වී කිලෝග්‍රෑම් එකකට (1) රුපියල් 25 ක වන්දි මුදලක්

වී කිලෝග්‍රෑම් එකකට (1) රුපියල් 25 ක වන්දි මුදලක්

*********************************************

වී කිලෝග්‍රෑම් එකකට (1) රුපියල් 25 ක වන්දි මුදලක්

(25.01.2022 – 10:33 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ කන්නනයේ වී අස්වැන්නේ අඩුවීමක් සිදු වුවහොත් වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 25 ක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ, වී කිලෝවක් රුපියල් 75 කට මිල දී ගැනීමට ද රජය තීරණය කර ඇති බවයි.

රසායනික පොහොර භාවිතය නතරකර කාබනික පොහොර භාවිතයට ගොවීන් යොමු කිරීමේ රජයේ වැඩපිළිවෙළ හේතුවෙන් සිය වගාවන්ට හානි සිදු වූ බවට ගොවීන් පසුගිය කාලයේ චෝදනා කළා.

විරෝධතා පවත්වමින් ගොවීන් සඳහන් කළේ සිය අස්වැන්න අඩු වී ඇති බැවින් සාධාරණ වන්දි මුදලක් ලබා දෙන ලෙසයි.

කෙසේ වෙත් අද (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ මහකන්නයේ වී වගා කළ ගොවීන්ගෙන් අස්වැන්න අඩුවූ සියලු දෙනා වෙනුවෙන් වන්දි ලබා දෙන බවයි.

මේ අතර, චීනයෙන් මෙරටට ආනයනය කෙරෙන සහල් කාබනිකව වගා කළ ඒවා බවට සහතික කළ නොහැකි බව අද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළා.

***************************************

පාඨලී කියන්නේ පට්ටපල් බොරු – රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන

(25.01.2022 – 10:48 +0530 – hirunews.lk/sinhala)

‘කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ඉන්දුනීසියාව 2020 නොවැම්බර් මාසයේ ඩොලර් 1.6 ට ලබා ගනිද්දී ශ්‍රී ලංකාව ඩොලර් 16 කට ලබාගත් බවට පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා අමූලික බොරුවක් පවසා ඇති බවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන චෝදනා කරනවා.

කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා නිපද වූ ඉන්දියාව එම එන්නත ලබාදීම ඇරැඹුවේ 2021 ජනවාරි 19 වැනි දින බවත් ශ්‍රී ලංකාව ඉන් දින 10 කට පසු 2021 ජනවාරි 29 දින එම එන්නත ලබාදීම ආරම්භ කළ බවත් ඔහු පැවසුවා.

ඉන්දුනීසියාවට කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා ලැබී ඇත්තේ ද 2021 මාර්තු 08 වැනි දින බව යි රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ.

කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිපදවන්නේ ඉන්දියාවේ සීරම් ආයතනය බවත් එය ඉන්දියා රජයට ලබා දී ඇත්තේ ඩොලර් 4.05 ට බවත් පවසන ඇමතිවරයා, ඉන්දියාවේ පෞද්ගලික අංශයට ලබාදුන්නේ ඩොලර් 7.95 ට යැයි ද ශ්‍රී ලංකාවට ඩොලර් 5.25 ට එය ලබාදුන් බව ද පෙන්වා දෙනවා.

එය ශ්‍රී ලංකාව ලබා ගත්තේ, ඩොලර් 16 ට බව පැවැසීම අමූලික බොරුවක් බව යි රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ.

ඉන්දුනීසියාව ඇස්ට්‍රාසෙනෙකා එන්නත මිල දී ගෙන නොමැති අතර, ඔවුන්ට එය ලැබී ඇත්තේ, පරිත්‍යාගයක් ලෙස යැයි ද මහාචාර්ය චන්න ජයසුමන හෙළිදරව් කරනවා.

මෙම මිල තීරණය කළේ ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය පත් කළ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් බවත් ඔවුන් වාර ගණනාවක් සීරම් ආයතනය සමඟ සාකච්ඡා කර මෙම එකඟතාවට එළැඹුණු බවත් පැවසූ අමාත්‍යවරයා, පසුව මෙම මිල සඳහා ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ද අවසාන වශයෙන් ප්‍රකාශ කළා.

***************************************

තුන්කොන් පෙමක් හේතුවෙන් තුවාල ලැබූ දළපූට්ටු සද්දන්තයා

(25.01.2022 – 11:00 +0530 – hirunews.lk/sinhala)

තුන්කොන් ප්‍රේමයක් හේතුවෙන් කලාවැව ජාතික වනෝද්‍යානයේ ඇතුන් දෙදෙනෙකු (2) අතර ඇති වූ ද්වන්ද්ව සටනකින් එක් (1) ඇතකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

තුවාල ලැබූ එම ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට අනුරාධපුර – පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් ඊයේ (24) දින පියවර ගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රකාශ කළේ.

තුන්කොන් පෙමක් හේතුවෙන් මෙලෙස තවත් ඇතකුගේ පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ, කලාවැව ජාතික උද්‍යානයේ සිටි ‘බරණ’ නම් වූ දළ පූට්ටු ඇතා යි.

අනෙක් ඇතාගේ පහරදීමෙන් එම ඇතාගේ ශරීරයේ ස්ථාන රැසක තුවාල ඇතිව තිබෙනවා.

මෙලෙස තුවාල ලැබූ බරණ නම් ඇතා මේ වනවිට කලාවැව ජාතික උද්‍යානයෙන් පිටව ගොස් ඇති අතර, ඇති වූ සටනින් තුවාල ලබා පිටව ගොස් සිටින එම ඇතා මේ වනවිට කැකිරාව – මිරිස්වත්ත ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සැරිසරමින් සිටින බවටත් තොරතුරු වාර්තා වනවා.

මෙලෙස තුවාල ලැබූ දළපූට්ටුවා කලාවැව ජාතික උද්‍යානයේ ඇත් පන්තියේ වෙසෙන දැඩි සංචාරක ආකර්ෂණයක් දිනූ ඇතෙකු බව ද වනජීවී නිලධාරීන් සඳහන් කළා.

තුවාල ලබා සිටින ඇතාගේ වයස අවුරුදු 40 ක් පමණ වන බවත්, ඇතා බේරා ගැනීමට හැකියාව පවතින බවත් වනජීවී පශු වෛද්‍යවරුන් සිය විශ්වාසය පළකළා.

බොහෝ අවස්ථාවලදී සිය සහකාරිය තෝරා ගැනීමට යාමේ දී අලි ඇතුන් අතර මෙවැනි ද්වන්ද සටන් ඇතිවීම ස්වභාවික තත්ත්වයක් බවයි වාර්තා වෙන්නේ.

තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින ඇතාගේ ආරක්ෂාව සඳහා මේ වනවිට විශේෂ වැඩපිළීවෙළක් ගනේවල්පොල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය මගින් සිදු කෙරෙනවා.

***************************************

මී උණ රෝගීන්ගේ ඉහළ යාමක්

(25.01.2022 – 11:09 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට මී උණ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවත්, රෝගය වැළදීමෙන් සිදුවන මරණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

පසුගිය වසරේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 476 ක් හමු වී ඇති අතර, සිදු වී ඇති මරණ සංඛ්‍යාව 6 ක්.

මී උණ රෝගීන් ඉහළ යාමට හේතුවක් වී ඇත්තේ, රෝගය මුල් අවස්ථාවේ දී නොසලකා හැරීමත් සමග රෝහල්ගත නො වී ප්‍රතිකාර නො ගැනීම බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල එරංග චන්ද්‍රසිරි කියා සිටියේ.

මේ වන විට මී උණ රෝගය කුඹුරු ආශ්‍රිත ව පමණක් නොව නාගරික ප්‍රදේශවලින් ද වාර්තා වන බව ද ඔහු සදහන් කළා ෴

***************************************

‘ඔබට ගෙයක් රටට හෙටක්’ වැඩසටහන වෙනුවෙන් නව කැබිනට් තීන්දුවක්

(25.01.2022 – 11:20 +0530 – hirunews.lk/sinhala)

තාවකාලික නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කරන ‘ඔබට ගෙයක් – රටට හෙටක්’ යන නිවාස සංවර්ධන වැඩසටහන වෙනුවෙන් නව කැබිනට් මණ්ඩල තීන්දුවක් ගෙන තිබෙනවා.

අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යි මේ බව අනාවරණ වූයේ.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ප්‍රතිලාභී පවුලකට රුපියල් 6,00,000 ක උපරිමයකට යටත්ව ආධාර මුදලක් නිවාස ඉදිකිරීමේ ප්‍රගතිය, මත ලබාදෙනු ලබනවා.

මෙම ව්‍යාපෘතිය 2020 ව‍ර්ෂයේ දී ආරම්භ කිරීමෙන් අනතුරුව ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් රුපියල් ලක්ෂ හයේ (6) ආධාර මුදල මෙම කටයුත්ත සඳහා ප්‍රමාණවත් නොවීම මත එය තවත් රුපියල් 50,000 කින් ඉහළ දැමීමට යෝජනා කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්.

ඒ අනුව එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ අතර, ලැබෙන නව ආධාර මුදල රුපියල් 6,50,000 ක් දක්වා ඉහළ යනු ඇති ෴

***************************************

අවයව, පටක හා සෛල බද්ධය පිළිබඳ ජාතික ප්‍රත්පත්තියක්

(25.01.2022 – 11:31 +0530 – hirunews.lk/sinhala)

වකුගඩු, අක්මාව, හෘදය, පෙණහලු හා අග්න්‍යාශය ආදී අභ්‍යන්තර අවයව අක්‍රීය වීමේ අවසන් අවස්ථාවේ පසු වන රෝගින්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ උදෙසා අවයව, පටක හා සෛල බද්ධ කිරීම සිදු කරනු ලැබෙයි.

එම බද්ධ කිරීම් කොළඹ, මහනුවර ඇතුළු රජයේ රෝහල් 09 ක දැනට සිදු කෙරෙමින් පවතිනවා.

මෙහි දී අවයව ප්‍රධානය කරන්නන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය මෙන්ම අවයවලාභින්ගේ ද ජීවිත සුරක්ෂිත හා යහපත් වනු පිණිස, අවයව බද්ධ කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ බව යි වාර්තා වන්නේ ෴

***************************************

විශේෂ කාර්ය බලකාය සිදු කළ පේසාලේ මෙහෙයුම

(25.01.2022 – 11:44 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකායේ මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීමක් සිදු කර පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පේසාලේ පොලිස් වසමේ 8 වන කොටස – කැබී පල්ලිය ප්‍රදේශයේ දී යි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 20 කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුණා.

එහි ප්‍රමාණය ග්‍රෑම් 178 ක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා 24 හැවිරිදි වියෙහි පසුවන තරුණයෙකු වන අතර, වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා ඔහුව පේසාලේ පොලීසියට භාර දී තිබෙනවා ෴

***************************************

ප්‍රතිකාර හා පුනරුත්ථාපන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

(25.01.2022 – 12:24 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිකාර හා පුනරුත්ථාපන පිළිබඳ පනත සංශෝධනය කිරීමට ඉදිරිපත් කරන ලද යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

මත් ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සදහා වන විධිවිධාන, 2007 අංක 54 දරණ ප්‍රතිකාර පුනරුත්ථාපන පිළිබඳ පනතේ ඇතුළත් වනවා.

එහි පවතින විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් වන පරිදි සංශෝධනය කළ යුතු බවටයි, හදුනාගෙන තිබෙන්නේ.

ඒ අනුව, පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීතිකෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කළා.

එහිදී, ඉදිරිපත් කරන ලද එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවට, කැබිනට් තීරණ වල සදහන් ෴

***************************************

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් සී සී ඩී යට නියෝගයක්

(25.01.2022 – 13:03 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ, බෝම්බ සිද්ධියට අදාළ පරීක්ෂණ හැකි ඉක්මනින් අවසන් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සී.සී.ඩී. යට නියෝග කරනු ලැබුවා.

බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය තුල අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පසුගිය (21) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ පැය එකහමාරකට (1½) ආසන්න කාලයක් රහස්‍ය ප්‍රකාශයක් ලබා දුන්නා.

එහිදී, එම පුද්ගලයා සඳහන් කර සිටියේ, තමන් ස්වේච්ඡාවෙන් මෙම ප්‍රකාශය ලබාදීමට ඉදිරිපත් වූ බවයි.

මේ අතර මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා ලබාදුන් ප්‍රකාශ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම විශ්‍රාමික වෛද්‍යවරයාට බෝම්බය අලෙවි කළ පුද්ගලයා හම්බන්තොට රන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළ සිටියා.

විශ්‍රාමික වෛද්‍යවරයාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ බොරැල්ල දේවස්ථානයේ තැබූ අත්බෝම්බය මෙන්ම පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලක තැබූ අත්බෝම්බය ද තමන්ගේ මෙහෙයවීමෙන් සිදුවූ බවයි ෴

+++++++++++

බොරැල්ල අත්බෝම්බ සිද්ධියේ විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි අධිකරණයෙන් නියෝග

(25.01.2022 – 19:55 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල, සියළු ශාන්තුවරුන්ගේ දේවස්ථානය තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය කොළඹ අපරාධ කොට්ඨාශයට අද (25) නියෝග කළා.

මීට අදාළ නඩුව කැඳවු අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ සිද්ධියට අදාළව රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන සැකකරුවන් පිළිබඳව වන පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය ලබන මස 02 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

පැමිණිල්ල අද (25) කැඳවනු ලැබූ අවස්ථාවේ එලෙස රඳවාගෙන සිටින දේවස්ථානයේ සේවකයෙකු වන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් ඇතුළු තුන් දෙනෙකු (3) වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න චෝදනා කළේ සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කරන ආකාරය නිවැරදි නොවන බවයි.

සිද්ධිය පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සී.සී.ටී.වී. දර්ශන අධිකරණ භාරයට පත්කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එබැවින් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරනු ලබන පරීක්ෂණ පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි හෙයින් මෙම පරීක්ෂණය එම කොට්ඨාශයෙන් ඉවත්කොට වෙනත් අංශයක් වෙත භාර දෙන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවේ සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන වෛද්‍යවරයෙකු වන ෂර්ලි හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළයි.

එහිදි ඔහු සඳහන් කළේ සිය සේවාදායකයා දිස්ත්‍රික් වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කොට 2006 වසරේ විශ්‍රාම ගොස් ඇති බවත්, 75 පස් වන වියේ පසුවන ඔහු රෝගාබාධ කීපයකින් පෙලෙන බවයි.

ඉන් අනතුරුව අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ සියලු‍ සාන්තුවරුන්ගේ දේවස්ථාන මිසම භාර පියතුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය බරපතල සිද්ධියක් බව සඳහන් කර සිටියා.

විත්තියේ නීතිඥවරුන් අද (25) දින අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් තමා දැඩි සේ කණගාටු වන බවයි කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා ප්‍රකාශ කළේ.

කොළඹ අපරාධ කොට්ඨාශය කිසිවක් නොසඟවා පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව අධිකරණය දැනුවත් කළ බවත්, පුවත්පත්වල පලවන ප්‍රවෘත්ති සිය විමර්ශන වලට අදාළ නොවන බවත් ඔහු කියා සිටියා.

ඉදිරිපත්වූ සියලු‍ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විවෘත අධිකරණයේ කරුණු දක්වමින් නියෝග කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති වාර්තා අනුව යම් විමර්ශනයක් සිදු වෙන බව තමන්ට ද පෙනී යන බවයි.

එම පරීක්ෂණය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පැවැත්වෙන බැවින් ජාතික ආරක්ෂාවට අමතරව පුද්ගලයින්ගේ නිදහස ආරක්ෂා වීමත් වැදගත් බව ද මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව, පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් විය යුතු බවයි ඇය සඳහන් කළේ ෴

***************************************

අජිත් රෝහණ යළි මාධ්‍යයට

(25.01.2022 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබෙනවා.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ඔහු මෙම තනතුරට පත් කර ඇත්තේ ඔහු විසින් දරනු ලබන අපරාධ හා රථ වාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරවයි.

ඔහු විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර දරනු ලැබුවා.

***************************************

මෙරට ආර්ථිකයේ පසුබැස්මට හේතුව, ආසියානු සංවර්ධන බැංකුව පහදයි

(25.01.2022 – 13:24 +0530 – hirunews.lk/sinhala)

නිදහස් ආර්ථිකය හඳුන්වා දී දශක 4 කට පසුව ද මෙරට අපනයනයන් නිෂ්පාදන කිහිපයකට පමණක් සීමා වීම නිසා ආසියාකරයේ අනෙකුත් නැගී එන ආර්ථිකයන්ට සමගාමීව ශ්‍රී ලංකාවට ඉහළ ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමට නොහැකි වී ඇති බව, ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළා.

ඊයේ (24) දින පැවති ජාතික වාණිජ මණ්ඩලයේ 63 වන වාර්ෂික සභා රැස්වීම අමතමිනුයි ඒ බව පැවසුවේ.

එහි ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් කියා සිටියේ, ගෝලීය අගය දාමයට සම්බන්ධ නිෂ්පාදන ක්ෂේත්‍රයට ශ්‍රී ලංකාව තවමත් අනුගත වී නොමැති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *