ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ – කොමසාරිස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ – කොමසාරිස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

*********************************************

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ – කොමසාරිස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

(23.01.2022 – 18:08 +0530 – lankaleadnews.com)

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පී.එන්. ඉලේපෙරුම මහතා පිළිගෙන ඇත.

සති අන්ත ඉංග්‍රීසි පුවත් පතකට ප්‍රකාශයක් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ අදාළ වාර්තාව මුස්ලිම් අධ්‍යාපන අංශයේ එම්.ටී.ඒ. රහුමාන් සහ අයි.ඒ.එම්. අෆ්සාන් යන මහත්වරුන්ට භාර දුන් බවයි. නමුත් එම නිවැරැදි කිරීම් සිදුවී නොමැති බැවින් අදාළ පෙල පොත් සියල්ල නැවත කැඳවා නිවැරැදි කිරීම් සිදුකරන බව ඒ මහතා පිළිගෙන ඇත.

මෙම කරුණ අනාවරණය වන්නේ එක රටක් එක් නීතියක් කාර්ය සාධක බල ඇණිය විසින් අදාළ ප්‍රශ්නය මතු කිරීම නිසාය. එම වරද නිසා රජයට දරන්නට සිදුවන පාඩුව අය කරගන්නේ කෙසේ දැයි කොමසාරිස්වරයා සඳහන් කර නැත ෴

+++++++++

ඉස්ලාම් ආගම් පෙළපොත් ‘එක රටක් එක නීතියක් බළකායේ’ නියමයෙන් වහාම ආපසු කැඳවයි !

(24.01.2022 – 11:47 +0530 – lankaleadnews.com)

ඉස්ලාම් ආගම සම්බන්ධ පෙළපොත් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මේ වන විට ළමුන් පිරිසක් අතර බෙදා දී ඇති 6, 7, 10 සහ 11 ශ්‍රේණිවලට අදාළ ඉස්ලාම් ආගමික පෙළපොත් මෙසේ ඉවත් කර ඇත්තේ ‘එක රටක් එක නීතියක් සඳහා වන විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායේ’ සහ ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ නියමයෙන් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම පාසල් පෙළ පොත් සිංහල සහා දමිළ භාෂාවෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් පී.එන්. ඉලේපෙරුම මහතා මෙම පොත් පාසල් දරුවන්ට බෙදා දීම නවතා දමන ලෙසත් ඒවා බෙදා දී තිබෙන පෙළපොත් නැවත කැඳවා ඒ සංශෝධනය කර යළි බෙදා හැරීමට පියවර ගන්නා ලෙසත් මේ වන විට උපදෙස් දී ඇති බවද එම පුවත්පත වාර්තා කරයි.

අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයාට අනුව මෙම පොත් ආපසු ගෙන්වා ගැනීමට හේතු වී ඇත්තේ එහි ඉස්ලාම් අන්තවාදී දෘෂ්ටිවාදය පිළිබඳව යම් යම් අන්තර්ගතයන් එහි ඇතුළත් වී ඇති බව ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය විසින් පෙන්වා දීමෙන් පසුව බව සඳහන් කර ඇත.

එම පොත් වල විශාල වෙනස්කම් සිදුකළ යුතුව නොමැති බවත් සුළු වෙනස්කම් පමණක් සිදු කිරීමෙන් මෙම අඩුපාඩු මඟහරවා ගත හැකි බැවින් ඒවා සකස් කොට යළි හැකි ඉක්මනින් දරුවන් අතර බෙදා දීමට කටයුතු කරන බවද අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර ඇත.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මීට පෙර විශේෂ කමිටුවක් ද පත් කළ අතර එම කමිටුව සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරන සිංහල දෙමළ සහ මුස්ලිම් සාමාජිකයන් ගණනාවක් නියෝජනය කෙරිණි.

ඔවුන් විසින් සකස් කරන ලද වාර්තාව මෙම පාසල් පෙළ පොත් සකස් කිරීමේ කටයුතුවලට සම්බන්ධ ප්‍රධානීන් දෙදෙනා (2) වෙත භාරදීමට කටයුතු කර ඇත ෴

***************************************

ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

(24.01.2022 – 15:51 +0530 – sinhala.adaderana.lk)

කුඩා ගැහැණු දරුවන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් පිටුවක් අක්‍රීය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසන්නේ 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය වෙත ලද තොරතුරකට අනුව මෙම පිටුව අක්‍රීය කිරීමට පියවර ගත් බවය.

ඒ අනුව මෙම අධිකාරියේ ‘විමර්ශන හා අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය’ සහ ‘විශේෂ පොලිස් විමර්ශන ඒකකය’ විසින් අදාළ ෆේස්බුක් පිටුව පවත්වාගෙන යන ලද සැකකරුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පසුව අදාළ සැකකරුගේ පරිශ්‍රයන්ට ඇතුළු වී සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව එම ස්ථානයේ තිබූ සැකකටයුතු උපකරණද අධිකාරිය භාරයට ගැනීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

මේ අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ළමයින්ගේ ඡායාරූප යොදාගෙන පවත්වාගෙන යනු ලබන මෙවැනි ෆේස්බුක් පිටු පිළිබඳව තොරතුරු දන්නේ නම් වහාම ඒ පිළිබඳව 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙන ලෙසටය ෴

***************************************

ජාන මංකොල්ලයක් සිදුකිරීමට තැත්කළ විදේශිකයින්ට වාර්තාගත දඩයක්

(24.01.2022 – 15:04 +0530 – sinhala.adaderana.lk)

ජාන මංකොල්ලයක නිරතවීමේ අරමුණින් දුර්ලභ කෘමි වර්ග සහ ශාක මෙරටින් රැගෙන යාමට තැත්කළ විදේශිකයින් තිදෙනෙකු (3) අධිකරණය මගින් වැරදිකරුවන් කර තිබේ.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 529 ක් සහ ශාක කොටස් රැසක් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ චෝදනා 102 කට වරද පිළිගත් රුසියානු ජාතිකයන් තිදෙනාට (3) රුපියල් 86,55,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත් ජී.ජී.පී. ජයසිංහ මහතා පසුගියදා (21) නියෝග කළේය.

මෙම රුසියානු ජාතිකයන් තිදෙනා (3), හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු සීගිරිය, දඹුල්ල, හබරණ, යාල, ගිනිගත්හේන, යාපනය ආදී මෙරට ස්ථාන රැසකින් එකතුකර ගන්නා ලද දැනට මෙරටින් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හුනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, සර්පයන්, සමනලයන් ඇතුළු සත්ත්ව විශේෂ කාණ්ඩ 23 ට අයත් සතුන් 529 කු හා ශාක වර්ගවල කොටස් විශාල ප්‍රමාණයක් විශේෂ බහාලුම්වල බහා නුවරඑළියේ සංචාරක නවාතැන්පොළක සඟවා තිබියදී හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් විසින් 2020 වසරේ පෙබරවාරි මස 26 වනදා අත්අඩංගුවට ගෙන නුවරඑළිය අධිකරණය හමුවේ නඩුපවරා තිබිණි.

වනජීවී දෙපාර්තුමේන්තු ඉතිහාසයේ මෙතෙක් අධිකරණයක් විසින් පැනවූ වැඩිම දඩ මුදල හා වැඩිම චෝදනා සහිත නඩු තීන්දුව මෙය බව හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී.එම්.පී.කේ. ප්‍රදීප් කුමාර මහතා පැවසීය ෴

***************************************

නොලැබුණු පෙමට පිහි පහර 7 ක්

(24.01.2022 – 10:34 +0530 – sinhala.adaderana.lk)

“පොලීසියෙන් පොලිස් නිලධාරීයෙකුට සාධාරණයක් නොවේනම් අහිංසක පුරවැසියන්ට සාධාරණයක් ඉටුවෙයිද?”

තම දියණියට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකළ තරුණයා අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් පමාකරමින් සිටින බව පොලිස් නිලධාරියෙක් චෝදනා කරයි.

ලබුදුව ප්‍රදේශයේ පිහිටි උසස් තාක්ෂණ ආයතනයේ ශිෂ්‍යාවකට පසුගිය 21 වනදා තරුණයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබුණි.

ශිෂ්‍යාවගේ පියා චෝදනා කරන්නේ, එම පුද්ගලයා සම්බන්ධයෙන් මීට පෙර පොලීසියට පැමිණිලි කළද අවශ්‍ය පියවර ගැනීමට පියවර නොගත් බවය.

ගාල්ලේ පිහිටි උසස් තාක්ෂණ ආයතනයක විදුලි ඉංජිනේරු අංශයේ තෙවැනි (3) වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි අවුරුදු 23 හැවිරිදි එම ශිෂ්‍යාවට ලබුදුව වෛද්‍යපිඨ නිල නිවාස ගේට්ටුව අසල දි පුද්ගලයකු පසුගිය 21 වනදා පිහියෙන් ඇන තිබුණි.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම සිසුවිය මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

ඇය මොනරාගල, තණමල්විල ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

එම සිසුවියගේ පියා පවසන්නේ පිහි ඇනුම සිදුකළ පුද්ගලයා මීට පෙර හත් (7) වතාවක් සිය දියණියට මරණීය තර්ජනය කර ඇති බවත් ඒ පිළිබඳව අවස්ථා කිහිපයකදී තණමල්විල පොලීසියට පැමිණිලි කළ බවය.

නමුත් තණමල්විල පොලිසිය ඒ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදුනොකළ බවට ඔහු චෝදනා කරයි.

සිසුවියගේ පියා ද පොලිස් නිලධාරියෙකි.

ප්‍රහාරය සිදුකළ පුද්ගලයා තුවාල සිදුකළ පිහියද සමග ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍යවලට මුදාහැර ඇති බවද සිසුවියගේ පියා සඳහන් කරයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගේ පියා පවසා සිටියේ,

“මරණ බවට තර්ජනය කිරීම සහ ‘උසස් තාක්ෂණ ආයතනයට යන්න යන්න දෙන්නේ නැහැ; ගියොත් එතනදි මරණවා’ කිම සම්බන්ධයෙන් මම පොලීසියට පැමිණිලි දාලා තියෙනවා දුව සහ බිරිඳ විසින් ගිහිල්ලා. එම පැමිණිලි සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් තණමල්විල පොලීසිය විසින් අරගෙන නැහැ. ‘කැම්පස් එකට එන්න එපා මරණවා’ කියපු එක සම්බන්ධයෙන් පොලීසිය කිව්වේ ‘කිසිම ප්‍රශ්නයක් නැහැ; එහෙම දෙයක් වෙන්නේ නැහැ; අපි ඒක බලාගන්නම්’ කියලා. ජනවාරි 21 වනදා මගේ දුව විභාගය ලියලා කැම්පස් එකෙන් එළියට එනවිට පිහියකින් ඇනලා බරපතළ තුවාල සිදුකළා. ඒ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගන්න ඕනේ තණමල්විල පොලීසිය විසින්. මීට අදාළව හඬපට සහ කෙටි පණිවිඩ සියල්ල අපි ළඟ තියෙනවා. මා වගේ පොලිස් නිලධාරීයෙකුට පොලිස් දෙපාර්තමේන්තුවෙන් සාධාරණයක් ඉටුවෙන්නේ නැතිනම් රටේ සියලුම අහිංසක පුරවැසියන්ට සාධාරණයක් ඉටුවෙයිද කියන ප්‍රශ්නය මට තියෙනවා. මගේ දුව මරණවා කියන එක සහ මගේ පවුලේ අය මරණවා කියන එක දාපු සියලු පැමිණිලිවල පිටපත් මගේ ළඟ තියෙනවා. මේ එකක්වත් විභාග නොකළ ඒවා. මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා යම් ක්‍රියාමාර්ගයක් ගනී කියලා මම හිතනවා.”

***************************************

වෙළෙඳපොළේ ඉටි පන්දම් මිල ඉහළට

(25.01.2022 – 06:34 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නො හැකි වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ඉටිපන්දම් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් පවසනවා.

විශේෂයෙන් හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල මෙසේ ඉටි පන්දම් මිල ඉහළ ගොස් ඇති බව යි වාර්තා වෙන්නේ.

කුඩා ප්‍රමාණයේ ඉටි පන්දමක තොග මිල රු. 7.50 වන අතර , සමාන්‍ය ප්‍රමාණයේ ඉටි පන්දමක් රු. 37.50 කට තොග වෙළෙඳුන් විසින් අලෙවි කරනු ලබයි.

ඉටි පන්දම් පැකට්ටුවක ඉටි පන්දම් 40 ක් ඇති බවත් එය මාසයක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් 100 කින් පමණ ඉහළ ගිය බවත් වෙළෙඳුන් කියා සිටිනවා.

ඉටි පන්දම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉටි චීනයෙන් ආනයනය නො කරන නිසා වෙළෙඳපොළේ ඉටි පන්දම් හිඟයක් පවතින බව යි වෙළෙඳුන් කියා සිටින්නේ.

මේ දිනවල පාරිභෝගිකයින්ගෙන් ඉටි පන්දම් සදහා විශාල ඉල්ලුමක් පවතින බව ද වෙළෙඳුන් සඳහන් කරනවා.

මේ දිනවල දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු වන අතර, මේ හේතුවෙන් ජන ජීවිතය බරපතළ ලෙස අභියෝගයකට ලක් වී තිබෙනවා.

විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පුන පුනා විදුලිය නො කපන බව ප්‍රකාශ කළ ද විදුලිය නැවත නැවතත් විසන්ධි වෙන්නේ, අමාත්‍යවරයාගේ මාධ්‍ය පුරසාරම් හාස්‍යයට ලක් වෙමින්.

ඊයේ (24) පැවති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් ලොකුගේ අමාත්‍යවරයා පැවසුවේ, මෙය විසන්ධි කිරීමක් නො ව බිඳ වැටීමක් (බ්‍රේක් ඩවුන්) බවයි ෴

***************************************

යතුරුපැදි සොරකමක සුලමුල හෙළි වෙයි

(25.01.2022 – 07:47 +0530 – hirunews.lk/sinhala)

බඩල්ගම ප්‍රදේශයේ දී ඊයේ (24) සිදු කළ පොලිස් මෙහෙයුමකින් යතුරු පැදිවල එන්ජින් හා චැසි අංක වෙනස් කර ව්‍යාජ අංක තහඩු සවි කර අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල මාර්ග අසල නවතා ඇති යතුරුපැදි සූක්ෂ්ම ලෙස සොරාගෙන මෙම ජාවාරම සිදු කර ඇති බව යි වාර්තා වෙන්නේ.

අත් අඩංගුවට ගන්න විට සැකකරු සතු ව මාරවිල පොලිස් වසමේ ලුණුවිල ප්‍රදේශයේ දී සොරාගන්නා ලද ව්‍යාජ අංක තහඩු සවිකළ යතුරුපැදියක් ද තිබුණු බව පොලිසිය වාර්තා කරනවා.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමේ දී සමාජ ජාලා වෙබ් අඩවිවල හා මුහුණු පොතේ දැන්වීම් පළ කර එමඟින් හඳුනා ගන්නා පුද්ගලයින්ට මෙම යතුරුපැදි අලෙවි කර ඇති බව යි වාර්තා වන්නේ.

මෙලෙස අලෙවි කිරීමට සූදානම් කොට පොලිසිය විසින් සොයාගන්නා ලද යතුරුපැදි ගණන 06 ක්.

සැකකරු වයස අවුරුදු 26 ක ගොඩිගමුව – බඩල්ගම ප්‍රදේසහ්‍යේ පදිංචිකරුවෙකු වන අතර, වැඩිදුර පරීක්ෂණ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදු කෙරෙනු ඇති.

මේ අතර, ත්‍රීරෝද රථ, යතුරු පැදි හා පා පැදි යොදාගෙන රන්මාල කොල්ල කන පුද්ගලයෙකු ද ඊයේ (24) ගල්කිස්ස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

තෙලවල හංදිය බුදු පිළිමය අසලදි යි ඔහු මෙම සොරකම් සිදු කර ඇත්තේ.

මොහුගේ මෙම කොල්ලකෑම්වලට තවත් පුද්ගලයෙකු ද සහාය වී ඇති අතර, ප්‍රධාන සැකකරුට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තු 03ක් ද ඇති බව වාර්තා වෙනවා.

සැකකරු අද (25) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙනු ඇති ෴

***************************************

ගෙවුණු පැය 24 තුළ දිවයින පුරා පුද්ගල මරණ 07 ක්

(25.01.2022 – 08:05 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු පැය 24 ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගල මරණ 07 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ, මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගල මරණවලට හේතු වන්නේ; ඝාතන, අබිරහස් ව මියයාම, හදිසි අනතුරු සහ රිය අනතුරු බවයි.

ඒ අනුව බදුල්ල පොලිස් වසමේ වේවැස්සවත්ත – දෙබැද්ද ප්‍රදේශයේ දී තුවාල සහිතව මියගිය කාන්තාවකගේ මෘත ශරීරයක් පොලීසියට ලද තොරතුරකට අනුව සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වේවැස්සවත්ත ප්‍රදේශයේ ම පදිංචිකාරිනියක් වන වයස අවුරුදු 60 ක් වන කාන්තාවක්.

මරණකාරිය පෙරේදා (23) දින සවස් කාලයේ දී රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති බවත්, යළි ඇය නිවසට නො පැමිණි බවටත් ඒ හේතුවෙන් නිවැසියන් විසින් ඇය පිළිබඳ සිදු කරන ලද සොයා බැලීමේ ඊයේ (24) දින නිවස ආසන්නයේ පිහිටි තේ වත්තක තිබී ඇයගේ මෘත ශරීරය සොයාගෙන ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

පොලීසිය සිදු කරන ලද වැඩිදුර විමර්ශනවල දී අනාවරණ වූ කරුණු අනුව ඇයගේ මෘත ශරීයේ තැනින් තැන තිබූ කැපුම් තුවාල සහ ඇයගේ පාවහන් යුගලට අමතරව තවත් පාවහන් යුගලක් ඇය මියගිය ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් පොලීසිය සැක කරන්නේ, මෙම කාන්තාවගේ මරණය ඝාතනයක් වන බවටයි.

මෘත ශරීරය සිදු වූ ස්ථානයේ පොලිස් රැකවල් යොදා ඇති අතර, මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25) සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම, හබරණ – 126 කණුව – සිංහගම ප්‍රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

ඒ ඊයේ (24) හබරණ පොලීසියට ලද තොරතුරක් මතයි.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නොමැති අතර, මෙලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ උඩුකය නිරුවත්ව ඇති අතර, සරමක් ඇඳ සිටි බවට ද පොලීසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ මරණකරු අසල තිබී, කළු පැහැති සෙරෙප්පු කූට්ටමක්, වතුර බෝතලයක්, වස බෝතලයක්, මුදලින් රුපියල් 5020 ක්, නැෂනල් ඇඳුම් කට්ටල 02 ක්, කහ පැහැති කමීසයක් සහ වියළි ගිය බිස්කට් 04 ක් ද සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන මහේස්ත්‍රාත් සහ මරණ පරීක්ෂණ අද (25) දින හබරණ පොලීසිය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර, ගෙවුණු පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විවිධ හේතු මත තවත් මරණ වාර්තා වුණා.

ඒ අනුව චාවකච්චේරිය – සංගස්ථානය හින්දු විද්‍යාලය අසල ඇති දුම්රිය මාර්ගයේ දී දුම්රියෙහි ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (24) සවස් කාලයේ දී සිදු වූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, වයස අවුරුදු 18 ක් වන තරුණයෙක් වන අතර, ඔහු කොඩ්කාමම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියටයි අදාළ තරුණයා ගැටී ඇත්තේ.

මරණකරුගේ මෘත ශරීරය චාවකච්චේරිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර , අද (25) දින මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

මේ අතර ඊයේ (24) උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ කොට්ටාව – අතුරුගිරිය ප්‍රධාන මාර්ගයේ දී යි.

අතුරුගිරිය දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගේට්ටු කණුවක ගැටී අනතුර සිදුව ඇති අතර, බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු යි.

එමෙන්ම, ඊයේ (24) පස්වරුවේ සිදු වූ තවත් රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනකු (2) රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම රිය අනතුර සිදුව ඇත්තේ ගාලදිවුල්වැව පොලිස් වසමේ ගෙවල් 05 ප්‍රදේශයේ දී යි.

ජයගහ දෙස සිට හැලබෑව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියැදුරුට රථය පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

එම අවස්ථාවේ දී ත්‍රීරෝද රථයේ පුද්ගලයින් සිව්දෙනෙකු (4) ගමන් කරමින් සිට ඇති අතර, දෙදෙනකු (2) නොච්චියාගම රෝහලටත්, සෙසු දෙදෙනා (2) අනුරාධපුර රෝහලටත් ඇතුළත් කෙරුණා.

එහෙත් නොච්චියාගම රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් දෙදෙනා (2) රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38 සහ 39 යන වයසෙහි පදිංචි පුද්ගලයින් වන අතර, ඔවුන් තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් ගාලදිවුල්වැව පොලීසිය වැඩිදුර විමර්ශන කරනවා.

මේ අතර, තවත් පුද්ගල මරණයක් පිහිඹියගොල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ, මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් පත්තු වීමෙන් බවයි වාර්තා වන්නේ.

පිහිඹියගොල්ලෑව – ඉහළගම, කැඳෑව ප්‍රදේශයේ දී සිදුව ඇති මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 37 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

මරණකරු විසින් අදාළ ගිනි අවිය නිපදවා ඇති බවත්, ඔහු අතින් ම එය පත්තු වී හිසට බරපතළ තුවාල වී ඇති බවත්, මරණයට හේතුව එය බවත් පොලීසිය පවසනවා.

ඊයේ (24) පෙරවරුවේ සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් පිහිඹියගොල්ලෑව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *