පනත් කෙටුම්පත එපා කියන දේශීය ආදායම් බදු නිලධාරින්

පනත් කෙටුම්පත එපා කියන දේශීය ආදායම් බදු නිලධාරින්

*********************************************

පනත් කෙටුම්පත එපා කියන දේශීය ආදායම් බදු නිලධාරින්

(25.01.2022 – 13:37 +0530 – hirunews.lk/sinhala)

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය සහ එකතු කිරීම භාණ්ඩාගාරය යටතට පැවරීමේ පනත් කෙටුම්පතට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (25) සංකේත වර්ජනයක නිරත වුණා.

ඒ හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සේවා සපයා ගැනීමට පැමිණි ජනතාව පත්වුයේ දැඩි අසීරුතාවකටයි.

මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාවකට අනුව පසුගිය ජනවාරි මස 20 වැනිදා ඉදිරිපත් කරන ලද විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත මගින් විෂය ක්ෂේත්‍ර කිහිපයකට අදාළව විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, මත්පැන්, සිගරට් සහ වාහන මෙන්ම විදුලි සංදේශ, ඔට්ටු ඇල්ලීම සහ සූදු මත ද අදාළ විශේෂ භාණ්ඩ හා සේවා බදු පැනවෙනු ඇති.

එමෙන්ම විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය කිරීම සහ එකතු කිරීම භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් වෙත පැවරිය යුතු බවට ද පනත් කෙටුම්පතින් යෝජිතයි.

කෙසේ වෙතත්, තම ආයතනය විසින් එකතු කළ බද්දක් මෙලෙස මහා භාණ්ඩාගාරය යටතට ගැනීමට විරෝධය පළ කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් පෙන්වා දෙනවා.

ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය දින කිහිපයකදීම විරෝධතාවල ද නිරත වූයේ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත හරහා දේශීය ආදායම්, රේගු, සුරාබදු දෙපාර්තමේන්තු සතු බදු රැස් කිරීම කප්පාදු කිරීමට එරෙහිවයි.

සිය විරෝධය තවදුරටත් තීව්‍ර කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (25) දිනයේදී සංකේත වැඩ වර්ජනයක ද නිරත වුණා.

මේ හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සේවා සපයා ගැනීමට පැමිණි ජනතාව පත්වූයේ දැඩි අසීරුතාවකටයි.

***************************************

යාල වනෝද්‍යානය ඇතුළත දළ ඇතකුට වද දුන් සෆාරි ජීප් කරුවෝ

(25.01.2022 – 13:45 +0530 – hirunews.lk/sinhala)

යාල ජාතික වනෝද්‍යානයේ සැරි සරනා දළ ඇතකු වටකරගත් සෆාරි ජීප් කරුවන් පිරිසක් එම ජීප් රථ වල නලා අධික ශබ්ද නැගෙන ලෙස නාද කරමින්, එම සත්වයා අපහසුතාවයට පත් කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මාලාවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සැරිසරනවා.

තොරතුරු වාර්තා වන ආකාරයට මෙම සිදුවීම් ඊයේ (24) දිනයේ දී යාල ජාතික වනෝද්‍යානයේ සිදු වූ බවටයි, වාර්තා වන්නේ.

යාල ජාතික වනෝද්‍යානයේ මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් සිටි මෙම දළ ඇතා ඉදිරි පසින් සහ පසුපසින් වටකර ගත් සෆාරි ජීප් කරුවන් එම සත්වයාගේ ගමනට බාධා කරමින් හැසුරුණේ, එම ජීප් රථවල ගමන් ගත් දේශීය සහ විදේශීය සංචාරකයින් ද දැඩි අවදානමක දමමින්.

එක්තරා අවස්ථාවක එම දළ ඇතා මාර්ගයෙන් ඉවතට යාමට සූදානම් වන අවස්ථාවේ ඒ අසලින්ම ජීප් රථයක් ධාවනය කරමින් එම සත්ත්වයා අපහසුතාවයට පත් කිරීමටත් සෆාරි ජීප් රථ රියැදුරෙක් කටයුතු කරන අයුරු, එම වීඩියෝවේ දැක්වෙනවා.

මේ සියල්ලටම වඩා සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ යාල ජාතික වනෝද්‍යානය ඇතුළත රතිඤ්ඤා හෝ අලිවෙඩි පත්තු කර මෙම සද්දන්තයා මාර්ගයෙන් පලවා හැරීමට කටයුතු කිරීමයි.

කෙසේ වෙතත් මෙම සත්ත්වයා ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන ආකාරයක් මෙම වීඩියෝ දර්ශන තුළ දක්නට නොලැබෙන අතර සෆාරි ජීප් කරුවන්ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය හරහා බොහෝ විට අවාසනාවන්ත තත්ත්වයක් ඉස්මතු වීමට ඉඩ තිබූ බවයි, සත්ව විශේෂඥයන් පවසන්නේ.

සාමාන්‍යයෙන් වනාන්තරයේ ජීවත් වන සතුන් නැරඹීමේදී එම සතුන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් වලට ඉඩ ලබාදෙමින් ඔවුන්ගේ නිදහසට බාධා නොකරමින් එය සිදු කළ යුතු බවයි, ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

එසේ නොමැතිව ජාතික වනෝද්‍යානයක් තුල අලිවෙඩි හෝ රතිඤ්ඤා පත්තුකර මෙම සතුන් ප්‍රකෝප කිරීම හෝ පලවා හැරීම කිසිසේත් සිදු නොකළ යුත්තක් බව පෙන්වා දෙන මෙම සත්ව විශේෂඥයින් අවධාරණය කරන්නේ, මෙම කාරණය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව දැඩි ක්‍රියා ක්‍රියාමාර්ගයක් ගත යුතු බවටයි.

කෙසේ වෙතත්, අප සමග අදහස් දැක්වූ වනසත්ව විශේෂඥයකු සඳහන් කළේ බැලූ බැල්මට මෙම සත්වයා ‘සැන්ඩෝ’ නමින් හඳුන්වන හස්තියා බවයි.

මෙම සත්වයා මීට පෙර වතාවකදීත් මේ ආකාරයටම සෆාරි ජීප් කරුවන් මෙලෙසින් ම පීඩනයට පත් කර තිබුණා.

+++++++++

‘සැන්ඩෝ’ට රිදවූවන් ගැන සොයන්න ඇමතිගෙන් විශේෂ නියෝගයක්

(25.01.2022 – 15:27 +0530 – hirunews.lk/sinhala)

යාල ජාතික වනෝද්‍යානයේ දළ ඇතෙකු පීඩනයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහා ම පරීක්ෂණයක් සිදු කර ඒ පිළිබඳ වාර්තාවක් තමාට ලබා දෙන ලෙස වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අප සමඟ අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් යාල වනෝද්‍යාන පාලකවරයාගෙන් සහ ඒ අවස්ථාවේ අදාළ සෆාරි ජීප් රථවල සිටි මඟ පෙන්වන්නන්ගෙන් ප්‍රකාශ ලබාගන්නැ යි තමන් උපදෙස් නිකුත් කළ බව යි.

වනෝද්‍යානයක් තුළ සංචාරක මඟ පෙන්වන්නන් ඔවුන් සමඟ යන දෙස් විදෙස් සංචාරකයින් හා සෆාරි ජීප් රථ රියදුරන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සහමුලින් වගකිව යුතු බවත් මෙම පරීක්ෂණයේ දී එම වගකීම් පැහැර හැරි සංචාරක මඟ පෙන්වන්නන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

විශේෂයෙන් ම වනෝද්‍යාන සීමා ඇතුළත සතුන් බිය වැද්දවීම ඔවුන්ගේ ස්වාභාවික චර්‍යාවන්ට බාධා කිරීම වනජීවී පනත බරපතළ ලෙස උල්ලංගණය කිරීමක් බව යි අමාත්‍යවරයා පවසන්නේ.

මෙවැනි දර්ශන අනතර්ජාලය හරහා ජාත්‍යන්තරයට යොමු වීමෙන් මෙරට වනජීවී සංරක්ෂණය සහ ජාතික වනෝද්‍යාන පද්ධතිය තුළ හැසිරීම පිළිබඳ බරපතළ සැක සංකා මතු වන බවත් සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් හිස ඔසවන මේ මොහොතේ මෙම සිදුවීම කිසිසේත් ලඝු කොට සැළකිය නො හැකි බවත් අමාත්‍ය සී.බී රත්නායක වැඩිදුටරත් කියා සිටියා.

එමෙන් ම ඔහු සඳහන් කළේ, ජාතික වනෝද්‍යාන පද්ධතිය තුළ සංචාරකයින්ගේ විශේෂයෙන් ම දේශිය සංචාරකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් සහ සෆාරි ජීප් රථ රියදුරන්ගේ නො හික්මුණු ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් විවිධ චෝදනා මතු වන බව යි.

මේ සම්වන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට තමන්, ඉදිරියේ දී බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් කියා සිටියා ෴

***************************************

බැසිල්ගේ ගුණ වයන ඇමති එස්.එම්. චන්ද්‍රසේන

(25.01.2022 – 14:00 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නොසිටියේ නම්, අද වන විට රට රැඳෙන්නේ කොතන දැයි හරියට කිව නොහැකි බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසනවා.

අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තව ටික කලක් ගිය විට ජනතාවට සෑහීමකට පත් විය හැකි පරිදි රටක් නිර්මාණය වන බවත්, එවිට ආණ්ඩුවේ ක්‍රියාකලාපය ද නැතහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියා කලාපය ද නිවැරදි දැයි නියත වශයෙන් ම ජනතාවට අවබෝධ වන බවයි.

මේ අතර, අමාත්‍යවරයා විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබා දුන්නා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් රට පුරා කිසිදු පදනමකින් තොරව ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් යන බවයි ඉඩම් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂ නායකවරයා කටට එන පලියට කිසිදු වගකීමකින් තොරව අදාළ ප්‍රකාශයන් සිදු කරන බවයි.

සජිත් ප්‍රේමදාස හට කිසිදු ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් නොමැති බව ප්‍රකාශ කරන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, වත්මන් රජයේ අර්බුද ඇත්නම් ඒවා විවේචනය කරනවා සේම ඒවාට ගත යුතු පියවර සම්බන්ධයෙන් ද ජනතාව දැනුවත් කළ යුතු බවයි.

එහෙත් නැති ප්‍රශ්න ඇති කිරීම විනා වෙනත් කිසිදු දෙයක් සිදු නොකරන විපක්ෂ නායකවරයාට පවතින අර්බුද පෙන්වා දිය හැකි වුව ද, ඔහු ළඟ ඊට කිසිදු විසඳුමක් ද නොමැති බව ද සඳහන් කළා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නොසිටියේ නම්, අද වන විට රට රැඳෙන්නේ කොතන දැයි හරියට කිව නොහැකි බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසනවා.

***************************************

අවසන් හුස්ම පොදට ළං වන තවත් සද්දන්තයෙක්

(25.01.2022 – 14:10 +0530 – hirunews.lk/sinhala)

වෙඩි වැදීම හේතුවෙන් ඔත්පළව අරලගංවිල ප්‍රදේශයේ දැනට සති දෙකකට (2) පමණක් ආසන්න කාලයක් ‘වන අලියෙක්’ ඇද වැටී සිටින බව, වාර්තා වනවා.

මේ වන විට මෙම සත්වයාගේ වෙඩි වැදීමෙන් හටගත් තුවාල බරපතළ ලෙස ඔඩු දුවා ඇති අතර, ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, මෙම වන අලියා සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට අවස්ථා ගණනාවක දී දැනුම් දුන්නද ඔවුන් පැමිණ ඇත්තේ එක් වරක් පමණක් බවයි.

එලෙස පැමිණ සිදුකළ නිරීක්ෂණයෙන් අනතුරුව වනජීවී දෙපාර්තමේන්තුව පශු වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇත්තේ, මේ සත්වයා මේ වනවිට බේරා ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවයි ෴

***************************************

එකක් දෙකක් අඩු වුණා කියලා හිඟයක් කියන්න බෑ – මහබැංකු අධිපති

(25.01.2022 – 14:31 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ එකක හෝ දෙකක හිඟයක් තිබූ පමණින් මෙරට තුළ ආහාර හිඟයක් ඇතැයි ප්‍රකාශ කළ නොහැකි බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

සී.එන්.බී.සී. නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ අත්‍යාවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය ශ්‍රි ලංකාව සතුව පවතින බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සී.එන්.බී.සී. නාලිකාව සිදු කළ පුවත් විශේෂාංගයකට එක්වෙමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මෙරට විදෙස් සංචිත තත්ත්වය, ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශකවලින් ශ්‍රී ලංකාව පහත හෙළීම සහ බැඳුම්කරවලට මුදල් ගෙවීම ආදී කරුණු සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් එහිදී අදහස් පළ කළා.

සී.එන්.බී.සී. නාලිකාව එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙරට මහබැංකු දත්තවලට අනුව සහල්, එළවළු සහ අමුමිරිස් ආදියෙහි මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ආහාර උද්ධමනය 21.5% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ආහාරමය නොවන උද්ධමනය ද 7.6% දක්වා ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙරට තුළ කිසිදු අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් නොමැති බවයි.

මෙරට තුළ ඉන්ධන හෝ ඖෂධ හිඟයක් නොමැති බවත්, පසුගිය වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 870 ක ඖෂධ මෙරටට ආනයනය කර ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

භාණ්ඩ එකක් හෝ දෙකක් ඉස්මතු කර දක්වා ඇති බවත් ඉන් කියවෙන්නේ මෙරට තුළ භාණ්ඩ හිඟයක් ඇති බව නොවන බවත් ප්‍රකාශ කරන මහබැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ සියලු ආහාර ද්‍රව්‍ය අප සතුව පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදෙයක් ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවන බවයි.

මේ අතර, එළවළු මිල දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ගාල්ල නගරයේ එළවලු වෙළඳසැල් වැසී යාමට පටන් ගෙන තිබෙනවා.

වෙළඳුන් ප්‍රකාශ කරන්නේ භාණ්ඩ මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයින් වෙළඳසැල් කරා පැමිණීම ශීඝ්‍ර ලෙස අඩුවී ඇති බවයි.

මේ අතර, හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම් හල්වල භූමිතෙල් හිඟයක් මතුව ඇති බවට වාර්තා වනවා.

පසුගිය දිනවල ඇතිවු ගෑස් අර්බුදයත්, විදුලි කප්පාදුවත් හේතුවෙන් භූමිතෙල්වලට ඉහළ ඉල්ලුමක් පැවති අතර ඒ හේතුවෙන් සාමාන්‍ය කාලවලට වඩා වැඩි ප්‍රමාණයක් මෙවර භූමිතෙල් නිකුත් කිරීමට සිදු වූ බවයි ඉන්ධන පිරවුම් හල්වල හිමිකරුවන් ප්‍රකාශ කළේ.

***************************************

රත්‍රං ගොඩගැනීමට ගිය කොස්තාපල්වරයෙකු ඇතුළු 7 ක් අත්අඩංගුවට

(25.01.2022 – 14:38 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. සංවිධානය වල දමා තිබූ බවට සැක කෙරෙන රත්‍රං ගොඩ ගැනීමට උත්සාහ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයෙකු ඇතුළු 7 දෙනෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව, පොලීසිය මෙම පිරිස කිලිනොච්චි – රාමනාදම්පුරම් මාර්ග බාධකයේ දි අත්අඩංගුවට ගනු ලැබුවේ, වළ දමා තිබෙන රත්‍රං සෙවීම සඳහා භාවිතා කළ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් ද සමගයි.

සැකකරුවන් පසුගිය දින කිහිපය තුලම මෙම රත්‍රං පරීක්ෂා කිරීම සඳහා මිනුම් උපකරණ ද යොදා ගෙන රාමනාදන් – සෙම්බුකුලම් ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු සිදුකළ බව, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් සමග ඔවුන් ගමන් ගත් අධි සුඛෝපභෝගි මෝටර් රථ දෙකක් (2) ද පොලිස් භාරයට ගැනුණා ෴

***************************************

බීමට ජල පොදක් අහිමි ගම්වැසියන්

(25.01.2022 – 14:44 +0530 – hirunews.lk/sinhala)

අගනුවරට නුදුරු ඇතැම් ජනාකීර්ණ ප්‍රදේශ පවා පානීය ජල ගැටලුවලින් පීඩා විඳීම සුළු කොට තැකිය හැකි තත්ත්වයක් නොවේ.

මේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසමක ජනතාව මුහුණදෙන එවන් ගැටලුවක්.

අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් නිට්ටඹුව ඕචඩ්වත්ත දකුණු ග්‍රාම සේවා වසමේ ජනතාව ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින්නේ වසර ගණනාවක සිටයි.

පවුල් 300 ක් පමණ ජීවත් වන මෙම ගම්මානයේ වැසියන් පවසන්නේ තමන් මුහුණ දී ඇති මෙම තත්ත්වය පිළිබඳ තවමත් කිසිදු බලධාරියෙකුගේ අවධානය මේ වන තෙක් යොමුව නොමැති බවයි.

ප්‍රජා මූල ජල ව්‍යාපෘතියක් මගින් මින් පෙර ගම්මානයට ජලය සම්පාදනය කළද එම කටයුත්ත නතර කෙරුණේ මීට වසර කිහිපයකට පෙරදීයි.

පසුව ගම්මානයට ජල සැපයුම ලබාදීම ජල සම්පාදන මණ්ඩලයට ලබා දී ඇති බවයි ගම්වැසියන් පවසන්නේ.

කෙසේ වුවත් ජල සම්පාදන මණ්ඩලය ජල සැපයුම ලබා දීමට කටයුතු කර ඇත්තේ ප්‍රජා මූල ජල යෝජනා ක්‍රමය හරහා යි.

නමුත් ගම්මුන් පවසන්නේ ප්‍රජා මූල ජල ව්‍යාපෘතියට මාසිකව බිල්පත්, නඩත්තු මුදල් ගෙවූව ද තමන්ට ප්‍රමාණවත් ජල සැපයුමක් සිදු නොවන බවටයි.

වසර ගණනාවක සිට බැට කන මෙම ගැටලුවට විසඳුමක් කඩිනමින් ලබා දෙන ලෙස ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *