ඉන්ධන අර්බුදය කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනාවලියක්

ඉන්ධන අර්බුදය කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනාවලියක්

*********************************************

ඉන්ධන අර්බුදය කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනාවලියක්

(24.01.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට ඇතිව තිබෙන බරපතල ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන භාවිතය අඩු කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල රජයට ඉදිරිපත් කර තිබෙනවා.

පාසල් සතියකට එක් (1) දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙසත්, වාහන තදබදය අඩු කරගැනීම සඳහා කාර්යාල ඇරඹීම විවිධ වේලාවන්ට අනුව සිදුකරන ලෙසත් ඇමතිවරයා රජයට යෝජනා කර ඇති බවයි වාර්තාවන්නේ.

ඉන්ධන මිල සූත්‍රය වහාම ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කරන ඇමතිවරයා කොළඹට එන වාහන සීමා කළ යුතු බවටද දැනුම්දී තිබෙනවා.

රාජ්‍ය ආයතනවල රැස්වීම්, සාකච්ඡා, සම්මන්ත්‍රණවලට නිලධාරීන් කැඳවීම සීමා කරන ලෙසත්, ප්‍රාදේශීය ලේකම්වරුන් කොළඹට කැඳවීම සීමා කරන ලෙසත් යෝජනා කර ඇති ගම්මන්පිල අමාත්‍යවරයා, වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීම් පවත්වන ලෙස රාජ්‍ය ආයතනවලට නියම කරන්නැයි ද ඉල්ලීමක් කර ඇති බවයි වාර්තාවන්නේ.

වානිජ බැංකුවට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් තුනෙන් එකක් (1/3) මහ බැංකුවට ගෙන ඖෂධ, වෛද්‍ය උපකරණ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා රාජ්‍ය ආයතනවලට ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා තිබෙනවා.

ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා තෙල් මිල සැළකිය යුතු ලෙස ඉහළ දැමුවත්, ඉල්ලුම අඛන්ඩව ඉහළ ගොස් ඇතැයි පෙන්වා දී ඇති ඇමතිවරයා විනෝද ගමන්, නෑදෑයන් හමුවීම, ප්‍රියසාද ආදිය සඳහා ගමන් බිමන් වැඩිවීමද ඉන්ධන භාවිතය වැඩිවීමට හේතුවී ඇති බව පෙන්වා දෙනවා.

කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා වෙනුවට පෞද්ගලික වාහන භාවිතය වැඩිවීමද ගෑස් හිඟය හේතුවෙන් භූමිතෙල් භාවිතය ඉහළ යාමද ඉන්ධන භාවිතය ඉහළ යෑමට බලපා තිබෙනවා.

මේ අතර ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති විදුලි ගැටලුව කළමනාකරණය කරගැනීම සඳහා විදුලිබල අමාත්‍යාංශය ද යෝජනාවලියක් රජයට ඉදිරිපත් කර ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ෴

++++++++++++++

අද (24) පැයක (1) විදුලිය කප්පාදුවක්

(24.01.2022 – 07:43 +0530 – hirunews.lk/sinhala)

විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා පවතින දැවි තෙල් ප්‍රමාණය පිළිබද සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතයි.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ, එහිදී ඉදිරියේදී විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා කොපමණ දැවි තෙල් ප්‍රමාණයක් පවතින්නේ ද එය ප්‍රමාණවත් ද නැද්ද යන්න පිළිබද කරුණු අද (24) පැවැත්වෙන සාකච්ඡාවේදී සංවාදයට බදුන් කරන බවයි.

කෙසේ වෙතත්, අද (24) දිනයේ පැයක (1) කාලයක් සහ හෙට (25) සිට පැය දෙකකට (2) ආසන්න කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා ගෙන් කරනු ලැබූ විමසීමකදී කියා සිටියේ, විදුලි කප්පාදුවක් අනිවාර්ය බවයි.

එය අද (24) රාත්‍රියේ හෝ හෙට (25) සිට සිදුවිය හැකි බවයි ඔහු කියා සිටියේ.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලිය කප්පාදු කරන ආකාරය පිළිබඳව අද (24) සාකච්ඡා කර මාධ්‍ය මගින් එය ප්‍රසිද්ධ කරන බව ද වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළා ෴

++++++++++++++

දැවිතෙල් ගැටලුව උග්‍ර අතට – අද (24) සිට විදුලිය කැපෙයි

(24.01.2022 – 08:56 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද විදුලි බලාගාරය ඇතුළු ප්‍රධාන පෙළේ විදුලි බලාගාර හතරකට (4) දැවිතෙල් නො ලැබීම මත අද (24 දා) සිට දිවයින පුරා විදුලි කප්පාදුවකට යෑමට සිදු වන බව ලංකා විදුලිබල මණ්ඩල ඉන්ජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පවසනවා.

ඒ අනුව අද (24 දා) කලාප හතරක් (4) යටතේ, පස්වරු 02:00 සිට රාත්‍රි 09:00 අතර පැයක (1) කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවත් හෙට (25 දා) සිට පැය දෙකකට (2) ආසන්න කාලයක් විදුලි කප්පාදුවකට යෑමට සිදු වන බවත් ඔහු අවධාරණය කළා.

මෙම විදුලි කප්පාදුවට අදාළ අනුමැතිය මහජන උපයෝගිතා කොමිසමෙන් අද (24 දා) දින ලබා ගැනීමට බලාපොරොත්තු වන බව යි ඔහු පැවසුවේ.

දැවිතෙල් නො මැති වීම මත ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 108 ක විදුලි ධාරිතාවක් සැපයූ සපුගස්කන්ද විදුලි බලාගාරය මේ වනවිට මුළුමනින්ම අක්‍රිය වී තිබෙනවා.

ලංකා විදුලි ඉන්ජිනේරු සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (23 දා) හෙළිදරව් කරනු ලැබුවේ, විදුලිබල පද්ධතියට මෙගාවොට් 60 ක ධාරිතාවක් ලබා දෙන කොළඹ වරායේ ස්වාධීන පාවෙන විදුලි බලාගාරය සඳහා දැවිතෙල් ප්‍රමාණවත් ව ඇත්තේ තව දින එකහමාරකට (1½) පමණක් බව යි.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 24 ක ධාරිතාවක් ලබා දෙන උතුරු ජනනී විදුලි බලාගාරය සඳහා දැවිතෙල් ඇත්තේ තව දින හතරකට (4) පමණක් බව ද විදුලි ඉන්ජිනේරු සංගමය හෙළිදරව් කරනවා.

කෙරවළපිටිය පිහිටි ‘යුගදනවි’ බලාගාරයේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300 ක ධාරිතාවක් සපයන අතර එම බලාගාරය සඳහා දැවිතෙල් ඇත්තේ, තවත් දින 10 කට පමණක් බව ද එම සංගමය වැඩිදුරටත් පැවසුවා.

ඉකුත් සතියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික්ටොන් 10,000 ක් ලබා ගෙන යළි ක්‍රියාත්මක කළ කැලණිතිස්ස බලාගාරය සඳහා ඩීසල් ප්‍රමාණවත් වන්නේ තව දින 04 කට පමණක් බව ද ලංකා විදුලි ඉන්ජිනේරු සංගමය අවධාරණය කළා.

ජල විදුලිය නිෂ්පාදනය පහත වැටීම හා නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300 ක ජනන යන්ත්‍රයත් අක්‍රිය වීම මත මෙම විදුලි අර්බුදය උග්‍ර වී ඇති බව යි එම සංගමය වැඩිදුරටත් හෙළිදරව් කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කරන ආකාරයට, මේ තත්ත්වය මත ලබන සිකුරාදා (28) සිට පැය 04 ක කාලයක් විදුලිය විසන්ධි වෙනු ඇති.

++++++++++++++

විදුලි අර්බුදය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

(24.01.2022 – 13:01 +0530 – hirunews.lk/sinhala)

විදුලි අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.

ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ජාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරුන් දෙදෙනා (2) මෙන්ම ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම හමුවට පෙර හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ජනාධිපතිවරයා සමඟ පැවත්වෙන හමුවේ දී දැවි තෙල් සංචිත හා එය කොපමණ දින ගණනකට ප්‍රමාණවත් වේ ද යන්න පිළිබඳව පුළුල් ලෙස සාකච්ජා කරන බවයි.

එමෙන්ම විදුලි කප්පාදුවක් පිළිබඳ ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් සියලු පාර්ශවයන්ගේ අදහස් සලකා බැලීම සිදුවනු ඇති බවයි වාර්තා වුණේ.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අද (24) සිට විදුලි කප්පාදුවක් සිදු කළ යුතු බව විදුලි ඉංජිනේරුවන් ප්‍රකාශ කළා.

එහි කමිටු සාමාජික එරංග කුඩාහේවා අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවක දී සඳහන් කළේ, පැයක් (1) හෝ ඊට වැඩි කාලයක් විදුලිය විසන්ධි කිරීම පිළිබඳ යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවයි.

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි කප්පාදු යෝජනාව පිළිබඳ සලකා බැලීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ වනවිට රැස් වී තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, අද (24) පස්වරුවේ කොමිෂන් සභාවේ තීරණය මාධ්‍යය වෙත දැනුම් දෙන බවයි.

පවතින වියළි කාලගුණයත් සමඟ ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදන ධාරිතාව 20% කට ආසන්න අගයකට පහත බැස තිබෙනවා.

මේ වනවිටත් උපරිම ධාරිතාවයකින් යුතුව සියලු ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වන අතර, එය එසේ සිදු කළ හැකි වන්නේ, තවත් දින කිහිපයක් පමණයි.

නොරෝච්චෝලේ ගල් අගුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක මතු ව ඇති දෝෂය මෙන්ම කැලණිතිස්ස සහ සපුගස්කන්ද බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමේ දුෂ්කරතාව විදුලි අර්බුදය තවදුරටත් උත්සන්න වීමට හේතු වී තිබෙනවා.

මෙවැනි පසුබිමක් තුල පවතින ඉන්ධන තොග සහ විදුලි නිෂ්පාදනය කළමණාකරණය කර ගැනීම පිළිබඳව යෝජනා මාලාවක් අදාළ අමාත්‍යාංශ දෙකෙන් රජයට ලබා දී තිබෙනවා.

කොළඹට පැමිණෙන වාහන ප්‍රමාණය අඩු කිරීම, පාසල් සහ කාර්යාල දින සහ වේලාවන්, ඇතුළු කරනු සම්බන්ධයෙන් මෙම යෝජනාවලියට ඇතුළත්.

එමෙන්ම නගරවල විථි ලාම්පු නිවා දැමීම, කාර්යාලවල වායු සමීකරණ ක්‍රියාත්මක කිරීමේ දී නියාමනයක් ඇති කිරීම ඇතුළු යෝජනා මෙහි දැක්වෙනවා.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලබන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ.

++++++++++++++

අද (24) පැයක (1) විදුලි කප්පාදුවක්

(24.01.2022 – 13:23 +0530 – hirunews.lk/sinhala)

අද (24) පස්වරු 05:30 සිට 09:30 දක්වා පැයක (1) කාලයක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල ඉංජිනේරුවන් ප්‍රකාශ කළා.

ඒ අනුව අදියර 4 ක් යටතේ මුළු දිවයිනටම එම කාලසීමාවේ පැයක (1) කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කරනු ඇති බවයි, විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේ.

මේ අතර විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමද අද (24) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

ඒ අනුව විදුලිය කැපෙන්නේ –

Group A : 17:30 hrs සිට 18:30 hrs දක්වා
Group B : 18:30 hrs සිට 19:30 hrs දක්වා
Group C : 19:30 hrs සිට 20:30 hrs දක්වා
Group D : 20:30 hrs සිට 21:30 hrs දක්වා යි ෴

විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

විදුලි අර්බුදය සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශය හා බලශක්ති අමාත්‍යාංශ බලධාරීන් ජනාධිපතිවරයා සමග අද (24) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඉදිරි දින සඳහා අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ද සූදානම් කර ඇති බවයි ෴

++++++++++++++

සල්ලි දෙන නිසා අද (24) විදුලිය කපන්නෙ නෑ – ලොකුගේ

(24.01.2022 – 15:36 +0530 – hirunews.lk/sinhala)

ඩීසල් සහ පෙට්රල් රැගත් නෞකා දෙකකට (2) ගෙවීම් කටයුතු සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟ වී තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නැවකට සහ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නැවකට මෙලෙස ගෙවීම් කටයුතු සිදු කරනු ඇති.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී අදාළ තෙල් නෞකා දෙකට (2) ඩොලර් මිලියන පනස් තුනක් (53) නිදහස් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව එකඟ වූ බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද (24) සවස් වන විට එම මුදල ගෙවා දමනු ඇති බවට බලශක්ති අමාත්‍යවරයා විශ්වාසය පළ කළා.

එබැවින් ඉදිරියේ දී සිදු කිරීමට නියමිතව තිබූ විදුලි කප්පාදුව සිදු නොකර අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය කරන ඉන්ධන විදුලිබල මණ්ඩලය වෙත සැපයීමට හැකි වනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

මේ අතර ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසා සිටියේ අද (24) දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ පැයක (1) විදුලි කප්පාදුව සිදු නොකරන බවයි ෴

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීම සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 93 ක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබෙනවා ෴

++++++++++++++

විදුලි කප්පාදුවක් නැහැ – තීරණ ගන්නේ ඉංජිනේරුවන් නොවේ

(24.01.2022 – 19:51 +0530 – hirunews.lk/sinhala)

විදුලිය කප්පාදුවක් සිදුනොකිරීමට ජනාධිපතිවරයා සමග අද (24) පැවති විශේෂ සාකච්ඡාවේදී තීරණය කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

විදුලි අර්බුදය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ බලධාරීන් අතරයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.

විදුලිය උත්පාදනය සඳහා බලාගාරවල සංචිත ඉන්ධන තොග අවසන් වෙමින් ඇති පසුබිමක අද (24) සිට විදුලිය කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය මීට පෙර සිටම අනතුරු ඇගවීම් සිදුකළා.

ඒ අනුව අද (24) දිනය තුළ විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් පෙරවරුවේ සිටම පැවතුණේ අවිනිශ්චිත තත්ත්වයක්.

එවන් පසුබිමක් තුළයි පවතින විදුලි හා ඉන්ධන අර්බුදයට විසදුම් සෙවීමේ අරමුණෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ.

මේ අතර, විදුලිය කප්පාදුවක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට වෘත්තීය සංගම්වලට කිසිදු අයිතියක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම අවධාරණය කළා.

ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ විදුලි භාවිතය අවම කිරීම සඳහා නිර්දේශ කිහිපයක් ද ඉදිරිපත් කර ඇති බවයි.

++++++++++++++

ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳ වැටීමක්

(24.01.2022 – 21:29 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්දි වීම් වාර්තා වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිය අද (24) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පවතින තත්ත්වය හමුවේ වරින් වර විදුලිය විසන්දි කිරීම් සිදුවිය හැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ විදුලි ඉල්ලුමට මෙගා වොට් 100 ක පමණ අඩුපාඩුවක් තිබීම මෙලෙස විදුලි කප්පාදුවක් සිදුකිරීමට හේතුවන බවයි.

කෙසේ වෙතත් අද (24) පස්වරුවේ මාලබේ, පානදුර ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් වාර්තා වූ බව අප වාර්තාකරුවන් පවසනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *