ඉහළ යන එළවළු මිල – පොහොර අර්බුදයට විසඳුම් සෙවූ නාවුල තරුණයින්

ඉහළ යන එළවළු මිල – පොහොර අර්බුදයට විසඳුම් සෙවූ නාවුල තරුණයින්

*********************************************

ඉහළ යන එළවළු මිල – පොහොර අර්බුදයට විසඳුම් සෙවූ නාවුල තරුණයින්

(24.01.2022 – 14:12 +0530 – hirunews.lk/sinhala)

වෙනත් දිනවලට සාපේක්ෂව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා.

වෙළෙඳුන් පවසන්නේ උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු තොග විශාල වශයෙන් අඩුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.

බදුල්ල ඇතුළු එළවළු වගා කරන ප්‍රදේශ රැසක ගොවීන් පොහොර නොමැතිවීම හේතුවෙන් වගා කටයුතුවලින් මේ වනවිට ඈත් වෙමින් සිටිනවා.

පෑලියගොඩ මැනිං වෙළෙඳුන්ගේ සංගමය පවසන්නේ මේ හේතුවෙන් කොළඹට එළවළු තොග ලැබීමේ විශාල අඩුවක් පවතින බවයි.

එවන් පසුබිමක අද (24) දිනයේත් එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ප්‍රමාණවත් කෘමිනාශක හා වල්නාශක නොමැතිවීමෙන් වී ඇතුළු වගාවන්වල නිතර ගොවීන් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර කෘෂි රසායනික නොමැතිව අසාර්ථක වූ වී වගාවන්ට පිළියම් සෙවූ තරුණයින් පිරිසක් පිළිබඳ අපට නාවුල – හේනේගාල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඔවුන් මෙලෙස සාර්ථක බතල අස්වැන්නක් ලබා ගැනීමට කටයුතු කර තිබුණේ කාබනික පොහොර යොදා ගනිමින් වීම විශේෂත්වයක්.

***************************************

ආණ්ඩුව කළ එකම දේ ජනතාව පිපිරීම යි – සජිත්

(24.01.2022 – 14:24 +0530 – hirunews.lk/sinhala)

ජනතාව මුහුණ දී සිටින භාණ්ඩ මිල ඉහළ යාමේ ගැටලුව සම්බන්ධයෙන් රජය කිසිදු තැකීමක් නොකරන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ දෙනියායේ පැවති ජන හමුවකදීයි.

වත්මන් ආණ්ඩුව ව බලයට පත්ව සිදු කළ එකම දේ වන්නේ රටේ ජනතාව පිපිරීමකට ලක්වන තීන්දු තීරණ ගත් බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

මේ වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මෙන්ම වෙළෙඳපොලේ එළවළු මිල ද ශීඝ්‍ර ලෙස ඉහළ යෑමකට ලක්ව ඇති අතර, ජනතාවට පොළේ ගිය විට සිය ඇඟ රත්වන බව ද සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

මේ වනවිට රටේ ආර්ථිකය ගොඩගැනීම කෙසේ වෙතත්, මහ බැංකුව විසින් මුදල් අච්චු ගැසීම රුපියල් ට්‍රිලියන 1.4ක් දක්වා වැඩි කර ඇති අතර මෙලෙස මුදල් අච්චු ගැසීම කිසිදු යුගයක් උදා වී නැති බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

***************************************

සිංහරාජ – ලංකාගම හුදෙකලා වෙයි

(24.01.2022 – 14:37 +0530 – hirunews.lk/sinhala)

සිංහරාජ වැසි වනාන්තර සීමාවේ පිහිටා ඇති දොඹගොඩ, ලංකාගම ගම්මාන යා කරමින් ගිංගඟේ ප්‍රධාන අතු ගංගාවක් හරහා ඉදිකර තිබූ මෙදේරිපිටිය පාලම මීට ටික වේලාවකට පෙර කඩා වැටුණු බව වාර්තා වනවා.

1980 වර්ෂයේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් ඉදිකළ මෙම පාලම මඟින් දෙණියාය මෙදේරිපිටිය හරහා නෙළුව දක්වා ගමන් පහසුකම් සැලසුණා.

සැහැල්ලු වාහන පමණක් යා හැකි ලෙස ඉදිකෙරුණු මෙම පාලම 2003 වසරේ සිදු කෙරුණු පුළුල් කිරීමත් සමඟ ඒ හරහා බර වාහන ගමනාගමනයට ඉඩ කඩ ලැබුණා.

කෙසේ වෙතත් මීට මාස දෙකකට (2) පමණ පෙර මෙම පාලමේ තත්ත්වය නිරීක්ෂණය කළ මාර්ග ඉංජිනේරුවන් එම පාලම යතුරු පැදි හා පා පැදි සඳහා පමණක් භාවිත කරන ලෙස සීමා පනවා තිබුණා.

ඒ අනුව එම පාලමට බර වාහන ඇතුළු කළ නො හැකි වන සේ බාධක යොදා තිබූ අතර, ගම්වාසින් විසින් එම බාධ ඉවත් කර නැවතත් බර වාහන සදහා මාර්ගය විවෘත කරගෙන ඇති බවට යි පැවසන්නේ.

අද (24) දින පාලමේ එක් කොටසක් කඩා වැටී ඇත්තේ ද ඒ මතින් ටිපර් රථයක් ගම කරන අතර වාරයේ යි.

මේ අනතුර හේතුවෙන් ටිපර් රථය ද පාලම කඩා වැටී ඇති පහළ කොටසේ සිර වී තිබෙනවා.

කෙසේ වෙතත් පාලම කඩා වැටීම හේතුවෙන් ටිපර් රථයට හෝ එහි ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නෑ.

***************************************

ජල අර්බුදයෙන් පීඩා විඳින ගම්වැසියන්

(24.01.2022 – 14:44 +0530 – hirunews.lk/sinhala)

ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වය ද ලබා ගනිමින් සිදු කළ පානීය ජල ව්‍යාපෘතියක් නිසි කළමනාකාරීත්වයකින් තොරව සිදු කිරීම හේතුවෙන් පානීය ජල පහසුකම් අහිමි වූ ගම්වාසීන් පිරිසක් පිළිබඳවයි මේ තොරතුරු.

මාතර – පස්ගොඩ – බෙරලපානාතර, දකුණ ග්‍රාම නිලධාරී වසමේ ගම්මාන කිහිපයක ජනතාව පානීය ජල අර්බුදයෙන් පීඩා විඳින්නේ කලක සිටයි.

ඊට විසඳුමක් ලෙස 1999 වර්ෂය්දී නිල්වලා ප්‍රජා මූල ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය මගින් පවුල් 265 කට පානීය ජලය ලබා දී තිබෙනවා.

නමුත් මේ වන විට එම ජල ව්‍යාපෘතිය හරහා ජලය සැපයෙන්නේ ඉතා සීමිත පිරිසකට වන අතර ජල ව්‍යාපෘතිය ආරම්භ කර වසර 5 කට පසුව එම ජලය පානය සඳහා නුසුදුසු බවට හඳුනා ගැනීමත් සමග ඔවුන් ද මෙම ජලය පානය කිරීමෙන් වැළකී සිටිනවා.

මෙම ප්‍රදේශවාසීන්ට පානීය ජලය ලබා දීම සඳහා සකස් කර ඇති ජල ටැංකි වල් බිහි වී විනාශ මුඛයට යන ආකාරයයි මේ.

ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ රුපියල් ලක්ෂ 19 ක පමණ මුදලක් වැය කර ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කළ නිල්වලා ප්‍රජා මූල සංවිධානයට අයත් මෙම ජල ව්‍යාප්පෘතිය යළි සක්‍රීය කර තම පානීය ජල අවශ්‍යතා සපුරාලන ලෙසයි.

***************************************

දරුවන් රැකීමට වෙර දරන දිරිය මවගේ කඳුළු කතාව

(24.01.2022 – 14:54 +0530 – hirunews.lk/sinhala)

දරිද්‍රතාව යනු පිටිසර පෙදෙස්වලට පමණක් සීමා වූවක් බව ඇතැමුන්ගේ අදහසයි.

එහෙත් හිසට සෙවණක්, කුසට අහරක් පවා නොමැතිව මාර්ග අසල ගෙවා දමන ජීවිත නාගරික ප්‍රදේශවලත් පවතින බවට උදාහරණ ඕනෑ තරම්.

මේ තවත් එවන් සිදුවීමක්.

පැන්සල් තුඩ පුංචි අතැඟිලි අතර රඳවන්න තවමත් වෙහෙසෙන කුඩා දරුවන් තිදෙනෙකු (3) සහ තරුණ මවක් සෑම සතිඅන්තයකම මෙලෙස දක්නට ලැබෙන්නේ බොරැල්ල සහ රාජගිරිය අතර, ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රය ඉදිරිපිට මාර්ගය අසලයි.

සිනිඳු වැල්ලක පා පොඩි නඟමින් සෙල්ලම් කළ යුතු මේ පුංචි දරුවන්, අද දුව පැන ඇවිදින්නේ, දිනකට දස දහස් ගණනක් රථ වාහන අධික තදබදයකින් යුක්තව ගමන් ගන්නා කාර්ය බහුල මාර්ගයයි.

හඳුන් කූරු, කපුරු පැකට් ආදිය අලෙවි කරමින් එදිනෙදා වියදම සොයා ගන්නා මෙම දිරිය කාන්තාව තම සැමියා කෙරෙහි තැබූ විශ්වාසය මේ වන විට අත්හැර දමා ඇත්තේ ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම හේතුවෙන් බවයි ඇය සඳහන් කළේ.

අව් වැසි නොතකමින් දෛනික ආදායමක් සපයා ගැනීමට මාර්ගය අසල සති අන්තය ගෙවන මේ පුංචි පවුල කවුරුන් හෝ ලබාදෙන යම් ආහාරයකින් බඩ වියත රැකගන්න වෙහෙසෙන්නේ උපයාගන්නා සොච්චම් මුදල දරුවන් තිදෙනාගේ අධ්‍යාපනය වෙනුවෙන් රැක ගැනීමටයි.

මේ මවගේ එකම ආයාචනය වන්නේ දරුවන් තිදෙනා (3) වෙනුවෙන් ස්ථිර ලෙස හිසට සෙවණක් තනාදෙන ලෙසයි.

***************************************

ආණ්ඩුවේ වැරදි කියන ගයන්ත පංච මහා අර්බුදයක් ගැන හෙළි කරයි

(24.01.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේ දී මෙරට ජනතාවට මුහුණදීමට සිදුවන පංච මහා අර්බුදයක් ගැන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක හෙළි කරනවා.

අම්බලන්තොට නගරයේ පැවැති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එළඹෙන මාර්තුවලදී රටේ දැඩි අර්බුදකාරී වාතාවරණයකට මුහුණදීමට සිදුවන බවයි.

එතුළින් පංච මහා අර්බුද ලෙස හඳුන්වන එම වියවුල්කාරී තත්ත්වය තුළ දී ජනතාවට දැඩි ආහාර අර්බුදයකට ද ලක්වීමට සිදුවන බවයි හෙතෙම පැවසුවේ.

මේ වනවිටත් වෙළෙඳපොලේ සහල් මිල පවා සැලකිය යුතු මට්ටමකින් වැවිවීමම මෙම අර්බුදයන්ට පූර්ව අනතුරු ඇඟවීම් ලෙසයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

***************************************

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *