ සියලු පාර්ශ්ව වෙත දඬුවම් ක්‍රියාත්මක කරන ලෙසයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වූයේ, 2010 වර්ෂයේ ජනවාරි 24 වැනිදා රාත්‍රී කාලයේ කොළඹට ආසන්න ප්‍රදේශයක දී යි.

ඔහුව පැහැර ගැනීමකට ලක් වූ බවට සැක කෙරෙන අතර, මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යය අනාවරණය වී, අධිකරණමය ක්‍රියාවලියක් හරහා වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙමින් යුක්තිය ඉටු කිරීමක් සිදුව නැහැ.

***************************************

අගමැතිවරයාගේ මුඛයෙහි හදිසි සැත්කමක්, ඔහු සුවෙන්

(25.01.2022 – 16:17 +0530 – hirunews.lk/sinhala)

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පෙර සැලසුම් කළ සැත්කමක් වෙනුවෙන් ඊයේ (24) කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා.

අග්‍රාමාත්‍ය කාර්යාලය ට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ මෙහිදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මුඛයේ සුළු සැත්කමක් සිදුකළ බවයි.

එම සැත්කම සඳහා අගමැතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයෙකු ලෙස දීර්ඝ කලක් කටයුතු කරන වෛද්‍ය නරේන්ද්‍ර පින්තූ ද එක්වී තිබෙනවා.

මේ වන විට එක්සත් රාජධානියේ වාසයකරන වෛද්‍ය නරේන්ද්‍ර පින්තු ශ්‍රී ලංකාවට පැමිණි සිටි අවස්ථාවක මෙම සැත්කම සිදු කිරීමට සැලසුම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සැත්කමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ කොඳු ඇට පෙළෙහි සිදුකළ සැත්කමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සත්‍යයෙන් තොර බවයි ෴

***************************************

බන්ධනාගාරය තුළ සිදු වූ මත්ද්‍රව්‍ය හුවමාරුවේ වැඩ වරදී

(25.01.2022 – 17:12 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (24) දින අධිකරණ වලින් කළුතර බන්ධනාගාරයට රැගෙන එන ලද නවක සිර සැකකරුවන් තාවකාලික සිර මැදිරියේ රදවා තබාගෙන සිටිනවා.

අද (25) දින නිරෝධායනය සඳහා බුස්ස බන්ධනාගාරයට යැවිමට පෙර PCR පරික්ෂණය සදහා තාවකාලික සිර මැදිරියේ රඳවාසිටි සැකකරුවන් බන්ධනාගාර රෝහල අසලට ගත් අවස්ථාවේදි, තාවකාලික සිර මැදිරියේ සිටි සැකකරුවෙකු විසින් බන්ධනාගාරය තුල සිටින සැකකරුවකුට තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් ලබා දී තිබෙනවා.

ඒ අවස්ථාවේදීයි, ආයතනය තුල රාජකාරි කටයුතු සදහා යොදවන ලද නිලධාරීන් විසින් ඵම තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලය අත් අඩංගුවට ගෙන ඇත්තේ.

අත් අඩංගුවට ගත් පාර්සලයේ තිබී, හෙරොයින් පැකට් 196 ක්, කේරල ගංජා ග්‍රෑම් 08 ක්, අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් 04 ක්, හමු වූ බවට සදහන්.

මත්ද්‍රව්‍ය සහ අනෙකුත් තහනම් ද්‍රව්‍ය ඉදිරි කටයුතු සදහා කලුතර උතුර පොලිස් ස්ථානයට භාරදිමට කටයුතු කර ඇත ෴

***************************************

ඉන්දියානු ධීවරයින් 55 දෙනෙකු නිදහස් කෙරේ

(25.01.2022 – 17:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිරගත කර සිටි ඉන්දියානු ධීවරයින් 55 දෙනෙකු කයිට්ස් අධිකරණය විසින් නිදහස් කර තිබෙනවා.

දෙසැම්බර් 18 සහ 20 යන දෙදින තුළ රාමේෂ්වරම් සහ ජෙගතපට්ටිනම් ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය තමිල්නාඩු ධීවරයින් පනස් පස් දෙනෙකු (55) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නෙඩුන්තිව් සහ එජුවෛතිව් ආසන්නයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබා ගැනුණා.

පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඊට අදාළ නඩුව අද (25) කයිට්ස් අධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම ධීවරයින් 55 දෙනා වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට වසර 5 කට අත්හිටුවන ලද මාස 6 ක සිරදඬුවම් නියම කළ බවයි අප වාර්තාකරු පැවසුවේ ෴

***************************************

කොල්ලුපිටියෙන් වැටලු ගණිකා මඩම

(25.01.2022 – 19:18 +0530 – hirunews.lk/sinhala)

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් හවුස් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගනිකා මඩමක් වටලා එහි කළමනාකාරිය ඇතුළු කාන්තාවන් දස දෙනකු (10) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් 27, 32, 33, 41, 42, 52 යන වයස්වල පසුවන අත්තිඩිය, කැළණිය , ඕපනායක, ගොකරැල්ල, පිලියන්දල, මාතර, නුවර යන ප්‍රදේශවල පදිංචි විවාහක කාන්තාවන් බව පොලිසිය පවසනවා.

ගණිකා මඩම පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල මාසකට රුපියල් ලක්ෂ තුනහමාරකට (3,50,000) කුලී පදනම මත ලබාගත් ස්ථානයක් බව පොලිසිය පවසනවා.

කොළඹ ප්‍රදේශයේ ඉතා උසස් රැකියා කරන බවට එම කතුන් සිට නිවෙස්වලට පවසා ගනිකා වෘත්තියේ යෙදි ඇතැයි පොලිසිය පවසනවා.

සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා ෴

***************************************

අවමංගල නිවසක බූරු ගැසීමට නොදුන් නිසා ගැටුමක්

(25.01.2022 – 19:27 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – යක්කලමුල්ල – කොට්ටව තේ පර්යේෂණායතනය පිහිටි වතුයායේ පැවති අවමංගල නිවසක සූදූ ක්‍රීඩාවේ යෙදීමට එහි නිවැසියන් අවස්ථාව ලබා නොදීම නිසා ඇතිවූ ගැටුමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පුද්ගලයන් පිරිසක් ඊයේ (24) රාත්‍රියේ අදාළ අවමංගල උත්සවයට පැමිණ සූදූ ක්‍රීඩාවේ යෙදීමට සූදානම් වී තිබෙනවා.

කෙසේ වෙතත් නිවැසියන් ඊට විරෝධය පළ කිරීම නිසා ඔවුන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, ඉන් අනතුරුවයි තේ පර්යේෂණායතන පිවිසුම අසළදී මෙම ගැටුම හටගෙන ඇත්තේ.

එහිදී යතුරු පැදි සහ ත්‍රීරෝද රථ කිහිපයකටද අලාභ හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා ෴

***************************************

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් අතර හමුවක්

(25.01.2022 – 21:25 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ නිල සංචාරයක නිරත වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (25) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් හමුවී තිබෙනවා.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා-පාකිස්ථානු වෙළෙඳ ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා නිරන්තර සාකච්ඡා පැවැත්වීමත්, අදහස් හුවමාරු කරගනිමින් සිය වෙළෙඳ කටයුතු වඩාත් ව්‍යාප්ත වූ වපසරියක් තුළ පවත්වා ගැනීමට රටවල් දෙකෙහිම ව්‍යාපාරිකයන් මෙහෙයවීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.

එමෙන්ම පාකිස්ථානු රජය වශයෙන් බෞද්ධාගමික සංචාරක ක්ෂේත්‍රය සඳහා පාකිස්ථානය තුළ ඉඩ හසර වෙන් කර ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ජනතාව පාකිස්ථානය තුළ සංචාරය කිරීමේ වැඩපිළිවෙල ප්‍රවර්ධනය කිරීමත් අපේක්ෂා කරනු ලබන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන , තමා වෙත සිදු කළ ආරාධනයට අනුව දෙරට අතර වෙළෙඳ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලාංකික ව්‍යාපාරික පිරිසක් සමඟ පාකිස්ථානයට පැමිණි අවස්ථාවේ දී, තමා ඇතුළු දූත පිරිස ලද පිළිගැනීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පිරිනමනු ලබන බවයි.

එමෙන්ම දෙරට අතර මිතුදම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම සංචාරය තුළින් තමා මෙන්ම කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ දූත පිරිස අපේක්ෂා කරනු ලබන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

අධ්‍යාපන, සෞඛ්‍ය අංශ, තාක්ෂණික, ඇඟළුම්, සංචාරක ඇතුළු ක්ෂේත්‍රයන් ගණනාවක් තුළින් ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර වෙළෙඳ සහයෝගීතාවය වඩාත් ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා කටයුතු කළ හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ විදේශ අමාත්‍යාංශ නියෝජිතයින්, වෙළෙඳ අමාත්‍යාංශ නියෝජිතයින් මෙන්ම ශ්‍රී ලංකාවේ හා පාකිස්ථානයේ ව්‍යාපාරිකයින් පිරිසක් එක් සිටියා ෴

***************************************

දවසේ පැය 24 ම ජනතාවට විදුලිය ලබා දීමට හැකියාවක් නැහැ – තිස්ස අත්තනායක

(25.01.2022 – 22:24 +0530 – hirunews.lk/sinhala)

දවසේ පැය 24 ම ජනතාවට විදුලිය ලබා දීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඒ අද (25) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

***************************************

මාඔයේ සිදුකළ මහා පරිමාණ වැලි හා මැටි කැණීමේ ජාවාරමක් STF වටලයි

(25.01.2022 – 23:05 +0530 – hirunews.lk/sinhala)

මාඔයේ සිදුකල මහා පරිමාන වැලි හා මැටි කැණීමේ ජාවාරමක් වැටලීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය අද (25) පස්වරුවේ සමත් වී තිබෙනවා.

වැටලීමේදී බැකෝ යන්ත්‍ර දෙකක් (2) ඔවුන් සිය භාරයට ගෙන එම ස්ථනයේ සිටි සැකකරුවන් තිදෙනෙකු (3) ද අත්අඩංගුවට ගෙන තිබුණද එක් (1) බැකෝ යන්ත්‍රයක රියදුරෙකු පලා ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

+++++++++++

එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ විරෝධතා පෙළපාළියක් ගාල්ල නගරයේ දී

(25.01.2022 – 23:21 +0530 – hirunews.lk/sinhala)

වැඩි වන ජීවන බරට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතා පෙළපාලියක් සහ ජනහමුවක් අද (25) පස්වරුවේ පැවැත්වුණේ ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටයි.

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර කරමින් විරෝධතාව පැවැත්වීම හේතුවෙන් රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණු අතර එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

+++++++++++

එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ විරෝධතා පෙළපාළියක් ගාල්ල නගරයේ දී

(25.01.2022 – 23:21 +0530 – hirunews.lk/sinhala)

වැඩි වන ජීවන බරට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතා පෙළපාලියක් සහ ජනහමුවක් අද (25) පස්වරුවේ පැවැත්වුණේ ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටයි.

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර කරමින් විරෝධතාව පැවැත්වීම හේතුවෙන් රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණු අතර එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *