බහරේන් එයාලයින්ස් ‘බංකොලොත්’ කළ ලොක්කාට ලක්ෂ ගණනක වැටුපක් සමග ‘ශ්‍රීලන්කන්’ භාර දුන්නේ කවුද?

බහරේන් එයාලයින්ස් ‘බංකොලොත්’ කළ ලොක්කාට ලක්ෂ ගණනක වැටුපක් සමග ‘ශ්‍රීලන්කන්’ භාර දුන්නේ කවුද?

*********************************************

බහරේන් එයාලයින්ස් ‘බංකොලොත්’ කළ ලොක්කාට ලක්ෂ ගණනක වැටුපක් සමග ‘ශ්‍රීලන්කන්’ භාර දුන්නේ කවුද?

(22.01.2022 – mawbima.lk)

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ (SriLankan Airlines) වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස බ්‍රිතාන්‍ය ජාතික රිචර්ඩ් නටාල් (Richard Nuttall) නමැත්තෙකු පත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ ඉන්ටර්නෙට් මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

රිචර්ඩ් නටාල් 2011 වසරේදී බහරේන් ගුවන් සමාගමේ (Bahrain Air) ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාර ගත් අතර, 2013 වසරේදී එම ගුවන් සමාගම වසා දැමීමට සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ද තොරතුරු වාර්තා කර තිබිණි.

ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, මේ වන විට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස රිචර්ඩ් නටාල් රුපියල් ලක්ෂ 90 ක වැටුපක් ලබන බව ය. එය සත්‍යයක් නම් ඔහු ලබන වැටුප ඇමෙරිකානු ඩොලර්වලින් ගතහොත් ඩොලර් 45,000 කි.

මේ අතර, අප කළ විමසුමකදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේ, මීට පෙර ප්‍රධාන විධායක ධූරයේ කටයුතු කළ පුද්ගලයා ඇමෙරිකානු ඩොලර් 20,000 ක් වැටුප් ලෙස ලබා ගත් බව ය.

වත්මන් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප කොපමණ මුදලක් වුව ද, ඔහු ලබන වැටුපෙන් වැඩි කොටසක් ඩොලර් වශයෙන් රටින් පිටට යන බවට සැකයක් නැත‍.

මේ අතර, වැඩබලන ප්‍රධාන විධායක ධූරය සඳහා ශ්‍රී ලාංකික සුදුස්සන් 20 දෙනෙකු අයැදුම් කර තිබූ අතර එම විශේෂ තනතුරට විදේශිකයෙකු පත් කෙරෙන්නේ, කිසිදු සම්මුඛ පරීක්ෂණයකින් පවා තොරව බවට අදාළ සෙසු අයැදුම්කරුවෝ චෝදනා කරති.

බොහෝ රටවල සාමාන්‍යයෙන් රජයේ උසස් තනතුරක් සඳහා විදේශිකයෙකු බඳවා ගන්නේ, එම තනතුර දැරීම සඳහා සුදුස්සන් අදාළ රට තුළින් සොයා ගැනීමට නොහැකි නම් පමණි.

මේ වන විට 73 වන වියේ පසු වන රිචර්ඩ් නටාල් නමැත්තා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ නිලධාරී (Chief Commercial Officer) ධූරයට පත් කර ඇත්තේ, පසුගිය වසරේ නොවැම්බර් 01 වන දා ය.

පසුව පුරප්පාඩු වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයේ වැඩබැලීම සඳහා මේ වසරේ ජනවාරි මස 01 වන දා සිට ඔහු පත් කෙරිණි.

වසර 25 ක පමණ පළපුරුද්දක් සහිත නටාල් මීට පෙර Royal Jordanian Airlines, Cathay Pacific Airways, Philippine Airlines, Kenya Airways සහ Polar Air Cargo ආදී ගුවන් සමාගම් රැසක සේවය කර තිබිණි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ උපාධිධාරියෙකු වන ඔහු London Business School වෙතින් පශ්චාත් උපාධිය ද ලබාගෙන තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා අයැදුම් කළ ශ්‍රී ලාංකිකයින් චෝදනා කරන්නේ, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක ධූරය විදේශිකයෙකුට පැවරීම නීත්‍යනුකූල නොවන බව ය. සමාගමේ උසස් තනතුරු සඳහා විදේශිකයින් පත් කරන ලද්දේ, ගුවන් සමාගම විදෙස් සමාගමක් පාලනය කරන සමයේ පමණක් බව ද ඔවුහු පෙන්වා දුන්හ.

එවැනි වාතාවරණයක් තුළ දැවැන්ත ගුවන් සමාගමක් කඩා වැට්ටවූ වයස්ගත විදේශිකයෙකු ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ උසස් තනතුරකට බඳවා ගැනීම කිසි සේ ත් පිළිගත නොහැකි බව ඔවුන්ගේ අදහස ය.

මෙම චෝදනා සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මාධ්‍ය සබඳතා කළමනාකාර දීපාල් පෙරේරා මහතාගෙන් ද අපි විමසීමක් කළෙමු.

ඔහු ප්‍රකාශ කළේ, රිචර්ඩ් නටාල් මහතා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් කර ඇත්තේ, නිත්‍ය ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු පත් කරන තෙක් පමණක් බව ය.

රිචර්ඩ් නටාල් මේ වන විටත් ප්‍රධාන වාණිජ නිලධාරී ධූරයේ කටයුතු කරන අතර ප්‍රධාන විධායක නිලධාරී ධූරයේ වැඩබලනුයේ තාවකාලිකව බව ද ඔහු පැවසීය.

රිචර්ඩ් නටාල් ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කරමින් සිටියදී බහරේන් එයාර් ගුවන් සමාගම වසා දැමීමට සිදුවුව ද, ඔහු ‍ක්ෂේත්‍රයේ දිගු පළපුරුද්දක් සහිත දක්ෂ නිලධාරියෙකු බව ද මාධ්‍ය සබඳතා කළමනාකාර දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ය.

“ගුවන් සමාගම්වල උසස් තනතුරුවලට බඳවා ගැනීමේදී විදෙස් ජාතිකයින් ඕන තරම් බඳවාගෙන තිබෙනවා. ගුවන් නියමුවන් ඇතුළු විවිධ තනතුරුවලට විදේශිකයින් බඳවා ගන්නවා. ඒ අයගේ දක්ෂතා මතයි ඔවුන් බඳවා ගන්නේ. සමාජ මාධ්‍යවල පළ වෙන දේවල් නිවැරදි ඒවා නෙවෙයි,” යනුවෙන් ඔහු පැවසීය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම උසස් තනතුරු සඳහා විදේශිකයින් පත් කළ පළමු අවස්ථාව මෙය නොවේ. මෑත ම නිදසුන වන්නේ මින් පෙර 2019 දී යහපාලන රජය විසින් ප්‍රධාන වාණිජ නිලධාරියා ලෙස ජොෂුවා බුස්ටෝස් (Joshua Bustos) පත් කිරීම ය. ඔහු ඇෆ්ගන් ගුවන් සේවය බංකොලොත් කිරීමට බලපෑ ඇමෙරිකානු ඩොලර් මිලියන 11 ක වංචාවට හවුල් වූ බවට චෝදනා ලත් අයෙකු විය.

කුමුදු ජයවර්ධන, තාරක සම්මාන්, සුලෝචනා රාමයියා මෝහන්

++++++++

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත ගැන ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් පැහැදිලි කිරීමක්

(22.01.2022 – 17:55 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රීලන්කන් ගුවන්සේවයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ වැටුප සහ වයස සම්බන්ධව මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ පැතිර යන කරුණු සාවද්‍ය බව ශ්‍රීලන්කන් ගුවන් සේවය දන්වා සිටී.

ගුවන් සේවා කළමණකරණ විශේෂඥයෙකු වූ රිචඩ් නටාල් මහතා ශ්‍රීලන්කන් ගුවන්සේවයේ ප්‍රධාන වාණිජ නිලධාරීවරයා ලෙස පත්වීම් ලැබුවේ පසුගිය නොවැම්බර් මස පළමු වනදාය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ආයතනික බඳවාගැනීමේ පටිපාටියට අනුකූලව නිසි අනුමැතියක් සහිතව ඒ මහතා ගුවන්සේවයට සම්බන්ධවූ බවට ශ්‍රීලන්කන් ගුවන් සේවය දන්වා සිටී.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරු දෙසැම්බර් මස 31 වනදා සිට පුරප්පාඩුව පැවැතීම නිසා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් රිචඩ් නටාල් මහතා එම ධූරයේ තාවකාලිකව වැඩබැලීම සඳහා පත්කරනු ලැබුවේ එවක ගුවන් සමාගමේ දෙවැනි ජ්‍යෙෂ්ඨතම ධූරය ඒ මහතා හොබවීම හේතුවෙනි.

රිචඩ් නටාල් මහතා ප්‍රධාන වාණිජ නිලධාරී තනතුරට අමතරව තාවකාලිකව තවදුරටත් ගුවන් සමගාමේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ ද කටයුතු කරනු ඇති බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැනුම්දෙයි ෴

***************************************

අවි පුහුණුව ලැබූ මුස්ලිම් කාන්තාවන් 10 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් නියෝග

(21.01.2022 – 05:41 +0530 – lankaleadnews.com)

කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් හස්තුන්ගෙ බිරිඳ, පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් යටතේ අවි පුහුණුව ලැබූ කාන්තාවන් 10 දෙනකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා පෙරේදා (19) නියෝග කර ඇති බව වාර්තාවේ.

අදාළ මෙම සැකකාරියන් දස දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ අතිරෙක මහේස්ත්‍රාට්වරයා මෙම තීන්දුව ලබා දී තිබේ.

අන්තවාදී මත ප්‍රචාරය කිරීම හා මුස්ලිම් රාජ්‍යයක් බිහිකිරීම සඳහා මෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර සූදානමක් ඇතිව අන්තවාදී දේශනවලට සහභාගී වී දිවුරුම් දුන් බව කියන මෙම සැකකාරියන් දසදෙනා, පුහුණුව ලබා ඇත්තේ, හම්බන්තොට සිත්තිකුලම, කාන්තන්කුඩි කරවලනගර්, නුවරඑළිය බ්ලැක් පූල් යන කඳවුරුවලදී බව අධිකරණයේදී අනාවරණය විය.

මෙහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, අන්තවාදී දේශන හා අවි පුහුණුව සඳහා සහභාගී වී දිවුරුම් දුන් සැකකරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඒ අතර කාන්තාවන් 16 දෙනකු සිට ඇති බවත්ය.

කෙසේ වුවද හඳුනාගත් සැකකරුවන් 25 දෙනා අතුරින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සැකකරුවන් හැර සෙසු සැකකරුවන් මියගොස් හෝ අතුරුදන් වී ඇති බවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණ හමුවේ ප්‍රකාශ කළේය.

***************************************

පාම්තෙල් ආයනික බදු අඩුකරගෙන පොල්තෙල් වලට කවලම් කර විකිණිමේ සූදානමක්….

(23.01.2022 – 08:40 +0530 – lankacnews.com)

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාම්තෙල් සදහා ආයනික බදු අඩුකරගෙන පොල්තෙල් වලට පාම්තෙල් කවලම් කර විකිණිමේ සූදානමක්.

රජය විසින් පාම්තෙල් සදහා වන ආනයනික බදු අඩු කල සෑම අවස්ථාවකදීම මෙරට කූට ව්‍යාපාරිකයින් විසින් සිදු කරන ලද්දේ පොල්තෙල් සදහා පාම්තෙල් කවලම් කර අලෙවි කරන ජාවාරමකි. එම ජාවාරම නැවැත්වීම සදහා රජය විසින් විසින් විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලදී. එහිදී ගත් එක් ක්‍රියාමාර්ගයක් වූයේ පාම්තෙල් සදහා ආනයනික බදු බැඩි කිරීම වන අතර ඒ අනුව තම නිෂ්පාදන සදහා පාම් තෙල් අවශ්‍ය නිෂ්චිත කර්මාන්ත පමණක් මෙරටට පාම් තෙල් ආනයනය කරන ලදී.

ආනයනික පාම්තෙල් සදහා ආනයන බදු අඩු කර ගැනීම සදහා කූට ව්‍යාපාරිකයින් පිරිසක් මේවන විට උත්සහ කරමින් සිටින බවට තොරතුරු අපවෙත ලැබී ඇත. එම පිරිස උත්සහ කරමින් සිටින්නේ පොල් තෙල් මිල ඉහළ යන මේ අවස්ථාවේ පොල් තෙල් සදහා පාම්තෙල් කවලම් කර අලෙවි කිරීමේ ජාවාරම නැවැත ක්‍රියාත්මක කර අධික ලාභ ලබා ගැනීමට වන අතර එම ජාවාරම නැවත ක්‍රියාත්මක වුවහොත් මෙරට පාරිභෝගිකයින්ගේ ජීවිත අනතුරට පත්වන බැවින් පාම්තෙල් සදහා ආනයනික බදු අඩු නොකරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

පොල්තෙල් සදහා පාම් තෙල් කවලම් කර අලෙවි කිරීම මෙරට විශාල ජාවාරමක් වූ අතර එම ජාවාරම නතර කිරීම සදහා රජයට දැඩි උත්සහයක් ගැනීමට සිදුවිය. එසේ තිබියදී නැවතත් එම ජාවාරම ක්‍රියාත්මකවීමෙන් මෙරට පාරිභෝගිකයින් පමණක් නොව රජයද අපහසුතාවයට පත්වීම වැලැක්විය නොහැක. එම නිසා රජය ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු පිළිබදව සිතා නොව මෙරට සමස්ත පාරිභෝගිකයින් පිළිබදව සිතා තීරණගත යුතු බව අප අවධාරණය කරමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

***************************************

මෙරට තේ ආනයනකරුවන් අතර ඉරාකය මුල්තැනට

(23.01.2022 – 09:07 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ තේ අපනයනය කළ රටවල් අතරින් ඉරාකය මුල් තැනට පැමිණ තිබෙනවා.

ඒ, එතෙක් ප්‍රමුඛස්ථානය හිමි කරගෙන සිටි තුර්කිය දෙවන (2) ස්ථානයට පත් කරමින්. ඉරාකය විසින් පසුගිය වසරේ දී 2020 වසරට සාපේක්ෂව 27% කින් වැඩි තේ නිෂ්පාදන ආනයනය කර ඇති අතර, තුර්කියේ ආනයන එම කාලය තුළ 23.5% කින් පහත වැටුණා.

රුසියාව විසින් ශ්‍රී ලංකාවෙන් මිල දී ගත් තේ ප්‍රමාණය ද පසුගිය වසරේදී 7.6% කින් පහත වැටී ඇති බවයි තැරැව්කාර සමාගම් පෙන්වා දෙන්නේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය වසරේදී ශ්‍රී ලංකාවෙන් ආනයනය කළ තේ ප්‍රමාණය 167% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, දැන් මෙරට 04 වන තේ ගැණුම්කරු වන්නේ එමීරයයි.

4.7% ක සුළු ආනයන වර්ධනයක් පෙන්නුම් කළ ඉරානය පස්වන ස්ථානයට පත්ව තිබෙනවා.

පසුගිය වසරේ මෙරට තේ ආනයනය කළ අනෙකුත් ප්‍රධාන රටවල් වන්නේ චීනය, ලිබියාව, අසර්බයිජානය, චිලී සහ සිරියාවයි.

මෙහිදී ලිබියාව වෙත සිදු කෙරුණු තේ අපනයනයන් 58% කින් සහ ජපානයට සිදු කෙරුණු අපනයන 17% කින් ඉහළ යාම විශේෂත්වයක්.

***************************************

STF මෙහෙයුමට හසු වූ ගජමුතු

(23.01.2022 – 09:59 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරින්ට; වාලච්චේන යුද හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ (22) පස්වරුවේ සිදු කළ මෙහෙයුමක දී මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කු 08 ක් සොයාගෙන තිබෙනවා.

සන්දිවේලි පොලිස් වසමේ සිරිදයන්ගල් ප්‍රදේශයේ දී සිදු කළ මෙම මෙහෙයුමේ දී සැකකරුවන් රහිත ව අදාළ තුවක්කු සොයා ගත් බවයි වාර්තා වන්නේ.

මෙම දේශීය තුවක්කු සොයා ගැනුණේ ගල් ගුහාවක සඟවා තිබියදීයි.

කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ තුවක්කු 08 විශේෂ කාර් ය බලකාය විසින් සන්දිවේලි පොලීසිය වෙත භාර දී තිබෙනවා.

මේ අතර, ගජමුතු සන්තකයේ තබාගෙන අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව් කඳවුරේ කඳවුර නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) මුලතිව් පොලිස් වසමේ ඕසන් පාර්ක් හෝටලය අසල දී මෙම වැටලීම සිදු කරනු ලැබුවා.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු එල්ලක්කල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක අයෙක්.

අත්අඩංගුවට ගත් ගජමුතුවලට අමතරව වලංගු රියදුරු බලපත්‍රයක්, ජාතික හැඳුනුම්පතක්, මුදල් පසුම්බියක් සහ ජංගම දූරකථනයක් ද පොලිස් භාරයට ගැනුණා.

***************************************

පොදු ජනතාවට තානාපතිවරුන් ද නඩත්තු කිරීමට සිදු වෙලා – විපක්ෂ නායක

(23.01.2022 – 13:15 +0530 – hirunews.lk/sinhala)

දේශපාලනඥයින් නඩත්තු කිරීමට අමතරව පොදු ජනතාවට තානාපතිවරුන් ද නඩත්තු කිරීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

විපක්ෂ නායකරවයා මේ බව කියා සිටියේ සම්මුතියට නිදහස් අවකාශයක් මැයෙන් මැදහත් මාවත සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධාන කළ වැඩසටහනකට කොළඹදී ඊයේ (22) එක්වෙමින්.

මහජන බදු මුදලින් සුර සැප විඳින සහ පිදු දේපල සූරාකන ජන සේවයට කැපවූ බවට මවාපාන ප්‍රෝඩාකාරී දේශපාලනඥයින්ගෙන් ජනතාව මුලා වීම තවදුරටත් සිදු නොවිය යුතු බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වනවිට රටට අවශ්‍ය ඇත්තේ පොදු වැඩපිළිවෙළක් බවයි.

එනම්, එය මේ වනවිට රටේ ප්‍රධානතම සහ දැඩි අවශ්‍යතාව බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.

***************************************

පන්දහසේ දීමනාව අර්ධ රාජ්‍ය සේවකයින්ටත්

(23.01.2022 – 13:58 +0530 – hirunews.lk/sinhala)

රජයේ සේවකයන් සඳහා ලබාදීමට යෝජිත රුපියල් පන්දහසේ (5000) මාසික දීමනාව රජය සතු ව්‍යවසායන්හි අනෙකුත් සේවකයන්ට ලබාදීමට කටයුතු කරනවා.

ඒ අනුව සංස්ථා සහ ව්‍යස්ථාපිත මණ්ඩල සේවකයන්ට ද මෙම දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මේ වනවිට යවා තිබෙනවා.

මේ මාසයේ සිට ලබාදීමට නියමිත එම රුපියල් පන්දහසේ (5000) දීමනාව අර්ධ රාජ්‍ය සේවකයන්ට හිමිවන්නේ ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩලවල තීරණ අනුවයි.

ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල විසින් අදාළ ආයතන වෙත යැවූ චක්‍රලේඛයේ සඳහන්.

ඒ අනුව වැටුප් රහිත නිවාඩු යටතේ සිටින සේවකයන්ට එම දීමනාව හිමි නොවන අතර, අර්ධ වැටුප් නිවාඩු ලබා සිටින සේවකයන්ට හිමිවන්නේ අදාළ දීමනාවෙන් සියයට 50 ක් පමණයි.

එමෙන්ම දෛනික වැටුප් ලබන සේවකයන්ට රුපියල් පන්දහසේ (5000) දීමනාව හිමිවන්නේ ඔවුන් නියමිත සියලු දිනයන්හිදී රාජකාරියට වාර්තා කළ විට වන අතර, එසේ නොවන අවස්ථාවන්හි දී වැඩකළ දිනවලට සමානුපාතික දීමනාවක් ඔවුන්ට හිමිවනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *