දකුණු මුහුදෙන් අල්ලාගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් තුන්සිය තිහ (330) ‘හරක් කටා’ගෙ ද ?

දකුණු මුහුදෙන් අල්ලාගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් තුන්සිය තිහ (330) ‘හරක් කටා’ගෙ ද ?

*********************************************

දකුණු මුහුදෙන් අල්ලාගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් තුන්සිය තිහ (330) ‘හරක් කටා’ගෙ ද ?

(24.01.2022 – 18:37 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා ජාතික බුද්ධි සේවාව එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක දී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් තුන්සිය තිහක් (330) බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එමෙන්ම මෙම මෙහෙයුමේදී පුද්ගලයින් එකොලොස් දෙනකු (11) අත්අඩංගුවට ගත් බවත් ඔවුන් සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

ගාලු වරායට නාවික සැතපුම් දෙසීයකට (200) පමණ එපිටින් ජාත්‍යන්තර මුහුදේ දී මෙම මෙහෙයුම දියත් කෙරුණා.

එහිදී බෝට්ටු දෙකකින් (2) ගෙන යමින් තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳව තොරතුරු ජාතික බුද්ධි සේවාවට තොරතුරු ලැබීමෙන් අනතුරුව, පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව, මෙම වැටලීම සැලසුම් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් මේ වන විට ගොඩබිම වෙත රැගෙන එන බවත් ඔවුන්ගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම හෙරොයින් තොගය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගත හැකි බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ අදාළ හෙරොයින් තොගය මෙරට සිටින පාතාල ක්‍රියාකාරිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක් කටා’ට අයත් මත්ද්‍රව්‍ය තොගයක් බවයි.

+++++++++++

ගැඹුරු මුහුදේ නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකින් රුපියල් මිලියන 3300 කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දේශිය ධීවර යාත්‍රා 02 ක් අත්අඩංගුවට ගනීයි

(24.01.2022 – 21:35 +0530 – news.navy.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණු ‍දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 3300 ( රුපියල් 330,00,00,000) කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 330 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිතව) රැගත් දේශීය බහුදින යාත්‍රාවක් සහ එම ජාවාරමට සම්බන්ධ තවත් දේශීය යාත්‍රාවක් සමඟ දේශීය සැකකරුවන් 11 දෙනෙකු 2022 ජනවාරි මස 17 සහ 22 යන දිනයන්හී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය එක්ව සිදු කළ බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ සති 02 ක පමණ කාලයක් ආවේක්‍ෂණය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී, ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, දෙවුන්දර සිට නාවික සැතපුම් 737 ක පමණ දුරින් වූ (කිලෝ මීටර් 1364 ක් පමණ) ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී.

එහිදී එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර දහතුනක් (13) තුළ පැකට් 309 ක් ලෙස අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 330 කට අධික (ඇසුරුම් බර සහිතව) තොගයක් සොයා ගැනීමෙන් අනතුරුව, එම දේශීය බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි දේශීය සැකකරුවන් 06 දෙනෙකු 2022 ජනවාරි මස 17 වන දින අත්අඩංගුවට ගන්නා ලදි. එම මුහුදු ප්‍රදේශයේ සමුදුර නෞකාව මඟින් තවදුරටත් සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී හුවමාරු කර ගොඩබිමට රැගෙන යාමට පැමිණි තවත් දේශිය බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු 2022 ජනවාරි මස 22 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

තවද, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ගොඩබිම් ජාලයට සම්බන්ධ තවත් සැකකරුවන් 05 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙහෙයුම් සිදු කරනු ලබයි. තවද, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ජාවාරම් කරු ඩුබායි රාජ්‍යයේ සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු සනාථ වී ඇත.

නාවික හමුදාව මඟින් අත්අඩංගුවටගත් ‍හොරොයින් තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 3300 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවටගත් හෙරොයින් තොගය, සැකකරුවන් සහ බහු දින ධීවර යාත්‍රා නාවික හමුදාවේ ආරක්‍ෂාව යටතේ මේ වන විට කොළඹ වරායට රැගෙන එමින් සිටින අතර, මේ සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ෂණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කිරීමට නියමිතව ඇත.

තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් මත ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ මැදිහත් වීමෙන් සියළුම බුද්ධි අංශ ඒකාබද්ධ කර පොදු අරමුණක් කරා මෙහෙයවීමෙන් මෙවැනි සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදු කිරීමට හැකියාව ලැබි ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 වර්ෂයේ දී සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86 කට අධික වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකරමින් ඉදිරියටත් ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අනෙකුත් බුද්ධි සේවාවන් හා එක්ව අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.

***************************************

ආණ්ඩුවට හා පොලීසියට ලිස්සලා යන්න දෙන්නේ නැහැ – කාදිනල් හිමි

(24.01.2022 – 17:38 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තැබීමේ සිදුවීමට අදාළ චෝදනා වෙනත් පාර්ශ්වයන් පිට පටවා ඉන් ලිස්සා යාමට ආණ්ඩුවට හා පොලීසියට ඉඩ නොතබන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සහ දේවස්ථාන අත්බෝම්බ සිද්ධිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊයේ (23) පැවති සාකච්ඡාවකදීයි.

“මේ සිද්ධියේ ඇත්ත නැත්ත සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරගන්න කල්ම අපි අරගලයක් කරනවා මේ ආණ්ඩුවට විරුද්ධව. මොකද මේ ආණ්ඩුවයි පොලීසියයි කරන නාටකය අපිට පැහැදිලිවම පේනවා. ඒ නිසයි මම අපේ පියතුමන්ලාට කිව්වේ එදා උදේ වරුවේ දර්ශන බලන්න කියලා. මොකද අපිට එතකොට මේ බෝම්බය වෙන කෙනෙක් ගෙනාවද හොයන්න පුළුවන් වෙනවානේ. ඉතින් ඒ අනුව අපිට හොයාගන්න පුළුවන් වුණා. අනිත් එක අර ‘මුනි’ කියන කෙනා පිට මේක දාලා අතහෝදගන්න පොලිසීය උත්සහ කෙරුවා. පොලිස් ඇමති ඒක තමයි ඒ ප්‍රකාශයේදී කිව්වේ. එහෙම දේවල් කරන්න අපිට ඉඩදෙන්න බැහැ – සාධාරණ හදවතක් තියෙන ඕනෑම මනුස්සයෙකුට. ඒ නිසා අපි මේ කාරණව එහෙම ලිස්සලා යන්න දෙන්නේ නැහැ ආණ්ඩුවටවත් පොලීසියටවත්. අපිට උසාවිය තියෙනවා. උසාවිය ගැන අපිට විශ්වාසයි. ඒ නිසා මේ කාරණාව … උසාවියේදී මේ කරපු වැරැද්ද හරිගස්සන්න ඕනේ. මේ මනුස්සයාට වුණ වැරැද්ද හරිගස්සන්න අපි කටයුතු කරනවා. පොලීසිය භාර ඇමති එදා වැඩි වෙලා යන්නට පෙර පැනලා කියපු දේ තමයි ‘මේක මේ මනුස්සයා කරපු වැඩක්’ කියලා. අනිත් එක … ඒ විතරක් නෙමෙයි අර කොහෙද රෝහල් බෝම්බයත් මේ මනුස්සයාගෙ ඇඟේ පැටෙව්වා. ඉතින් මේවා … පොලීසිය ගහලා – මිනිස්සුන්ට තර්ජනය කරලා කරන්න හදන යුක්තිය අපි පිළිගන්නේ නැහැ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක නිසා අපි මේ මනුස්සයාට සහ අනෙක් තුන්දෙනාට වුණ අසාධාරණයට අපි ඉදිරිපත් වෙලා කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා.”

++++++++

***************************************

කෝ මේ රට හදන්න ආ තරුණ වෘත්තිකයන්? ළඟදී ම අහන්න වේවි

(24.01.2022 – 05:44 +0530 – lankaleadnews.com)

මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ වෙනුවට පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත් කිරීම පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය වී තිබේ. පසු ව පොහොර හා බැඳුන වගකීමකට ලසන්ත පත් කිරීම තුල (ඔහු තව ම ඒ තනතුර භාරගෙන නැත) මේ තම වගකීම සාර්ථක ව ඉටු කළ ඔහුට නව වගකීමක් භාරදීමක් ලෙස ද අදහස් පළ වේ. එහෙම නම් වගකීම පැවරූ රාජ්‍ය නායකයත්වය අඩු ම තරමින් ඒ බව දැනුම්දිය යුතු යි නේ ද?

වෘත්තීයවේදීන්ට රාජ්‍ය ආයතන ගොඩදාන්න පෙරට එන්න කිවුවා ම, ගණිත විශේෂ උපාධිය සහ මෘදුකාංග පිළිබඳ හා සැපයුම්ජාල පිළිබඳ M.Sc. උපාධි දෙකක් (2) සමඟ ලසන්ත ඉල්ලුම් කළේ තරුණ සේවා සභාවට; ජනාධිපතිතුමා තමයි ලසන්තට කතාකර මිලකෝ ඇතුළු ආයතන හතරක් පහක් (4-5) ගැන කියා, වැටිලා තියෙන ඒ ආයතනයක් බාර අරගෙන ගොඩදාල දෙන්න කිවුවේ.

මිල්කෝ ආයතනය ලාබ ලබන තත්ත්වයට ගෙනාවාට, ලංකාව කිරිවලින් ස්වයං පෝෂිත තත්ත්වයට ගෙන ඒම දීර්ඝකාලීන වැඩක්. ඒ සඳහා එළදෙනුන් ක්‍රමානුකූලව කෘතිම සින්චනය කිරීම (මේ ක්‍රියාදාමය කොරෝනා කාලේ අමාත්‍යාංශයෙන් නිසි පරිදි සිදු නොවීම නිසා පසුගිය කාලයේ ලංකාවේ කිරි නිෂ්පාදනය පහළ වැටුණා), ගවයන්ට අවශ්‍ය ජලය හා පෝෂ්‍යදායී තෘණ ලබාදීම, කිරි ගොවීන් ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, … ආදී වශයෙන් කරුණු රැසක් ඉෂ්ටසිද්ධ කරන්න ලසන්ත මැදිහත් ව කටයුතු කරමින් තිබුණා. පහසු නෑ, කෘෂිකර්මාන්තය පළාත් සභා විෂයක්. අමාත්‍යවරුන්ට ඕනෑ පාක්ෂිකයන්ට රැකියා, ව්‍යාපාරික හිතවතුන්ට ‘ඩීල්’. වෘත්තීය සමිතිවලට කප්පම්.

කිරි ගොවීන්ට නියමීත දිනට ගෙවීම් කිරීම, ලිටරයක ගෙවන මුදල වැඩි කිරීම (ලීටරයකට දෙමින් තිබූ රු. 60, රු. 90 දක්වා වැඩිකර ඇත) හා කොරෝනා වසංගත අවස්ථාවේ කළ තීරණාත්මක මැදිහත්වීම මත බිඳවැටී තිබූ මිල්කෝ සැපයුම්ජාල ශක්තිමත් කිරීමට ලසන්ත සමත් වුණා. කොරෝනා නිසා රට වැසූ මුල් දිනයේ දීත් මිල්කෝ කිරි එකතු කළා, ලසන්ත ම මැදිහත්වී පොලිසිවලට කරුණු පැහැදිලි කර අත්අඩංගුවට ගත් කිරි එකතු කිරීමේ වාහන නිදහස් කරගත්තා. ජනාධිපති කාර්යසාධක බලකාය ගොවීන්ට, ධීවරයන්ට හදිසි නීතිය නොතකා කටයුතු කරන්නැ යි නිවේදනය කරන කොට, ඒ අනුව තරගකාරී ආයතන කිරි එකතු කිරීම අරඹන කොට ලසන්ත මිල්කෝ ආයතනය විතරක් නෙවේ, ගම්වල කිරි ගොවීන් ගේ ජීවිතත් ගොඩදාලා තිබුණා. එළදෙනුන්ට සුදුසු තණ කොළ, කිරි වගේ ම සහතික මිලකට මිල දී ගැනීමේ ප්‍රතිඥාව මත රට පුරා නිසරු බිම්වල වගේ ම රබර්වතු ආදියෙහි යටිවගාවක් ලෙස ද වගා කරවන ව්‍යාපෘතියක් මේ වසරේ ක්‍රියාවට නැඟීමට සැලසුම් හදලා තිබුණා. මේ ක්‍රියාවලියත් ගමේ ආර්ථිකය ඔසවා තබන්නක්.

දැන් නෙලුම් මාවතේ අපුල්ලන්නා ලියලා තිබුණා ලසන්ත පිටිකිරි, දියර කිරිවලට වඩා යෝගට්වලට, අයිස්ක්‍රීම්වලට තැන දුන්නා කියා. චෝදනාව බොරු; දියර කිරි ප්‍රචලිත කිරීමට රූපවාහිනී නාලිකා ගානේ ගිහින් ලසන්ත ම කරදුන්නා. හැබැයි ආයතනය ලාබ ලබන්න, සේවකයන්ව සතුටු කරන්න, කිරි ගොවින් ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ආදායම් හොයන්න ඕනේ. බහුජාතික සමාගම්වලට අභියෝගයක් වෙමින් ලසන්ත කළේ ඒ කාර්යභාරය.

අලුත් සභාපති වැඩ භාරගත් අවස්ථාවේ පොහොට්ටු වෘත්තීය සමිති (නා)යකයන් වසාදැමන තැනට තල්ලු වෙමින් තිබූ ආයතනය ගොඩදැමීම ගැන ස්තුති කරනවා වෙනුවට, ලසන්තට විවිධ චෝදනා නඟා තිබුණා (ඒ සමිති නායකයන් ආයතනයෙන් සේවකයන්ට සහන මිලට දෙන කිරිපිටි පැකට්වලින් බිස්නස් කිරීම නැවැත්වීමට ලසන්ත මැදිහත් වූ නිසා). රාජ්‍ය ඇමැති වෘත්තීය සමිති නඟන චෝදනා ගැන වහා ම පරීක්ෂණයක් පැවැත්විය යුතු යි කියා තිබුණා. රට ගොඩනඟන විරුවන් ගෙන් සද්දයක් නැත. තවටික දවසකින්, ‘කෝ මේ රට හදන්න ආපු තරුණ වෘත්තිකයින්?’ කියා මහින්ද මහත්තයාට අහන්න සිදු නොවේවා.

ගෙවිඳු කුමාරතුංග
සභාපති
යුතුකම ජාතික සංවිධාන

++++++

මිල්කෝ හිටපු සභාපති පොහොර සංස්ථාවේ සභාපති තනතුර ප්‍රතික්ෂේප කරයි

(24.01.2022 – 05:38 +0530 – lankaleadnews.com)

මීට පෙර මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට ලිපියක් යවමින් සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස පත්කිරීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වුවද සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතාව ඉතුක් 21 වනදා පත්කර තිබුණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *