පූර්ණ එන්නත්කරණයට මාත්‍රා තුනම අනිවාර්ය කෙරේ

පූර්ණ එන්නත්කරණයට මාත්‍රා තුනම අනිවාර්ය කෙරේ

*********************************************

පූර්ණ එන්නත්කරණයට මාත්‍රා තුනම අනිවාර්ය කෙරේ

(24.01.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී කොරෝනා එන්නත් මාත්‍රා 3ම ලබා ගත් අය පමණක් පූර්ණ එන්නත්කරණය ලැබූවන් ලෙස සලකන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අද ප්‍රකාශ කළා.

ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි ඔහු සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අතර අද පැවති විශේෂ සාකච්ජාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙරට ජනගහනයෙන් කොරෝනා පළමු මාත්‍රාව සියයට 101කට ලබාදී ඇති බවයි.

එමෙන්ම, දෙවන එන්නත් මාත්‍රාව සියයට 98ටත්, තුන් වන එන්නත් මාත්‍රාව සියයට 30කටත් මේවන විට ලබාදී තිබෙනවා.

එමෙන්ම, එළඹෙන ජනවාරි 29 වනදා දිවයින පුරා මධ්‍යස්ථාන 1000කදි කොරෝනා එන්නත් තුන්වන හෙවත් වර්ධක මාත්‍රාව ලබාදීමේ විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කරන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඒ, එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර වසරක් ගතවීමට සමගාමීවයි.

මේ අතර, කොරෝනා හතරවන රැල්ලක් ඇතිවීම වැලැක්වීම සදහා බූස්ටර් එන්නත කඩිනමින් ලබාගැනීම ඉතා වැදගත් බව කැළනිය වෛද්‍ය පිඨයේ මහාචාර්්‍ය විශේෂඥ වෛද්‍ය ෂර්මිලා ද සිල්වා ප්‍රකාශ සදහන් කළා.

ඇය මේ බව සදහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද දහවල් පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

කොරෝනා ආසාදිතයන් ඉහළ යෑම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය ශල්‍යකර්ම කල්දැමීමටද සිදුව තිබෙනවා.

මේ අතර, සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්නටද කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඇය මේ වන විට නිවෙස් නිරෝධායනයට යොමු වී ඇති බව සඳහන්.

එමෙන්ම, ඔමික්‍රොන් සහ නව කොරෝනා ප්‍රභේද සදහා මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරුණු 05කින් තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

කොරෝනා එන්නත්කරණය සම්බන්ධ මිත්‍යාමත පරාජය කිරීම, බූස්ටර් එන්නත් මාත්‍රාව සියයට 75ක වඩා ජනගහනයකට ලබාදීම, කොරෝනා පරීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම හා කොරෝනා හදුනාගැනීමේ ස්වයං පරීක්ෂණ හදුන්වාදීම, කොරෝනා රෝගීන් නිවෙස් තුල රැකබලාගන්නා ක්‍රමවේදය ශක්තිමත් කිරීම, කොරෝනා පිළිබද පර්යේෂණ සහ ඇගයීම් ප්‍රවර්ධනය ඊට ඇතුළත්.

මීට අමතරව, සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු පිළිබද ජනතාව තවදුරටත් දැනුවත් කිරීමද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ තාක්ෂණික කරුණු අතර වනවා.

මේ අතර, ආයුර්වේද වෛද්‍යවරුන්ට හිමි දීමනා ලබා නොදීමට එරෙහිව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තිය සමිති ඒකාබද්ධ සංවිධානය අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරනවා.

+++++++++++++

යළිත් රට වැහෙයිද ?

(24.01.2022 – 20:33 +0530 – hirunews.lk/sinhala)

රට යළි සාමාන්‍යකරණයට ලක් වීමත් සමග කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ යම්කිසි වර්ධනයක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් චන්න ද සිල්වා පවසනවා.

එදිනෙදා ජීවිත‍යේ සෞඛ්‍යමය ලිහිල්භාවය ජනතාවට ලැබීමත් සමග බොහෝ දෙනා දීර්ඝ නිවාඩු ගත කිරීමට සහ සංචරණ කටයුතු වැඩි වශයෙන් සිදු කිරීමට යොමු වීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය මත රට පුරා ඉතා ශීඝ්‍රයෙන් ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වන අතර, දෛනිකව විශාල වශයෙන් නව ප්‍රභේදය ආසාදනය වූවන් විවිධ ප්‍රදේශවලින් හමුව ඇති බව වෛද්‍යවරයා කියා සිටිනවා.

මෙවන් තත්ත්වයක් ඇතිවීමට මූලිකම හේතුව වන්නේ රට සාමාන්‍යකරණය වීම තුළින් ජනතාව සැහැල්ලුවෙන් යුතුව ගමන් බිමන් අනවශ්‍ය පරිදි සිදු කිරීම බව ද හෙතෙම වැඩිදුරට්ත් පෙන්වා දෙනවා.

මෙවන් පසුබිමක් තවදුරටත් පවත්වාගෙන යන්නේ නම්, අනිවාර්යයෙන්ම ඔමික්‍රොන් වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවත්, එමගින් එම ප්‍රභේදය රටේ ව්‍යාප්ත වන ප්‍රධානතම වෛරස ප්‍රභේදය බවට පත්විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය අසාදිතයින්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ඉතා අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

සුලු කැස්ස / හෙබිරිස්සාව සහ සුලුවෙන් ඇතිවන උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ කිහිපයක් පමණක් ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය අසාදිතයින්ගේ පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

සාමාන්‍ය කොවිඩ් වෛරස අසාදිතයින්ගේ පෙන්නුම් කරන අධික උණ වැනි රෝගී තත්තව මෙම වෛරස අසාදිතයින්ගේ පෙන්නුම් නොකිරීම විශේෂත්වයක්.

මේ අතර කොවිඩ් මර්ධන එන්නත හරහා කිසිදු අතුරු රෝගාබාධයක් ඇති නොවුනද කොවිඩ් රෝගය වැළදුණු විටදී ලිංගික බෙලහීනතාව / මදසරු භාවය / ලේ කැටි ගැසීම නිසා ඇතිවන හෘද ආබාධ, අංශභාග වැනි රෝගී තත්වයන් හටගන්නා බවද විශේෂඥ වෛද්‍ය ශර්මිලා ද සිල්වා මහත්මිය අවධාරණය කලා.

ඇය මේ බව අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

++++++++++++

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

වෙල්‍ යායෙන් මතු වූ මිනිස් හිස් කබල

(24.01.2022 – 15:16 +0530 – hirunews.lk/sinhala)

තඹුත්තේගම – බොරලුකන්ද වෙල්යාය අසල තිබී මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇති අතර එහි අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා කිසිවෙකු විසින් ඝාතනය කොට, මෙහි ගෙනැවිත් දැමුවේ ද නැතහොත් වෙන යම් සිදුවීමක් දැයි සොයා මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මකයි.

***************************************

මහබැංකුවෙන් හෝටල් සේවා සැපයුම්කරුවන්ට නිවේදනයක්

(24.01.2022 – 17:08 +0530 – hirunews.lk/sinhala)

විදේශිකයන් මෙරට දී සිදුකරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීම හෝටල් සේවා සැපයුම්කරුවන්ට අනිවාර්ය කර තිබෙනවා.

ඊට අදාළ නීති රීති මහබැංකුවේ මුදල් මණ්ඩලය මගින් සකස් කර ඇති අතර, අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි, මහබැංකුව සඳහන් කළේ.

ඒ අනුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි බලපත්‍රලාභී හෝටල් සේවා සැපයුම්කරුවන් විදේශිකයන්ට සපයන සේවාවන් සඳහා වූ ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගත යුතුයි.

එම මුදල් සැපයුම්කරුගේ විදේශ මුදල් ගිණුමකට බැර කිරීම හෝ බලපත්‍රලාභී බැංකුවකට විකිණීම දින 3 ක් තුළ සිදුකළ යුතු වනවා.

එමෙන්ම, විදේශිකයන් විසින් ණයපත් – හරපත් හෝ සංචාරක කාඩ්පත් යනාදිය හරහා සිදුකරන ගෙවීම් ද හෝටල් සේවා සැපයුම්කරුගේ විදේශ මුදල් ගිණුමකට බැර කළ යුතුයි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවට ගෙන එන ලද විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරන ලද බවට අදාළ ලේඛන ලබාදුන් විට විදේශිකයන්ට ද ශ්‍රී ලංකා රුපියල්වලින් එම ගෙවීම් සිදුකළ හැකි බවයි, මහබැංකුව සඳහන් කළේ ෴

***************************************

ශ්‍රී ලාංකීය සිසුන් හට එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල වරම්

(24.01.2022 – 17:55 +0530 – hirunews.lk/sinhala)

එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්වවිද්‍යාලයේ පාඨමාලා රැසක් හැදෑරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික සිසුන් වෙත විවර කිරීමට බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතවී සිටින රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සහ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාල ප්‍රධානීන් අතර එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින්ට ප්‍රතිලාභ ගෙන දෙන සහ නව රැකියා අවස්ථා ඇති කිරීමට ඉවහල් වන පාඨමාලා සැපයීමේ ඒකාබද්ධ හවුල්කාරිත්වයන් ඇති කිරීමේ අරමුණින් මේ දිනවල එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල වල නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් සිටින රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සහ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාල ප්‍රධානී අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකික සිසුන් හට තිරසාරභාවය සහ STEM වැඩසටහන් පිළිබඳ කෙටි පාඨමාලා ලබා දෙනු ඇති.

එසේම අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය (CPDs) ලෙස හැඳින්වෙන කෙටි පාඨමාලා, විද්‍යා හා තාක්‍ෂණය, ජෛව තාක්‍ෂණය මෙන්ම මහජන සෞඛ්‍යය යන අංශ ඔස්සේ අධ්‍යනය සඳහා ශ්‍රී ලංකික සිසුන්ට අවකාශ උදාවනවා ෴

***************************************

සහල් පරිභෝජනය අඩුවෙයි

(24.01.2022 – 19:23 +0530 – hirunews.lk/sinhala)

වෙළදපොළේ සහල් මිල ඉහළ යාමත් සමඟ සහල් පරිභෝජනය අඩු වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් වෙළදපොළේ සහල් අලෙවිය ද අඩු වී ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් රජය සහල් ආනයනයට පියවර ගැනීම සහ ඇතැම් ප්‍රදේශවල මහ කන්නයේ අස්වනු නෙලීම ආරම්භ වීමත් සමග සහල් මිල මේ වන විට යම් තරමකින් පහත බැස තිබෙනවා.

මේ වන විට වෙළදපොළේ සම්බා සහ නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 150 කටත්, සුදු කැකුළු සහ රතු කැකුළු කිලෝග්‍රෑම් 140 කටත් අලෙවි වනවා.

කෙසේ වෙතත් පසුගිය දිනවල වෙළදපොළේ මෙම මිල ගණන් රුපියල් 170 දක්වා ඉහළ ගොස් තිබුණා.

නමුත් සහල් වෙළදුන් පෙන්වා දෙන්නේ පාරිභෝගික ජනතාව සහල් මිලදී ගැනීම අඩු කර ඇති බවයි.

‘එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ’ සභාපති මුදිත් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වෙළදපොළේ සහල් මිල අඩු වුවද පාරිභෝගිකයින් සහල් මිලදී ගැනීම ද පහත වැටී ඇති බවයි.

මේ අතර මෙරට ආහාර කාණ්ඩයේ උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ සියයට 21.5 දක්වා ඉහළ ගිය අතර, ඒ අනුව ලොව ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව 12 වන ස්ථානයට පත්ව තිබෙනවා.

‘ට්‍රේඩින් ඉකොනොමික්ස්’ වෙබ් අඩවියේ යාවත්කාලීන කළ දත්තවලට අනුව එලෙස වැඩිම ආහාර උද්ධමනයක් පවතින රට වන්නේ වෙනිසියුලාවයි.

ලෙබනනය සහ සුරිනාම් එහි දෙවන සහ තුන්වන ස්ථානවල රැඳී සිටිනවා.

ශ්‍රී ලංකාවට වඩා ඉහළ ආහාර උද්ධමනයක් පවතින අනෙකුත් රටවල් වන්නේ සිම්බාබ්වේ, ආජන්ටිනාව, තුර්කිය, ඉරානය, සිරියාව, ඉතියෝපියාව, ඇන්ගෝලාව සහ හයිටි රාජ්‍යයයි.

පසුගිය වසර අවසාන මාස කිහිපය තුළ මෙරට උද්ධමනය සීග්‍රයෙන් ඉහළ ගිය අතර, දෙසැම්බරයේ එය සියයට 21.5 දක්වා ඉහළ ගියේ නොවැම්බරයේ 16.9 ක් ලෙස සටහන්වීමෙන් අනතුරුවයි ෴

***************************************

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළදුන් සොයා විශේෂ වැටලීම්

(24.01.2022 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ලකුණු කළ මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා වැටලීම් හා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ කොළඹ, කලුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මොණරාගල, අනුරාධපුර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වල සිමෙන්ති වැඩි මිලට විකුණු ව්‍යාපාරික ස්ථාන 56 ක් වටලා ඇති බව සඳහන්.

සිමෙන්ති විකිනීම ප්‍රතික්ෂේප කිරීම, සන්තකයේ තබාගෙන නොමැති බව කීම, කොන්දේසි සහිතව අලෙවිය හා තොග සගවා තබා ගැනීම නොකළ යුතු බව ද පාරිභෝගික අධිකාරි පනතෙහි සටහන්ව තිබෙනවා.

සන්තකයේ නොමැති බව කීම හා තොග සගවා තබාගැනීම යන වැරදි කරනු ලබන වෙළෙඳුන් සතු සිමෙන්ති තොග තහනම් කිරීමටත් එම තොග අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත රාජසන්තක කිරීමටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බලතල ඇතැයි අධිකාරිය නිකුත් කල නිවේදනයක සඳහන්.

ඒ අනුව නීති උල්ලංඝනය කරනු ලබන අලෙවිකරුවන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත ප්‍රකාරව කටයුතු කරන බව ද ඔවුන් දන්වා සිටිනවා ෴

***************************************

බස් රථ දෙකක් (2) එකිනෙක ගැටීමෙන් පසු උණුසුම් තත්ත්වයක්

(24.01.2022 – 21:37 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – කොළඹ අංක 57 මාර්යේ ධාවනය වන ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පසු බස් රථ සේවකයින් සහ මගීන් අතර උණුසුම් තත්වයක් හට ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මේ එම වීඩියෝව :

***************************************

සොඳුරු නායකත්වයක් අවශ්‍යයි – සජිත් ප්‍රේමදාස

(24.01.2022 – 22:11 +0530 – hirunews.lk/sinhala)

රජය අප්‍රසාදයට පත්වූ පමණින් බන්දේසියක තබා ආණ්ඩු බලය නොලැබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මිද්දෙණියේ පැවති ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේ මෙරටට සොඳුරු නායකත්වයක් අවශ්‍ය බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *