කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් 62 කට කොරෝනා

කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් 62 කට කොරෝනා

*********************************************

කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් 62 කට කොරෝනා

(24.01.2022 – 07:54 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ රැසකින් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් වාර්තා වී ඇති බවත් රෝහල්ගත වීම සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හන්දානි පවසනවා.

මේ අතර ඊයේ (23) මෙරටින් නව ආසාදිතයින් 838 දෙනෙකු හඳුනා ගැනුණු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

ඊයේ (23) හඳුනාගැණුනු නව ආසාදිතයින් 838 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 6,01,886 ක් ලෙසයි.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 10,473 ක්.

එමෙන්ම නව මරණ 15 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,299 ක් දක්වා ඉහල ගියා.

මේ අතර කොළඹ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හන්දානි කියා සිටියේ, දෛනිකව ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව සියයට 8 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම සංකූලතා සහිතව රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාව සියයට 12 කින් වර්ධනය වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

රට පුරා යළිත් කොරෝනා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කළේ, සතියක කාලයක් තුළ කොළඹ ජාතික රෝහලේ පමණක් ගර්භනී හෙද නිලධාරිනියන් ද ඇතුළුව හෙද නිලධාරීන් 62 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

අනෙකුත් රෝහල්වල ද කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසකට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් 3,51,96,776 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගෝලීය මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 56,14,316 ක් ලෙසයි.

ගත වූ පැය විසි හතරේ (24) වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තාවන අතර, එය දැක්වුණේ 3,05,171 ක් ලෙසයි.

ප්‍රංශයෙන්ද ආසාදිතයන් 3,01,614 ක් වාර්තාවනවා.

ඇමරිකාව සහ ඉතාලියෙන් ලක්ෂය ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ ෴

+++++++++++++

කොළඹ ජාතික රෝහලේ ධාරිතාව ඉක්මවා යන ලකුණු – ඉදිරියේ දී සාමාන්‍ය රෝගීන්ට ප්‍රතිකාරත් නැහැ

(24.01.2022 – 12:39 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට දිවයින පුරා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස තත්ත්වය යම් ඉහළ යාමේ තත්ත්වයක් වාර්තා වන අයුරු දැකිය හැකි බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක පවසනවා.

දෛනිකව රට තුළ වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් පවතින හෙයින්, රෝහල් තුළ මීට පෙර සිදු කළ සාමාන්‍ය ශල්‍යකර්මවලට ඉන් බාධාවක් ඇති වන බවයි අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.

ඊට හේතුව ලෙස වෛද්‍යවරයා අවධාරණය කළේ, කොරෝනා වෛරසය ආසාදන වූ රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වූ විට, ඔවුන්ගේ සෞඛ්‍යමය තත්ත්වයන් අනුව අදාළ රෝගීන් හට දැඩි සත්කාර ඒකක වෙන් කිරීමට සිදු වන බවයි.

එසේ වූ විට දැන් පවතින පරිදි සාමාන්‍ය රෝගී ප්‍රතිකාර සඳහා මෙන්ම ඔවුන්ගේ ශල්‍යකර්ම කටයුතු සඳහා ද ඉන් බලපෑමක් ඇති වන අතර, එම ශල්‍යකර්ම පවා එසේ වුවහොත් කල් දැමීමට සිදු වන බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

රට තුළ යම් තරමකින් කොවිඩ් ආසාදිතයින්ගේ යම් අඩුවීමක් දක්නට ලැබුණ ද මේ වනවිට යළිත් එම තත්ත්වය වෙනස් වී ඇති බව ප්‍රකාශ කරන වෛද්‍ය චන්දන ගජනායක කියා සිටියේ, එම තත්ත්වය තුළ සාමාන්‍ය පරිදි බාහිර රෝගීන්ට ප්‍රතිකාර මෙන්ම ශල්‍යකර්ම කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණු බවයි.

මේ වනවිට සෞඛ්‍ය අංශයේ කිහිපදෙනෙකුට ම වෛරසය ආසාදනය වීම හේතුවෙන් ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි අර්බුදයකට ඉදිරියේ දී යළිත් මුහුණ දීමට සිදු විය හැකි බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙනවා.

එනම්, සෞඛ්‍ය අංශවල නියුතු වූවන්ට ද වෛරසය ආසාදනය වීමෙන් හිඟ වෛද්‍ය, හෙද මෙන්ම අනධ්‍යයන සේවක පුරප්පාඩුවක් ඇති වන බවයි වෛද්‍ය චන්දන ගජනායක වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

කොවිඩ්-19 වෛරසය මර්දනයට ලබාදෙන එන්නත් ක්‍රියාවලියට යොමු වුව ද බොහෝ විට වෛරසය ආසාදනය වීමේ ඉඩකඩ ඇති හෙයින්, එතුළින් සෞඛ්‍ය සේවය මානව සම්පත් අර්බුදයකට ද ලක්වන බව ද වෛද්‍යවරයා සඳහන් කරනවා.

එබැවින් සියලු ම ප්‍රජාව තවදුරටත් හැකි උපරිමයෙන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ආරක්ෂා වීම වගකීමක් වන අතර, මෙවන් අර්බුදයක් යළි නිර්මාණය වුවහොත් සෞඛ්‍ය අංශ සතු ඔක්සිජන් ධාරිතාවේ ද අඩුවීමක් සිදු වන බවයි වෛද්‍ය චන්දන ගජනායක කියා සිටියේ.

රට තුළ දෛනිකව සිදු වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යා වේ ද යම් වැඩිවීමක් දක්නට ලැබෙන හෙයින්, මෙම ව්‍යසනකාරී තත්ත්වය පාලනය කිරීමට සියලු දෙනාම වගකීමෙන් සහ පූර්ණ දැනුවත්වීමකින් ක්‍රියා කළ යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ ෴

++++++++++++

ඔමික්‍රොන් හමුවේ යළි රට වැසෙයි ද ? – දරුවන්ගේ ජීවිතත් අනතුරේ

(24.01.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

රට යළි සාමාන්‍යකරණයට ලක් වීමත් සමග කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ යම්කිසි වර්ධනයක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.

එදිනෙදා ජීවිත‍යේ සෞඛ්‍යමය ලිහිල්භාවය ජනතාවට ලැබීමත් සමග බොහෝ දෙනා දීර්ඝ නිවාඩු ගත කිරීමට සහ සංචරණ කටයුතු වැඩි වශයෙන් සිදු කිරීමට යොමු වීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය මත රට පුරා ඉතා ශීඝ්‍රයෙන් ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වන අතර, දෛනිකව විශාල වශයෙන් නව ප්‍රභේදය ආසාදනය වූවන් විවිධ ප්‍රදේශවලින් හමුව ඇති බව වෛද්‍යවරයා කියා සිටිනවා.

මෙවන් තත්ත්වයක් ඇතිවීමට මූලිකම හේතුව වන්නේ රට සාමාන්‍යකරණය වීම තුළින් ජනතාව සැහැල්ලුවෙන් යුතුව ගමන් බිමන් අනවශ්‍ය පරිදි සිදු කිරීම බව ද හෙතෙම වැඩිදුරට්ත් පෙන්වා දෙනවා.

මෙවන් පසුබිමක් තවදුරටත් පවත්වාගෙන යන්නේ නම්, අනිවාර්යයෙන්ම ඔමික්‍රොන් වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවත්, එමගින් එම ප්‍රභේදය රටේ ව්‍යාප්ත වන ප්‍රධානතම වෛරස ප්‍රභේදය බවට පත්විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා වැඩිදුරටත් කියා සිටියා.

මෙහි භයානක තත්ත්වය පැහැදිලි කළ විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ, මෙම වෛරසය මගින් සංකූලතා සහිත රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කළ හැකි බවයි.

එතුළින් සෞඛ්‍ය පද්ධතියට විශාල වශයෙන් බලපෑමක් එල්ල වන අතර, මේ වනවිට දරුවන් අතර ද මෙම රෝගය වැඩි වශයෙන් පැතිර යාමේ අවකාශයක් ද වර්තා වී ඇති බව ද හෙතෙම සඳහන් කළා.

මේ අතර වෛරසය ආසාදිතව රට තුළ විශාල වශයෙන් දරුවන් රෝහල්ගත කරන තත්ත්වයකට පත් ව ඇති අතර, මෙම වෛරසයට අමතරව වෙනත් රෝගවල ද වර්ධනයක් වාර්තා වන බවයි වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ.

ඩෙංගු රෝගයේ ද අයහපත් ලෙසින් ඉහළ යාමක් මේ වනවිට වාර්තා වී ඇති බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ, පෙර දිනකට වාර්තා වූ කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාවට වඩා අද වනවිට එය සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බවයි.

එනම් පෙර දිනකට දරුවන් දෙදෙනකු (2) හෝ තිදෙනකු (3) වෛරසය ආසාදිතව වාර්තා වුව ද, අද වන විට දිනකට එම සංඛ්‍යාව 10-15 ත් අතරක අගයක් ගෙන ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළා.

කෙසේවෙතත් මෙවන් සෞඛ්‍යමය අර්බුද තත්ත්වයක් තුළ රට සාමාන්‍යකරණය කර එලෙසින්ම පවත්වාගෙන යාමට නම් නියත වශයෙන්ම සියලු ම දෙනා දරුවන් ඇතුළුව පූර්ණ එන්නත්කරණයට යොමු වීමේ දැඩි අවශ්‍යතාව ද විශේෂඥ වෛද්‍යවරයා විසින් අවධාරණය කරනවා.

ඉදිරි සති දෙක තුළ රෝගීන්ගේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි අතර, එය තවදුරටත් වර්ධනය වුවහොත් රට වසා දැමීම වැනි තීරණාත්මක සාධක කෙරෙහි ද අවධානයට යළි භාජනය විය හැකි මාතෘකා ද වීමේ ඉඩ ප්‍රවණතාව ගැන ද මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

කෙසේවෙතත්, රට පුරා එන්නත්කරණයෙහි ඇති අවදානම පිළිබඳ දුර්මත පළ වන බැවින් බොහෝ දෙනා එන්නත්කරණ ක්‍රියාවලියට යොමු නොවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, එම තත්ත්වය ඉදිරියේදී පැවතියහොත් රට දැඩි අර්බුදයකට මුහුණ දිය හැකි බවත් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා විසින් ජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කරනු ලබනවා ෴

+++++++++++++

ඔමික්‍රොන් සඳහා මුහුණ දීමට ජී.එම්.ඕ.ඒ. වෙතින් තාක්ෂණික වාර්තාවක්

(24.01.2022 – 14:16 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රෝන් සහ කොවිඩ් නව ප්‍රභේද සඳහා ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම‍යෙන් තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

2021 වසරේ නොවැම්බර් මාසයේ දී පළමුවරට දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 110 කින් වාර්තා වන අතර, අවධානය යොමු කළ යුතු කොවිඩ් ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වන විටත් නම් කර අවසන්.

අද වන විට ශ්‍රී ලංකාවෙන් ද ඔමික්‍රෝන් ප්‍රභේදය වැළදුණු රෝගීන් වාර්තා වෙනවා.

ඩෙල්ටා ප්‍රභේදය පසුගිය වසරේ අගභාගයේ ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් ප්‍රභේදය වූ ලෙස ම ඉදිරියේ දී ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රධාන වශයෙන් පැතිරෙන ප්‍රභේදය බවට පත් වීමේ දැඩි අවදානමක් ඇති බව යි වාර්තා වන්නේ.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හෝ අනාගතයේ මතුවිය හැකි නව ප්‍රභේද සඳහා ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් සැකසීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 12 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පසුගිය දා පිහිටුවනු ලැබුවා.

එම විශේෂඥ කමිටුව සායනික විශේෂඥ වෛද්‍යවරුන්, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, වසංගතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, පටක හා රසායන ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත යි.

එම විශේෂඥ කමිටුව විසින් සකසන ලද ‘Facing Omicron and Future New Variants of SARS – CoV-2 virus’ වාර්තාව ජනාධිපතිවරයාට, සෞඛ්‍ය අමාත්‍යවරයාට හා සෞඛ්‍ය බලධාරීන් වෙත ලබාදීමට නියමිත ව තිබෙනවා.

ඔමික්‍රෝන් හෝ අනාගත කොවිඩ් වෛරස ප්‍රභේද සඳහා මුහුණ දීමට අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශ පහකින් (5) මෙම වාර්තාව සමන්විත යි.

නවතම විද්‍යාත්මක දත්ත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ, ඇමරිකාවේ CDC ආයතනයේ හා FDA ආයතනයේ දත්ත, යුරෝපා රටවල්, සිංගප්පූරුව, ඊශ්‍රාලය, ඕස්ට්‍රේලියාව ඇතුලු විවිධ රටවල් ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහා මුහුණ දීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සැලකිල්ලට ගනිමිනු යි මෙම වාර්තාව හා නිර්දේශ ශ්‍රී ලංකාවට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ලෙස සකසා ඇත්තේ.

එම වාර්තාවේ නිර්දේශ සාරංශයක් ලෙස මෙසේ දැක්විය හැකි යි :

  1. කොවිඩ් එන්නත්කරණය සම්බන්ධ මිත්‍යාමත පරාජය කිරීම හා කොවිඩ් 3 වන එන්නත් මාත්‍රාව 70% වඩා ජනගහනයකට ලබා දීම.
    ජාතික එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත්කරණය පිළිබඳව ඇති අත්දැකීම් සහ කොවිඩ් එන්නත්කරණය ඔස්සේ මරණ සහ සංකුලතා අඩු වන බවට විද්‍යාත්මක සාක්ෂි තිබියදීත්, විවිධ මිත්‍යාමත සහ එන්නත් විරෝධී ආකල්ප පැතිරවීමෙන් වර්තමාන එන්නත්කරණ ක්‍රියාවලිය යම් පසුබෑමකට ලක්ව ඇති බව නිරීක්ෂණය වේ.

• දණ්ඩ නීති සංග්‍රහයේ සහ නිරෝධායන පනතේ විධිවිධාන අනුව මිත්‍යාමත පතුරමින් මහජනතාවගේ ජීවිත අවධානමට යොමු කරන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
• දිස්ත්‍රික් මට්ටමෙන් එන්නත්කරණය සිදු කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සංචිතයක් පිහිටුවීම.
• ග්‍රාම නිලධාරී මට්ටමෙන් පූර්ණ එන්නත්කරණ ප්‍රගතිය විශ්ලේෂණය‍.
• එන්නත්කරණය පිළිබඳ සමාජය තුල පතුරුවා ඇති මිත්‍යාමත අඛණ්ඩව නීරික්ෂණය කර සෞඛ්‍ය අංශය මගින් නිවැරදි කරුණු පිළිබඳව ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම.
• 2022 ජනවාරි 29 දින වන විට ශ්‍රී ලංකාව තුල කොවිඩ් එන්නත්කරණය අරඹා වසරක් (1) පිරිමට නියමිත අතර ඒ සඳහා දායක වු සියලු කාර්ය මණ්ඩල ඇගයීම හා කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වය පිළිබඳව ජනතාව දැනුවත් කර එන්නත්කරණ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීම.
• වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා හට තුන්වන (3) මාත්‍රාවද, වයස අවුරුදු 12 ට වැඩි දරුවන් සඳහා ජාතික බෝ වන රෝග පිළිබඳ උපදේශන කමිටුවේ නිර්දේශ අනුව එන්නත්කරණය සිදු කිරීම.
• පොදු ස්ථාන වලදී පූර්ණ එන්නත්කරණයට භාජනය වු අය හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම.

  1. කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම හා කොවිඩ් හඳුනා ගැනීමේ ස්වයං පරීක්ෂණ හඳුන්වා දීම

• වරාය සහ ගුවන් තොටුපොල හරහා රටට ඇතුලු වන හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ සාම්පල වල ජාන පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.
• බාහිර රෝගී අංශ වෙත පැමිණෙන සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ අහඹු නියැදි පරීක්ෂා කිරීම
• පෞද්ගලික හා රාජ්‍ය අංශයේ රසායනාගාර වල ප්‍රමිතිය සහතික කිරීම.
• තුන්වන (3) මාත්‍රාවද සහිතව පූර්ණ එන්නත්කරණයට ලක් වූ කොවිඩ් රෝගීන්ගේ සාම්පල ජාන පරීක්ෂණ සඳහා යොමු කිරීම.

  1. කොවිඩ් රෝගීන් නිවසේදී රැක බලා ගන්නා ක්‍රමවේදය ශක්තිමත් කිරීම

• රෝගින් සංඛ්‍යාව ඉහළ යාමේදී අවධානමක් රහිත රෝගීන් රෝහල් තුලට පැමිණීම නිසා සෞඛ්‍ය මානව සම්පත මෙන්ම රෝහල විඩාවට පත් වීම වළක්වා ගැනීම සඳහා අවධානමක් නොමැති කොවිඩ් රෝගීන් නිවසේදි රැක බලා ගන්නා ක්‍රමවේදය ශක්තිමත් කළ යුතුය.
• ඒ සඳහා ජාතික කොවිඩ් තොරතුරු පද්ධතිය සහ නිවසේදී රැක බලා ගන්නා රෝගීන්ගේ තොරතුරු පද්ධතිය ඒකාබද්ධ කිරීම.
• කොවිඩ් රෝගීන් නිවසේදී රැක බලා ගන්නා ක්‍රමවේදය පිළිබඳව සහ ඒ සඳහා රෝගීන් යොමු කරන ක්‍රමවේදය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම.

  1. සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු හා ‘DReAM’ සංකල්පය පිළිබඳව තවදුරටත් ජනතාව දැනුවත් කිරීම

• ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන් විටින් විට‌ නිකුත් කරන මාර්ගෝපදේශන පිළිබඳව විද්‍යුත් හා මුද්‍රිත සියලු මාධ්‍යයන් යොදා ගනිමින් ජනතාව දැනුවත් කළ යුතු අතර ජනතාවට එම තොරතුරු ඕනෑම අවස්ථාවක ලබා ගත හැකි ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය පරිශීලනයට පහසු ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම.

  1. කොවිඩ් පිළිබඳ පර්යේෂණ සහ ඇගයීම් ප්‍රවර්ධනය කිරීම.

• නව ගෝලීය වසංගතයක් ලෙස පැතිරෙන කොවිඩ් රෝගය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ ලොව පුරා විවිධ මට්ටම් වලින් සිදු වේ. රෝග පාලනය සහ සායනික ප්‍රතිකාර වඩා ශක්තිමත් කිරීම සඳහා පර්යේෂණ හා ඇගයීම් සිදු කිරීම වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන කාර්යභාරයකි.
• ක්‍රමානුකූල ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ එම පර්යේෂණ සිදු කර එම තොරතුරු අවශය පරිදි ජනතාව සහ සෞඛ්‍ය අංශ වෙත ලබා දීම තුලින් රට තුල වසංගතය පාලනය කිරීමට අවශ්‍ය ජනතාවගේ සහ සෞඛ්‍ය අංශයේ සහයෝගය තවදුරටත් ලබා ගත හැක ෴

++++++++++++++

විවහා මංගල්‍ය උත්සවයකින් කොවිඩ් පොකුරක්

(24.01.2022 – 16:03 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ කමරගොඩ ප්‍රදේශයේ පදිංචි අයියා මලෝ දෙදෙනකුගේ විවාහ මංගල්‍ය උත්සවයෙන් අනතුරුව වැඩිමහල් මනමාල මහතා ඇතුළු 26 දෙනකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගෙන තිබෙනවා.

එකම පවුලේ අයියා සහ මල්ලි එකම දිනයේ දී මනාළියන් දෙදෙනකු (2) කැන්දාගෙන පැමිණ තිබෙනවා.

සඳලංකාව ප්‍රදේශයේ දේවස්ථානයක විවාහ දෙක (2) සිදුකර ඇති අතර දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක දෙවැනි (2) දවසේ උත්සවය පවත්වා ඇති බව සෞඛ්‍ය ආරංචිමාර්ග පවසනවා.

මෙම මංගල උත්සවයට දෙපාර්ශවයේම 350 දෙනකු පමණ සහභාගි වී තිබෙනවා.

එක් (1) මනාලයෙකු ඇතුළු තවත් පස් දෙනකු (5) ආසාදිතයන් බවට හඳුනා ගැනීමෙන් අනතුරුව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කමරාගොඩ රෝමානු කතෝලික දේවස්ථාන භූමියේ දී මංගල උත්සවයට සහභාගී වූවන් ගෙන් 28 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සදහා යොමු කර තිබෙනවා.

එයින් 26 දෙනකු ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.

කමරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් රැසක් මේ වන විට නිවෙස් තුල නිරෝධායන සඳහා යොමු කර ඇත .

නිරෝධායනය සඳහා යොමුකර ඇති සමහරක් පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරන බවත් මංගල්‍ය උත්සවයට සහභාගි වූ කිහිප දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සදහා යොමු නොවී ඔවුනට අයත් වෙළඳ සැල් විවෘතව තබා ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී මංගල උත්සව හරයා කොවිඩ් පැතිර යෑම හේතුවෙන් යළි සීමා පැනවීමේ ඉඩ කඩක් රටේ විවිධ ප්‍රදේශ වලින් වාර්තාවන තත්ත්වයන් හමුවේ දකින්නට ලැබෙනවා ෴

+++++++++++++

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය අසාදිතයින්ගේ රෝග ලක්ෂණ ගැන අනාවරණයක්

(24.01.2022 – 18:28 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය අසාදිතයින්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ඉතා අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

සුලු කැස්ස / හෙබිරිස්සාව සහ සුලුවෙන් ඇතිවන උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ කිහිපයක් පමණක් ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය අසාදිතයින්ගේ පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

සාමාන්‍ය කොවිඩ් වෛරස අසාදිතයින්ගේ පෙන්නුම් කරන අධික උණ වැනි රෝගී තත්තව මෙම වෛරස අසාදිතයින්ගේ පෙන්නුම් නොකිරීම විශේෂත්වයක්.

මේ අතර කොවිඩ් මර්ධන එන්නත හරහා කිසිදු අතුරු රෝගාබාධයක් ඇති නොවුනද කොවිඩ් රෝගය වැළදුණු විටදී ලිංගික බෙලහීනතාව / මදසරු භාවය / ලේ කැටි ගැසීම නිසා ඇතිවන හෘද ආබාධ, අංශභාග වැනි රෝගී තත්වයන් හටගන්නා බවද විශේෂඥ වෛද්‍ය ශර්මිලා ද සිල්වා මහත්මිය අවධාරණය කලා.

ඇය මේ බව අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (24) පැවති මාධ්‍ය හමුවකදීයි ෴

++++++++++++

තවත් කොරෝනා මරණ 14 ක්

(24.01.2022 – 20:05 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 14 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 15,313 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *