අද (22) පස්වරු 2 න් පසු සපුගස්කන්ද විදුලි බලාගාරයේ දැවිතෙල් අවසන්

අද (22) පස්වරු 2 න් පසු සපුගස්කන්ද විදුලි බලාගාරයේ දැවිතෙල් අවසන්

*********************************************

අද (22) පස්වරු 2 න් පසු සපුගස්කන්ද විදුලි බලාගාරයේ දැවිතෙල් අවසන්

(22.01.2022 – 07:10 +0530 – hirunews.lk/sinhala)

දැවිතෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා.

ඒ තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟතාව පළ වී ඇත්තේ, අද (22) දක්වා පමණක් වීම හේතුවෙන්.

ඉංජිනේරුවන් සඳහන් කළේ, බලාගාරය තුළ දැවි තෙල් පවතින්නේ අද (22) පස්වරු 2 වන තුරු පමණක් බවයි.

මේ අතර කැලණිතිස්ස බලාගාරය මේ වනවිට සක්‍රිය කර තිබෙනවා.

ඒ අනුව සුපුරුදු පරිදි කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165 ක ධාරිතාවක් සහ කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් මෙගාවොට් 115 ක් මේ වනවිට උත්පාදනය කෙරෙනවා.

දිනකට කැලණිතිස්ස බලාගාරයෙන් මෙගාවොට් 286 ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර, ඒ සඳහා දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 ත් 1800 ත් අතර ප්‍රමාණයක් වැය වනවා.

ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවෙන් ලද ඩීසල් තොගය විදුලිය නිෂ්පාදනය සඳහා තවත් දින 06 ක කාලයකට ප්‍රමාණවත්.

මේ අතර, මෙගාවොට් 300 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණු, නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රිය ව පවතිනවා ෴

+++++++++++++

ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ධුරය අර්බුදයක ?

(22.01.2022 – 10:53 +0530 – hirunews.lk/sinhala)

අද (22) විදුලි කප්පාදුවක් සිදු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් දහවල් කාලයේ දී ප්‍රකාශයට පත් කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලි උත්පාදනය සඳහා සපුගස්කන්ද බලාගාරයේ පවතින දැවි තෙල් තවත් පැය කිහිපයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බවත් බොහෝ විට පස්වරු දෙකට (2) පමණ සියලු දැවි තෙල් අවසාන විය හැකි බවත් එම මණ්ඩලය සඳහන් කරනවා.

ඒ අනුව දැවි තෙල් ලබා දෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති අතර, ඔවුන් දැවී තෙල් ලබාදීම සිදු කළ හොත් විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යි විදුලිබල මණ්ඩලය පැවසුවේ.

කෙසේ වෙතත් විදුලි උත්පාදනය සඳහා කැලණිතිස්ස බලාගාරයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මෙට්‍රික්ටොන් 10,000 ක් මේ වන විට සම්පූර්ණයෙන්ම ලබා දී අවසන්.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය ඩී.සී.ආර්. අබේසේකර පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවකට එළඹ නො මැති බව ද වාර්තා වෙන අතර, ආචාර්ය ඩී.සී.ආර්. අබේසේකර ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබුණා.

ස්ථිර සාමාන්‍යාධිකාරි ධුරය සම්බන්ධයෙන් පවතින නඩු තීන්දුව අවසන් වන තෙක් දැනට වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන ආචාර්ය සුසන්ත පෙරේරා වෙනුවට මෙම පත්කිරීම අනුමත කරන ලෙස යි අමාත්‍යවරයා දැනුම් දී තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක සාමාජිකයින් අතර ඊයේ (21) දිනයේ සාකච්ඡාවක් පවත්වා තිබුණ නමුත් නව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා පත් කිරීම සම්බන්ධයෙන් එහි දී එකඟතාවකට එළඹ නො මැති අතර, මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේ දී නැවතත් අදාළ නිලධාරී මණ්ඩලය රැස් වී සාකච්ඡා පැවැත්වෙනු ඇති.

එම සාකච්ඡාව සඳහා සභාපතිවරයා සහභාගි නො වීම ද විශේෂත්වයක්.

මෙතැන ඇති ප්‍රධාන ම ගැටලුව නම් ඇමති නියෝගය ද නො තකමින් තම අත්තනෝමතික හා තනි කැමැත්ත මත නිලධාරින් පත් කිරීමට සභාපතිවරයා සතු බලය යි.

දැනට සමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරන පුද්ගලයා යුගදනවි ගිවිසුමට අත්සන් කළ අයෙකු යන චෝදනාව යටතේ, විදුලි බල වෘත්තීය සමිති මීට පෙර මෙම පත්කිරීම බරපතළ ලෙස සාකච්ඡාවට ගෙනාවා.

ජන ජීවිතය අඩාල කරමින් මෙම වකවානුව තුළ නිතර නිතර විදුලිය විසන්ධි වීම් සිදු වෙන අතර, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා එකිනෙකා ව ප්‍රශ්න කරගනිමින් හුදු මාධ්‍ය සංදර්ශන පමණක් පෙන්වමින් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් තුළ දී වගකිව යුතු රාජ්‍ය නිලධාරින් ද තම වගකීම පැහැර හරිමින් මෙලෙස සිදු කරන්නේ, රාජ්‍යය අකාර්‍යක්ෂම කිරීමක් නො වේ ද ?

අමාත්‍යවරයාගේ නියෝග ද නො තකමින් ක්‍රියාත්මක වීමට සභාපතිවරයාට බලයක් ලැබුණේ කෙසේ ද ?

මෙවැනි විශාල ගැටලුවක් පවතින මොහොතක දී ඒ පිළිබඳ සාකච්චා කිරීමට යොදාගත් රැස්වීමක් ඔහු මඟ හරින්නේ කුමන පදනමකින් ද ?

අමාත්‍යවරුන් මෙන් ම බලධාරින් ද මෙසේ තකට තක තම කාර්‍යභාරය විධිමත් ව හඳුනා නොගැනීමේ අවසාන ප්‍රතිඵලයෙන් දුක් විඳින්නේ රටේ පොදු මහජනතාව නො වේ ද ?

+++++++++++++

විදුලි බලයේ සභාපති රැස්වීම මඟ හරියි

(22.01.2022 – 13:06 +0530 – hirunews.lk/sinhala)

අද, හෙට සහ අනිද්දා (22, 23, 24) විදුලි කප්පාදුවක් සිදු නො කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

අද (22) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, පවතින විදුලි අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා ඉදිරියේ දී පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය ලබාගැනීම පිළිබඳව ද අවධානය යොමු වී ඇති බව යි.

මහාමාර්ග ආශ්‍රිතව පවතින විදුලි පහන් දැල්වීමේ කාලසීමාව සීමා කිරීම සඳහා රජයට යෝජනාවක් ද සිදුකර ඇති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ වැඩිදුරටත් සඳහන් කළා.

පවතින තත්ත්වය හමුවේ සපුගස්කන්ද විදුලි බලාගාරය පස්වරු දෙකෙන් (02:00) පසු දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් අක්‍රියවීමේ අවදානමක් පවතිනවා.

ඒ සඳහා දැවිතෙල් ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව සතුව ඉන්ධන නො මැති බවයි විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ, බත්තල විදුලි බලාගාරයේ ද දැවිතෙල් පවතින්නේ දින දෙකහමාරක (2½) කාලයක් සඳහා පමණයි.

කෙසේ වෙතත් අද (22) පස්වරුවේ කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් බත්තල විදුලි බලාගාරය සඳහා දැවිතෙල් පොම්ප කිරීම සිදු කිරීමට නියමිත බව යි ඔහු කියා සිටියේ.

කැලණිතිස්ස බලාගාරය මේ වනවිට මෙගාවොට් 280 ක් උත්පාදනය කරමින් සක්‍රියව පවතින අතර, එම බලාගාරය සඳහා ලබාදුන් දැවිතෙල් සංචිතය පවතින්නේ දින හයක (6) කාලයක් සඳහා පමණ යි.

මේ අතර විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පත් කිරීම සඳහා ඊයේ (21) කැඳවනු ලැබූ හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සඳහා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහභාගි වී නැහැ.

නව සාමාන්‍යාධිකාරීවරයා පත් කිරීමට අදාළ නිර්ණායක ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යි මෙම හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම කැඳවා ඇත්තේ.

ඊට සහභාගි නොවී සභාපතිවරයා යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ පැවැත්වෙන සාකච්ඡාවකට ගොස් ඇති බවට විදුලි වෘත්තිය සමිති චෝදනා එල්ල කරනවා.

+++++++++++++

ඉන්ධන නොමැතිවීම නිසා සපුගස්කන්ද බලාගාරය වැසේ

(22.01.2022 – 16:11 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද බලාගාරය මීට සුළු මොහොතකට පෙර වසා දමා තිබෙනවා.

ඒ හේතුවෙන් මෙගවොට් 110 ක් පමණ පද්ධතියට අහිමි වන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.

කෙසේ වෙතත්, අද (22) දිනයේ විශාල විදුලි ඉල්ලුමක් නොමැතිවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුනොවන බව ද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

කැළණිතිස්ස බලාගාරයේ කටයුතු සිදුකරගෙන යාමට ඉන්ධන පවතින්නේ ද තවත් දින 6 කට පමණයි.

+++++++++++++

අඟහරුවාදා (25) සිට යළි විදුලි කප්පාදුවක් ?

(22.01.2022 – 17:07 +0530 – hirunews.lk/sinhala)

අඟහරුවාදා (25) සිට විදුලිය කප්පාදු කිරීමකට යාමට සිදුවිය හැකි බව ලංකා විදුලිබල බලමණ්ඩලය පවසනවා.

අද (22) සහ හෙට (23) දැවිතෙල් ලැබීම මත විදුලිය කැපීම තීරණය වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා පවසන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් විදුලිය කප්පාදුවක් සිදු වෙනවාද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කලා.

කෙසේ වෙතත් අද (22) සහ හෙට (23) දින විදුලිය කැපීමක් සිදු නොවන අතර දැවිතෙල් නොලැබීමත් සමඟ අඟහරුවාදා (25) සිට අවදානම් තත්ත්වයක පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

යම් ආකාරයකින් අඟහරුවාදා (25) සිට විදුලිය කපන්නේ නම් ඒ පිළිබඳව ජනතාව කලින් දැනුවත් කරන බවත් මෙහිදී ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන සාමාන්‍ය අධිකාරි සුසන්ත පෙරේරා :

“කැලණිතිස්සේ තව ඩීසල් තියෙන්නේ දින පහමාරකට (5½) පමණයි. සපුගස්කන්දේ අද (22) දහවල් 12 ට අවසන් වුණා. දැනට එහි ධාරිතාවයක් නැහැ. අද (22) සහ හෙට (23) විදුලිය කැපීමක් නැහැ. සදුදා (24) දිනයේ දී ධාරිතාවය අඩු වෙනවා. සදුදාට (24) දැවි තෙල් ලැබුනොත් මේ ගැටලුව වෙන්නෙ නැහැ. උපරිම ඉල්ලීමේදී අඟහරුවාදාට (25) දැවිතෙල් නැතිඋනොත් ගැටළු සිදුවෙනවා. කලින් කියලා ජනතාව දැනුවත් කරනවා. උපරිම ඉල්ලුම තියෙන රාත්‍රී කාලයේ විදුලිය කපන සිදුවෙනවා. දැනුම් දීලයි කරන්නේ. විදුලිය කපන්නේ ජනතාව දැනුවත් කරලා. හදිසියේ කපන්නේ නැහැ. ජල විදුලි බලාගාර ආශ්‍රිතවත් උපරිම මට්ටමට ඇවිල්ලා තියෙන්නෙ. විදුලිය කපන්න කලින් මහජන උපයෝගිතා කොමිසමේ උපදෙස් ලබා ගන්නවා. අඟහරුවාදා (25) සිට විදුලි කප්පාදුවකට යන්න වෙයි. ඉල්ලුම අඩු කරන්න. විදුලිය පරිස්සමෙන් පාවිච්චි කරන්න.”

වැඩබලන සාමාන්‍යධිකාරී වරයාට එරෙහිව ඇති වෘත්තිය ක්‍රියාමාර්ග සහ තනතුර පිළිබඳව ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

ජනතාව පීඩාවට පත්වී ඇති අවස්ථාවක දී මෙවැනි වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම සුදුසු නොවන තත්ත්වයක් බව පැහැදිළි කළා.

“මගේ පත්වීම තාවකාලික පත්වීමක්. එය උසාවි නියෝගයකින් දීලා තියෙන්නේ. අධ්‍යක්ෂ මණ්ඩලයට මාව වෙනස් කරන්න අවශ්‍ය නම් පුළුවන්. ආයතනය අර්බුදකාරී අවස්ථාවලදී පවත්වාගෙන යන්න අවශ්‍ය නිසයි මාව පත් කරලා උසාවි නියෝග දීලා තියෙන්නේ”.

***************************************

බෞද්ධ උපදේශන සභාව රැස්වෙයි

(22.01.2022 – 12:50 +0530 – hirunews.lk/sinhala)

බෞද්ධ උපදේශක සභාව ඊයේ (21) 12 වැනි වරට ජනාධිපති කාර්යාලයේ දී රැස් වී තිබෙනවා.

ඉවසීමෙන් හා සැළසුම් සහගතව ගත් තීරණවල ප්‍රතිඵල වර්තමානයේ යථාර්තයක් බවට පත්වෙමින් තිබෙන බව එහි දී මහා සංඝරත්නය ප්‍රකාශ කළා.

කොරෝනා වසංගතයෙන් ජනතාව බේරාගැනීමටත්, අභියෝග සහ ආර්ථික දුෂ්කරතා හමුවේ රට ගොඩනැගීමටත්, ජනාධිපතිවරයා කළ මෙහෙය අගයමින් බෞද්ධ උපදේශක සභාවේ දී මහා සංඝරත්නය අදහස් පළ කරනු ලැබුවා.

ඉවසීමෙන් හා සැලසුම් සහගතව ගත් තීරණයන්හි ප්‍රතිඵල වර්තමානයේ යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙනවා.

දූරදර්ශි සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශව සතු වගකීමක් බවයි මහා සංඝරත්නය පෙන්වා දෙනවා.

බෞද්ධ උපදේශක සභාව ඊයේ (21) පස්වරුවේ 12 වන වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරුණා.

කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමටත් අභියෝග සහ ආර්ථික දුෂ්කරතා හමුවේ රට ගොඩනැගීමටත් ජනාධිපතිවරයා කළ මෙහෙය අගයමින් බෞද්ධ උපදේශක සභාවේ දී මහා සංඝරත්නය අදහස් පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ප්‍රපාතයට යමින් තිබූ රට, ජාතිය හා උරුමයන් බේරා ගැනීමට සිටි එකම නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි තැබූ විශ්වාසය කඩවී නොමැති අතර කූරගල පුදබිම, මුහුදු මහා විහාරය ඇතුළු උතුරු නැගෙනහිර වෙහෙර විහාරස්ථාන රැකගනිමින් දැයට උරුම කර දීමට පසුගිය දෙවසර තුළ ජනාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

එමෙන්ම රටේ ජනතාව මුහුණපාන ගැටලු පිළිබඳ සැබෑ තොරතුරු ඉදිරිපත් කර, විසඳුම් සෙවීමට ජනාධිපතිවරයාට සහාය වීම බෞද්ධ උපදේශක සභාවේ වගකීමක් විය යුතු බවයි මහා සංඝරත්නය සඳහන් කර ඇත්තේ.

අණපනත්, කතිකා සම්මත කරගැනීමට මහා සංඝරත්නයේ මග පෙන්වීම තමා අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබෙනවා.

විනාශයට යමින් තිබූ සිංහල බෞද්ධ උරුමය කොවිඩ් බාධක හමුවේ වුව ද රැකගනිමින් බහුතර ජනතාවගේ අපේක්ෂාව ඉටු කළාක් මෙන් එම ඓතිහාසික ස්ථාන සංවර්ධනයට ඉදිරියටත් කැපවන බව ඔහු ප්‍රකාශ කළා.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

***************************************

ගොවි වන්දි ගැන සඳුදා (24) කැබිනට් රැස්වීමේ දී තීන්දුවක්

(22.01.2022 – 13:19 +0530 – hirunews.lk/sinhala)

ගොවීන් සඳහා ලබාදෙන වන්දි මුදල් සම්බන්ධයෙන් ලබන සඳුදා (24) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීන්දුවකට එළඹෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, අද (22) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

රසායනික පොහොර නොමැති වීමෙන් දිවයින පුරාම ගොවීන් මේ වනවිට පත්වී ඇත්තේ, මහත් වූ අපහසුතාවකට යි.

රසායනික පොහොර ආනයනය නතර කොට, රජයේ හරිත කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය යටතේ, කාබනික වගාව හඳුන්වා දුන්නත් ගොවීන් මුල සිටම මේ සඳහා විරුද්ධ වුණා ෴

***************************************

පිළිස්සී මියගිය මවකගේ සහ දියණියකගේ සිරුරු දෙකක් (2) නිවසකින් හමුවෙයි

(22.01.2022 – 15:57 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය ප්‍රදේශයේ නිවසක පිළිස්සී මියගිය මවකගේ සහ දියණියකගේ සිරුරු දෙකක් (2) හමුවී තිබෙනවා.

කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ නිවසකින් මෙම සිරුරු සොයාගෙන ඇති අතර ඊයේ (21) සවස ඇති වූ ගිනි ගැනීමකින් මෙම මරණ සිදුවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම නිවස ගිනි ගන්නා බවට ධර්මපුරම් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් ගොස් කළ සොයා බැලීමේදී මවගේ සහ දියණියගේ සිරුරු හමුවී තිබෙනවා. අනතුර සිදුවන විට නිවසේ වෙනත් කිසිවෙකුත් සිට නොමැති අතර මියගිය කාන්තාවගේ සැමියා කුලී වැඩ සඳහා වෙනත් ප්‍රදේශයකට ගොස් තිබූ බව සඳහන්.

මියගොස් ඇති කාන්තාව 47 හැවිරිදි අයෙක්.

ඇය දරුවන් හත් (7) දෙනෙකුගේ මවක් වන අතර දියණියගේ වයස අවුරුදු 17 ක්.

මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කිලිනොච්චි මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *