ශ්‍රී ලංකාවේ පළමු පූර්ණ නිර්මාංශ ආහාර වට්ටෝරු ඇතුළත් ග්‍රන්ථය එළිදක්වයි

ශ්‍රී ලංකාවේ පළමු පූර්ණ නිර්මාංශ ආහාර වට්ටෝරු ඇතුළත් ග්‍රන්ථය එළිදක්වයි

*********************************************

ශ්‍රී ලංකාවේ පළමු පූර්ණ නිර්මාංශ ආහාර වට්ටෝරු ඇතුළත් ග්‍රන්ථය එළිදක්වයි

(21.01.2022 – 12:07 +0530 – hirunews.lk/sinhala)

ඉවත දමන දඬුව පවා සරුවට වැවෙන පොළොවක් හිමි පරපුරක් වන අප එදා සිට ම කුස පුරවා ගත්තේ, ගස්වැල්වල පිහිටෙන් හෙරළි, කටුඅල, බතල, කරකොළ, තිබ්බටු, ගොටුකොළ හා සිංහල හාලේ බත්වලින්.

එම ආහාරයට ගත් අපේ මුතුන් මිත්තන් ගත කළේ, නිරෝගී දිවි පෙවෙතක්.

නිරෝගී දිවි පෙවෙතක් ගෙවූ මුතුන් මිත්තන්ගේ රහස් සොයාගෙන යාමේ දී හෙළි වූ ප්‍රධාන කරුණ නම්, එකල ඔවුන් ගත් නිවැරදි නිර්මාංශ ආහාර රටාව ඊට ප්‍රධාන හේතුව බවයි.

එමෙන්ම අවිහිංසාවාදී මිනිසුන් වූ අපේ පැරැන්නන් බොහෝ දෙනෙක් ගෙවූයේ දැහැමි දිවි පෙවෙතක්.

එහි ප්‍රාණඝාතයට හෝ මාංශ අනුභවයට ඉඩක් නොවූ තරම්.

ඒ නිරෝගී, අවිහිංසාවාදී පරපුර යළි මෙරට බිහිකිරීමේ අරමුණ ඇතිව Dharma Voices for Animals (සතුන් වෙනුවෙන් දහම් හඬ) සංවිධානය ශ්‍රී ලංකාවේ දී පළමු වරට පූර්ණ නිර්මාංශ ආහාර වට්ටෝරු ඇතුළත් ග්‍රන්ථයක් එළි දක්වා තිබෙනවා.

ආරෝග්‍යා ලෙස නම්කර ඇති මෙම ආහාර වට්ටෝරු ග්‍රන්ථයේ 100% ක්ම නිර්මාංශ ආහාර වට්ටෝරු සියයකට (100) වැඩි සංඛ්‍යාවක් ඇතුළත්.

එමෙන්ම මෙම ආහාර වට්ටෝරුවල විශේෂත්වය වන්නේ, අවම වශයෙන් කිරි, චීස්, බටර් වැනි සත්ත්ව නිෂ්පාදන හෝ මෙම වට්ටෝරු පිළියෙල කිරීමේ දී අවශ්‍ය නොවීම යි.

ආරෝග්‍ය ආහාර වට්ටෝරු ග්‍රන්ථයේ පළමු පිටපත Dharma Voices for Animals සංවිධානයේ නිර්මාතෘ බොබ් අයිසැක්සන් මහතා අතින් පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරී, පණ්ඩිතාචාර්ය පූජ්‍ය වත්තේගම ශ්‍රී
ධම්මාවාස නායක හිමිපාණන් වෙත පිළිගැන්වූවා.

***************************************

කිරි ගොවීන් තවත් මිල වැඩි කිරීමක් ඉල්ලයි

(21.01.2022 – 12:45 +0530 – hirunews.lk/sinhala)

අවම වශයෙන් දියර කිරි ලීටරයක් සඳහා රුපියල් 150 ක වත් මිලක් ලබාදිය යුතු බව කිරි ගොවීන් පවසනවා.

ඒ අනුව දැනට රුපියල් 85 ත් 95 ත් අතර මිලක පවතින දියර කිරි ලීටරයක් සඳහා රුපියල් 5 ක මිල වැඩි වීම ප්‍රමාණවත් නොවන බවයි එම ගොවීන් පෙන්වා දෙන්නේ ෴

***************************************

ඖෂධ ආනයනයට මහා භාණ්ඩාගාරයෙන් මුදල් මුදා හැරෙයි

(21.01.2022 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ ආනයනය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ උපදෙස් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඇමරිකානු ඩොලර් මිලියන 11 ක් සහ ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ඇමරිකානු ඩොලර් මිලියන 5.3 ක මුදලක් ඊයේ (20) මුදා හැරි බව ඖෂධ නිෂ්පාදන, සැපැයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළා.

පවතින තත්ත්වය යටතේ ඇතැම් ඖෂධවල හිඟයක් පැවතිය හැකි බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා කියා සිටියේ ෴

***************************************

උස්වැටකෙයියාව මුහුද රළු වෙයි

(21.01.2022 – 12:54 +0530 – hirunews.lk/sinhala)

උස්වැටකෙයියාව – මීගමුව මුහුදු තීරය අද (21) අලුයම සිට දැඩි රළු ස්වභාවයක් ගෙන තිබෙනවා.

කෙසේ නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මෙය සාමාන්‍ය තත්වයක් බවයි.

එහෙත් දුන්ගල්පිටිය ප්‍රදේශයේ මහ වෙරළ, පුංචි වැල්ල ආදී ප්‍රදේශවල ධීවරයන්ගේ මාදැල් මුහුදට ගසාගෙන ගොස් ඇති බව සඳහන්.

උස්වැටකෙයියාව මීගමුව මුහුදු ප්‍රදේශයෙන් අද (21) අලුයම 2 ට පමණ විශාල ශබ්දයක් ඇසුණු බව ප්‍රදේශවාසීන් සහ ධීවරයින් ප්‍රකාශ කළා.

නාරා ආයතනයෙන් ද හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, එම ආයතනයේ සාගර විද්‍යා අංශයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය අරුල් ආනන්දන් කියා සිටියේ, මෙය සාමාන්‍ය තත්ත්වයක් බව යි.

***************************************

වනාන්තර හෙළි පෙහෙළි කළ පුද්ගලයින්ට එරෙහි ව නීතිමය පියවර

(21.01.2022 – 13:58 +0530 – hirunews.lk/sinhala)

සෝමාවතිය රක්ෂිත වනාන්තර කලාපයේ අනවසර හෙළි පෙහෙළි කිරීම් සිදු කළ පුද්ගලයින් රැසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව නීතිපතිවරයා අද (21) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, සෝමාවතිය රක්ෂිත වනාන්තර කලාපය හෙළි කිරීම සහ ඒ ආශ්‍රිත ව මාර්ගයක් ඉදි කිරීමට ගෙන ඇති තීරණවලට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද (21) කැඳවනු ලැබූ අවස්ථාවේදී යි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර, එහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සෝමාවතිය රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව මාර්ගයක් ඉදි කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම රක්ෂිත වනාන්තර කලාපය හෙළි පෙහෙළි කළ පුද්ගලයින් 200 කට අධික පිරිසකට එරෙහිව මේ වනවිටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

එම කරුණු සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දන්වා සිටීමෙන් අනතුරු ව පෙත්සම් විභාගය අවසන් කිරීමට ද අභියාචනාධිකරණය නියෝග කළා.

***************************************

Marina මහජන මංතීරුවේ ඡායාරූප ගැනීම සඳහා අය කෙරෙන මිල ගණන් ප්‍රකාශයට පත්කෙරෙයි

(21.01.2022 – 14:10 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරයේ පසුගිය දා විවෘත කෙරුණු Marina මහජන මංතීරුව අවට ප්‍රදේශයේ සිදු කෙරෙන ඡායාරූප ගැනීමේ කටයුතු සහ වීඩියෝගත කිරීමේ කටයුතු සඳහා අය කෙරෙන මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කොළඹ වරාය නගරය පෞද්ගලික සමාගම විසින් මෙලෙස ප්‍රකාශයට පත්කර ඇති මිල ගණන් අනුව පෞද්ගලික මට්ටමේ ඡායාරූපගත කිරීමක් හෝ වීඩියෝ ගත කිරීමක් සඳහා පුද්ගලයින් 2-5 ත් අතර සහභාගීත්වයක් ඇතිව අදාළ පසුතලය භාවිතා කිරීමට පැය 3 කට අඩු කාලයක් සඳහා රුපියල් තිස් දහසක් (30,000) අය කෙරෙනවා.

එමෙන්ම අදාළ රූගත කිරීමට පුද්ගලයින් 6-10 ත් අතර සංඛ්‍යාවක් එක් වන්නේ නම් පැය 3 කට අඩු කාලයක් සඳහා අය කෙරෙන මුදල රුපියල් පනස් දහසක් (50,000).

පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පැය තුනකට (3) අඩු කාලයක් සඳහා අය කෙරෙන මුදල සාකච්චා කරගත හැකි බවයි එම ගාස්තු සටහනේ දැක්වෙන්නේ.

එමෙන්ම වාණිජමය රූගත කිරීම් සඳහා පුද්ගලයින් 10 දෙනෙකුට අඩු පැය තුනකට (3) අඩු කාලයක් සඳහා රුපියල් ලක්ෂයක් (1,00,000) අය කරන බවයි කොළඹ වරාය නගරය පෞද්ගලික සමාගම පවසන්නේ.

එමෙන්ම ඔවුන් නිකුත් කර ඇති මෙම අය කිරීමේ ගාස්තු සටහනේ එම වාණිජමය රූගත කිරීම සඳහා පුද්ගලයින් 10 දෙනකු වැඩියෙන් එක් වන්නේ නම් පැය තුනකට (3) අඩු කාලයක් සඳහා වන මුදල සාකච්චා කරගත හැකි බවයි ඔවුන් දන්වා ඇත්තේ.

මේ අතර මීට සති දෙකකට (2) පමණ පෙර මහ ජනයා සඳහා විවෘත වූ කොළඹ වරාය නගරය Marina මහජන මංතීරුවට මේ වන විට අලාභහානි සිදු වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රාශියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එම ඡායාරූපවලින් දැක්වෙන්නේ Marina මහජන මංතීරුවේ බිම අතුරා ඇති යම් යම් කොටස් කැඩී බිඳී ගොස් ඇති ආකාරය යි.

මේ අතර පසුගිය දින ගණනාව මුළුල්ලේ මෙම Marina මහජන මංතීරුවට පැමිණේ අති විශාල ජනකාය විසින් භාවිතා කර ඉවත දැමූ ප්ලාස්ටික් බෝතල් බීම බදුන් ආදිය ඒ අසල මුහුදු තීරයේ එක්රැස් වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමෘද්ධිය පරිසර ආරක්ෂණ අධිකාරිය අවධාරණය කරන්නේ කොළඹ වරාය නගරය නැරඹීමට පැමිණෙන පුද්ගලයින් ඒ අවට සාගර කලාපයට අපද්‍රව්‍ය බැහැර කළහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් දහස් දැක්වූ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර කියා සිටියේ, ඒ අවට සාගර කලාපයට අපද්‍රව්‍ය බැහැර කිරීම වැලැක්වීම සඳහා ‘පෝට් සිටි’ ආයතනය සමග සම්බන්ධ වී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම මේ අවට ප්‍රදේශයට පැමිණෙන දේශීය සංචාරකයින්ගේ සභාපතිනිය ඉල්ලා සිටින්නේ, කොළඹ වරාය නගර Marina මහජන මංතීරුව ප්‍රදේශය සහ ඒ අවට සාගර කලාපය ආරක්ෂා කර ගැනීම සඳහා වගකීමෙන් කටයුතු කරන ලෙසයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *