ශිෂ්‍යත්ව විභාගයේ ගැටළු ගැන සොයන්න කමිටු 3 ක් ඔස්සේ විමර්ශන

ශිෂ්‍යත්ව විභාගයේ ගැටළු ගැන සොයන්න කමිටු 3 ක් ඔස්සේ විමර්ශන

*********************************************

ශිෂ්‍යත්ව විභාගයේ ගැටළු ගැන සොයන්න කමිටු 3 ක් ඔස්සේ විමර්ශන

(23.01.2022 – 17:17 +0530 – hirunews.lk/sinhala)

ශිෂ්‍යත්ව විභාගයේ ගැටළු ඇති වූ මධ්‍යස්ථානවල සිසුන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන පරිදි කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා.

ඊයේ (22) පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව සිසු දරුවන් සහ දෙමව්පියන් චෝදනා එල්ල කළේ ඇතැම් විභාග මධ්‍යස්ථානවල ගැටළු සිදුවූ බවටයි.

කෙසේ වෙතත්, කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටු 03 ක් පත්කර ඇති අතර, ඒ අනුව විමර්ශන සිදුකරන බවයි.

කෙසේ වෙතත්, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි. ධර්මසේන සඳහන් කළේ සිදුවු අක්‍රමිතා සම්බන්ධයෙන් සොයා බැලීමට අදාලව හෙට (24) දින සිසුන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් අදාල සාක්ෂි ලබාගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර පෙබරවාරි 07 වනදා ආරම්භ වන උසස් පෙළ විභාගය නියමිත පරිදි පවත්වන බවත් එහිදී ද මෙවැනි අක්‍රමිකතා සිදුවීම වලක්වාලීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කළා.

+++++++++++++

ශිෂ්‍යත්ව විභාගයේ අක්‍රමිකතා ගැන විමර්ශනයක් කරන්න – ජෝසප් ස්ටාලින්

(23.01.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala)

පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව සිසු දරුවන් සහ මව්පියන් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළා.

විභාග සම්බන්ධ විශ්වසනීයත්වය තහවුරු කිරීම විභාග දෙපාර්තමේන්තුවේ වගකීම බවයි ඔහු කොළඹ අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව කුච්චවේලි – එරක්කන්ඩි කලපුවේ දියනෑමට ගිය දස (10) හැවිරිදි දැරියක් දියේ ගිලී මියගොස් තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව එම සිසුවිය කළපුවේ දියනෑමට ගොස් ඇත්තේ ගුරුවරියක සහ ඇගේ ස්වාමිපුරුෂයා මෙන්ම තවත් පාසල් ළමයින් පස්දෙනෙකු (5) සමඟයි.

ඔවුන් දිය නාමින් සිටින අතරතුර සිසුවිය දියේ ගිලී මියගොස් ඇති අතර, තවත් සිසුවියක් රළ පහරට හසුවී ගසාගෙන යන අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති බව සඳහන්.

ඇය ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ත්‍රිකුණාමලය – මිහිඳුපුර ප්‍රදේශයේ පදිංචි මියගිය සිසුවිය එම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

***************************************

රසායනික පොහොර තොගයක් මෙරටට – හානි වූ වගා සඳහා සහන

(23.01.2022 – 14:09 +0530 – hirunews.lk/sinhala)

යූරියා ඇතුළු රසායනික පොහොර මෙට්‍රික් ටොන් 12,000 ත් 15,000 ත් අතර ප්‍රමාණයක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට ගෙන්වීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

කෙසේ වෙතත්, එම කාර්යාල ආරංචිමාර්ග පැවසුවේ ඩොලර් නොමැතිවීම සහ ණයවර ලිපි නිකුත් නොකිරීමේ ගැටලු හේතුවෙන් රසායනික පොහොර තොග ගෙන්වීමේ ප්‍රමාදයක් ඇතිවිය හැකි බවයි.

රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවලට ලක්වුණා.

රසායනික පොහොර මෙරටට ගෙන්වීමට ආණ්ඩුව තීරණය කළේ ගොවීන් විරෝධතා මතුවූ පසුබිමකයි.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කසුන් මහතන්තිල සඳහන් කළේ ගතවූ දින කිහිපය තුළ පමණක් යූරියා මෙට්‍රික් ටොන් 1500 ක් මෙරටට ආනයනය කර ඇති බවයි.

රසායනික පොහොර මෙට්‍රික් ටොන් 12,000 ත් 15,000 ත් අතර ප්‍රමාණයක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට ගෙන්වීමට නියමිත බව ඔහු සඳහන් කළා.

පොහොර ආනයනය සඳහා සිදුකළ ඇණවුම්වලට මේ වන විට අනුමැතිය හිමිවී ඇති බවත් ඉදිරි සති කිහිපය තුළ කොටස් වශයෙන් ඒවා මෙරටට ගෙන්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ රසායනික පොහොර ගෙන්වීමට නියමිතව ඇත්තේ යුක්‍රේනය ඇතුළු යුරෝපා රටවලින් සහ සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවලින්.

කෙසේ වෙතත්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ආරංචිමාර්ග පැවසුවේ ඩොලර් නොමැතිවීම සහ ණයවර ලිපි නිකුත් නොකිරීමේ ගැටලු හේතුවෙන් රසායනික පෙහොර තොග මෙරටට ගෙන්වීමේ ප්‍රමාදයක් ඇති බවයි.

මේ අතර, රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් මහවැලි සී කලාපයට අයත් ගිරාඳුරුකෝට්ටේ දිවුලපැලැස්ස ප්‍රදේශයේ මහවැලි ගම්මානවල සිදුකළ වී වගාවන් අසාර්ථක වී ඇති බව ගොවීන් චෝදනා කරනවා.

දිවුලපැලැස්ස ඩී 10, ඩී 11 කලාපවල ගොවීන් චෝදනා කළේ ඇතැම් ප්‍ර දේශවලට රජයෙන් දියර පොහොර ලබා දුන්නත් ඒවා වගාවන්ට ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේ වෙතත්, කඳාන දකුණුබටගම – කපුවාගාර වෙල් යායේ අක්කර 10 ක කොටසක් කාබනික පොහොර යොදා සිදුකළ වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට හැකි වී තිබෙනවා.

අස්වැන්න නෙලීමට ආගමික නායකයින් කිහිපදෙනෙකු ද එක්ව සිටි අතර, ගොවීන් චෝදනා කළේ කාබනික වගාවන් සිදු කිරීමට ජාඇළ ගොවිජන සේවා මධ්‍යස්ථාන කෘෂි නිලධාරීන්ගෙන් කිසිදු සහයක් නොලැබුණු බවයි.

මේ අතර, මිනුවන්ගොඩ බුරුලුපිටිය ගල්කරඳ අංක 2 වෙල්යායේද කාබනික පොහොර යොදා සිදු කළ වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා.

මේ අතර, රසායනික පොහොර සහ කාබනික පොහොර භාවිත කිරීමෙන් අස්වැන්න හානිවූ ගොවීන්ට වන්දි ලබාදීමේ සැලසුම් මේ වනවිට සකස් කර ඇති බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළා.

ඒ, අනුරාධපුරයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදියි.

මේ අතර පොහොර ගැටලුව හේතුවෙන් වගා හානි වී ඇති බවට ගොවීන් තවදුරටත් දිගින් දිගටම චෝදනා එල්ල කරනවා.

අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක් වූ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළේ කඩිනමින් වන්දි ලබාදීමට කටයුතු කරන බවයි.

ගොවීන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් හෙට (24) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන බව මහනුවරදී ඊයේ (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ද කියා සිටියා.

***************************************

හිටපු ජනපති මෛත්‍රීට රවීගෙන් යළි චෝදනා

(23.01.2022 – 14:27 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සිදු වන අවස්ථාවේ රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වගකිව යුතු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති ආගමික උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

එමෙන්ම යහපාලන රජය විවේචනය කරමින් තමන් හට පැවති රජයන් කිසිදු අයුරකින් විවේචනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව පවසන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ, හිටපු ජනපති පවසන අන්දමින් මහබැංකුව කැඩීමේ සිද්ධිය තමන්ට අදාළ නොවන බවත්, එකල වාණිජ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මන්ත්‍රී කබීර් හෂීම්ට එය පැවසිය යුතු බවයි.

හිටපු ජනාධිපතිවරයාට කෙළෙහි ගුණ මේ වනවිට අමතක වී ඇති බව ද හිටපු අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

***************************************

අභ්‍යවකාශයෙන් ආ කළු දියමන්තිය වෙන්දේසියට

(23.01.2022 – 14:38 +0530 – hirunews.lk/sinhala)

අභ‍්‍යාවකාශයේ සිට පතිත වූ ග්‍රාහක කොටසක් හෝ උල්කාෂ්මයක් පතිත වීමෙන් හටගත් බවට සැලකෙන දුර්ලභ කලු දියමන්තියක් ඩුබායිහිදී ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබෙනවා.

කැරට් 555.55 ක් බරැති ස්වභාවිකව හැඩතල ගැන්වුණු මෙම දියමන්තිය ලබන මාසයේ ලන්ඩනයේදී වෙන්දේසි කිරීමට නියමිතයි.

ඒ ඩුබායි සහ ලොස් ඇන්ජලීස්හිදී ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුවයි.

එය අවම වශයෙන් ඩොලර් මිලියන 7 කට අලෙවි වනු ඇති බවටයි සුප්‍රකට Sotheby වෙන්දේසි ආයතනය ප්‍රකාශ කළේ.

ස්වභාවිකව හැඩතල ගැන්වෙන මෙවැනි කලු දියමන්ති අතිශය දුර්ලභ වන අතර එය මීට වසර බිලියන 2.6 ත් 3.8 ත් අතර කාලය තුල නිර්මාණය වී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ “එනිග්මා” ලෙස හැඳින්වෙන මෙම දියමන්තියට හිමිකම් කීමට එක් වාසනාවන්ත කෝටිපතියෙකුට හෝ ප්‍රකෝටිපතියෙකුට ඉක්මනින් හැකියාව ලැබෙනු ඇති බවයි.

ගිනස් වාර්තාවන්ට අනුව මෙය දැනට ලොව විශාලතම කැපූ කළු දියමන්තිය ලෙසටයි සැලකෙන්නේ.

ස්විට්සර්ලන්තයේ හවුස් ඔෆ් ගුබෙලින් සහ ඇමරිකාවේ මැණික් විද්‍යා ආයතනය යන ආයතන දෙකම මෙවැනි විශාලතම දියමන්තියක් මෙතෙක් හමුවී නොමැති බවට ප්‍රකාශ කර තිබෙනවා.

එය ප්‍රථම වරට ගිනස් ලෝක වාර්තා විසින් ලැයිස්තුගත කරන ලද්දේ 2006 වසරේදීයි.

වෙන්දේසි ආයතනයක් වන Sotheby’s විසින් මෙම අද්විතීය දියමන්තිය ඩුබායිහිදී පසුගිය ජනවාරි 17 වනදා එළිදක්වනු ලැබුවා.

මෙම දියමන්තියේ අසාමාන්‍ය වර්ණය, බර සහ හැඩයට අමතරව, වැඩි වටිනාකමක් ලබාදෙන හේතුව වන්නේ එය අභ්‍යවකාශයෙන් වැටුණු එකක් බවට සැලකීමයි.

වසර බිලියන 1 ක් පැරණි Enigma දියමන්තිය අභ්‍යවකාශයේ සිට පැමිණ ඇතැයි විශ්වාස කෙරෙන අතර උල්කාපාත බලපෑමකින් හෝ පෘථිවිය හා ගැටුණු “දියමන්ති සහිත” ග්‍රහකයකින් එය නිර්මාණය වන්නට ඇති බවටයි සැලකෙන්නේ.

කෙසේ වෙතත්, කළු දියමන්ති පිළිබඳ විශේෂඥයින් ප්‍රකාශ කර ඇත්තේ අභ්‍යවකාශයෙන් වැටුණු බවට කෙරෙන ප්‍රකාශය තමන් සැක කරන අතර මෙය බොහෝ දුරට පෘථිවිය තුලම නිර්මාණය වූවක් වන්නට ඇති බවයි.

මෙම දුර්ලභ දියමන්ති වර්ගය වෙන්දේසියකදී මෙතෙක් අලෙවි වන විශාලතම මුහුණැති විසිතුරු කළු දියමන්තිය බවටයි සැලකෙන්නේ.

මෙම දියමන්තිය සොයා ගෙන කපා ඔප දමා ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් හෙළිකර නොමැති අතර එහි පෙර හිමිකරු හෙළි නොකර සිටීමට තීරණය කළ බවයි Sotheby’s වෙන්දේසි ආයතනය පවසන්නේ.

කළු දියමන්තිවල පාරාන්ධ ඛනිජ අධික ඝනත්වයකින් ඇතුළත්ව තිබෙනවා.

කළු දියමන්ති, කාබනෝඩෝ (Carbonado diamonds) ලෙසද හැඳින් වෙනවා.

අනෙකුත් වර්ණ සහිත වටිනා පාෂාණවලට වඩා ඒවා වෙනස් වන්නේ අභ්‍යවකාශයේ ඇති මූල ද්‍රව්‍ය වන නයිට්‍රජන්, හයිඩ්‍රජන් හෝ බෝරෝන් වැනි රසායනික අපද්‍රව්‍යවලින් ඒවා අපවිත්‍ර නොවන බැවින්.

කළු දියමන්තිවල වර්ණය බොහෝ දුරට අඳුරු පැහැයක් ගන්නවා.

ඒවායේ පාරාන්ධභාවය ඇති වන්නේ ආලෝකයේ පරාවර්තනය වළක්වන “බහු ස්ඵටික” ව්‍යුහයක් මගින් බව සඳහන්.

උල්කාපාතවල ඇති ඛනිජයක් වන ඔස්බෝනයිට් ද (osbornite) ඒවායේ අඩංගුයි.

***************************************

වී වගා කළ නොහැකි ඉඩම්වල මුං වගා කිරීමට රජයේ අවධානය

(23.01.2022 – 14:35 +0530 – hirunews.lk/sinhala)

වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නයේ අමතර භෝගයක් ලෙස මුංඇට වගාව සඳහා සහාය වීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු නිරීක්ෂණයේ දී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම තීරණයට එළඹ ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීම සඳහා ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇති බව ද එහි සඳහන් ෴

***************************************

බස් රථයක් ටිපර් රථයක පිටුපස ගැටී කාන්තාවක් මියයයි

(23.01.2022 – 14:42 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කුරුණෑගල මාර්ගයේ රත්මල්ගොඩ – ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී බස් රථයක් ටිපර් රථයක ගැටීමෙන් කාන්තාවක් මියගොස් 10 දෙනෙකු තුවාල ලැබුවා.

පොලිසිය ප්‍රකාශ කළේ කුරුණෑගල සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථය, ඉදිරියෙන් ගමන් කරමින් තිබූ ටිපර් රථයේ පිටුපස අද (23) උදෑසන ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පිරිමින් 9 දෙනෙකු එහිදි තුවාල ලැබූ අතර, කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි කාන්තාවක් මියගොස් ඇත්තේ.

35 හැවිරිදි මියගිය කාන්තාව පදවිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, බස් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරී සහ නොසැළකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී තිබෙනවා ෴

***************************************

වෛද්‍යවරුන් හිඟවීමෙන් වකුගඩු රෝගීන් දැඩි අසීරුවට

(23.01.2022 – 15:16 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 1,200 ක් වැය කරමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල මීට මාස 7 කට ඉහතදී ජනතා අයිතියට පත් කෙරුණේ, එවැනි රෝහලක දැඩි අවශ්‍යතාව විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට අවැසි නිසාවෙන්.

නමුත් මෙම රෝහල මගින් දෛනිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාව මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

මේ මීට මාස 7 කට පමණ ඉහතදී ජනතා අයිතියට පත් කෙරුණු පොළොන්නරුව වකුගඩු රෝහලයි.

චීන රජයෙන් ලබා දුන් පරිත්‍යාගයකට අනුව ඉදිවුණු මෙම රෝහල දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ද වනවා.

අද වනවිට මෙම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට දෛනිකව 200 කට අධික රෝගීන් පිරිසක් පැමිණිය ද, අවශ්‍ය තරම් වෛද්‍යවරු නොමැති බවටයි රෝගීන් චෝදනා කරන්නේ.

ඒ හේතුවෙන් තමන්ට දිගු කාලයක් වැය කරමින් පෝලිම්වල රැඳී සිටීමට ද සිදුවන බවට රෝගීන් පෙන්වා දෙනවා.

සමස්ත රෝහල සඳහා වෛද්‍යවරුන් 50 ක් නිර්දේශ කර ඇති අතර රෝහලේ මේවනවිට ප්‍රතිකාර සේවා ආරම්භ කර ඇති අංශවලට පමණක් වෛද්‍යවරුන් 15 කගේ පමණ අවශ්‍යතාවක් පවතිනවා.

කෙසේ වෙතත්, දැනට සේවයේ නිරතවන්නේ වෛද්‍යවරුන් සිව් (4) දෙනෙක් පමණයි.

හෙද නිලධාරිනියන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේද සැලකිය යුතු අඩුවක් පවතින බව අප කළ විමසීමක දී රෝහල් බලධාරියෙකු සඳහන් කළා.

කෙසේ වෙතත් මේ සබන්ධයෙන් කළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර ප්‍රකාශ කළේ, සැලකිය යුතු මට්ටමක වෛද්‍ය හිඟයක් රෝහල තුළ පවතින බැවින්, මෙම අර්බුදය මතුව ඇති බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *