වන්දි මුදල සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා – මහින්දානන්ද

වන්දි මුදල සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා – මහින්දානන්ද

*********************************************

වන්දි මුදල සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා – මහින්දානන්ද

(24.01.2022 – 11:14 +0530 – hirunews.lk/sinhala)

ගොවීන්ට සිදු වූ වගා හානි වෙනුවෙන් ගෙවන වන්දි මුදල සහ වී මිල සම්බන්ධයෙන් මේ සතියේ කැබිනට් රැස්වීමේ දී තීරණයක් ගන්නා බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

මහනුවර මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

හරිත කෘෂිකර්මාන්තයේ අඩුපාඩු ගණනාවක් සිදු වූ බවත් නියම වෙලාවට පොහොර ලබා දීමට නො හැකි වූ බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළා.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, සිදු වූ අඩුපාඩු මඟහරවාගෙන ඉදිරි යල කන්නයේ දී නියමිත වෙලාවට ගොවීන්ට පොහොර ලබා දීමට කටයුතු කරන බව යි.

එහි දී ගොවියන් අපහසුතාවට පත් නො වන අයුරින් කටයුතු කරනැ යි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවත් ඔහු අවධාරණය කළා.

මෙවර වී නිෂ්පාදනයේ දී බොල් වී ප්‍රමාණය අඩු වී ඇති බව හෙළිදරව් කළ අමාත්‍යවරයා, එය ගොවීන්ට වාසිදායක තත්ත්වයක් ලෙසට යි හඳුන්වා දුන්නේ.

මේ වන විට සහල් මෙට්‍ර්ක් ටොන් ලක්ෂ 10 ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා අවසාන වශයෙන් පවසා සිටියා.

***************************************

පාට තොප්පි ගලවා රට නඟන්න එකතු වෙන්න – අකුදි

(24.01.2022 – 10:10 +0530 – hirunews.lk/sinhala)

රටේ දේශපාලනයේ ප්‍රගතිශීලි හැරවුමක් සිදු කළ නො හැකි වී තිබෙන්නේ, වෙනසකට බියසුලු කොටසක් සමාජයේ සිටින නිසා බව ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව යම් කණ්ඩායමක් වෙනසට බියක් දක්වනවා සේම රටේ මිනිසුන් එයට ඇබ්බැහි වී ඇති බව ද මන්ත්‍රිවරයා සඳහන් කළා.

ජාතික ජන බලවේගය මිනිසුන්ගේ වෙනස් වීම අපේක්ෂා කරන, මිනිසුන්ගේ වෙනස් වීම පිළිගන්නා, මිනිසුන්ට වෙනස් විය හැකි ය යන සුබවාදී අරමුණින් සිටින දේශපාලන ව්‍යාපාරයක් ලෙසට යි අනුර දිසානායක හඳුන්වන්නේ.

“මිනිසුන් වෙනස් වෙනවා. එසේ වූයේ නැතිනම් ජනතාව මෙතැනට එන්නේ නැහැ. නමුත් ටික දෙනෙක් වෙනසට බයයි. මිනිසුන් පුරුද්දට ඇබ්බැහි වෙනවා. වෙනස කුමනාකාරයේ වෙනසක්ද යන පණිවුඩය අප ජනතාව අතරට රැගෙන යා යුතුයි. ඒ සඳහා අද විශාල මහජන ව්‍යාපාරයක් අවශ්‍ය වී තිබෙනවා. එය තැන තැන කුඩා හතු වගේ පිපෙන මහජන ව්‍යාපාරයක් නොවේ. මෙරට සියලු ක්ෂේත්‍ර නියෝජනය කොට එකම වේදිකාවකට සැවොම ගෙනෙන්නට හැකි පාට, පක්ෂ අභිභවා යන පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතුයි. ජාතික ජන බලවේගය යනු එම මහජන ව්‍යාපාරයේ මූලය යි.

කොළ තොප්පි, නිල් තොප්පි මෙන්ම රතු තොප්පියත් පැත්තකින් තියන්න. එලෙස පාට තොප්පි පැත්තකින් තියා එකතු විය හැකි පුළුල්තම මහජන ව්‍යාපාරය සමඟ එකතු වෙන්නැයි යන පණිවුඩය අප ලබාදෙනවා. ජාතික ජන බලවේගය යනු සියලු පක්ෂ සීමා මායිම් ඉක්මවා යන මහජන ව්‍යාපාරයක්.

අද අපේ රටට අලුත් නිදහස් සටනක් තිබෙනවා. එය ජයගත හැකි වන්නේ පක්ෂ කුටුම්බවල ජීවත්වෙමින් නොවේ. අලුත් නිදහස් අරගලයක් වෙනුවෙන් තමන්ගේ පක්ෂවලින් මිදී විශාලතම මහජන ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුයි. ඒ කුමක් වෙනුවෙන්ද? ආර්ථික නිදහස, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, සාමූහික සමාජයක් ගොඩනැඟීම, අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය ක්ෂේත්‍රයන්හි විශාල පරිවර්තනයක් ඇති කර ගැනීම පමණක් නොව බලය අත්පත් කර ගැනීම සඳහා පුළුල්තම මහජන ව්‍යාපාරයක් අප ගොඩනැඟිය යුතුයි.

ජනතාව ඒ මහජන ව්‍යාපාරයේ කොටස්කරුවන්, මඟපෙන්වන්නන් මෙන්ම නායකයන් ද වනවා.

සෑමදෙනෙක්ම තම වගකීම ඉටු කරන්නට උත්සාහ කරන මහජන ව්‍යාපාරයක් ගොඩනැඟීම අපේ බලාපොරොත්තුවයි.

ඔබ ඔබගේ ගමේ මේ මහජන ව්‍යාපාරයේ නායකයෙක්. එමෙන්ම සාමූහිකත්ව කොටස්කරුවෙක්.

කොළ කොඩි, නිල් කොඩි, වෙනත් පාට පාට කොඩි ඔසවාගෙන තොප්පි දාගෙන මේ වැඩේ කරන්න බැහැ. මේ කාර්යය කළ හැකි වන්නේ මෙරට වෙනස් කිරීම පිළිබඳව උත්තුංග වුවමනාවක් තිබෙන අවංක සහ දූෂිත නොවූ රට ගැන හැබෑ ඇල්මක් තිබෙන පුරවැසියන්ට පමණයි”

යනුවෙන් අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අවධාරණය කළා.

***************************************

රන්ජන්ගේ නඩුව නැවත කැඳවීම මාර්තු 09

(24.01.2022 – 10:53 +0530 – hirunews.lk/sinhala)

රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුව මාර්තු 09 වැනිදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

මීට සුළු මොහොතකට පෙර, අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට අදාළ නඩුව සඳහා අද (24) දින රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එනු ලැබුවා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදියි ෴

***************************************

අබ්දුල්ලා මහරුෆ්ගේ පුත්‍රයෙකු අත්අඩංගුවට

(24.01.2022 – 11:01 +0530 – hirunews.lk/sinhala)

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන අබ්දුල්ලා මහරුෆ්ගේ වැඩිමහල් පුත්‍රයා හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කින්නියා අහමඩ් පාරේ ඊයේ (23) සිදු කළ මෙහෙයුමක දී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 150 ක් සහ හෂීස් මිලිග්‍රෑම් 170ක් සොයාගෙන තිබෙනවා.

30 හැවිරිදි සැකකරු අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි ෴

***************************************

වන රක්ෂිතයක සෙල්ලම් දැමූ පිරිසක් STF අත්අඩංගුවට

(24.01.2022 – 11:43 +0530 – hirunews.lk/sinhala)

ගලේවෙල – බුල්නෑව ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී සහ මහා පරිමාණ ගල් වළක් වැටලීමට විශේෂ කාර්ය බලකා නාවුල කඳවුරේ නිලධාරින් සමත්ව තිබෙනවා.

ඊයේ (23) පස්වරුවේ සිදු කළ මෙම වැටලීමේ දී නීතිවිරෝධී අයුරින් ගල් කැඩීමට සහ පුපුරවා හැරීමේ කටයුත්තේ යෙදී සිටි පුද්ගලයින් පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගැනුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එහිදී ගල් කැඩීමට සහ පුපුරවා හැරීමට භාවිත කරන යන්ත්‍රෝපකරණ තොගයක් ද සොයා ගැනුණු අතර, එම උපකරණවල මුළු වටිනාකම රුපියල් කෝටි 05 කට අධික බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් විසින් සිය නීතිවිරෝධී ගල් වැඩපොළ පවත්වාගෙන ගොස් ඇත්තේ, බුලනෑව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගොම්මොට්ටාව රක්ෂිතයේ මල්ගල ප්‍රදේශයේ යි.

අදාළ රක්ෂිතය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගැසට් අංක 1589/2009 යටතේ හෙක්ටයාර 83 කින් යුත් වනරක්ෂිතයක් ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මෙම රක්ෂිතය වනසතුන් බොහොමයකගේ නිජබිම වන අතර, එහි කොටසක ඉඩමක් වෙන්කරවා ගනිමින් පස් කන්දක් ද කපා ඉවත් කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් තෙල්දෙණිය, බුලනෑව, බඹරගස්වැව,මාතලේ සහ උල්පතයාය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ පොලිස් භාරයට ගත් නඩු භාණ්ඩ දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදි‍රිපත් කිරීමට නියමිතයි ෴

***************************************

Bitcoin වෙළෙඳපොළේ දරුණු කඩා වැටීමක්

(24.01.2022 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ලොව විශාලතම සහ ජනප්‍රියම අන්තර්ජාල මූල්‍ය ඒකකය වන ‘බිට්කොයින්’ වෙළඳපොලේ බරපතල කඩා වැටීමක් සිදු වී තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අමරිකානු ඩොලර් 69,000 කට මිල නියම කෙරුණු බිට්කොයින් ඒකකයක් සඳහා ඊයේ (23) දිනය වනවිට අගය නියම වූයේ ඇමරිකානු ඩොලර් 35,000 ක මට්ටමට ආසන්නවයි.

ඊයේ (23) දිනයේ බිට්කොයින් මූල්‍ය ඒකකයේ බිඳවැටීම දැක්වුණේ 4% ලෙසින්.

ගිය සතියේ මැද භාගය වන විට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළේ බිට්කොයින් අගය ඇමරිකානු ඩොලර් 34,000 ක් දක්වා පහත වැටුණු අතර, පසුගිය සිකුරාදා (21) වෙළෙඳපොළ අගයන් දැක් වුණේ ඇමරිකානු ඩොලර් 35,049 ක් වශයෙන්.

ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂකයින් පවසන්නේ, ඇමරිකානු එක්සත් ජනපද ෆෙඩරල් මූල්‍ය සංචිතයේ පොලී අනුපාතයන් හිටි හැටියේ ඉහළ දැමීම මෙම හදිසි කඩා වැටීමට ප්‍රධානම හේතුව වන බවයි.

මේ හේතුවෙන් බිට්කොයින් මෙන්ම අනෙකුත් අන්තර්ජාල මූල්‍ය ඒකක අගයන් ද පහළ වැටීමේ අවදානමකට ලක්වී තිබෙනවා.

ඒ අනුව ‘ඊත්‍රම් බ්ලොක්චේන්’ (Ethereum blockchain) මූල්‍ය ජාලයට සම්බන්ධ ජනප්‍රිය අන්තර්ජාල මුදල් ඒකකයක් වන ඊතර් මුදල් ඒකකය ද පසුගිය සෙනසුරාදා ඇමරිකානු ඩොලර් 2396 දක්වා පහත් වැටුණේය 6.7% ක පහළ යෑමේ අගයක් පෙන්නුම් කරමින් ෴

***************************************

ගුරු සංගම් යළි විරෝධයක

(24.01.2022 – 13:10 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම පළාතේ ගුරු සහායකයින් හා ස්වේච්ඡා ගුරුවරුන්ට ස්ථීර පත්වීම් ලබාදෙන ලෙසට බල කරමින් ලංකා ගුරු සංගමය අද (24) කොළඹ දී විරෝධතාවක නිරත වුණා.

පසුව විරෝධතාකරුවන්ට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් විසින් සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබාදුන් අතර, මේ වනවිට එම සාකච්ඡාව පැවැත්වෙනවා.

මේ අතර වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය අද (24) පෙරවරුවේ එම රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුවා.

ඒ හේතුවෙන් කොළඹ – කුරුණෑගල මාර්ගය අවහිර වූ අතර, ඒ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද පැවති බවයි අප වාර්තාකරු කියා සිටියේ ෴

***************************************

කහ මෙට්‍රික් ටොන් 5,000 ක් අපනයනයට සැළසුම්

(24.01.2022 – 13:14 +0530 – hirunews.lk/sinhala)

කහ මෙට්‍රික් ටොන් 5,000 ක් අපනයනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි බුලත් ඇතුලු කුඩා වැවිලි භෝග වගා සංවර්ධන, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළා. එසේම මෙරට කුරුඳු සහ ගම්මිරිස් ඵලදාව ඉහළ නැංවීම සඳහා රුපියල් ලක්ෂ 1,500 ක් පමණ වෙන් කර ඇති බවයි ඔහු කියා සිටියේ ෴

***************************************

කොළඹ නිදහස් චතුරස්‍රය අසළ රථ වාහන තදබදයක්

(24.01.2022 – 13:44 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ ජාතික එකමුතුව ආරම්භ කළ විරෝධතාවක් හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් ඒ අවට දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබෙන බවටයි, අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තිය සමිති ඒකාබද්ධ සංවිධානය අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ, ආයුර්වේද වෛද්‍යවරුන්ට හිමි දීමනා ලබා නො දීමට එරෙහිව යි. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක ම ආයුර්වේද මහජන සෞඛ්‍ය මධ්‍යස්ථාන වසා දමා තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ ෴

***************************************

හිරුණිකාට එරෙහි කළු ඩිෆෙන්ඩර් සිද්ධියේ නඩුව කැඳවීමට අධිකරණයෙන් දින නියම කෙරේ

(24.01.2022 – 13:59 +0530 – hirunews.lk/sinhala)

කළු ඩිෆෙන්ඩර් රථයකින් දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුව ලබන මැයි මස 23 වැනිදා විභාග කිරීමට අද (24) දින අධිකරණය නියම කළා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේදී අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී යි.

2015 වසරේ දෙසැම්බර් 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර අමරසිංහ නම් තරුණයෙකු ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර පහර දී, අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ ආධාරකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.

නඩු විභාගය අතරවාරයේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනා අධිකරණය හමුවේ වරද පිළිගත්තා.

එහිදී අධිකරණය විසින් ඔවුන්ට වසර 12 කට අත්හිටවූ වසර 2 බැගින් වූ බරපතළ වැඩ සහිත සිර දඩුවම් සහ දඩ නියම කළා.

කෙසේ වෙතත්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අදාළ චෝදනාවලට වරද පිළිනොගැනීම හේතුවෙන් ඇයට එරෙහිව මේ වනවිට නඩු විභාගයක් පැවැත්වෙනවා.

එම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද (24) කැඳවනු ලැබුවා.

එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේ මෙම නඩුව ලබන මැයි මස 23 වැනිදා විභාග කිරීමටයි.

මේ අතර, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මේ වනවිට සිව් (4) වරසරක සිරදඬුවම් විඳිමින් සිටින රංජන් රාමනායකට එරෙහිව ගොනුකර ඇති දෙවැනි පැමිණිල්ල මාර්තු මස 09 වන දා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ඒ, එම පැමිණිල්ල අද (24) එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේදීයි.

***************************************

මෙරට ආහාර උද්ධමනය ලෝකයේ 12 වන තැනට

(24.01.2022 – 14:08 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආහාර කාණ්ඩයේ උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ සියයට 21.5 දක්වා ඉහළ ගිය අතර, ඒ අනුව ලොව ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව 12 වන ස්ථානයට පත්ව තිබෙනවා.

‘ට්‍රේඩින් ඉකොනොමික්ස්’ වෙබ් අඩවියේ යාවත්කාලීන කළ දත්තවලට අනුව එලෙස වැඩිම ආහාර උද්ධමනයක් පවතින රට වන්නේ වෙනිසියුලාවයි.

ලෙබනනය සහ සුරිනාම් එහි දෙවන (2) සහ තුන්වන (3) ස්ථානවල රැඳී සිටිනවා.

ශ්‍රී ලංකාවට වඩා ඉහළ ආහාර උද්ධමනයක් පවතින අනෙකුත් රටවල් වන්නේ සිම්බාබ්වේ, ආජන්ටිනාව, තුර්කිය, ඉරානය, සිරියාව, ඉතියෝපියාව, ඇන්ගෝලාව සහ හයිටි රාජ්‍යයයි.

පසුගිය වසර අවසාන මාස කිහිපය තුළ මෙරට උද්ධමනය සීග්‍රයෙන් ඉහළ ගිය අතර, දෙසැම්බරයේ එය සියයට 21.5 දක්වා ඉහළ ගියේ නොවැම්බරයේ 16.9 ක් ලෙස සටහන්වීමෙන් අනතුරුවයි.

එමෙන්ම, ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේ පැවති සියයට 11.1 සිට දෙසැම්බරයේදී සියයට 14 දක්වා ඉහළ ගොස් ඇති බවයි, මහ බැංකුව ප්‍රකාශ කළේ.

දෙසැම්බරයේදී මෙලෙස ආහාර කාණ්ඩයේ එළවළු, සහල් සහ අමුමිරිස් මිල ගණන් විශේෂයෙන් ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩය තුළ ආපනශාලා සහ හෝටල්, මත්පැන් සහ බුලත් මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *