බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධාරීන් හෙට (26) වර්ජනයක

බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධාරීන් හෙට (26) වර්ජනයක

*********************************************

බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධාරීන් හෙට (26) වර්ජනයක

(25.01.2022 – 08:33 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් 7 ක් මුල් කරගනිමින් බස්නාහිර පළාතේ රෝහල්වල හෙද නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන් හෙට (26) පැය 24 ක සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

අදාළ ඉල්ලීම්වලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා මීට පෙර ද මෙම වෘත්තිකයන් වර්ජනයක නිරත වූ අතර ඊට ප්‍රතිචාර ලෙස උසස්වීම්වල විෂමතා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් පවසනවා.

කෙසේ වෙතත්, අදාළ කැබිනට් අනුමැතිය දෝෂසහිත වීම හේතුවෙන් උසස්වීම් ලැබීමට නියමිතව සිටි හෙද නිලධාරීන් 13,000 කට අදාළ උසස්වීම් අහිමි වී ඇති බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන් පෙන්වා දෙනවා ෴

***************************************

තර්ජනයක් වූ GMOA සාමාජිකයන් නෙරපීමේ උත්සාහයක්

(25.01.2022 – 08:32 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වත්මන් නිලධාරී මණ්ඩලයට අභියෝගයක් විය හැකි ප්‍රකට වෛද්‍ය වෘත්තිකයන් රැසකට සාමාජිකත්වය අහෝසි කරන බවට තර්ජනය කරමින් එහි ලේකම්වරයා විසින් ලිපි යවා ඇති බව වාර්තා වනවා.

මෙම ඇතැම් වෛද්‍යවරුන් වත්මන් නිල ධූරයන්ට එරෙහිව නාම යෝජනා ලබාදුන් අය වන අතර රෝහල් කිහිපයක අධ්‍යක්ෂවරුන් ද ඊට ඇතුළත්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවර නිලවරණයේදී ලේකම් තනතුර සඳහා ඉදිරිපත් වූ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු වන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය, මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වන වෛද්‍ය කුමාරි මලවිගේ මෙලෙස රජයේ වෛද්‍ය සංගමයේ විනය ලිපි ලැබූ වෛද්‍යවරුන් අතර වනවා.

එහිදී මෙම වෛද්‍ය වෘත්තිකයින්ට එල්ල කර ඇති ප්‍රධාන චෝදනාව වන්නේ මාධ්‍ය වෙත කරුණු දැක්වීම සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවේචනය කිරීමයි.

වෙනත් වෛද්‍ය වෘත්තීය සංගම් වෙනුවෙන් කටයුතු කිරීම ද එල්ල කර ඇති තවත් චෝදනාවක්.

ඒ අනුව දින 14 ක් ඇතුළත නිදහසට කරුණු දක්වන ලෙසත් එසේ නොමැති නම් සාමාජිකත්වය පිළිබද තීරණයක් ගැනීමට සිදුවන බවත් එම ලිපිවල සදහන්.

කෙසේ වෙතත් ඊට පිළිතුරු ලිපියක් යවමින් එක් වෛද්‍ය වෘත්තිකයෙකු එවැනි ලිපියක් එවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇති බලය පිළිබදව අභියෝග කර තිබෙනවා.

ඒ, ඊට එරෙහිව අධිකරණයේ වාරණ නියෝගයක් පැවතීම හේතුවෙන්.

දැනට ක්‍රියාත්මක විය හැක්කේ සංගමයේ විධායක කමිටුව පමණක් වුවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාන්‍ය කමිටුව විසින් මෙලෙස එවන ලද ලිපියේ නීත්‍යානුකූලභාවයක් නොමැති බවයි එමගින් දක්වා ඇත්තේ ෴

***************************************

දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන්ට නව නීති – පෝලිම් ගැනත් අනතුරු ඇඟවීම්

(25.01.2022 – 08:35 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පොල්තෙල් ද පිරිපහදු කිරීම අනිවාර්ය බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.

ඇතැම් පුද්ගලයින් පිටරටින් ගෙන්වන පොල් තෙල් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර නිකුත් කිරීම නිසා වෙළදපොළේ පොල්තෙල් හිගයක් මෙන්ම මිල ඉහළ යාමක් ද පෙන්නුම් කර ඇති බවයි එම මණ්ඩලයේ සභාපති කීර්ති වීරසිංහ සදහන් කළේ.

වර්තමානයේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 700 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉදිරියේදී පොල්තෙල් පෝලිම් ද ඇති විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය මීට පෙර සඳහන් කළේ පිටරටින් ගෙන්වන පොල්තෙල් ප්‍රමිතියෙන් තොර බවටයි.

එමෙන්ම, දේශීය කර්මාන්ත ආරක්ෂා කළ යුතු පොල් සංවර්ධන මණ්ඩලය, ආනයනකරුවන් වෙනුවෙන් පෙනීසිටීම ගැටලුසහගත බව ද එම සංගමය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, පොල් සංවර්ධන මණඩලයේ සභාපති කීර්ති වීරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සදහන් කළේ පිටරටින් ගෙන්වන පොල්තෙල් සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති අතර ඒවා පරිභෝජනයට ඉතා සුදුසු තත්ත්වයේ පවතින බවයි ෴

***************************************

මිලියන 3300 ජාවාරමට තවත් පහක් (5) හවුල් – ඩුබායි සිට මෙහෙයවා ඇති බවටත් හෙළි වේ

(25.01.2022 – 08:49 +0530 – hirunews.lk/sinhala)

දකුණු මුහුදේ දෙවුන්දර සිට නාවික සැතපුම් 737ක් පමණ දුරින් ජාත්‍යන්තර මුහුදු තීරයේ දී රුපියල් මිලියන 3300කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සිද්ධියට අදාළව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 16 ක්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කළේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ගොඩබිම් ජාලයට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ සිටින බවත් ඔහු එහි සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවටයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමෙන් බහුදින යාත්‍රාවක සිටි 6 දෙනෙකු හෙරොයින් කිලෝග්‍රෑම් 330 ක් ද සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුගිය 17 වන දා එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සමුදුර නෞකාව මගින් එම මුහුදු ප්‍රදේශයේ තවදුරටත් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය තොගය මුහුදේ දී ලබාගෙන ගොඩබිමට රැගෙන යාමට පැමිණි තවත් බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනෙකු පසුගිය 22 වන දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රා නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ මේ වන විට කොළඹ වරායට රැගෙන යමින් පවතින අතර ඉදිරි නීතිමය කටයුතු සහ විමර්ශන ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකරනු ඇති.

++++++++++

මත්දුව්‍ය සම්බන්ධයෙන් නිවැරදිව ඔත්තු ලබා දෙන පුද්ගලයන්ට ඉදිරියේදී මුදල් ත්‍යාග

(25.01.2022 – 17:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය රැගත් දේශීය ධීවර යාත්‍රා සහ දේශීය සැකකරුවන් 11 දෙනා අද (25) කොළඹ වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව ගොඩබිමට රැගෙන ආ උර දහතුනක් (13) තුළ පැකට් 309 ක් ලෙස අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ 343 යි ග්‍රෑම් 456 ක් පමණ බවටයි තහවුරු කර ගෙන ඇත්තේ.

එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3400 කට අධික වෙතැයි විශ්වාස කෙරෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ දේශීය බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කළ අතර, මේ සම්බන්ධ ඉදිරි විමර්ෂණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කරනු ලබනවා.

මේ අතර මත්දුව්‍ය සම්බන්ධයෙන් නිවැරදිව ඔත්තු ලබා දෙන පුද්ගලයන්ට ඉදිරියේදී විශාල ත්‍යාග මුදල් ලබා දීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව පවසනවා.

ඒ ඊයේ (24) දිනයේ අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 350 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගය අද (25) නිරීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේදී.

***************************************

හොරණ නගරයෙන් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස් රථ වර්ජනයක

(25.01.2022 – 09:58 +0530 – hirunews.lk/sinhala)

හොරණ නගරයේ සිට ආරම්භ කෙරෙන සියළු පෞද්ගලික බස් රථ මේ වන විට වර්ජනයක නිරත වනවා.

ඒ, බුලත්සිංහල සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නව මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින්.

මේ හේතුවෙන් හොරණ – කොළඹ 120 මාර්ගය ඇතුළු හොරණ නගරයෙන් ගමන් ආරම්භ කරන මාර්ග රැසක පෞද්ගලික බස් ධාවනය අඩාල වී තිබෙනවා ෴

***************************************

ඩ්‍රෝන යානා මගින් සිදු කළ STF වැටලීම

(25.01.2022 – 09:52 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී නීතිවිරෝධී ලෙස වගා කරන ලද ගංජා හේන් 05 ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

තණමල්විල පොලිස් වසමේ ගල්කොටුකන්ද රක්ෂිත ප්‍රදේශයේ දී මෙම වැටලීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (24) පෙරවරු 08:00 සිට පස්වරු 05:30 තෙක් සිදු කෙරුණු මෙම වැටලීම්වල දියි, අදාළ ගංජා හේන් 05 සොයා ගැනුණේ.

මෙම මෙහෙයුම් නුවරඑළිය, මස්කෙළිය සහ තලවකැලේ යන කඳවුරුවල නිලධාරින් සමග ඒකාබද්ධව අධි තාක්ෂණික ඩ්‍රෝන යානා භාවිත කිරීමෙන් අදාළ වැටලීම් සිදු කෙරුණා.

තවමත් මෙම ගංජා හේන් වැවූ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන නොමැති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳා එම වගාවන්වලින් ගලවා ගත් ගංජා ගස්වල සාම්පල් 10 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගිනි තබා විනාශ කළ ගංජා පැළ ගණන 11,700 ක්.

ඉතිරි සියල්ල ගිනි තබා විනාශ කර ඇති අතර, වැඩිදුර විමර්ශන තණමල්විල පොලීසිය මගින් ක්‍රියාත්මකයි.

***************************************

මහරගම පොදු වැසිකිළියේ කම්බි, ටෙන්ඩරයෙන් පිට පරණ යකඩවලට

(25.01.2022 – 10:03 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා මහත් ආන්දෝලනයක් ඇති කරමින් මහරගම නගර සභාවේ සභාපතිවරයා කඩා ඉවත් කළ මහරගම පොදු වැසිකිළියේ කම්බි කිලෝ 570 ක් ටෙන්ඩර් කැඳවීමකින් තොර ව හොර රහසේ ම පරණ යකඩ බඩු කඩයකට අළෙවි කර තිබිය දී ඊයේ (24) සොයා ගත් බව මහරගම පොලිසිය පවසනවා.

නගර සභාවට අයත් ලොරි රථයකින්ම එහි සේවකයන් පිරිසක් 23 දා කම්බි කිලෝ 344 ක් 24 දා කම්බි කිලෝ 226 ක් මෙසේ අලෙවි කර ඇති බව යි වාර්තා වෙන්නේ.

මේ පිළිබඳ ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මහරගම පිළියන්දල පාරේ පිහිටි පරණ යකඩ බඩු කඩයකට ගොස් පරික්ෂා කිරීමේ දී කඩා ඉවත් කළ පොදු වැසිකිලිය ඉදිරිපිට සවිකර තිබූ ආරක්ෂිත වැටෙහි සහ කොන්ක්‍රීට් තට්ටුවෙ තිබූ කම්බි බවට සැක කෙරෙන යකඩ කම්බි තොගයක් සොයාගෙන තිබෙනවා.

මෙම කම්බි කිලෝ එකක් රුපියල් 80 බැගින් නගර සභා සේවකයන් අලෙවි කර ඇති බවත් පසුව ඒවා රුපියල් සියය (100) බැගින් විකිණීමට සූදානම් කර තිබූ බවත් මේ වන විට වාර්තා වෙනවා.

+++++++++

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන්ට අබලි යකඩ චෝදනාවක්

(25.01.2022 – 19:33 +0530 – hirunews.lk/sinhala)

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන්, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ පොදු වැසිකිලිය පසුගියදා කඩා ඉවත් කිරීමේදී හිටපු සභාපතිනි කාන්ති කොඩිකාරට පහරදීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවටයි.

ඔහු අද (25) පොලිසියට භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගැනුනු අතර, අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සභාපතිවරයාව රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරුණා.

මේ අතර මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (25) එම නගර සභාව ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.

ඒ, පසුගියදා කඩා ඉවත්කළ මහරගම නගරයේ පොදු වැසිකිලියේ අබලි යකඩ, නගර සභා සභාපතිවරයා විසින් ටෙන්ඩර් කැඳවීමකින් තොරව රහසිගතව විකුණා ඇති බවට චෝදනා කරමින් ෴

***************************************

කෘෂි නිෂ්පාදන එකතු කිරීමට සහ අලෙවි කිරීමට බහුකාර්ය මධ්‍යස්ථාන 17 ක්

(25.01.2022 – 10:03 +0530 – hirunews.lk/sinhala)

අමු තේ දළු සහ අනෙකුත් කෘෂි නිෂ්පාදන එකතු කිරීමේ සහ අලෙවි කිරීමේ බහු කාර්ය මධ්‍යස්ථාන 17 ක් දිස්ත්‍රික්ක 6 ක ඉදිකිරීමට වැවිලි අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

රුපියල් මිලියන 68 ක මුදලක් වෙන් කරමින් ගාල්ල, මාතර, රත්නපුර, බදුල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මෙම බහුකාර්ය මධ්‍යස්ථාන ඉදිකිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙම මධ්‍යස්ථාන මගින් කුඩා තේ වතු හිමියන් 2500 කට සේවය සැලසෙන අතර, අමු තේ දළු එකතු කිරීමට අමතරව, කුරුඳු, ගම්මිරිස්, පුවක්, කිතුල් පැනි අනෙකුත් නිෂ්පාදන ද එක්රැස් කොට අලෙවි කිරීමට කටයුතු කරනු ඇති ෴

***************************************

හෝමාගම රෝහලේ සෞඛ්‍ය සේවකයින් අර්බුදයක

(25.01.2022 – 10:15 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම මූලික රෝහලේ සේවයේ නියුතු කාර්යමණ්ඩලයේ 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි පවසනවා.

ඒ අනුව වෛද්‍යවරුන් තිදෙනෙකු (3), හෙද හෙදියන් එකොළොස් දෙනෙකු (11) හා කනිෂ්ඨ කාර්යය මණ්ඩලයේ නව දෙනෙකු (9) ඒ අතරට ඇතුළත්.

මේ අතර හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව ද වැඩි වී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිම සඳහා වාට්ටු දෙකක ඇඳන් 75 ක් ඇතත් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 81 ක් වන බව ද වාර්තා වනවා ෴

***************************************

වතුවලට හෙරොයින් ගෙන ආ මහ මොළකරු අත්අඩංගුවට

(25.01.2022 – 10:24 +0530 – hirunews.lk/sinhala)

හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (24) පස්වරුවේ වැටලීමක් සිදු කර තිබෙනවා.

එහිදී හැටන් නගරයට හෙරොයින් මත්ද්‍රව්‍ය ගෙන එනු ලබන පුද්ගලයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට ඔවුන් සමත් වුණා.

මෙම සැකකරුවන් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ අලෙවි කිරීම, ජාවාරම් කටයුතුවල නිරතවීමේ චෝදනා මතයි අත් අඩංගුවට ගැනුණේ.

හැටන් පොලිස් වසමට අයත් හැටන් වතු යායේ තරුණයන් පිරිසක් හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටින බවට ලද තොරතුරක් මත සිදු කළ මෙම වැටලිමේ දී සැකකරුවන් 05 දෙනෙකු නීතියේ රැහැනට නතු කර ගැනීමට සුරාබදු නිලධාරින් සමත් ව ඇති අතර, එහිදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 850 ක් සොයා ගැනුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර හැටන් නගරයට අදාළ මත්ද්‍රව්‍ය ගෙන එනු ලබන ප්‍රධාන සැකකරු ද අත් අඩංගුවට ගැනුණා.

ඔවුන් වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයස් සීමාවල පසුවන්නන් බවයි සුරාබදු කාර් යාලය ප්‍රකාශ කළේ.

එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *