ශිෂ්‍යත්ව විභාගය හෙට (22)

ශිෂ්‍යත්ව විභාගය හෙට (22)

*********************************************

ශිෂ්‍යත්ව විභාගය හෙට (22)

(21.01.2022 – 15:07 +0530 – hirunews.lk/sinhala)

2021 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා අපේක්ෂකයින් 3,40,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,943 කදී පෙනී සිටින බව, විභාග කොමසාරිස් ජනරාල් L.M.D. ධර්මසේන මහතා සඳහන් කළා.

ඒ සිංහල මාධ්‍යයෙන් 2,55,062 ක් සහ දෙමළ මාධ්‍යයෙන් 85,445 ක් වශයෙන්.

වෙනත් වසරවල අගෝස්තු මාසයේදී පැවැත්වෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පසුගිය වසරේ අවස්ථා කිහිපයකදී කල් දැමුණේ කොවිඩ් වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන්.

එම විභාගය මේ වසරේ ජනවාරි 22 විභාගය පැවැත්වීමට දින නියම කෙරුණේ එවන් පසුබිමකයි.

කොරෝනා ආසාදිත ව සිටින මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත අපේක්ෂකයින් වෙනුවෙන් වෙන ම මධ්‍යස්ථාන 108 ක් ස්ථාපිත කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496 ක් ද ස්ථාපිත කර තිබෙනවා.

කොවිඩ්-19 ව්‍යවසනය හමුවේ වුවද කිසිම දරුවකුට අසාධාරණයක් නොවී කොවිඩ් ආසාදිත හා නිරෝධායනයට ලක්වී ඇති දරුවන්ට විශේෂ ක්‍රමවේදයක් යටතේ විභාගයට ලිවීමට පහසුකම් සළසා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා ප්‍රකාශ කළේ.

කොවිඩ් ආසාධිත දරුවන් තමාට ළඟම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් PCR හෝ Rapid Antigen පරීක්ෂණ වාර්තාව ලබා දී විශේෂ මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.

නිරෝධායනය වන සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන්ට තමාට අදාළ මධ්‍යස්ථානයේම විශේෂ කාමරයක් ස්ථාපනය කර ඇති අතර එහිදී ඔවුන්ට විභාගයට පිළිතුරු ලිවීමට හැකියාව පවතිනවා.

මේ පිළිබඳව දැනටමත් සියලුම විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා.

විභාගයට පැමිණීමේදී දෙමාපියන් ඇතුළු දරුවන් මුව ආවරණ පැළම, දෙඅත් සේදීම, පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම වැනි සෞඛය මාර්ගෝපදේශ වලට අනුව ක්‍රියා කළ යුතුයි.

මෙවර ශිෂ්‍යත්වයේ අභියෝගතා පරීක්ෂණ පළමු (1) පත්‍රයට පිළිතුරු ලිවීමට පැය 01 ක කාලයක් සහ දෙවන (2) පත්‍රයට ලිවීමට පැය 01 ක් සහ මිනිත්තු 15 ක් හිමිවනවා.

දෙමව්පියන් තම දරුවන්ට මානසික පීඩනයක් නොදී සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දීමට අවශ්‍ය පරිසරය සකසා දිම වැදගත් වන බව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසුරිය මහත්මිය ප්‍රකාශ කළා.

විභාගය ලිවිමේදී ප්‍රශ්න පත්‍රයේ සඳහන් සියුම් තැන් ගැන සැලකිලිමත් වෙමින් සාර්ථකව විභාගයට මුහුණ දෙන ලෙසටයි විශේෂඥ වෛද්‍යවරිය දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 07 වනදා සිට මාර්තු මස 05 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2438 කදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

උසස් පෙළ විභාගය වෙනුවෙන් මෙවර පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන් සංඛ්‍යාව 3,45,242 ක්.

ඉන් 2,79,141 ක් පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 66,101 ක් වනවා.

එම විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316 ක් ස්ථාපිත කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පැනවූ සංචරණ සීමා සහ පාසල් වසා තැබීම හමුවේයි 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාග කල්දමනු ලැබුවේ.

මේ අතර විභාග පැවැත්වෙන කාලසීමාව තුල විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්වල ඩෙංගු මර්දන ධූමායන කටයුතු සිදු කිරීම සඳහා මේවන විටත් අදාළ බලධාරීන් වෙත දැනුම්දී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කර ගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ඔවුන් සඳහන් කළේ.

***************************************

‘පානදුර සළිදු’ ගේ රුපියල් කෝටි 7 කට අධික හෙරොයින් සමග අයියා මලෝ කොටුවෙයි

(21.01.2022 – 14:22 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග අයියා මලෝ දෙදෙනෙකු (2) අද (21) බණ්ඩාරගම සහ අලුබෝමුල්ල පොලිස් ස්ථාන ඒකාබද්ධව කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අදාළ මත්කුඩු තොගය, විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව් කියන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකු වන “පානදුර සළිදු” නමැත්තාගේ ජාවාරමට අදාළ මත්කුඩු බවට පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

අදාළ සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර අලුබෝමුල්ල, ශාන්ති මාවතේ දෙමහල් නිවසක මත්කුඩු පැකට් කරමින් සිටියදීයි.

අදාළ නිවස හෙරොයින් මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර, මත්කුඩු කිලෝ එකක් (1) පැකට් කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක (2,50,000) මුදලක් ‘පානදුර සළිදු’ නැමැත්තා ඔවුන්ට ගෙවන බවට සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලවල දී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ පානදුර අළුබෝමුල්ල, ශාන්ති මාවතේ, තැඹිලි කොටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 සහ 30 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් බව ද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර අපරාධ ස්ථාන පරීක්ෂනාගාර නිලධාරීන් ද පරීක්ෂණ සිදුකල අතර ,මත්කුඩු සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලත් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ පොලිස් නිල සුනඛ ලොයිරා (1431) ද ගෙන්වා නිවස සහ අවට ප්‍රදේශය වැඩිදුරටත් පරීක්ෂා කරනු ලැබුවා.

මේ අතර, ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කුඩු අංජු’ නමැත්තාගේ බවට සැක කෙරෙන රුපියල් කෝටි එකහමාරක (1,50,00,000) පමණ දේපල තහනම් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් මෙලෙස තහනමට ලක් කරන ලද දේපල අතර මොරටුමුල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස සහිත ඉඩම් දෙකක් (2) සහ රථ වාහන කිහිපයක් ද වන බව සඳහන්.

***************************************

කලාකරුවන්ට කිසිවිටකවත් වාරණ පැනවිය නොහැකි‍යි – අගමැති

(21.01.2022 – 15:45 +0530 – hirunews.lk/sinhala)

කලාකරුවන්ට කිසිවිටකවත් වාරණ පැනවිය නොහැකි බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කලාකරුවන් සඳහා රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

කලාකරු රක්ෂණ ඔප්පු ප්‍රදානය, ජාතික උරුම ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හා ඊට සමඟාමීව කලාකරු දත්ත පද්ධතිය එළිදැක්වීමේ උත්සවය ඊයේ (20) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.

***************************************

ඉතිහාසය වෙනස් කළ ජනපතිගේ හදිසි රාජ්‍ය ආයතන නිරීක්ෂණය

(21.01.2022 – 15:52 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හදිසි නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

‘ගොවිජන සමාජයේ සියලු කෘෂිකාර්මික ඉඩම්වල තිරසර සංවර්ධනය’ දැක්ම කරගත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙවර වනුයේ ‘කෘෂිකාර්මික ඉඩම්වලින් ප්‍රශස්ත ඵලදායීතාව ලබාගත හැකි වන පරිදි ආයතනික, සහායක, නෛතික සහ කළමනාකරණ සේවාවක් සැකසීම හා කාලානුරූපව පවත්වාගෙන යාම’යි.

එම අරමුණු නිසි අයුරින් සිදු වන්නේ ද යන්න සොයා බැලීම ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයේ අපේක්ෂාව වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

දශක කිහිපයක් පැරණි එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම සිදු වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ගොවිජන සමාලෝචන මණ්ඩලය, ගොවිජන බැංකු, පාලන, ගිණුම්, සංවර්ධන, නීති, ආයතනික සංවර්ධන (සේවා), ඵලදායී අලෙවි සහ ඉංජිනේරු ජල කළමනාකරණ යන සියලු අංශ අධීක්ෂණයට ලක් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැය තුනකට (3) ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමග සාකච්ඡා කරමින් කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සොයා බලා තිබෙනවා.

හරිත කෘෂිකර්මාන්තයක් සහ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය රජයේ ප්‍රතිපත්තිය වනවා.

මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය සහ ලැබෙන අස්වැන්න පිළිබඳ විමර්ශනය කර, අඩුපාඩු මගහරවා ගනිමින් යළ කන්නයට සූදානම් විය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 34 කට අවස්ථාව දී තිබුණා.

ඒ ඒ ආයතනවල කාබනික පොහොර මගින් ලද අස්වැන්න සහ සාර්ථකත්වය පිළිබඳ සොයා බලා ඉහළ ප්‍රගතියක් ලබා ඇති ආයතන දිරිගන්වා එම ආයතනවල නිෂ්පාදන වැඩි කිරීමට තීරණය වී තිබෙනවා.

එමෙන්ම ඉදිරි කන්නවලදී ගොවීන් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට තාක්ෂණික දැනුම ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පසුගිය වසර දෙක (2) තුළ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන මගින් අනුරාධපුරය, හම්බන්තොට, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකළපුව ඇතුළු දිස්ත්‍රික්ක 9 ක සියලුම පුරන් කුඹුරු අස්වැද්දීමට හැකි වූ බව නිලධාරින් පෙන්වා දී තිබෙනවා.

දිවයින පුරා ඇති සෙසු පුරන් කුඹුරු ද හඳුනාගෙන ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අයත් වනවා.

ඒවා පුරන් වීමට හේතු විමර්ශනය කර, හිමිකරුවන් සහ ගොවි සංවිධාන මැදිහත්ව අස්වැද්දීමට පියවර ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

වී ගොවිතැන සඳහා යොදාගත නොහැකි ඉඩම් වෙනත් භෝග සඳහා යොදා ගත යුතු බව ද ඔහු අවධාරණය කළා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක ශාඛා 559 කින් යුත් ගොවිජන බැංකු මගින් ගොවීන්ගේ තැන්පතු භාරගැනීම සහ ණය දීම සිදු කෙරෙනවා.

රුපියල් ලක්ෂ දෙකේ (2) සිට දහය (10) දක්වා කන්න සහ වාර්ෂික ක්‍රමවේදයට ණය ලබා දෙන අතර එමගින් වෙනත් පාර්ශ්වයන්ගෙන් අධික පොළි මත ණය මුදල් ගැනීමෙන් ගොවීන්ට මුහුණ දීමට සිදු වන ගැටලු රැසකින් මිදිය හැකි බව නිලධාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා.

මෙහි ඇති වැදගත්කම සලකා ගොවිජන බැංකු ශක්තිමත් කිරීමට සහ ඉහළ මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීම වෙනුවෙන් මැදිහත් වීමට ඇති හැකියාව සොයා බලන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

***************************************

මහරගම නගරාධිපති පොදු වැසිකිළියක් කඩයි, පළාතම ගඳ ගසයි

(21.01.2022 – 16:01 +0530 – hirunews.lk/sinhala)

මහරගම නගර මධ්‍යයේ පිහිටි පොදු වැසිකිලිය නගර සභා අනුමැතියකින් තොරව කඩා ඉවත් කිරීමට මහරගම නගරාධිපති ටිරාජ් පියරත්න අද (21) උදෑසන ක්‍රියා කර තිබෙනවා.

මෙම ක්‍රියාමාර්ගයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එහිදී නගරාධිපතිවරයා හා මන්ත්‍රීවරුන් අතරත් මන්ත්‍රීවරුන් හා නගර සභා සේවකයින් අතරත් උණුසුම් වචන හුවමාරු වීම් සිදු වුණා.

එහිදී වැසිකිළි පද්ධතිය කඩා ඉවත් නොකරන ලෙසට හිටපු නගරාධිපතිනිය ඇතුළු මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමඟ නගරාධිපතිවරයා පැමිණ හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාරට පහරදීමක් ද සිදුකර තිබෙනවා.

මේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් සිදු කළ හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර ඉන් අනතුරුව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී තිබෙනවා.

වසර තිහකට (30) අධික කාලයක් පුරා මහරගම නගර මධ්‍යයේ පිහිටි මෙම පොදු වැසිකිලිය දෛනිකව මහරගමට රෙදි වෙළඳාම සඳහා පැමිණෙන දහස් ගණන් ජනයාගේ අවශ්‍යතා ඉටු කළ ස්ථානයක්.

කෙසේ වෙතත් මහරගම නගරාධිපති ටිරාජ් පියරත්න මෙම වැසිකිළි පද්ධතිය කඩා ඉවත් කර ඇත්තේ, ඒ වෙනුවෙන් අලුතින් වැසිකිළි පද්ධතියක් ඉදි කිරීමෙන් තොරවයි.

අද (21) මෙම වැසිකිළි පද්ධතිය කඩා දැමීමට නගර සභා සේවකයින් උත්සාහ දරන අවස්ථාවේ එහි ගිය හිටපු නගරාධිපතිනිය ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස නගරාධිපතිවරයාගේ ඉල්ලා ඇත්තේ, නව වැසිකිළියක් ඉදි කිරීමෙන් අනතුරුව පමනක් මෙය කඩා ඉවත් කරන ලෙසයි.

නමුත් නගරාධිපතිවරයා එම ඉල්ලීමට එකඟ නොවීම හේතුවෙන් එතැනදී උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

මෙහිදී තත්ත්වය පාලනය කිරීමට එම ස්ථානයට පැමිණි මහරගම පොලීසියේ නිලධාරීන් සමඟ ද නගර සභා මන්ත්‍රීවරුන් උණුසුම් වචන හුවමාරුවක යෙදුනා.

කෙසේ වෙතත් විරෝධතාව හමුවේ වැසිකිළිය කඩා දැමීම නැවැත්වීම සඳහා හිටපු නගරාධිපතිනිය ඇතුළු මන්ත්‍රීවරුන් බැකෝ යන්ත්‍රයේ කුල්ල මත ද නැග විරෝධතාවය දැක්වූ අතර, එය ද නොතකා නගරාධිපතිවරයා වැසිකිළි පද්ධතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

***************************************

කලක දි විස වූ පොල්තෙල් යළි ගෙන්වන ලකුණු – දේශීය පොල්තෙලුත් අනතුරේ

(21.01.2022 – 16:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්ය භාරය වන්නේ, අන් කිසිවක් නොව, දේශීය පොල් කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් සංවර්ධිත තත්ත්වයට රැගෙන ඒම බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා පවසනවා.

අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, වත්මන් පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් විදේශීය කර්මාන්තශාලාවක නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් සඳහා ලබාදීමට සූදානම් වන තක්සේරුවේ ගුණාත්මකභාවය ලබා දෙන්නේ කෙසේද යන වගයි.

දේශීය පොල්තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් පවතින මෙම අර්බුදය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රධාන කැඳවුම්කරු කියා සිටින්නේ සභාපතිවරයාගේ මෙම ක්‍රියාවලිය සහ ඔහු විසින් රට තුළට ආනයනික පොල්තෙල් සඳහා සහතිකයක් ලබාදීමට උත්සාහ දැරීම පසුපස යම් බලවේගයක් හෝ කිසියම් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන්නේ ද යන වග ද සැක සහිත බවයි.

මෙතුළින් සිදු වන්නේ අන් කිසිවක් නොව පවතින රජය මෙන්ම ජනතාව ද අසීරුතාවට පත් වන බවයි ප්‍රධාන කැඳවුම්කරු පෙන්වා දෙන්නේ.

එමෙන්ම පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ආනයනික පොල්තෙල් ගෙන්වන්නන්ට අභියෝගයක් ද සිදු කරනවා.

ඒ හැකි නම් ඔවුන් ගෙන්වන පොල්තෙල් බෝතලයේ ආනයනික පොල්තෙල් ලෙස මුද්‍රණය කර වෙළෙඳපොළට මුදා හරින ලෙසයි.

එලෙස මුදා හරින්නේ නම්, ආනයනික පොල්තෙල්වලට වෙළෙඳපොලේ පවතින සැබෑ ඉල්ලුමෙහි අවම වීම මනා ලෙස දැකගත හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

මේ අතර, රජය විසින් තෙල් සඳහා බදු සහන ලබා දී, පොල් සංවර්ධන අධිකාරිය ආනයනික පොල්තෙල් ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීම මගින් සිදුව ඇත්තේ, දේශීය පොල්තෙල් කර්මාන්තයට සහ එහි නියැලෙන දේශීය නිෂ්පාදකයාට මරු පහරක් එල්ල වීම බවත්, එතුළින් අතුරු නිෂ්පාදන කර්මාන්ත රැසක් බිඳවැටීමේ තර්ජනයකට මුහුණදෙන බවත් පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය මෙහිදී අවධාරණය කරනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *