බස්නාහිර පළාතේ ඔමික්‍රොන් ව්‍යාප්තිය ඉහළ යයි

බස්නාහිර පළාතේ ඔමික්‍රොන් ව්‍යාප්තිය ඉහළ යයි

*********************************************

බස්නාහිර පළාතේ ඔමික්‍රොන් ව්‍යාප්තිය ඉහළ යයි

(23.01.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (23) දිනයේදී කොරෝනා ආසාදිතයින් 845 දෙනෙකු හඳුනා ගැනුණා.

මෙලෙස අටසීය ඉක්ම වූ දෛනික ආසාදිතයින් වාර්තා වූයේ අඛණ්ඩ 03 වන දිනටයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,01,048 ක් දක්වා ඉහළ යනවා.

නව ඔමික්‍රොන් ආසාදිතයින් 75 දෙනෙකු ද මෙරටින් හඳුනා ගැනුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ ජාන විශ්ලේෂණයට භාජනය කළ සාම්පල 78 ක් අතුරෙන් 75 ක් මෙලෙස ඔමික්‍රොන් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණු බවයි.

ඉතිරි සාම්පල 03 ඩෙල්ටා ආසාදිතයින්ගේ බවට හඳුනාගෙන තිබෙනවා. මෙම සාම්පල මේ මාසයේ පළමු (1), දෙවන (2) සහ තුන්වන (3) සතිවලදී ප්‍රජාවන් වෙතින් ලබාගත් ඒවා බව ආචාර්ය ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළා.

මෙරට ප්‍රචාරණය වන ඔමික්‍රොන් අනුප්‍රභේද දෙකක් (2) හඳුනාගෙන ඇති අතර, ඒවායේ ඉහළ ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ බස්නාහිර පළාත තුළයි.

ඊයේ (23) ප්‍රකාශයට පත් කෙරුණු, නව ඔමික්‍රොන් ආසාදිතයින් 75 දෙනා හඳුනාගෙන ඇත්තේ කොළඹ, අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, හෝමාගම, කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, වැල්ලම්පිටිය, කොලොන්නාව, ගල්කිස්ස, නුගේගොඩ, අංගොඩ ප්‍රදේශවලින් සහ පරකඩුව, බදුල්ල, ගාල්ල සහ රුවන්වැල්ල යන ප්‍රදේශවලින්.

මීට අමතරව මෙරට වැඩි ප්‍රචාරණයක් අනාවරණ වී නොමැති ඔමික්‍රොන් ප්‍රභේදයක් ඉන්දියාවෙන් පැමිණි පුද්ගලයෙකු වෙතින් හඳුනාගෙන තිබෙනවා. ඊයේ (22) ප්‍රකාශයට පත් කෙරුණු ඩෙල්ටා ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ තලංගම, කඩුවෙල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවලින්.

මේ අතර, මෙරටට ගෙන්වා ඇති කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් කල් ඉකුත් වීමට පෙර හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, ජනතාව බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ විශාල අඩුවක් නිරීක්ෂණය වන බවයි. ඒ අනුව හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් විමසා බැලීමක් කළා.

කෙසේ වෙතත්, බූස්ටර් මාත්‍රාව සම්බන්ධයෙන් සමාජයේ පවතින ඍණාත්මක මතයන් ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඊයේ (23) ප්‍රකාශ කළා.

මේ අතර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ උත්සව සමය මෙන්ම පෝට් සිටි හෙවත් කොළඹ වරාය නගරය නැරඹීමට සති අන්තයේ ජනතාව විශාල ලෙස කොළඹට පැමිණීම, ඉදිරියේදී මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යාමට හේතු විය හැකි බවයි.

මේ අතර, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,284 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (22) වාර්තා වූ කොරෝනා මරණ 12 ත් සමගයි ෴

++++++++++++

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු අභාවප්‍රාප්ත වේ

(23.01.2022 – 08:38 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු සහ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ කෝවිඩ් ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මියගොස් ඇත්තේ.

ටික කලක් පිළිකා රෝගයට ගොදුරුවීම නිසා ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසු වුණා.

ඔහුගේ අවසන් කටයුතු කොවිඩ් මර්දන නීතිරීති අනුව සිදු කෙරෙන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥතාවක් දැරූ වෛද්‍ය අතුල කහඳලියනගේ සෞඛ්‍ය සේවයේ වසර 43 කට අධික කාලයක් සේවය කළ අතර, ඉන් වසර 32 ක් පමණ සෞඛ්‍ය පරිපාලන කටයුතුවල නිරතවුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස 2002 වසරේ පත් කෙරුණු ඔහුගේ සේවය 2010 වසරේ අවසන් වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසින්.

එම කාලය තුළ ඔහු රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරයා මෙන්ම පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ, ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස මෙන්ම ජනාධිපති කමිටු රැසක සාමාජිකත්වය දරා තිබෙනවා.

වෛද්‍ය අතුල කහඳලියනගේ මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට ද පිවිසුණු අතර, එහි සෞඛ්‍ය පද්ධති, තිරසර සංවර්ධන සහ පාරිසරික, අග්නිදිග ආසියාතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ නවදිල්ලි නුවර කේන්ද්‍ර කරගනිමින්.

2014 වසරේ ජාත්‍යන්තර සිවිල් සේවාවෙන් විශ්‍රාම ගනු ලැබූ වෛද්‍ය අතුල කහඳලියනගේ මෙරට ආයතනික ක්‍ෂේත්‍රයට පිවිසුණු අතර, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති, ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ෆොන්ටෙරා ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළා.

කෙසේවෙතත්, අභාවප්‍රාප්ත වූ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අතුල කහඳලියනගේ ගේ පවුලේ සාමාජිකයින් හිරු ප්‍රවෘත්ති වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අභාවය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ජනවාරි මස 04 වැනි දින ඔහුගේ අග්න්‍යාශ ප්‍රදාහයේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණා.

පවුලේ සාමාජිකයින් කියා සිටියේ, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් වාට්ටු අංක 05 වෙත යොමු කෙරුණු අතර, එහි සිටිය දී සිදු කරන ලද කොවිඩ් පරීක්ෂණවලින් ඔහු කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවට අනාවරණ වූයේ ජනවාරි මස 14 වැනි දින බැවින්, ඒ වනවිට පැවති අසනීප තත්ත්වයන් ද උත්සන්න වූ බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු බවයි.

නමුත් තුන්වැනි පීසීආර් පරීක්ෂණය සහ 4 වැනි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සියල්ල සෘණ වාර්තා වුව ද ජනවාරි මස 13 වැනි දින රාත්‍රියේ දී කැස්ස පැවති බැවින් යළිත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් රෝහලෙන් සිදු කර ඇති අතර, වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා එහිදී කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගත් බවයි පවුලේ සාමාජිකයින් වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++

බූස්ටර් එන්නත ලබාගත් සංඛ්‍යාව 50 ලක්ෂයට ආසන්නයි

(23.01.2022 – 10:17 +0530 – hirunews.lk/sinhala)

බූස්ටර් එන්නත ලබාදුන් මෙරට පුද්ගලයින්ගේ සංඛ්‍යාව පනස් ලක්ෂයට (50,00,000) ආසන්න වී තිබෙනවා.

මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත 49,16,430 කට ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වැරදි සහගත ප්‍රචාරයන්ට නොරැවටී බූස්ටර් එන්නත් මාත්‍රාව කඩිනමින් ලබාගන්නා ලෙසයි.

මේ අතර සිය රජය මගින් පනවනු ලැබූ කොරෝනා පාලනය කිරීමේ සීමාවන්ට අනුකූල වෙමින් තමාගේ විවාහ මංගල උත්සවය කල් දැමීමට තීරණය කළ බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආඩ්න් ප්‍රකාශ කළා.

නව රෙගුලාසිවලට අනුව නවසීලන්තයේ උත්සව කටයුතු පූර්ණ එන්නත්කරණය ලැබූ සිය (100) දෙනෙකුගේ උපරිමයකට සීමා වනවා.

ගෝලීය වසංගතය හේතුවෙන් මෙම තත්වයට පත්වූ සියල්ලන් මෙන් තමා ද විවාහ මංගලෝත්සවය කල් දැමූ බවත්, එම තත්වයට මුහුණදුන් සියල්ලන්ට කනගාටුව පළ කරන බවත් ඇය සඳහන් කළා.

විවාහ උත්සවයක් සඳහා නවසීලන්තයේ නගර අතර ගමන් කරමින් සිටි පුද්ගලයන් 9 දෙනෙකුට සහ ඔවුන් ගමන් ගත් ගුවන් යානාවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙනුයි නවසීලන්තය මෙලෙස නව කොරෝනා පාලන සීමාවන් පනවා ඇත්තේ ෴

++++++++++++

කොරෝනා ආසාදිතයින් 182 ක් පූර්ණ සුවයට

(23.01.2022 – 15:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 182 දෙදෙනකු අද (23) දිනයේ දී සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ සමග මෙරට වෛරසය ආසාදිතව සුවය ලද සමස්ත සංඛ්‍යාව 5,76,114 ක්.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9,650 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,284 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මෙරටින් ඊයේ (22) දින විට වාර්තා වූ සමස්ත වෛරස ආසාදිතයින් ගණන ද 6,00,000 සීමාව ඉක්මවා ගියේ, එය 6,01,048 ක් බවට පත් කරමින් ෴

++++++++++++

තවත් කොරෝනා මරණ 15 ක්

(23.01.2022 – 19:48 +0530 – hirunews.lk/sinhala)

අද (23) දින කොරෝනා ආසාදිත මරණ 15 ක් වාර්ථා වී තිබෙනවා. ඒ ඊයේ (22) මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිත මරණ වනවා. ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මැරණ ගණන 15,299 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් 838 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා අසාදිතයින් ගණන 6,01,886 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

තුන්සිත දැහැන්ගත කළ සප්ත ස්වරයෙහි මධුර හඬ නිහඬ ව නික්මුණු වගයි

(23.01.2022 – 10:52 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංගීත ක්ෂේත්‍රයේ කෘතහස්ත ගායිකාවක වන විශාරද නීලා වික්‍රමසිංහ පසුගිය (17) වැනි දා සිය දිවිසැරියට සමු දුන්නා.

ඒ උපන් බිමෙන් ගව් ගණනාවක් දුර ඉතාලියේ මිලානෝ නගරයේ දී.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) සිදු කෙරුණේ ඉතාලියේ – මිලානෝ අගනුවරදි යි.

ඒ ඇයට ආදරය කරන එරට පදිංචි රසික රසිකාවියන්ගේ ද ගෞරවය සහ සෝ සුසුම් මැද යි.

හදිසි හෘදයාබාධයකට ලක්ව නීලා වික්‍රමසිංහයන් රෝහල්ගත කෙරෙන විට ඇය ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියා.

1959 මාර්තු මස 20 වැනි දින වත්තලදී මෙලොව එළිය දකින දෝණ ඩෙලිසියා නීලා වික්‍රමසිංහ කුඩා කල සිටම ගායනයට අතිමහත් සමත්කමක් දැක්වූ ගායිකාවක්.

ඇයට යන්තම් මාස 6 ක් සපිරෙද්දී නීලා වික්‍රමසිංහයන් රුදුරු පෝලියෝ රෝගයට ගොදුරු වනවා.

කෙසේ වෙතත් එය කිසි විටෙකත් බාධාවක් කර නොගත් මෙම දිරිය ගැහැණිය ඇයගේ පළමු සරල ගීය තැටි ගත කරන්නේ 1967 වර්ෂයේදී.

ඩෝල්ටන් අල්විස් විසින් රචනා කරන ලද එම ගීතයට සංගීතය සපයා තිබුනේ ලයනල් අල්ගමයන් විසින්.

1973 වසරේ දී නීලා වික්‍රමසිංහ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ‘ඒ ශ්‍රේණියේ’ ගායිකාවක ලෙස වර්ගීකරණයට ලක් වෙනවා.

1974 වර්ෂයේදී ඇය සංගීත විශාරද උපාධිය ලබාගන්නේ උතුරු ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය හදාරමින්.

පසුව සංගීත ගුරුවරියක ලෙස දිවයිනේ පාසල් ගණනාවක සේවය කරන ඇය වසර 23 ක් වූ ගුරු දිවියට සමුදෙන්නේ 1998 වසරේ දී.

සංගීත ගුරුවරියක ලෙස ඇයගේ දශක දෙකකට (2) මඳක් වැඩි වූ සේවා කාලයේ වසර අටක් (8) ම කොළඹ විශාකා විද්‍යාලයේ සංගීත ගුරුවරිය ලෙස දැයේ සුවහසක් දරු දැරියන්ට සංගීත දැනුම බෙදා දුන්නා.

චිත්‍රපට 67 ක පසුබිම් ගී ගායනා කර ඇති නීලා වික්‍රමසිංහයන් ගීත 50 කට ආසන්න සංඛ්‍යාවකට සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායකත්වය ලබා දී තිබෙනවා.

විශාරද නීලා වික්‍රමසිංහයන් සිය සංගීත දිවිය තුළ අවස්ථා තුනකදී (3) හොඳම චිත්‍රපට පසුබිම් ගායනය සඳහා වන සරසවි සම්මානය දිනාගෙන තිබෙනවා.

ඒ 1984, 1986 සහ 1992 යන වසරවලදීයි.

එමෙන්ම 1996 වර්ෂයේ දී හොඳම ටෙලි නාට්‍ය පසුබිම් ගායනයට හිමි සුමති සම්මානයත් නීලා වික්‍රමසිංහ අත්කරගෙන තිබෙනවා.

සිය උදරයේ හටගත් පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් දරුණු ලෙස බැට කෑ නීලා වික්‍රමසිංහයන් එම පිළිකා මාරයා ද පරදවා ජයග්‍රහණය කරන්නට සමත් වූ අසාමාන්‍ය මානසික ශක්තියකින් හෙබි ගායිකාවක්.

සිය දීර්ඝ සංගීත චාරිකාව තුළ ඉතා ප්‍රවේශමෙන් තෝරා බේරාගෙන ගීත ගායනා කළ ඇය ගැයූ ගී අතර දරුවෝ ඇති අම්මාලා, බෝධියේ විහාරයේ, චාමර සැලුනාවේ, ඈත දුරක දෑස පාවෙලා, මගේ ලොවට ඔබ වඩින තුරා, මේ අවන්හලේ, මිහිදුම් සළු තිර, ඔබගේ සෙවණේ, පෙම් සිලිලාරේ, පුංචි සිතේ පුංචි සිනා, රහසේ හඬනා අප හැඟුම්, රන් ටිකිරි සිනා, සූ සැට බරණින් සැරසීලා, වියෝ ගී ගැයෙනා හදේ වැනි ගීත අදටත් රසික සවන් පත් තුළ රැව් පිළි රැව් දෙනවා.

කිංකිණි සැලෙන හඬින් ගැයුණු පුංචි සිතේ පුංචි සිනා හඬ මැකී යද්දී යාළුවේ සිතින් හඬන්නෙපා යැයි කීවත් ඔබගේ වියොව නිසා ගැයෙන වියෝ ගී තවත් බොහෝ කලක් ඇසේවි.

සිංහල සංගීත ක්ෂේත්‍රයේ මිණිකිංකිණි නදට සුබ ගමන්.

***************************************

වයඹ සරසවියේ මහ පුටුවට දේශපාලනික පොරයක් – ජනපතිටත් එකපිට එක ලියුම්

(23.01.2022 – 12:55 +0530 – hirunews.lk/sinhala)

මෙරට විවිධ ක්ෂේත්‍රවලට විද්‍යාර්ථීන් රැසක් දායාද කළ වයඹ විශ්වවිද්‍යාලයේ පරිපාලනය තුළ මේ වනවිට දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සැලකිය යුතු ලිපි ගණනාවක් විවිධ පාර්ශ්වවලින් යොමුව ඇති බැවින්.

එනම්, ජනාධිපතිවරයෙකුගේ බලතලවලට බලපෑම් කරමින්, ආණ්ඩු පක්ෂයේම දේශපාලනඥයින් තිදෙනකු සහ තවත් ආණ්ඩුවට සම්බන්ධ එහෙත් රාජ්‍ය නොවන සංවිධානයක සංවිධායකයෙක් ද මේ වනවිට අදාළ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති තනතුර සඳහා ඔවුන්ගේ හිතවතුන්ගේ නාම යෝජනා කර ඇති බව දැකිය හැකියි.

එමෙන්ම යම් සරසවියක කුලපතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරුණ ද , සරසවිවල උපකුලපති ධුරයට සුදුස්සන් පත් කිරීම කිසිදු ලෙසකින් රටක ජනාධිපතිවරයා සතු බලතලයක් නොවන බවයි බොහෝ විද්වතුන් චෝදනා කරන්නේ.

එලෙස ජනාධිපතිවරයා විසින් එම පත් කිරීම් ද සිදු කරන්නේ නම් ,එය සැබවින් ම දේශපාලනීකරණය වූ සරසවි අධ්‍යාපන රටාවකට යොමු කරවීම බව ද ඔවුන් පෙන්වා දෙනවා.

එතුළින් රටකට සිදු විය හැකි උපරිම විනාශය සිදු වන බවත් බොහෝ විද්වත් පාර්ශ්ව විසින් වැඩිදුරටත් සඳහන් කරනු ලබනවා.

මේ වනවිට වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති පත් කිරීම සඳහා ‍රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, කුලියාපිටිය වියත්මග සභාපති නීතිඥ ඒ. එච්. එම්.මායාදුන්නේ සෙනෙවිරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. එම්. සමන්ප්‍රිය හේරත් සහ පඬුවස්නුවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක සහ සභාපති ගුණපාල රත්නසේකර යන අයවලුන් විසින් මෙලෙස තම හිතවතෙකු පත් කර ගැනීම සඳහා සිය ලිපි ශීර්ෂ යටතේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අයුරු දැකිය හැකියි.

මෙරට ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 16ටම අදාළ ප්‍රදේශයන්හි සිටින මන්ත්‍රීවරු කැමති පිරිස් එම විශ්වවිද්‍යාලවල උපකුලපති ධුරයට පත් කිරීම ම එම පළාතේ පොලිස් ස්ථාන සමග කිසිදු අයුරකින් වෙනසක් නැති බවයි විද්වත් සංගම විසින් අවධාරණය කරන්නේ.

කිසිදු දියුණු රටක එරට පාලකයා විසින් තම රටේ සරසවි සඳහා ඉහළ පුටුවලට යෝජනා ලිපි මගින් තනතුරු ලබා නොදෙන බවත්, එසේ නම් බ්‍රිතාන්‍ය මහරැජිනට ද එලෙස ලියුම් යා යුතු බවත් ඔවුන් හාස්‍යයෙන් යුතුව පෙන්වා දෙනවා.

එබැවින් මෙම තත්ත්වය අතිශය වියවුල් අධ්‍යාපනයකට පෙරමං තැනීමකට සූදානම් වන ලකුණු පෙනෙන හෙයින්, කිසිදු ලැජ්ජාවක් හෝ සදාචාරයක් හෝ නැති විලසින් මෙලෙස යවන ලියුම් කියුම් වහාම නතර කිරීමට අදාළ බලධාරින් කටයුතු කළ යුතු බව පෙන්වා දෙන විද්වතුන් පවසන්නේ, සුදුස්සාට සුදුසු තැන ලබාදීමට මෙරට බලධාරින් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.

***************************************

මෙරට මුහුදු තීරය ආක්‍රමණය කළ ඉන්දීය ධීවර බෝට්ටු වෙන්දේසියේ

(23.01.2022 – 14:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීම නිසා අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවර යාත්‍රා 105 ක් ඉදිරියේ දී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි 07 වන දා සිට අදාළ ධීවර යාත්‍රා ප්‍රසිද්ධියේ වෙන්දේසි කෙරෙන බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම ඉන්දීය ධීවර යාත්‍රා මෙරට ස්ථාන පහකදී පෙබරවාරි 07 වන දා සිට 11 වනදා යන දින දක්වා වෙන්දේසි කිරීමට නියමිතයි.

ඒ අනුව, කරෙයිනගර් ප්‍රදේශයේ දී යාත්‍රා 65 ක්, කන්කසන්තුරේ ප්‍රදේශයේ දී යාත්‍රා 5 ක්, කිරන්චි ප්‍රදේශයේ දී යාත්‍රා 24 ක් ,තලේමන්නාරමේ දී යාත්‍රා 9 ක් සහ කල්පිටිය ප්‍රදේශයේ දී යාත්‍රා 2 ක් වෙන්දේසි කිරීමට සූදානම් කර තිබෙනවා.

මෙරට මුහුදු තීරය ආක්‍රමණය කරන ඉන්දීය ධීවර යාත්‍රා බොටම් ට්‍රෝලින් ක්‍රමය යොදාගැනීම නිසා මෙරට මත්ස්‍ය සම්පත විනාශ වන බවට ද පරිසරවේදීන් චෝදනා නගනවා.

එමෙන්ම එය ශ්‍රී ලාංකික සුළුපන්න ධීවරයන්ට ද විශාල අභියෝගයක්.

අනවසර විදේශීය යාත්‍රා අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීම සඳහා මෙරට ධීවර පනත වෙනස් කිරීමට පියවර ගැනුණා.

කෙසේ නමුත් මෙලෙස විදේශීය ධීවර යාත්‍රා වෙන්දේසියක් සිදු වන්නේ ප්‍රථම වරටයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *