ලංකා විදුලිබල මණ්ඩලයේ උස් පුටුවල ලොකු ලොක්කන් නිසා රටට සහ ජනතාවට ඉදිරියේ දී අත්වන ඉරණම

ලංකා විදුලිබල මණ්ඩලයේ උස් පුටුවල ලොකු ලොක්කන් නිසා රටට සහ ජනතාවට ඉදිරියේ දී අත්වන ඉරණම

*********************************************

ලංකා විදුලිබල මණ්ඩලයේ උස් පුටුවල ලොකු ලොක්කන් නිසා රටට සහ ජනතාවට ඉදිරියේ දී අත්වන ඉරණම

(23.01.2022 – 07:23 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම මග හැරීම පිළිබඳ සහ තවත් කරුණු කිහිපයක් හුවා දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම සංගමය ඉදිරිපත් කළ ලිපියෙහි කාරණා; ශීර්ෂයන් තුනක් (3) යටතේ විග්‍රහ කර ඇති බව දක්නට ලැබෙනවා.

ලංවිම සභාපතිවරයා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම මග හැරීම සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ, විදුලිබල අමාත්‍යවරයා විසින් 2022 ජනවාරි මස 18 වැනි දින ලබා දුන් ලිඛිත උපදෙස් හා නීතිපතිවරයා විසින් ජනවාරි 19 ලබා දුන් ලිඛිත නිර්දේශ පරිදි ආචාර්ය රොහාන්ත අබේසේකර ලංවිම සාමාන්‍යාධිකාරි තනතුරට පත් කිරීමේ තීරණය ගැනීමට ජනවාරි 21 වැනි දින සවස අධ්‍යක්ෂ මණ්ඩල හදිසි රැස්වීමක් කැඳවනු ලැබුවා.

2020 ජනවාරි 14 දින විශ්‍රාම ගිය සහ මේ වනවිට අධිකරණයේ විභාග වන නඩු දෙකකට (2) අදාළව ඇප මත නිදහස්ව සිටින අමාත්‍යාංශ අතිරේක ලේකම් සුසන්ත පෙරේරා ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරි ලෙසින් ලංවිම සභාපතිවරයා විසින් පත් කිරීම නීතිවිරෝධී බව නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙනවා.

තත්ත්වය මෙසේ තිබිය දී ලංවිම නව සාමාන්‍යාධිකාරිවරයා පත් කිරීම යලි සලකා බැලීමට සභාපති එම්.එම්.සී. ප්‍රදීනාන්දු කැඳවූ හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ඔහුම චේතනාන්විතව මග හැර මහා භාණ්ඩාගාරයේ පැවති කුප්‍රකට යුගදනවි ගිවිසුමට අදාළ සාකච්ඡාවකට සහභාගී වූ බවට වාර්තා ඇති බවයි ලංවිම ඉංජිනේරු සංගමය සඳහන් කරන්නේ.

මේ අනුව මෙම සභාපතිවරයා පැහැදිලිව ම ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනික ක්‍රියාවලිය වියවුල් කර එමගින් මෙරට මුහුණ පා ඇති ජාතික බලශක්ති අර්බුදය තවත් බරපතළ තත්ත්වයකට ඇද දමා රට, ජනතාව සහ රජය අපහසුතාවට පත් කිරීමෙන් පසුව මෙම ගැටලුවලට විසඳුම් ලෙස බංකොලොත් ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ අමරිකානු සමාගමෙන් එල්.එන්.ජී. ඉන්ධන ලබා ගැනීම එකම විසඳුම බවට පවසමින් රජය ඒ වෙතට තල්ලු කිරීමට උත්සාහ කරන බව ලිපිය මගින් අවධාරණය කරනවා.

එමෙන්ම, අදාළ ලිපියෙහි දෙවැනි (2) සහ තෙවැනි (3) ශීර්ෂ යටතේ පෙන්වා දෙන්නේ, කුප්‍රකට යුගදනවි ගිවිසුමේ රහසිගත ලිපිවලට ලංවිමට නීතිවිරෝධී ලෙස පත් වූ සාමාන්‍යාධිකාරිවරයා සාක්ෂිකරුවෙකු වූ බවයි.

ලංවිම සභාපතිවරයා විසින් නීතිවිරෝධී ලෙස පත් කළ වැඩබලන සාමාන්‍යාධිකාරී එම්.එන්.එස්. පෙරේරා විසින් අද (23) දින යුගදනවි ගිවිසුමට අදාළ ලේඛන ගණනාවක් අත්සන් කර ඇති බවට ලංවිම ඉංජිනේරුවරුන්ගේ සංගමයට තොරතුරු වාර්තා වී ඇති බවටයි ඔවුන් චෝදනා කළේ.

ඔහුගේ සාමාන්‍යාධිකාරි තනතුරේ අත්සන මගින් ලංවිම විසින් එය පිළිගත් බවට අධිකරණයට පෙන්වීමට අලුතෙන් ලබාදෙන ලෙසට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පිරිස් වෙතට නියෝග කර ඇති බව ද අනාවරණ වී තිබෙනවා.

ඔහු විසින් මෙසේ කර ඇත්තේ ලංවිම සභාපතිවරයා විසින් ලබා දුන් උපදෙස් පරිදි සිය සාමාන්‍යාධිකාරි පත්වීම නිත්‍යානුකූල බවටත්, එය ලංකා විදුලිබල මණ්ඩලය විසින් පිළිගෙන ඇති බවටත්, පෙන්වා දී ඒ අනුව අද (23) දින ඔහු අත්සන් කළ යුගදනවි ගිවිසුමට අදාළ ලිපිවලට නීතිමය වලංගුභාවයක් ලබාදීමටයි.

ලංවිම ඉංජිනේරු සංගමය විසින් මෙම එම්.එම්.එස්. ප්‍රදීනාන්දුගේ අනීතික හා අත්තනෝමතික හැසිරීමට අප්‍රසාදය පළ කර සිටින අතර, රටෙහි සංවේදීම ආයතනයක් වන ලංකා විදුලිබල මණ්ඩලය ඔහුගේ පෞද්ගලික බූදලයක් ලෙසට සලකා අභියාචනාධිකරණය නියෝග පවා උල්ලංඝනය කරමින් නීතියේ අධිපතීත්වයට අභියෝග කරමින් මෙම පුද්ගලයා විසින් යුගදනවි ගිවිසුම ක්‍රියාත්මක කිරීමට හැසිරෙන ආකාරය තරයේ හෙළා දකින බව මෙම ලිය මගින් පෙන්වා දෙනවා.

මෙවන් අර්බුද රැසක් මැද තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියේ දී දැඩි කිරීමට විදුලිබල ඉංජිනේරුවරුන්ගේ සංගමය විසින් තීරණය කර තිබෙනවා.

ඔවුන් කියා සිටියේ සිය සංගමය විසින් නුදුරේදී ම අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් අරඹන බවත්, එතුළින් රට සහ ජනතාව මෙන්ම රජය පත්වන අපහසුතාව ගැන කිසිදු වගකීමක් තම සංගම් භාර නොගන්නා බවයි.

මෙම තත්ත්වය විසඳීමට අදාළ බලධාරින්ගේ දෑස් පෑදෙන්නටත්, වහාම වර්තමාන සභාපතිවරයා ඉවත් කිරීමට ද පියවර ගන්නා ලෙසට ද මෙම වෘත්තීය සංගම් රජයෙන් ඉල්ලා සිටිනවා.

වැඩි විස්තර :

විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සාමාජිකයින් ඊයේ (22) විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

එහිදී පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එසේම, ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකළහොත් ඊට මුහුණදෙන ආකාරය පිළිබඳව ද ඔවුන් එහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඉන්ධන අර්බුදය හේතුවෙන් සපුගස්කන්ද බලාගාරය ඊයේ (22) දිනයේදී වසා දැමීමට කටයුතු කළ අතර, ඒ පිළිබඳවද එහිදී සාකච්ඡාවට බඳුන් වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර, පසුගිය දින කිහිපයේ විදුලිය භාවිතයේ අඩුවක් දක්නට ලැබෙන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව මීට පෙර වකවානුව හා සැසඳීමේදී මෙගාවොට් සියයකින් (100) පමණ විදුලිය භාවිතය අඩු වී ඇති බවයි විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි කියා සිටියේ.

++++++++++++++

සිකුරාදා (28) සිට රටම කළුවරේ

(23.01.2022 – 11:09 +0530 – hirunews.lk/sinhala)

ලබන සිකුරාදා සිට පැය 4ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදු වනු ඇති බව විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා.

විදුලි කප්පාදුව හෙට (24) සිට පැයක් (1) සිදු කිරීමට නියමිත නමුත් එය ද පැය දෙකක් (2) දක්වා දීර්ඝ කිරීමට සිදුවන බවටයි ඔහු අනතුරු අඟවන්නේ.

නමුත් එම ක්‍රියාවලියද පවත්වා ගත හැකි වන්නේ ද ලබන සිකුරාදා (28) වන තුරු පමණක් බවයි ඔහු පවසන්නේ.

ඉන් අනතුරුව නියත වශයෙන්ම පැය 4 ක කාලයක විදුලි කප්පාදුවක් සඳහා යොමුවීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වනු ඇති බවට ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම ඔහු අනතුරු අඟවන්නේ මේ වන විට රටේ පවතින වැසි රහිත කාලගුණය ද නොතකා ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බවයි.

මේ හේතුවෙන් ඉදිරියේදී පානීය ජලය සහ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කරන ජලය මුදා හැරීමේ කටයුතු ද සිදු කර ගැනීමට නොහැකි වන බවට ඔහු අනතුරු අඟවනවා.

රන්ජන් ජයලාල් මේ අදහස් පළ කළේ අද (23) උදෑසන මාධ්‍යවේදීන් හමුවේ කරුණු දැක්වීමක් සිදු කරමින්.

++++++++++++++

හෙට (24) සිට විදුලිය කැපෙන හැටි මෙන්න

(23.01.2022 – 13:41 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට මෙරට විදුලි උත්පාදන කටයුත්ත බරපතළ අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රීය වීමත් සමග ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 300ක විදුලි ධාරිතාවක් අහිමි වීමයි.

මේ සමගම තාප විදුලි බලාගාර සහ ජල විදුලි බලාගාර පූර්ණ ධාරිතාව ඇතිව ක්‍රියාත්මක කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගත්තේ ඇති විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා යි.

කෙසේ වෙතත් මේ වන විට සපුගස්කන්ද සහ කැලණිතිස්ස ප්‍රධාන තාප විදුලි බලාගාර දෙකට අවශ්‍ය කරන දැවි තෙල් සහ ඩීසල් නොමැති වීම හේතුවෙන් එම විදුලි බලාගාරවල ජනන කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා.

ඊයේ (22) දහවල් දෙකේ සිට සපුගස්කන්ද දැවිතෙල් විදුලි බලාගාරයේ ක්‍රියාකාරිත්වය ඇන හිටියේ ඊට අවශ්‍ය නැප්තා නමැති දැවි තෙල් නොමැති වීම හේතුවෙන්.

මේ අනුව හෙට (24) සිට දිවයින පුරාම ක්‍රියාත්මක වන පරිදි අදියර හතරකින් විදුලිය කප්පාදුවක් සිදුකිරීමට නියමිත අතර හෙට දිනයේ දී එම විදුලිය කප්පාදුව පැයකට සීමාවන අතර අනිද්දා (25) සිට පැය දෙකක් දක්වා දීර්ඝ විය හැකි බවයි විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසන්නේ.

මේ අතර අද (23) උදෑසන දහස් දැක්වූ විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ ලබන සිකුරාදායින් පසු අවම තරමින් දිනකට පැය හතරක විදුලි කප්පාදුවක් කරා යොමු වීමට සිදු වන බවයි.

++++++++++++++

විදුලියට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ඍජුවම ලබා ගැනීම පිළිබඳ අවධානය

(23.01.2022 – 14:14 +0530 – hirunews.lk/sinhala)

මෙරට තාප විදුලිබලාගාරවල විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන ඉන්දීය ණය පහසුකම යටතේ ඍජුව ලබාගැනීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.

ඉන්දීය රජය මගින් පසුගියදා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් ලබාදුන් අතර, එය, ඉන්දියාවෙන් සිදු කරන ආනයනයන් සඳහා යොදාගත හැකියි.

ඒ අනුව මෙරට තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා එක් මසකදි අවශ්‍ය වන ඩොලර් මිලියන 30 ක පමණ වටිනාකමකින් යුත් ඉන්ධන, වෙනම ම ඇණවුම් කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.

කර්මාන්තශාලා, රථවාහන, ගුවන් යානා සහ බොරතෙල් වෙනුවෙන් මසකදී ඛනිජ තෙල් සංස්ථාව මෙරටට ඇණවුම් කරන ඉන්ධනවල වටිනාකම ඩොලර් මිලියන 400 ක් පමණ වනවා.

එම ඉන්ධනවලට අමතරව විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය වන ඩීසල්, නැප්තා සහ දැවිතෙල් වෙනම තොගයක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කිරීමටයි දැනට පැවැත්වෙන සාකච්ඡාවල දී අවධානය යොමුව ඇත්තේ.

ජලවිදුලි නිෂ්පාදනය අවමවීමත් සමග මෙරට දෛනික විදුලි අවශ්‍යතාව සපයනු ලබන්නේ තාප විදුලි බලාගාරවලින්. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන සපයාගැනීම පිළිබඳ අර්බුදයක් මතු වූයේ පවතින විදේශ විනිමය ගැටලුව හේතුවෙන්.

පසුගිය සතිය වනවිට ආනයනය කරන ලද ඉන්ධන නෞකා දෙකකින් විදුලි නිෂ්පාදනය වෙනුවෙන් ඩීසල් සහ නැප්තා මෙට්‍රික් ටොන් දස දහසක් (10,000) මුදාහැරීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගත්තා.

එම තොගය හෙට (24) දිනයෙන් අවසන් වන අතර, තවදුරටත් විදුලි කප්පාදුවක් සිදුකරන්නේද නැද්ද යන්න පිළිබඳ අඟහරුවාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ අතර පවතින අර්බුදය හමුවේ ජල විදුලි බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීම නිසා ඉදිරියේදී පානීය ජල අර්බුදයක් ඇතිවිය හැකි බවට විදුලිබල වෘත්තීය සමිති අඟවනවා ෴

++++++++++++++

විදුලි කප්පාදුව අඩු කරගැනීමට අඩුවෙන් පත්තු කරන්න – විදුලිබල ඇමති

(23.01.2022 – 14:50 +0530 – hirunews.lk/sinhala)

දැඩි විදුලි අර්බුදයක් බවතින මොහොතක පොල්පිටිය ජල විදුළි බලාගාරයේ ජනන යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා නැවැත්වීම හේතුවෙන් මෙගාවොට් 45 ක් ජාතික පද්ධතියට අහිමි වී තිබෙනවා.

මේ අතර පවතින අර්බුදය හේතුවෙන් වැඩි වශයෙන් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම නිසා ඉදිරියේදී පානීය ජල අර්බුයක් ද මතුවිය හැකි බවට විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවනවා.

මේ අතර, විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය ඊයේ (22) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකළහොත් ඊට මුහුණදෙන ආකාරය පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා.

මීට අමතරව ඉන්ධන අර්බුදය හේතුවෙන් සපුගස්කන්ද බලාගාරයද වසා දැමීම පිළිබඳවද එම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා.

මේ අතර මෙවැනි විදුලි අර්බුධයක් රට තුළ පවතින මොහොතක විදුලිය ඉතිරිකර ගැනීම පිළිබඳ විදුලි බල අමාත්‍යවරයා ඊයේ (22) මෙවන් අදහසක් පළ කළා.

කෙසේ වෙතත් එවන් පසුබිමක කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ හැලපේ හංදිය ප්‍රදේශයේ සිට බොරලැස්ගමුව දක්වා උදෑසන 10 පමණ වන විටත් වීදී ලාම්පු දල්වා තිබූ අයුරු මෙලෙස දක්නට ලැබුණා.

++++++++++++++

අර්බුදයට හේතුව විදුලි මාෆියාවක් ද? – හිටපු ජනපති මෛත්‍රී

(23.01.2022 – 19:22 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළුව එකවර පැමිණි දෙයක් නොවන බවත් එය වසර ගණනාවක් පුරා පැවති මාෆියාවක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ අද (23) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

++++++++++++++

පානීය ජලයත් අර්බුදයක – හෙට (24) සිට යලිත් විදුලිය කැපේ

(23.01.2022 – 19:27 +0530 – hirunews.lk/sinhala)

හෙට (24) දිනයේ පැයක (1) කාලයක් සහ අනිද්දා (25) සිට පැය දෙකකට (2) ආසන්න කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

කෙසේ වෙතත්, විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ කියා සිටියේ ඉන්ධන ලබා ගැනීම සඳහා හෙට (24) දිනයේදී සාකච්ඡා පවත්වන අතර විදුලිය කප්පාදුවකින් තොරව ලබා දීමට උත්සාහ කරන බවයි.

කෙසේ වෙතත්, විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ විදුලි කප්පාදුවකින් තොරව පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට කටයුතු කරන බවයි.

ඉන්ධන නොමැතිවීම සහ විදුලි කාලගුණ තත්ත්වයත් සමග විදුලි අර්බුදයකට රට මුහුණ දී ඇති මොහොතක කොළඹ නගරයේ මාර්ග රැසකම දහවල් කාලයේත් වීථි ලාම්පු දැල්වී තිබෙන ආකාරයක් දක්නට ලැබුණා.

මේ අතර, විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය උපරිම ජල ධාරිතාව ලබාදීමට හැකියාවක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

විදුලිබලය නිෂ්පාදනය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජලය ලබාදුනහොත් පානීය ජල අර්බුදයක් සහ කෘෂිකර්මාන්ත කටයුතුවලට ඉදිරියේදී ජලය නොමැති වී දැඩි අර්බුදයකට ලක්විය හැකි බව විදුලිබල වෘත්තීය සමිති ද දිගින් දිගටම චෝදනා එල්ල කරනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන ප්‍රකාශ කළේ තවත් මාස 3 කට පමණ කෘෂිකර්මික කටයුතු සහ පානීය අවශ්‍යතා සඳහා ජලය පවතින බවයි.

කෙසේ වෙතත් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් ඒ ආකාරයෙන්ම පවතින්නේ නම් පානීය ජල අර්බුදයක් ද මතුවිය හැකි බවයි.

මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් ජලය අරපිරිමැස්සෙන් භාවිතා කරන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *