සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය වර්ජනයකට

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය වර්ජනයකට

*********************************************

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය වර්ජනයකට

(21.01.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයන් ලබන 26 වැනි දා බස්නාහිර පළාතේ රෝහල් තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ගුරු සේවාවට සමගාමී ව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ද වැටුප් විෂමතා ඉවත් කරන ලෙස රජයට බල කරමින්.

ඒ අනුව හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය යන අංශවලට අයත් සෞඛ්‍ය සේවකයන් ලබන 26 වැනි දා එම වර්ජනයට එක් වීමට නියමිත යි.

කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවේ දී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ, එම වර්ජනයෙන් පසුව ද විසඳුමක් නො ලැබුණ හොත් ලබන 30 වැනි දා සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව යි ෴

***************************************

ගත වූ පැය 24 දී ප්‍රදේශ රැසකින් ම හදිසි අනතුරු

(21.01.2022 – 07:22 +0530 – hirunews.lk/sinhala)

හොරොව්පතාන පොලිස් වසමේ හොරොව්පතාන – මැදවච්චිය මාර්ගයේ දී යතුරුපැදි අනතුරක් සිදු වී තිබෙනවා.

වේගය පාලනය කරගත නො හැකි ව යතුරු පැදිය මාර්ගයේ පෙරළී ඇති අතර, බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය සිද්ධියෙන් මිය ගිය බව වාර්තා වෙනවා.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 21 ක ඉහළ අගුනච්චිය – හොරොව්පතානේ පදිංචිකාරියක්.

මාරවිල පොලිස් වසමේ පෑලියගොඩ – පුත්තලම මාර්ගයේ සිදු වූ යතුරු පැදි අනතුරකින් වයස අවුරුදු 73 ක පුද්ගලයෙකු මිය බව වාර්තා වෙනවා.

ස්කැමල් රථයක, යතුරු පැදිය ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

මේ අතර කැබිතිගොල්ලාවේ දී සිදු වූ ලොරි රථ අනතුරකින්, ලොරි රථයේ පසුපස ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) මිය ගොස් තිබෙනවා.

ලොරි රථය වංගු සහිත ස්ථානයකින් ගමන් කිරීමේ දී රියදුරුට පාලනය කරගත නො හැකි වීමෙන්, ලොරි රථය කානුවකට පෙරළී ඇති බව පොලිසිය වාර්තා කරනවා.

ලොරියට ම යටවීමෙන් බරපතළ තුවාල ලැබූ මරණකරුවන් දෙදෙනා (2), කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගිය බව යි සඳහන් වන්නේ.

ඔවුන් වයස අවුරුදු 25 හා 28 යන වයස්වල පසුවන සියඹලාගස්වැව හා කැබිතිගොල්ලෑව ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

***************************************

දකුණු කොරියානු ශ්‍රම වෙළෙඳපොලෙහි ශ්‍රී ලංකාවට වැඩි ඉඩක්

(21.01.2022 – 08:02 +0530 – hirunews.lk/sinhala)

දකුණු කොරියානු ශ්‍රම වෙළඳපොලෙහි වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගන්නා බව එරට ජාතික සභාවේ කතානායක පාක් බියෝන්ග් – සියෝග් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (20) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ අවස්ථාවේදීයි.

මේ වනවිට දකුණු කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් 22,000 කට ආසන්න පිරිස ඉහළ ශ්‍රම දායකත්වයක් ලබා දෙන බව දකුණු කොරියානු කතානායකවරයා එහිදී ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ රැකියා, වෘත්තීය පුහුණු හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහය ලබා දෙන බවයි.

ඒ සඳහා ආධාර ලබාදීමටද දකුණු කොරියානු කතානායකවරයා එහි දී එකඟතාවය පළ කර තිබෙනවා.

ජනාධිපතිවරයා එහි දී සඳහන් කළේ, ආසියාවේ කෙන්ද්‍රස්ථානයක් ලෙස ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව තුල පුළුල් අවකාශයක් පවතින බවයි.

එම අවස්ථා උදාකර ගැනීමට කොරියාවේ ප්‍රධාන පෙළේ, සමාගම් දිරිගන්වන ලෙසටයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ෴

***************************************

සති අන්තයේ සංචාරකයන් උද්‍යාන නැරඹීමෙන් රුපියල් අනූ තුන් ලක්ෂයක ආදායමක්

(21.01.2022 – 08:45 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සති අන්තයේ දී මෙරට උද්‍යාන නැරඹීම සඳහා පැමිණි දේශීය සහ විදේශීය සංචාරකයින්ගෙන් රුපියල් 93,31,820 ක ආදායමක් උපයාගැනීමට හැකි වී තිබෙනවා.

සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ දීර්ඝ සති අන්ත නිවාඩුවක් ලැබීමත් සමඟ දේශීය විදේශීය සංචාරකයින් වැඩි පිරිසක් මෙරට උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති බවයි.

එලෙස වැඩිම පිරිසක් උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇත්තේ පසුගිය 16 වනදා වන අතර, එදින දේශීය සංචාරකයින් 23,342 ක් සහ විදේශීය සංචාරකයින් 425 දෙනෙකු උද්‍යාන නරඹා තිබෙනවා. එදින පමණක් උපයා ඇති ආදායම රුපියල් 28,59,840 ක් ෴

***************************************

2021 දී මෙරට තේ කර්මාන්තයේ වර්ධනයක්

(21.01.2022 – 09:03 +0530 – hirunews.lk/sinhala)

ගතවූ 2021 වසරේ දී විවිධ අභියෝග හමුවේ මෙරට තේ කර්මාන්තයේ වර්ධනයක් වාර්තා වනවා.

එහිදී තේ නිෂ්පාදනය, අපනයනය මෙන්ම ආදායම්ද ඉහළ ගොස් ඇති බවයි තැරැව්කාර සමාගම් පෙන්වා දෙන්නේ.

2021 වසරේ දී මෙරට තේ නිෂ්පාදනය 2020 වසරට සාපේක්ෂව 7.35% කින් ඉහළ ගිය අතර, වසරේ මුල් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 299.34 ක්.

කෙසේ නමුත් එය, 2019 වසරේ වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 300.12 ක නිෂ්පාදනයට සාපේක්ෂව නාමික පහත වැටීමක් ලෙස සැළකිය හැකියි.

2021 වසරේ දී ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 286.02 ක් අපනයනය කළ අතර, එය, 2020 ට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 20.4 ක ඉහළ යෑමක්.

එමෙන්ම 2021 වසරේ දී ශ්‍රී ලංකාව තේ අපනයනයෙන් රුපියල් බිලියන 263.35 ක ආදායමක් උපයා ඇත්තේ 2020 වසරට වඩා රුපියල් බිලියන 33.18 ක් උපයමින්.

එමෙන්ම එය, ශ්‍රී ලංකාව මෙතෙක් වසරක දී තේ අපනයනයෙන් වැඩිම ආදායම, එනම් රුපියල් බිලියන 240.6 ක් වාර්තා කළ 2019 යේ ආදායම් වාර්තාවද අභිබවවනවා.

මෙරට තේ කර්මාන්තය කාලගුණ වෙනස මෙන්ම රසායනික පොහොර හිඟයට මුහුණ දෙමින් මෙම වර්ධනය වාර්තා කිරීම විශේෂත්වයක් ෴

***************************************

මිදිගම පුද්ගල ඝාතනයට සම්බන්ධ අයෙක් සැකපිට අත්අඩංගුවට

(21.01.2022 – 09:15 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (20) රාත්‍රී අටයි තිහට (08}30) පමණ වැලිගම පොලිස් බල ප්‍රදේශයේ මිදිගම ප්‍රදේශයේ දී සිදු කෙරුණු 47 හැවිරිදි පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසනවා.

අදාළ පුද්ගලයා මෙම ඝාතනය සඳහා භාවිත කළ පිස්තෝලය ඝාතකයාට ලබාදුන් පුදගලයා බවට යි සැක කරන්නේ.

මිදිගම බමුණු ගොඩ ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතු ව ජීව අත්බෝම්බයක් ද තිබුණු බව වාර්තාවනවා.

මෙලෙස වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ‘මහත්තයා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් ෴

+++++++++++

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන 4 ක් එකිනෙක ගැටේ

(21.01.2022 – 11:13 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර අද (21) උදෑසන සිදු වු රිය අනතුරක් හේතුවෙන් කොට්ටාව පිටවීමේ දොරටුව ආසන්නයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතිනවා.

කිලෝමීටර් 1.7 කණුව ආසන්නයේ දී මාතර සිට කොට්ටාව දෙසට ධාවනය වු වෑන් රථයක් සහ මෝටර් රථ 3 ක් මෙලෙස එකිනෙක ගැටී ඇති බව පොලිසිය සඳහන් කළා.

අනතුරට ලක් වූ වාහන අධිවේගී මාර්ගයෙන් ඉවත් කිරිමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් තුන්දෙනෙකු (3) ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

+++++++++++

පොහොර කර්මාන්තශාලාවකට විරෝධය පා පිටිපන ප්‍රදේශවාසීන් විරෝධතාවක

(21.01.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශයේ අලුතින් ආරම්භ කරන ලද පොහොර කර්මාන්තශාලාවකින් හමන දුර්ගන්ධය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව පිටිපන ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් අද (21) එම පොහොර කර්මාන්තශාලාවට විරෝධය පළ කරමින් ජාඇළ – මීගමුව ප්‍රධාන මාර්ගය පිටිපන දේවස්ථානය අසළින් අවහිර කරමින් විරෝධතාවක නිරතවුණා.

මේ එහිදි අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් :

***************************************

මන්ත්‍රී පාඨලීට විශේෂ රෝගී තත්ත්වයක් නොමැති බව අධිකරණ වෛද්‍ය නිලධාරියා දන්වයි

(21.01.2022 – 09:57 +0530 – hirunews.lk/sinhala)

රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩුවට සහභාගී වීමට තිබියදී පසුගිය 10 වැනිදා ‘ලංකා හොස්පිටල්ස්’ වෙත ඇතුලත් වූ පාඨලී චමිපික රණවකට රෝගී තත්ත්වයක් නොමැති බව කොළඹ ප්‍රධාන අධිකරණ නිළධාරියා විසින් කොළඹ මහාධිකරණයට දන්වා තිබෙනවා.

ඒ අධිකරණ නියෝගයකට අනුව පාඨලී චම්පික රණවකට සිදු කළ වෛද්‍ය පරික්ෂණ 10 කින් අනතුරුවයි.

මෙම නඩුව අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ ඉකුත්දා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාද අධිකරණය හමුවේ පෙනී සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ඉකුත් 11 වනදා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරු අසනීපව රෝහල් ගත වී ඇති බව සඳහන් කරමින් වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධනගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව සිහිපත් කළා.

එම වාර්තාව පරික්ෂා කළ අධිකරණය එය නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අපරාධ කොට්ඨාශයට නියම කළ බව සිහිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා රෝහල්ගතව සිටින බව කියන චම්පික රණවකගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝගයක් නිකුත් කළ බවද සඳහන් කර සිටියා.

ඒ අනුව නඩුව ආරම්භයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් කරුණු දක්වා සිටියා.

“ස්වාමීනි… අධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව රෝහල්ගතව සිටි විත්තිකාර පාඨලී චම්පික රණවක සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන ගෙන් අපරාධ කොට්ඨාශය නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එම ප්‍රකාශයට අනුව මෙම විත්තිකරු ඉකුත් 10 වනදා රෝහල් ගත වී තිබෙනවා. වකුගඩු අමාරුව, හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝගී තත්ත්වයන් නිසා රෝහල්ගත වූ බවයි එහි සඳහන් කර තිබෙන්නේ. මොහුට මාසයක පමණ කාළයක් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බව සඳහන් කර තිබුණත් එම වෛද්‍ය වාර්තාව නිකුත් කරන අවස්ථාවේදී විත්තිකරු තමන්ට 11 වනදා නඩුවක් පවතින බව සඳහන් කර නැහැ. මේක බරපතළ තත්ත්වයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ආකාරයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න පුළුවන්ද? මෙය නඩුව චේතනාන්විතව කල් තබා ගැනීමේ අරමුණින් සිදු කළ ක්‍රියාවක්. අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විත්තිකාර චම්පික රණවක සම්බන්ධයෙන් පරීක්ෂණ 10 ක් පමණ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ සියල්ලේම විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය ‘සාමාන්‍ය’ බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා නඩු විභාගය කල් දමා ගැනීමේ අරමුණින්ම විත්තිකරු මෙම ක්‍රියාව සිදුකර තිබෙන බව අපට පෙනී යනවා”

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මෙම නඩුව කඩිනමින් හා කාර්යක්ෂම අවසන් කර ගැනීමට පැමිණිල්ල අපේක්ෂා කරන බවද දන්වා සිටියා.

“ස්වාමීනි.. මේ සඳහා එක්කෝ විත්තිකරු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කර නඩු විභාගය පැවැත්විය යුතුයි. එසේත් නැතිනම් එම නඩුව දිනපතා විභාගයට ගත යුතුයි. නඩු විභාගය කාර්යක්ෂමව හා කඩිනමින් පවත්වාගෙන යා හැකි නියෝගයක් නිකුත් කරන ලෙස මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න විත්තිකරු හදිසියේ රෝගාතුර වීම නිසා ඔහුට රෝහල්ගත වීමට සිදුවූ බව සඳහන් කළා.

විත්තිකරුට අසනීපයක් වූ විට රෝහල් ගත වන්නේ නඩුව කල් දමා ගැනීමේ අරමුණෙන් නොවන බවත් මෙය තමන්ට තවත් සාමාන්‍ය නඩුවක් බවයි සඳහන් කර සිටියේ.

මෙම විත්තිකරුට හෙට (22) දිනයෙත් වෛද්‍ය පරීක්ෂණයකට භාජන වීමට නියමිතව සිටින බව සඳහන් කළ නීතිඥවරයා නඩු විභාගය කල් තබා ගැනීමේ චේතනාවක් ඔහු තුළ නොවූ බවත් සඳහන් කළා.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විවෘත අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු නිත්‍යානුකූල ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් මෙම නඩු විභාගය කල් දමා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවයි. එය ඔහුට ඇති නිත්‍යානුකුල අයිතියක් බවද විනිසුරුවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා සිදුකළ පරීක්ෂණවලින් විත්තිකරු ‘සාමාන්‍ය’ තත්ත්වයේ පසුවන බව සඳහන් කර ඇති බවත්, විත්තිකරු අධිකරණයේ පෙනී සිටීමට සුදුසු සෞඛ්‍ය තත්වයේ පවතින බවත් ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවක් කඩිනමින් අවසන් කිරීම අධිකරණයේ අරමුණ බව සඳහන් කළා.

ඒ සඳහා නීතිඥවරුන්ගේ පහසුව සහ අධිකරණයේ පහසුව යන කාරණා තුලනාත්මකව සලකා බලා එම අරමුණ ඉටුකර යුතු ගත යුතු බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

ඉන් අනතුරුව දෙපාර්ශ්වයේ එකඟතාවය මත මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වනදා සහ 23 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළා.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16 ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලු‍ම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

***************************************

ලියාපදිංචි අපරාධකරුවෙකු අත් අඩංගුවට

(21.01.2022 – 10:47 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළියේ මතුරට ප්‍රදේශයේ සිට මහනුවර පුජාපිටිය ප්‍රදේශයට මහ රෑ පැමිණ වෙළඳසැල් හතක් (7) බිඳ දේපළ සොරා ගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු පූජාපිටිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මතුරට ප්‍රදේශයේ සිට මහනුවරට පැමිණ ඇති මෙම සැකකරු එදිනම රාත්‍රියේ පූජාපිටිය නගරයේ බස් රථයකින් පැමිණ රාත්‍රී 12 ට පමණ පූජාපිටිය නගරයේ වෙළෙඳසලක් බිඳ මුදල් සහ භාණ්ඩ සොරාගෙන ඇති අතර, පසු ව පූජාපිටිය නගරයේ සිට කිලෝ මීටර් හයක් (6) පමණ දුරින් පිහිටි මැදවෙල නගරයට පයින්ම ගොස් එහි දී මාර්ගය දිගේ වෙළෙඳසල් හයක් (6) කඩා මුදල් සහ දේපළ සොරා ගෙන ඇති බව වාර්තා වෙනවා.

මැදවෙල නගරයේ ව්‍යාපාරිකයෙකු අලුයම හතරට (04:00) පමණ සිය වෙළෙඳසලට පැමිණි අවස්ථාවේ දී සැක කටයුතු පුද්ගලයෙකු සිටිනු දැක ඒ ගැන විමසා බැලීමේ දී ඔහු පැන දුවන්නට සූදානම් වී ඇති අතර, ඒ අවස්ථාවේ අසල්වැසි කිහිප දෙනෙකු ද සම්බන්ධ කරගෙන සැකකරු අල්ලා පොලිසියට භාර දුන් බව යි වාර්තා වෙන්නේ.

පූජාපිටිය පොලිසිය සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශණයේ දී සැකකරු පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයේ එදින පමණක් වෙළෙඳසල් හතක් (7) බිඳ දේපළ සහ මුදල් සොරා ගෙන ඇති බවත් මෙයට අමතරව උඩදුම්බර ඇතුළුව ප්‍රදේශ ගණනාවක ද වෙළෙඳසල් බිඳ මුදල් සහ දේපළ සොරාගෙන ඇති බවත් පොලිසිය සොයාගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මතුරට ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ලියාපදිංචි අපරාධකරුවෙක්.

සැකකරු, ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිත අතර, පූජාපිටිය පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

***************************************

බොරැල්ල කනත්ත අසල හදිසි ගින්නක්

(21.01.2022 – 11:04 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල කිතුලවත්ත ප්‍රදේශයේ නිවාස පේළියක හදිසි ගින්නක් ඇති වී ඇති බව වාර්තා වෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාව විසින් ගිනි නිවීමේ රථ 3 ක් යොදවා ඇති බව යි වාර්තා වෙන්නේ.

මෙම හදිසි ගින්න ඇති වීමට හේතුව හෝ ඉන් සිදු වී ඇති දේපොළ හානිය පිළිබඳ මෙතෙක් නිශ්චිත වාර්තාවන් පළ වී නෑ.

මේ අතර, මේ වනවිට මෙම ගින්න සම්පූර්ණයෙන් ම පාලනය කර ඇති බව කොලඹ ගිනි නිවීමේ ඒකකය පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *