ශිෂ්‍යත්ව ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර

ශිෂ්‍යත්ව ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර

*********************************************

ශිෂ්‍යත්ව ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර

(22.01.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala)

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වුණු අතර, ඊට දරු දැරියන් සහභාගි වූයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්.

එසේම ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අප්‍රේල් මාසයේ යෙදෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන ප්‍රකාශ කළා.

මේ අතර විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය ලබන සඳුදා සිට තාවකාලිකව අත්හිටුවන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් සහතික පත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සහ විද්‍යුත් තැපැල් ක්‍රමයට සිදු කිරීමට පහසුකම් සපයා තිබෙනවා.

+++++++++

2021 පහේ ශිෂ්‍යයත්වයේ අක්‍රමිකතා රැසක් මුස්ලිම් සිසුන්ට අසාධාරණ ලෙස උදව් කරලා

(23.01.2022 – 07:04 +0530 – lankaleadnews.com)

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැමුණු අතර එම විභාගය ඊයේ (22) පැවැත්වුණි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයන් 2,55,062 ක්, දමිළ මාධ්‍ය අපේක්ෂකයන් 85,446 ක් ඇතුළුව අපේක්ෂකයෝ 3,40,508 ක් පෙනී සිටි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. විභාග මධ්‍යස්ථාන 2,943 කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108 කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

කෙසේ වුවද සමහර ප්‍රදේශවල ශිෂ්‍යයත්ව විභාග පැවැත්වූ මධ්‍යයස්ථානවල ඇතැම් ප්‍රදේශවල දරුවන් විභාග ශාලාවලින් පිටතට පැමිණ තිබුණේ හඬා වැටෙමින් වූ අතර දරුවන්ගේ චෝදනාව වූයේ ඔවුනට බරපතල අසාධාරණකම් සිදුවූ බවයි.

එම සිද්ධීන් අතර ගල්ගමුව යූ බී වන්නි නායක විද්‍යාලයේ විභාග මධ්‍යයස්ථානයේ පැවැති විභාග මධ්‍යයස්ථානයේදී විභාගයට ලියූ සිසු දැරියන් චෝදනා කළේ සමහර මුස්ලිම් ගුරුවරුන් මුස්ලිම් සිසුන්ට උත්තර පත්‍රය ලිවීමට උදව් කළ බවයි. ගල්ගමුව යූ බී වන්නිනායක විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුන්ද අනුයුක්ත කර විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. සිසුන් පවසන ආකාරයට සමහර ශාලවල සිසුන්ට එම සිසුන්ට උගන්වා ඇති ගුරුවරුන්ම විභාග පරීක්ෂකයන් ලෙස ලැබී ඇත. ඒ අනුව විභාග අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව වාර්තාවේ.

දෙවෙනි වාර්තාගත සිදුවීම වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් විජය විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයේ පළමු ප්‍රශ්න පත්‍රය නියමිත වේලාවට සිසුන් හට ලබානොදුන් නමුත් ප්‍රශ්න පත්‍රය නියමිත වේලාවට එකතු කිරීමට වග බලාගෙන තිබුණි.

ඒ හේතුවෙන් වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් විජය විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ විභාගයට පිළිතුරු ලිවූ දරුවන් විභාගයට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බව පවසමින් දරුවන් හඬාවැටෙමින් විභාග ශාලාවලින් පිටතට පැමිණි බව වාර්තාවේ.

මෙහිදී ඇතැම් දරුවන් පවසා සිටියේ පිළිතුරු ලියමින් සිටියදී ප්‍රශ්න පත්‍රය උදුරා ගත් බවත් අතිරේක කොළ ඉල්ලීමේදී විභාග පරීක්ෂකයන් බැන වැදුණු බවයි.

මේ හේතුවෙන් දෙවම්පියන් සාධාරණයක් ඉල්ලා වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවයක ද නිරත වුණු අතර අසාධාරණයට ලක්වූ දරුවන් ගණන 150 ක් පමණ වන බව දෙමව්පියෝ චෝදනා කරන බවද වාර්තාවේ.

දෙමව්පියන් විසින් වැලිමඩ කලාප අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා හමුවී සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරීමට උත්සාහ ගෙන තිබුණත් ඔහු එය මඟහැර යාමට කටයුතු කළද පසුව කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණි දෙවම්පියන්ට රෝහිත අමරදාස මහතා පවසා තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලා පියවරක් ගන්නා බවයි.

තුන්වෙනි සිදුවීම ලෙස වාර්තා වන්නේ කළුතර නාගොඩ රාජකීය විද්‍යාලයේ පැවැති විභාග මධ්‍යස්ථානයේ දරුවන්ට ශිෂ්‍යයත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ලබා දීමේදී ප්‍රමාදයක් සිදුව ඇති බවයි.

***************************************

සියල්කොට් ඝාතනයේ එක් (1) සැකකරුවෙකුට සිරදඬුවම්

(22.01.2022 – 14:10 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට්හි දී ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාරගේ දර්ශන සමාජ මාධ්‍යයට එක් කළ පුද්ගලයෙකුට වසරක (1) සිර දඬුවමක් සහ පාකිස්ථානු රුපියල් දස දහසක දඩයක් එරට අධිකරණය විසින් නියම කර තිබෙනවා.

අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකුට අධිකරණය මඟින් දඬුවම් ලබාදුන්නේ ප්‍රථමවරට වීම විශේෂත්වයක්.

ප්‍රියන්ත කුමාර පාකිස්ථානයේ ඔහු සේවය කළ සියල්කෝට් හි කර්මාන්ත ශාලාවක දී ඝාතනය කෙරුණේ, පසුගිය දෙසැම්බර් 03 වැනිදා යි.

ප්‍රියන්ත කුමාර ඝාතනය කෙරෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයා එරට පොලිසිය මඟින් හඳුනාගෙන ත්‍රස්ත මර්දන
අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

මුහම්මද් අද්නාන් නැමති සැකකරු විසින් තමන් අදාළ සිද්ධියට වරදකරු බවත් තමා විසින් විසින් එම නොමනා ක්‍රියාව සිදු කළ බවට අධිකරණය හමුවේ පිළිගෙන ඇති බවට යි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ඔහුට වසරක සිර දඬුවමක් සහ පාකිස්ථානු රුපියල් දස දහසක දඩ මුදලක් අධිකරණය මඟින් නියම කෙරුණා.

***************************************

තරුණයෙකු නිරුවත් කර යුවලක් පහර දෙයි

(22.01.2022 – 14:22 +0530 – hirunews.lk/sinhala)

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ තරුණයෙකු නිරුවත් කර යුවලක් විසින් පහර දෙන අකාරයයි මේ.

පහර දිමට හේතුව ලෙස ඔවුන් පවසන්නේ අදාල තරුණයා මෙම කාන්තාවට නිතර දුරකථන ඇමතුම් ලබා ගන්නා බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම යුවල සිඹලාණ්ඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිතර නිතර තම බිරිඳට මෙම තරුණයා විසින් දුරකථන ඇමතුම් ලබා ගැනිම හේතුවෙන් මෙම පහරදීම සිදුකළ බව ඔවුන් පොලිසියට පවසා තිබෙනවා.

***************************************

තිස්ස කුට්ටිආරච්චි අනුර දිසානායකට කොමියුනිස්ට්වාදය කියා දෙයි

(22.01.2022 – 14:28 +0530 – hirunews.lk/sinhala)

වත්මන් දේශපාලන, සමාජ, ආර්ථික තත්ත්වයන් පිළිබඳ දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වුණා.

එහි දී මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, කියා සිටියේ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානා ජනපති සිහිනයක අතරමං වී ඇති බව යි.

මාක්ස්වාදය නිවැරැදි ව අධ්‍යයනය කළ බුද්ධිමත් නායකයෙකු ලෙස තමා අනුර දිසානායක ව හඳුනාගෙන සිටියත් එය එසේ නො වෙන බව යි ඔහු අවධාරණය කළේ.

***************************************

දරුවන් සමත් අසමත් ලෙස බෙදා වෙන්කරන අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි – ඇමති ඩලස් අලහප්පෙරුම

(22.01.2022 – 15:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් සංවිධාන කළ ළමා කුසලතා ඇගයීමේ වැඩසටහනක් අද (22) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණා.

කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා තැබූ සමයේ නිවසට වී සිටි ළමුන් ධෛර්යමත් කිරීමේ අරමුණින් චිත්‍ර, ඡායාරූප, කථනය සහ නවනිර්මාණ අංශ වලින් සමන්විතව ළමා තරගාවලිය සංවිධානය කර තිබූ අතර විශේෂ අවශ්‍යතා සහිත දූ දරුවන්ට ද එය විවෘත වුණා.

අපේ දූ දරුවන් දක්ෂයි. ඒ නිසා ඒ දක්ෂතාවය විශ්වාස කළ යුතු කාලය එළඹ ඇතිබව පැමිණි සිටි පිරිස අමතමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම :

“දරුවන් විශ්වාස කරන්න. ඔබේ දුවට පුතාට අසීමිත ශක්තියක් තියෙනවා. ඔවුන් ධෛර්ය සම්පන්න දරුවන්, ඔවුන්ට කල නොහැක්කක් නොමැත කියල හැම අම්ම තාත්ත කෙනකුම විශ්වාස කරන්න. මේ කාලයේ දරුවන් අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් විශාල සංවාදයක් තියෙනවා. අපයෝජනයක් සිදුවන්නේ ලිංගිකව විතරක් නෙවෙයි. එය ශාරීරිකව හා මානසිකවත් සිදුවෙනවා. වාර්තාවන අන්දමට ශාරීරිකව හා මානසිකව වැඩිම අපයෝජන සංඛ්‍යාවක් සිදුවන්නේ නිවස ඇතුලෙදි. ඒ නිසා විශ්වාස කිරීම තුල දරුවට ලැබෙන ශක්තිය වෙන කිසිවකින් ලැබෙන්නෙ නැහැ.” අමාත්‍යවරයා පැවසුවේය.

දිළිඳු කම, අන්තවාදය, ත්‍රස්තවාදය ඇතිවීමට ප්‍රධානතම හේතුව නිසි අධ්‍යාපනයක් නොලැබීම බවත් 21 වන ශතවර්ෂයට ගැලපෙන අයුරින් අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කල යුතු කාලය පැමිණ තිබෙන බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ ලෙස භේද නොවී ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස පාර්ලිමේන්තුවේ සියලුම දෙනා එකතුවීමේ අවශ්‍යතාවයත් ඇමතිතුමන් පෙන්වා දුන්නේය.

“දරුවා දක්ෂ මොකටද කියල හොයාගන්න තරම් අපේ අධ්‍යාපන ක්‍රමය නිර්මාණශීලි භාවයෙන් තොරයි. ගණිතය අසමත් වුනොත් සලකන්නේ ජීවිතයම අසමත් විදියට. හැබැයි ඒ දරුවා ගණිතය අසමත් වුනාට සංගීතයට, චිත්‍ර අඳින්න, නව නිර්මාණ වලට දක්ෂ ඇති. හැබැයි අපේ අධ්‍යාපන ක්‍රමයේ ඒක හොයාගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා දරුවො සමත් අසමත් විදියට බෙදන මේ අධ්‍යාපන ක්‍රමයට නැවතීමක් තියන්න කාලය හරි. ඒ සඳහා නව විභාග ක්‍රමයක් ඇති කළ යුතුයි. එය කටපාඩම් මත පදනම් වූ විභාග ක්‍රමයක් නොවිය යුතුයි” යනුවෙන් වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළා ෴

***************************************

කොළඹ වරාය නගරයේ සෙල්ෆි ඡායාරූපවලට ගාස්තු අය නොකෙරේ

(22.01.2022 – 17:20 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරයේදී ලබා ගන්නා සෙල්ෆි ඡායාරූප සහ පෞද්ගලික වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බව කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම පවසනවා.

එලෙස ගාස්තු අය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත අසත්‍ය බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කෙසේ වෙතත්, වරාය නගරයේ සිදුකෙරෙන පෞද්ගලික උත්සව සහ වානිජමය ඡායාරූප හා වීඩියෝ සඳහා ගාස්තු ක්‍රමවේදයක් මේ වනවිට හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, පෞද්ගලික උත්සව, විවාහ මංගල උත්සව, විලාසිතා ප්‍රවර්ධන කටයුතු, ගීත රූප රචනා, වෙළඳ දැන්වීම් හෝ වෙනත් වානිජ අරමුණු සඳහා සිදුකරන ඡායාරූප ගැනීම් හෝ වීඩියෝ පටිගත කිරීම සඳහා පමණක් ගාස්තු ක්‍රමවේදය ක්‍රියාත්මක බවයි කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

කොළඹ වරාය නගරයේ පසුගිය දා විවෘත කෙරුණු marina මහජන මංතීරුව අවට ප්‍රදේශයේ සිදු කෙරෙන ඡායාරූප ගැනීමේ කටයුතු සහ වීඩියෝගත කිරීමේ කටයුතු සඳහා අය කෙරෙන මිල ගණන් පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණා.

කොළඹ වරාය නගරය පෞද්ගලික සමාගම විසින් මෙලෙස ප්‍රකාශයට පත්කර ඇති මිල ගණන් අනුව පෞද්ගලික මට්ටමේ ඡායාරූපගත කිරීමක් හෝ වීඩියෝ ගත කිරීමක් සඳහා පුද්ගලයින් 2-5 ත් අතර සහභාගීත්වයක් ඇතිව අදාළ පසුතලය භාවිතා කිරීමට පැය 3 කට අඩු කාලයක් සඳහා රුපියල් තිස් දහසක් (30,000) අය කෙරෙනවා.

එමෙන්ම අදාළ රූගත කිරීමට පුද්ගලයින් 6-10 ත් අතර සංඛ්‍යාවක් එක් වන්නේ නම් පැය 3 කට අඩු කාලයක් සඳහා අය කෙරෙන මුදල රුපියල් පනස් දහසක් (50,000).

පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පැය තුනකට (3) අඩු කාලයක් සඳහා අය කෙරෙන මුදල සාකච්චා කරගත හැකි බවයි එම ගාස්තු සටහනේ දැක්වෙන්නේ.

එමෙන්ම වාණිජමය රූගත කිරීම් සඳහා පුද්ගලයින් 10 දෙනෙකුට අඩු පැය තුනකට (3) අඩු කාලයක් සඳහා රුපියල් ලක්ෂයක් (1,00,000) අය කරන බවයි කොළඹ වරාය නගරය පෞද්ගලික සමාගම පවසන්නේ.

එමෙන්ම ඔවුන් නිකුත් කර ඇති මෙම අය කිරීමේ ගාස්තු සටහනේ එම වාණිජමය රූගත කිරීම සඳහා පුද්ගලයින් 10 දෙනකු වැඩියෙන් එක් වන්නේ නම් පැය තුනකට (3) අඩු කාලයක් සඳහා වන මුදල සාකච්ඡා කරගත හැකි බවයි ඔවුන් දන්වා ඇත්තේ.

මේ අතර මීට සති දෙකකට (2) පමණ පෙර මහ ජනයා සඳහා විවෘත වූ කොළඹ වරාය නගරය marina මහජන මංතීරුවට මේ වන විට අලාභහානි සිදු වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රාශියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එම ඡායාරූපවලින් දැක්වෙන්නේ marina මහජන මංතීරුවේ බිම අතුරා ඇති යම් යම් කොටස් කැඩී බිඳී ගොස් ඇති ආකාරය යි.

මේ අතර පසුගිය දින ගණනාව මුළුල්ලේ මෙම marina මහජන මංතීරුවට පැමිණේ අති විශාල ජනකාය විසින් භාවිතා කර ඉවත දැමූ ප්ලාස්ටික් බෝතල් බීම බදුන් ආදිය ඒ අසල මුහුදු තීරයේ එක්රැස් වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමෘද්ධිය පරිසර ආරක්ෂණ අධිකාරිය අවධාරණය කරන්නේ කොළඹ වරාය නගරය නැරඹීමට පැමිණෙන පුද්ගලයින් ඒ අවට සාගර කලාපයට අපද්‍රව්‍ය බැහැර කළහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් දහස් දැක්වූ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර කියා සිටියේ, ඒ අවට සාගර කලාපයට අපද්‍රව්‍ය බැහැර කිරීම වැලැක්වීම සඳහා පෝට් සිටි ආයතනය සමග සම්බන්ධ වී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම මේ අවට ප්‍රදේශයට පැමිණෙන දේශීය සංචාරකයින්ගෙන් සභාපතිනිය ඉල්ලා සිටින්නේ, කොළඹ වරාය නගර marina මහජන මංතීරුව ප්‍රදේශය සහ ඒ අවට සාගර කලාපය ආරක්ෂා කර ගැනීම සඳහා වගකීමෙන් කටයුතු කරන ලෙසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *