වැලිගම මුහුදේ දියනෑමට ගොස් පාසල් දැරියන් දෙදෙනෙකු (2) අතුරුදන්

වැලිගම මුහුදේ දියනෑමට ගොස් පාසල් දැරියන් දෙදෙනෙකු (2) අතුරුදන්

*********************************************

වැලිගම මුහුදේ දියනෑමට ගොස් පාසල් දැරියන් දෙදෙනෙකු (2) අතුරුදන්

(23.01.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala)

වැලිගම වෙරළ උද්‍යානය ආසන්න මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් දැරියන් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකුගේ මළ සිරුර අද (23) පස්වරුවේ වෙරළට ගොඩ ගසා තිබුණා.

හිරු වාර්තාකරු සඳහන් කළේ අතුරුදන් වූ 15 හැවිරිදි දැරියගේ සිරුර මෙලෙස ගොඩ ගසා තිබූ බවයි. කෙසේ වෙතත්, දිය නෑමට ගොස් අතුරුදන් වූ 12 හැවිරිදි දැරියගේ සිරුර මේවනතෙක් සොයාගෙන නැහැ.

අතුරුදන් වූ මෙම දැරියන් දෙදෙනා (2) සමග තවත් 14 හැවිරිදි සිසුවියක් සහ 21 හැවිරිදි තරුණියක් දියේ ගිලුණු අතර ඔවුන් බේරාගෙන පසුව ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට ඇතුළත් කෙරුණා.

මෙම පිරිස වැලිගම – මුහුදුගම ප්‍රදේශයේම පදිංචිකාරිණියන්.

මේ අතර, පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව කුච්චවේලි – එරක්කන්ඩි කලපුවේ දියනෑමට ගිය දස (10) හැවිරිදි දැරියක් ද ඊයේ (22) දියේ ගිලී මියගොස් තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව එම සිසුවිය කළපුවේ දියනෑමට ගොස් ඇත්තේ ගුරුවරියක සහ ඇගේ ස්වාමිපුරුෂයා මෙන්ම තවත් පාසල් ළමයින් පස්දෙනෙකු (5) සමඟයි.

***************************************

වන අලින් මන්දපෝෂණයෙන් මිය යයි

(23.01.2022 – 23:23 +0530 – hirunews.lk/sinhala)

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ වන අලින් මන්දපෝෂණ තත්ත්වය සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියයන බවට වාර්තා වනවා.

අප කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ වසර පහක (5) කාලයක් තුළ මෙහි වන අලි 12 දෙනෙකු මියගොස් ඇති බවයි.

ඉන් 5 දෙනෙකු මියගොස් ඇත්තේ, මන්දපෝෂණ තත්ත්වයෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

හෙක්ටයාර 997 ක විහිදී ඇති හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ආරම්භ වන්නේ, දීර්ඝ කාලයක පටන් මෙරට පවතින අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේ අරමුණින්.

වගාවන්ට සහ මිනිස් ජීවිතවලට හානි පමුණුවමින් ගම්වදින වන අලි මෙහි ගෙනඑන්නේ 2015 වසරේ සිටයි.

වනජීවි දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව ආරම්භයේදී මේ මධ්‍යස්ථානය තුළ ලියාපදිංචි කෙරුණු වන අලි ගණන 52 ක්.

නමුත් 2019 ජුනි මසදී ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, අලි 52 න් 12 දෙනෙකු මියගොස් ඇති බවයි.

ඉන් අලි 5 දෙනෙකුම මියගොස් ඇත්තේ ප්‍රමාණවත් ආහාර නොමැතිකමින් හා මන්දපෝෂණ තත්ත්වයෙන් බව එම වාර්තාවේ සඳහන් වී තිබෙනවා.

එය තහවුරු වන්නේ, අලි මරණ සම්බන්ධයෙන් සිදුකළ මරණ පරීක්ෂණ වාර්තා මගිනි. කෙසේවෙතත් බලධාරීන් පවසන්නේ, අලි මන්දපෝෂණ තත්ත්වයෙන් මියගොස් නොමැති බවයි ෴

***************************************

ගෙවුණු පැය 24 තුළ සැකකරුවන් 08 දෙනෙකුට මාංචු

(24.01.2022 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලීසිය විසින් සිදු කරන ලද සෝදිසි කිරීම් සහ වැටලීම්වලින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සහ අලෙවි කිරීමට සූදානම් කර තිබිය දී පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරුවන් 08 දෙනෙකු සමගින්.

• මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේ දී පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් සමගිනුයි, අදාළ පුද්ගලයා පොලිස් භාරයට ගැනුණේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි අයෙකු වන අතර, ඔහු පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඊයේ (23) රාත්‍රී කාලයේදී අදාළ සැකකරු අත් අඩංගුවට ගැනුණු අතර, ඔහු අද (24) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

• එමෙන්ම, මාවතගම – මාස්වැව ප්‍රදේශයේ දී මාවතගම පොලීසිය විසින් සිදු කරන ලද සෝදිසි කිරීමක දී පුද්ගලයින් තිදෙනකු (3) සමග කාන්තාවක් (1) අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි. මොවුන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සිය සන්තකයේ තබාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 450 ක් සොයා ගැනුණා. ඊට අමතරව කඩුවක්, තහනම් පිහි 03 ක්, කොටියෙකුගේ යැයි සැක කරන සත්ත්ව හමක් සහ මුදලින් රුපියල් 1,46,000 ක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ, ඉන් එක් අයෙකු මාතලේ ප්‍රදේශයේ ගෙවල් බිඳ දේපල සොරකම් කිරීම් 50 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බවයි. මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 55, 50,33, සහ 41 යන වයස් සීමාවල පසුවන්නන් බවට ද අනාවරණ වී තිබෙනවා. නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සැකකරුවන් අද (24) දින පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

• මේ අතර, මොරගහේන පොලීසිය විසින් ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (23) දහවල් කාලයේ දී මෙම වැටලීම සිදු කර ඇත්තේ, ඔලබොඩුව කන්ද ප්‍රදේශයේ දී යි. එහිදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 900 ක් සොයා ගැනුණා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි වියෙහි පසුවන්නෙකු වන අතර, ඔහු අද (24) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.

• එමෙන්ම, බොරැල්ල – කාදර්නානා වත්ත ප්‍රදේශයේ දී ඊයේ (23) පෙරවරුවේ සිදු කළ වැටලීමක දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 900 ක් සමගින්. වයස අවුරුදු 38 ක් වන බොරැල්ල ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (24) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

• මේ අතර, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රත්මලාන ප්‍රදේශයේ දී යි. මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 520 ක් වන අතර, 28 හැවිරිදි අදාළ පුද්ගලයා මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර, සැකකරු අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

ගත වූ පැය 24 ට රිය අනතුරු 3 ක්

(24.01.2022 – 07:33 +0530 – hirunews.lk/sinhala)

වැලිපැන්න පොලිස් වසමේ වළගෙදර අතුරු මාර්ගයේ මිල්ලගහවත්ත ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. වළගෙදර හන්දිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පාලනයෙන් ගිලිහී මහමඟ පෙරළී ඇති අතර, ඉන් ඇති වූ බරපතළ තුවාල හේතුවෙනු යි මෙම මරණය සිදු වී ඇත්තේ. මිය ගොස් ඇත්තේ, ත්‍රීරෝද රථයේ පසුපස ගමන් කළ පුද්ගලයෙකු වන අතර, ඔහු වයස අවුරුදු 68 ක ලබුවැල්ගොඩ – වළගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෘත ශරීරය නාගොඩ රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, වැලිපැන්න පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

මේ අතර, මිහින්තලය පොලිස් වසමේ පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ මාතලේ හන්දිය අසල සිදු වූ රිය අනතුරකින් ද කාන්තාවක් මිය ගොස් තිබෙනවා. යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත් යතුරු පැදියේ ගමන් කළ පසු පැදිකාරිය අනතුරින් මිය ගිය බවත් පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා. මරණකාරිය වයස අවුරුදු 64 ක සාලිය මාවත – අනුරාධපුරයේ පදිංචි කාන්තාවක්. අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ, මිහින්තලය පොලිසිය යි.

මේ අතර, පුත්තලම පොලිස් වසමේ කල් අඩිය 06 කණුව අසල දී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන්, යතුරු පැදියේ ගමන් කළ වයස අවුරුදු 27 ක පුද්ගලයෙකු ද මිය ගොස් තිබෙනවා ෴

***************************************

සත්වෝද්‍යානය ගැන තීරණයට පශු වෛද්‍යවරුන්ගෙන් සතියක්

(24.01.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල සත්වෝද්‍යානයේ මතු ව ඇති අර්බුදයට සතියක් ඇතුළත විසදුම් ලබා නොදුන හොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයින් මේ බව සඳහන් කළා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය දා දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් සත්‍යග්‍රහයක ද නිරත වුණා.

එවන් පසුබිමක දෙහිවල සත්වෝද්‍යානයේ කඩා කප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබද විධිමත් විමර්ශනයක් සිදු කොට පවත්නා අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු දින 14 ක් සිය රාජකාරීවලින් ඉවත්වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පසුගිය දා තීරණය කළා.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය එච්.එච්.ඒ.එස්. පියසිරි සහ එහි ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ ඒ පිළිබඳ අදහස් දක්වා සිටියා ෴

***************************************

කහ අස්වනු නෙළීම ඇරඹේ

(24.01.2022 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ගොවීන් විසින් වගා කරන ලද කහ අස්වනු මිල දී ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කහ කිලෝවක් රුපියල් 160 ක මුදලකට මිල දී ගැනීමටයි තීරණය කර ඇත්තේ.

පසුගිය දා එහි සමාරම්භක අවස්ථාව ගම්පහ – කිතුලවෙල – පිටදෙනිය ප්‍රදේශයෙන් ආරම්භ වුණා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කුළු බඩු මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් එක්වයි මෙම කහ අස්වනු මිල දී ගැනීම සිදු කරන්නේ ෴

***************************************

දියේ ගිලීම් වළක්වන්න වැඩපිළිවෙළක් ඉල්ලයි

(24.01.2022 – 08:02 +0530 – hirunews.lk/sinhala)

අනතුරුදායක වෙරළ තීරයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ජනතාව පවසනවා.

එසේ නොමැති වුවහොත් දිනෙන් දින සිදුවන දියේ ගිලීම් වැඩි විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වැලිගම වෙරළ උද්‍යානය ආසන්න මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ සිසුවියන් දෙදෙනාගේ (2) මළ සිරුරු ඊයේ (23) රාත්‍රියේම වෙරළට ගොඩගසා තිබියදී හමුවුණා.

මොවුන් ඥාති සොහොයුරියන් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගිය එක් දැරියකගේ වයස අවුරුදු 12 ක් වන අතර, අනෙක් දැරිය 15 හැවිරිදි වියේ පසුවනවා.

මොවුන් දෙදෙනා (2) සහ තවත් දැරියක් (1) දියනෑමට ගොස් තිබුණේ අවුරුදු 21 ක් වයසැති තරුණියක් සමග යි.

පසුව මොවුන් සියලුදෙනා දියේ ගිලී ඇති අතර, ඉන් 14 හැවිරිදි දැරියක් සහ තරුණිය ප්‍රදේශවාසීන් විසින් බේරාගැනීමෙන් පසුව මාතර මහරෝහලට ඇතුළත් කෙරුණා.

කෙසේ වෙතත්, ප්‍රදේශවාසී ජනතාව සදහන් කළේ අනතුරුදායක වෙරළ තීරයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකළ යුතු බවයි.

මේ අතර උඩුදුම්බර – මීමුරේ ප්‍රදේශයේ ඇළක දියනෑමට ගිය 30 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

අතුරුදන් පුද්ගලයා තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා පැමිණ ඊයේ (23) මෙලෙස අනතුරට මුහුණපා ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

***************************************

සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක්

(24.01.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක් තබාගැනීමේ පහසුකම ලබාදීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය, විවාහ සහතිකය සහ විභාග සහතිකය ඇතුළු සියලු අත්‍යවශ්‍ය පෞද්ගලික ලිපි ලේඛන තමන්ගේ ජංගම දුරකථනයෙන් ඩිජිටල් පසුම්බියක් ලෙස තබාගැනීමේ හැකියාව මෙම පහසුකම මගින් ලැබෙනු ඇති.

තරුණ කටයුතු අමාත්‍යාංශය හා සංචාරක අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන වසර දෙකහමාරක් (2½) තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.

එමෙන්ම මේ වසර තුළ නගර සභා සහ ප්‍රාදේශීය සභා 100 ක් ඩිජිටල්කරණයට ලක් කිරීමටද සැළසුම් කර තිබෙනවා.

එමගින් බදු මුදල් එකතු කිරීම, වෙනත් අය කිරීම් සහ වීථිරේඛා ගෙවීම් ඩිජිටල් තාක්ෂණයෙන් සිදුකිරීමට ජනතාවට හැකියාව ලැබෙන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා ෴

***************************************

මිහිඳු මහා සෑයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන ලෙස ආරක්ෂක ලේකම්ගෙන් උපදෙස්

(24.01.2022 – 08:46 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂක ලේකම් සහ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ඊයේ (23) අනුරාධපුර පූජනීය ස්ථාන කිහිපයක නිරීක්ෂණයක නිරත වුණා.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා පැමිණියේ මිහින්තලා පුදබිමේ මිහිඳු සෑය වෙත යි.

ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා ඇති මිහිඳු මහ සෑයෙහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීමටයි ආරක්ෂක ලේකම්වරයාගේ පැමිණීමේ මූලික අරමුණ වූයේ.

එහිදී ආරක්ෂක ලේකම්වරයා නාවික හමුදා ඉදිකිරීම්හි නිරත නිලධාරින්ට ප්‍රකාශ කළේ, මෙම කටයුතු කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙම ව්‍යාපෘතිය යටතේ මිහිඳු ලෙන්, බුද්ධ මන්දිරය ඇතුළු කොටස් ද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.

***************************************

විශේෂ කාර්ය බලකායේ උකුසු ඇසට හසු වූ නීතිවිරෝධී ජාවාරම

(24.01.2022 – 09:16 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ජාවාරමේ යෙදීමේ චෝදනාව මතයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 09 යි මිලිග්‍රෑම් 900 ක් සොයා ගැනුණා.

මෙම සැකකරු 53 හැවිරිදි වියෙහි පසුවන තංගල්ල ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු වන අතර, වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අත්අඩංගුවට ගත් සැකකරු තංගල්ල පොලීසියට භාර දී තිබෙනවා ෴

***************************************

අපි දීපු විසඳුම් ‍රජය ගණන් ගත්තේ නෑ – මෛත්‍රීපාල

(24.01.2022 – 09:45 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ රට මුහුණ දෙන ගැටලුවලට විසඳුම්, එම ගැටලු ඇති වූ මූලික අවස්ථාවේ දී ම තමා ඇතුළු කඳවුර විසින් ඉදිරිපත් කරන ලද බවත් රජය ඒවා ගණන් නො ගත් බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඊයේ (23) ගාල්ලේ පැවති ජනහමුවක් අමතමිනු යි ඔහු මේ බව සඳහන් කළේ.

පොහොර අර්බුදය, ගුරු වැටුප් විෂමතාව, විදුලිය, ආදී ගැටලුවලට විසඳුම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ලිඛිත ව ලබා දී ඇති බවත් ඔහු අවධාරණය කරනවා.

හිටපු ජනපති වැඩිදුරටත් පැවසුවේ, විදුලිය පිළිබඳ අර්බුදය හිටිවන ම ඇති වූ එකක් නො වන බව යි.

එය වසර ගණනාවක් තිස්සේ පැවති තාක්ෂණික ප්‍රශ්න ගණනාවක් විධිමත් ව විසඳා ගැනීමට නො හැකි වීමේ තත්ත්වයක අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලෙසට යි ඔහු අවධාරණය කළේ.

පසුගිය වසර දෙකක (2) කාලය තුළ තම පක්ෂය ආන්ඩුව තුළ නිකරුණේ නො සිටි බව පවසන හිටපු ජනපතිවරයා, ආණ්ඩුවේ සිටින පක්ෂයක් වශයෙන් සෑ ම ගැටලුවක දී ම තමා ඇතුළු පිරිස ඒ පිළිබඳ මැදිහත් වී කටයුතු කළ බව ද සඳහන් කරනවා.

***************************************

ලක්ෂ 40 ක අබිං සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

(24.01.2022 – 09:59 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති උපදෙස් පරිදි කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට, වාලච්චේන යුධ හමුදා කදවුරේ බුද්ධි අංශය මගින් ලබා දෙන ලද තොරතුරකට අනුව, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් වාලච්චේන පොලිස් වසමේ කල්කුඩා මාර්ගයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

සැකකරු විසින් ඊයේ (23) දින අබිං හෙවත් OPIUM නැමැති විෂ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි, පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකව, රුපියල් ලක්ෂ 40 ක වටිනාකමකින් යුත් අබිං හෙවත් OPIUM නැමැති විෂ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 460 ක් තිබූ බවට සදහන්.

සැකකරු කල්කුඩා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72 ක පුද්ගලයෙක්.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලිසිය සිදු කරයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *