සිරකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකුගේ (3) වැඩ තහනම්

සිරකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකුගේ (3) වැඩ තහනම්

*********************************************

සිරකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකුගේ (3) වැඩ තහනම්

(23.01.2022 – 15:36 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා කදුරුගස් ආර එළිමහන් සිරකඳවුරේ සිරකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිර කඳවුරේ රාජකාරි කටයුතු සිදු කරනු ලබන නිලධාරින් තිදෙනෙකු (3) ගේ වැඩ තහනමකට ලක් කර තිබෙනවා.

අද (23) පස්වරුවේ අදාළ නිලධාරින්ගේ රාජකාරි කටයුතු තහනම් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජේලර්වරයාගේ සහ තවත් දෙදෙනෙකු (2) ගේ වැඩ තහනම් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක නිවේදනය කළේ.

ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රඳවා සිටි සිරකරුවෙකු පහර දී මරා දමා ඇති බවට එම සිරකරුවාගේ ඥාතීන් චෝදනා කළා.

අදාළ සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාල්ලේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.

අකුරැස්ස – කනංකේ, කන්දවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හෙට්ටිගේ ලලිත් චමින්ද නමැති සැකකරු මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේ 2010 වර්ෂයේ දී යි.

මෙලෙස මියගොස් ඇත්තේ එම පුද්ගලයායි.

අදාළ සිද්ධියට වරදකරු වී බන්ධනාගාරගත වු පසුව සිය පියා බන්ධනාගාර නිලධාරීන්ගේ ජංගම දුරකථන හරහා නිවසට දුරකථන ඇමතුම් ලබා දුන් බවයි ඔහුගේ දියණිය සඳහන් කළේ.

ඊට අදාළව මුදල් ගනුදෙනු හුවමාරු වූ ආකාරය ද ඇය හෙළි කළා.

මේ පිළිබඳව අප කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

***************************************

මිදිගම පොලිසිය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය

(23.01.2022 – 21:32 +0530 – hirunews.lk/sinhala)

මාතර – මිදිගම – තුර්කි ගම්මානයේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා ඔහුගේ ඥාතීන් පිරිසක් අද (23) මිදිගම පොලිසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණා.

සිද්ධිය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවීමටයි පොලිසිය පියවර ගෙන තිබුණේ.

මාතර – මිදිගම – තුර්කි ගම්මානයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය 20 වැනිදා රාත්‍රි යේදී.

සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම හා වැලිගම පොලිසි විමර්ශන සිදුකළ අතර වැලිගම පොලිසිය ඔවුන්ට ලද තොරතුරක් මත වැලිගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 21 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

ජීව අත්බෝම්බයක්ද සමග අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මේ අතර, පොලිසිය ඊයේ (22) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මියගිය පුද්ගලයාට වෙඩි තැබීම සිදුකළ සැකකරු මොහු නොවන බව අනාවරණ වී ඇති බවයි.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එම පුද්ගලයා වෙඩි වැදීමෙන් මියගිය තැනැත්තාට පෙර අවස්ථාවක තර්ජනය කිරීමක් සම්බන්ධ සැකකරුවෙකු වන බවද එම නිවේදනයේ සඳහන්.

මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුගේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් පිරිසක් අද මිදිගම පොලිසිය ඉදිරිපිටට රැස්වී කලහකාරී ලෙස හැසිරුණා.

ඔවුන් චෝදනා කළේ නිසි විමර්ශනයකින් තොරව වෙඩි තැබීමේ සිද්ධියට තම ඥාතියා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

***************************************

විල්පත්තුවට ලැබුනු තාවකාලික බෝට්ටු පාලම නිසා සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්

(23.01.2022 – 15:21 +0530 – hirunews.lk/sinhala)

විදෙස් සංචාරකයින් නැවතත් මෙරටට පැමිණීමට පටන් ගෙන ඇති පසුබිමක් තුළ සංචාරක ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් කඩිනමින් සැපයීම බලධාරීන් සතු වගකීමක්.

කෙසේ වෙතත්, බලධාරී අවධානය යොමු නොවීම හේතුවෙන් තම ගැටලුව තමන්ම විසඳා ගත් පිරිසක් පිළිබඳවයි මේ තොරතුරු.

මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳව අවධානය යොමු කිරීමේදී විල්පත්තුව ජාතික වනෝද්‍යානයට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්.

ඈත අතීතයේ සිටම විදේශීය සංචාරකයින් මෙහි පැමිණෙන්නේ වනෝද්‍යානයේ පවතින ඉහළ ස්වභාව සෞන්දර්යය හේතුවෙන්.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන පුත්තලම – පරණ මන්නාරම මාර්ගයේ එගොඩ මෙගොඩ යා කළ කලාඔය සපත්තු පාලම පසුගිය සමයේ ඇතිවූ අධික වර්ෂාවත් සමග විනාශයට ලක්ව ඇත්තේ මෙලෙසයි.

මෙම පසුබිම හමුවේ පසුගිය වර්ෂයේදී මෙම මාර්ග සම්පූර්ණයෙන්ම වසා දැමීම හේතුවෙන් විල්පත්තුවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් රැසක් දැඩි අපහසුතාවට පත්ව තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළේ සිට මෙම වනෝද්‍යානයට පැමිණීමට ඇති කෙටිම පිවිසුම වන මෙම පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව, එහි සේවා කටයුතුවල නිරත සෆාරි ජීප් රථ සංගම් විසින් බලධාරීන්ට දැනුම් දුන්නත් කිසිදු ප්‍රතිඵලයක් ලැබී තිබුණේ නැහැ.

ඒ අනුව එහි සෆාරි ජීප් රථ සංගමයක් විසින් බෝට්ටු 12 ක් යොදාගෙන මෙලෙස තාවකාලික පාලමක් ඉදිකර ඇත්තේ, කලක පටන් තිබූ අවශ්‍යතාවක් සපුරාලමින්.

ප්‍රවේශ මාර්ගය යළිත් ස්ථාපනය වීම හේතුවෙන් මේ වනවිට විල්පත්තු ජාතික වනෝද්‍යානයට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති ආකාරය දැකිය හැකියි.

***************************************

වේවැලෙන් ම බැට කන බිබිල ව්‍යවසායකයින්

(23.01.2022 – 15:42 +0530 – hirunews.lk/sinhala)

පාරම්පරික කර්මාන්තයක් වන වේවැල් කර්මාන්තය, මෙරට බොහෝ පිරිසකට රැකියා උත්පාදනය කිරීමට සමත් වූ ක්ෂේත්‍රයක්.

නමුත් ඊට මතුව ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් වේවැල් කර්මාන්තකරුවන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

වේවැල් කර්මාන්තය පාරම්පරිකව සිදුකරන ප්‍රදේශයක් ලෙසට, ඌව පළාතේ, බිබිල ප්‍රදේශය ප්‍රසිද්ධියක් උසුලනවා.

මොවුන්ගේ නිෂ්පාදනවලට දේශීයව මෙන්ම විදේශීයව ද පසුගිය සමයේ තුළ ඉහළ ඉල්ලුමක් පැවතියත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම ඉල්ලුම දැඩි ලෙස කඩා වැටී තිබුණා.

කෙසේ වෙතත්, වේවැල් කර්මාන්තකරුවන් පවසන්නේ එම තත්ත්වය මේ වනවිට පහව යමින් පැවතියත්, අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුතා ආදී ගැටලු හේතුවෙන් මේ වනවිට කර්මාන්තය කරගෙන යාමට දැඩි දුෂ්කරතා මතුව ඇති බවයි.

තම නිෂ්පාදනවලට වෙළෙඳ පොළක් සකසා දීම මෙන්ම, අමුද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස මෙම කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටිනවා.

මීට අමතරව, මෙම පාරම්පරික කර්මාන්තයේ ශිල්පීය ඥානය මතු පරපුරට ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ද මොවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.

***************************************

අබල – දුබල මාවතෙන් පීඩා විඳින දික්වැල්ල වැසියන්

(23.01.2022 – 15:45 +0530 – hirunews.lk/sinhala)

දැරණියගල – දික්වැල්ලකන්ද දක්වා දිවෙන මාර්ගය අබලන් වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

මේ අනාවරණය කිසිදු ප්‍රමිතියකින් තොරව සිදුවන එහි ඉදිකිරීම් කටයුතු පිළිබඳවයි.

මේ, දැරණියගල දික්ඇල්ලකන්ද ගම්මානයේ, උඩමාලිබොඩ සිට දික්ඇල්ලකන්ද දක්වා දිවෙන මාර්ගයයි.

මීට වසරකට පෙර මෙම මාර්ගය පිළිසකර කර කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කොන්ත්‍රාත් සමාගමක් විසින් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

කෙසේ වෙතත් ඔවුන් චෝදනා කරන්නේ ඉබිගමනින් සිදුවන මාර්ග සංවර්ධන කටයුතු කිසිදු ප්‍රමිතියකින් තොරව බවටයි.

ගමක මූලික අවශ්‍යතාවලින් එකක් වන මාර්ග පහසුකම් නොමැති වීම තුළින් සෘජුවම බලපෑම් එල්ලවන්නේ දික්ඇල්ලකන්ද ජනතාවගේ දෛනික ආදායම් මාර්ගවලටයි.

අවස්ථා ගණනාවකදී ප්‍රදේශයේ නිලධාරීන් සහ බලධාරීන් මෙම ගැටලුව සම්බන්ධයෙන් ලිඛිතව මෙන්ම වාචිකව ද දැනුවත් කළ ද එය බීරි අලින්ට වීණා වාදනය කිරීමක් බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

විවිධ කොන්ත්‍රාත්කරුවන්ට මඩිය තරකරගැනීමට සහය දක්වන බලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරමින් සිදු කරන මෙවැනි දෑ මගින් අහිමි වන්නේ මහජනතාවගේ අයිතීන් නොවේද ?

උඩමාලිබොඩ සිට දික්ඇල්ලකන්ද දක්වා ඇති මෙම මාර්ගය තරණය කිරීමට දහසකුත් ගැහැට විඳින දික්ඇල්ලකන්ද ජනතාව වෙනුවෙන් මාර්ගය පිළිසකර කර ජනතා අයිතියට පත්කරන තුරු ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

විචිත්‍රවත් ඩ්‍රෝන යානා සැණකෙළියක් පළමු වරට මෙරට දී

(23.01.2022 – 15:52 +0530 – hirunews.lk/sinhala)

මෙරට පළමු ඩ්‍රෝන යානා අලෝක සංදර්ශනය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංවිධානත්වයෙන් පැවැත්වුණා.

ඒ ඊයේ (22) රාත්‍රියේ දී අතිඋත්කර්ෂවත් ලෙස කොළඹ – ගාලු මුවදොර පිටියේ දි යි.

මෙම ඩ්‍රෝනා යානා ආලෝක සැණකෙළිය නම්කර තිබුණේ, ‘ඩරාස් ඩ්‍රෝන් ෂෝ’ ලෙසින්.

විවිධ විසිතුරු රටා මවමින් රාත්‍රී අහසේ මෙම ඩ්‍රෝන යානා සංදර්ශනය පැවැත්වුණා.

++++++++++++

ගිනිගල්ගොඩ නිවසක් අසලට ආ කිඹුලා

(23.01.2022 – 16:54 +0530 – hirunews.lk/sinhala)

බලපිටිය ගිනිගල්ගොඩ ප්‍රදේශයේ නිවසක් අසළට පැමිණ සිටි අඩි 10 ක් පමණ දිග කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට භාරදී තිබෙනවා.

වනජීවී නිලධාරීන් සඳහන් කළේ මෙම කිඹුලා බුන්දල ජාතික වනෝද්‍යානයට මුදාහරින බවයි.

***************************************

ගංජා සහ මත්පෙති රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 27 ක් අත්අඩංගුවට

(23.01.2022 – 17:00 +0530 – hirunews.lk/sinhala)

ගංජා සහ මත්පෙති රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 27 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සති අන්තයේ සිදු කළ වැටලීම්වලිනුයි සැකකරුවන් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිස් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සහ හැටන් දුම්රිය ස්ථානයේ මෙහෙයුම් සිදුකරනු ලබනවා.

ඒ අනුව සිදු කළ හදිසි පරීක්ෂාවන්වලදීයි මෙම පිරිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

අවුරුදු 18 සහ 30 යන වයස්වල පසුවන සැකකරුවන් කුරුණෑගල, ගාල්ල, අනුරාධපුර සහ කොළඹ පදිංචිකරුවන් වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇති බවයි.

මේ අතර අද (23) දිනයේ ද කේරළ ගංජා රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් දෙදෙනෙකු (2) නල්ලතන්නිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හැටන් පොලිසිය ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් බැවින් ඊට අනුගතව එය කරුණා කරන ලෙසටයි ෴

***************************************

හරිත කඳුවැටියේ ගින්න තවමත්

(23.01.2022 – 17:22 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපළට ආසන්නයේ හරිත කඳුවැටියේ හට ගත් ගින්න තවමත් පාලනය කර නොමැති බව වාර්තා වනවා.

අද (23) උදෑසන සිට මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් අක්කර 10 කට ආසන්න ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර හරිත කඳුවැටිය තරණය කිරීම සදහා පැමිණ සිටි දේශීය සංචාරකයින් පිරිසක් ද ගින්නට කොටු වී සිටියදී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මුදාගෙන තිබෙනවා ෴

***************************************

බස් මගීන් සඳහා ඉදිරියේදී අලුත්ම ගාස්තු ක්‍රමයක්

(23.01.2022 – 18:41 +0530 – hirunews.lk/sinhala)

බස් මගීන් සඳහා ඉදිරියේදී අලුත්ම ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට සිදුවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

බස් සේවකයින් වගකීමෙන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී එම ගාස්තු ක්‍රමය හඳුන්වාදෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

“මම පොලිස්පතිතුමාට ලිඛතව දැනුම්දුන්නා ආසනගත නීති කඩකරන සියලුම බස්රථ අත්අඩංගුවට ගන්න කියලා. එහෙම ගොඩක් තැන්වල සිදුවෙලා තිබුණා. නමුත් අපිට පේනවා ග්‍රාමිය මාර්ගවල මේ නීතිය කඩනවා කියලා.

අපි මේක නතර කළේ නැතිනම් එළඹෙන සතිය වෙද්දි හිටගෙන යාමේ ගාස්තුව හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මගියෙකුට පුළුවන් ආසනයක් නැතිනම් අඩුම තරමේ නීතිය කඩන එක කෙසේවෙතත් හිටගෙන යනවා නම් ඒ ගාස්තුව විතරක් ගෙවන්න.

අපි බස් සේවකයින් ගැන සානූකම්පිතව හිතලා සැලකියයුතු මිල වැඩිකිරීමක් ලබලා දුන්නා රටේ පවතින තත්ත්වය අනුව. එහෙම නම් අපේ කොන්දේසිවලටත් එකඟවෙන්න ඕනේ. එකඟවුණේ නැතිනම් ඉදිරි සතිය තුළ ආසනගත ගාස්තුව වගේව හිටගෙන යනවා නම් පරණ තිබුණ ගාස්තුව වගේ වෙනම ගාස්තුවක් නියම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හිටගෙන යන අයට පුළුවන් ඒක ගෙවනන්. ඉදගෙන යන අයට පුළුවන් ඒ ගාණ ගෙවන්න. එතකොට අපට ළඟට ඇවිත් ඒක වෙනස් කරන්න කිව්වාට අපි ඒක කරන්නේ නැහැ.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *