කලකට පසු කොරෝනා ආසාදිතයින් 800 පනියි – කොවිඩ්වලින් පසු දියවැඩියාවත්

කලකට පසු කොරෝනා ආසාදිතයින් 800 පනියි – කොවිඩ්වලින් පසු දියවැඩියාවත්

*********************************************

කලකට පසු කොරෝනා ආසාදිතයින් 800 පනියි – කොවිඩ්වලින් පසු දියවැඩියාවත්

(20.01.2022 – 07:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ට ඉන් පසුව වයස් භේදයකින් තොරව දියවැඩියාව හටගැනීමේ ප්‍රවණතාවක් පවතින බව නවතම පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 829 ක් ඊයේ (19) වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,98,536 ක් දක්වා ඉහළ ගියා.

මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව යළිත් 800 සීමාව ඉක්මවා ගියේ කලකට පසුවයි.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,243 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (19) වාර්තා වූ කොරෝනා මරණ 12 ත් සමගයි.

මෙවන් පසුබිමක ඔමික්‍රෝන් ප්‍රභේදය සමග රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් සමාජය තුළ බහුලව වෙසෙන බව අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

කොළඹ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට සහ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට සියලු පුරවැසියන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක කියා සිටියේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම හේතුවෙන් ඔවුන්ට පසු කාලයේ දියවැඩියාව ඇති වීමේ ප්‍රවණතාවක් පවතින බවයි.

ඒ හේතුවෙන් කොරෝනා ආසාදනය වූ සෑම පුද්ගලයෙකුම රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළා ෴

+++++++++++

කොරෝනා ආසාදිත අපේක්ෂකයින්ට වෙනම විභාග මධ්‍යස්ථාන

(20.01.2022 – 13:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත ව සිටින මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත අපේක්ෂකයින් වෙනුවෙන් වෙන ම මධ්‍යස්ථාන 108 ක් ස්ථාපිත කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිද්දා (22) පැවැත්වීමට නියමිතයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 3,40,507 ක් සහභාගී වනවා.

ඒ සිංහල මාධ්‍යයෙන් 2,55,062 ක් සහ දෙමළ මාධ්‍යයෙන් 85,445 ක් වශයෙන්.

විභාගය මධ්‍යස්ථාන 2943 කදී පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496 ක් ද ස්ථාපිත කර තිබෙනවා.

කොවිඩ්-19 ව්‍යවසනය හමුවේ වුවද කිසිම දරුවකුට අසාධාරණයක් නොවී කොවිඩ් ආසාදිත හා නිරෝධායනයට ලක්වී ඇති දරුවන්ට විශේෂ ක්‍රමවේදයක් යටතේ විභාගයට ලිවීමට පහසුකම් සළසා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කළේ.

කොවිඩ් ආසාදිත දරුවන්ට, කලාපයකට එක් විශේෂිත මධ්‍යස්ථානය බැගින් දිවයින පුරා මධ්‍යස්ථාන 108 ක් ස්ථාපනය කර තිබෙනවා.

කොවිඩ් ආසාධිත දරුවන් තමාට ළඟම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් PCR හෝ Rapid Antigen පරීක්ෂණ වාර්තාව ලබා දී විශේෂ මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.

නිරෝධායනය වන සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන්ට තමාට අදාළ මධ්‍යස්ථානයේම විශේෂ කාමරයක් ස්ථාපනය කර ඇති අතර එහිදී ඔවුන්ට විභාගයට පිළිතුරු ලිවීමට හැකියාව පවතිනවා.

මේ පිළිබඳව දැනටමත් සියලුම විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා.

විභාගයට පැමිණීමේදී දෙමාපියන් ඇතුළු දරුවන් මුව ආවරණ පැළම, දෙඅත් සේදීම, පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම වැනි සෞඛය මාර්ගෝපදේශ වලට අනුව ක්‍රියා කළ යුතුයි.

මෙවර ශිෂ්‍යත්වයේ අභියෝගතා පරීක්ෂණ පළමු පත්‍රයට පිළිතුරු ලිවීමට පැය 01 ක කාලයක් සහ දෙවන පත්‍රයට ලිවීමට පැය 01 ක් සහ විනාඩි 15 ක් හිමිවනවා.

දෙමව්පියන් තම දරුවන්ට මානසික පීඩනයක් නොදී සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දීමට අවශ්‍ය පරිසරය සකසා දිම වැදගත් වන බව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසුරිය මහත්මිය ප්‍රකාශ කළා.

විභාගය ලිවිමේදී ප්‍රශ්න පත්‍රයේ සඳහන් සියුම් තැන් ගැන සැලකිලිමත් වෙමින් සාර්ථකව විභාගයට මුහුණ දෙන ලෙසටයි විශේෂඥ වෛද්‍යවරිය දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 07 වනදා සිට මාර්තු මස 05 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2438 කදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

උසස් පෙළ විභාගය වෙනුවෙන් මෙවර පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන් සංඛ්‍යාව 3,45,242 ක්.

ඉන් 2,79,141 ක් පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 66,101 ක් වනවා.

එම විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316 ක් ස්ථාපිත කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පැනවූ සංචරණ සීමා සහ පාසල් වසා තැබීම හමුවේයි 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාග කල්දමනු ලැබුවේ.

මේ අතර විභාග පැවැත්වෙන කාලසීමාව තුල විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්වල ඩෙංගු මර්දන ධූමායන කටයුතු සිදු කිරීම සඳහා මේවන විටත් අදාළ බලධාරීන් වෙත දැනුම්දී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කර ගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ඔවුන් සඳහන් කළේ ෴

+++++++++++

කොරෝනා ආසාදිතයින් 192 ක් සුව අතට

(20.01.2022 – 15:30 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිතව රෝහල්ගතව සිටි පුද්ගලයින් 192 ක් අද (20) දින පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව, වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරනවා.

ඒ අනුව, මෙරට සුවය ලද සමස්ථ කොරෝනා ආසාදිත පුදගලයින් ගණන 5,68,829 ක්.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14,464 ක් බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

+++++++++++

තවත් කොරෝනා මරණ 12 ක්

(20.01.2022 – 16:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 12 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19) තහවුරු කළ මෙම මරණ 12 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,255 ක් ලෙසටයි.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් (01) මරණයක් ඊයේ (19) තහවුරු කළ මරණ අතර වනවා. ඒ කාන්තාවක්.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමින් දෙදෙනෙකු (02) මෙම මරණ 12 ට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 09 ක් වන අතර ඒ පිරිමි 06 ක් සහ කාන්තාවන් 03 ක් වශයෙන්.

මේ අතර ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 5,98,536 ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් මේවන විට රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 14,464 ක්.

සුවය ලැබූ 5,68,829 ක් නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා ෴

+++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 827 ක්

(20.01.2022 – 19:24 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 827 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 5,99,363 ක් ලෙසටයි.

අද (20) හඳුනාගත් ආසාදිතයන් 827 අතර විදෙස්ගතව සිට පැමිණි 3 දෙනෙකු ද වනවා.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 15,279 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,68,829 ක්.

මෙරටින් කොරෝනා මරණ 15,255 ක් වාර්තාවී ඇති අතර ඒ අද (20) වාර්තා කළ මරණ 12 ත් සමගින් ෴

+++++++++++

කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් වාර්තා වීම ඉහළට

(20.01.2022 – 22:36 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් වාර්තා වීම මේවන විට ඉහළ ගොස් තිබෙනවා.

මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ ඉහළ යාමක් දැකිය හැක්කේ ගතවූ දීර්ඝ සති අන්ත නිවාඩුවෙන් පසුවයි.

පසුගිය ඔක්තෝබර් 01 දාසිට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1000 ට වඩා පහළ ගිය අතර දින කිහිපයක් හැර සෙසු දිනවලදී එම අගය පැවතියේ 800 ට අඩුවෙන්.

මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාද කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොළඹ පොලිස් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේවන විට කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් වාර්තා වීමේ ඉහළ යාමක්ද දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ගෙවුණු දිනයේදී මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 829 ක් වාර්තා වුණා.

අද (20) දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 827 ක්.

ඊයේ (19) දිනයට අදාළ කොවිඩ් මරණ 12 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,255 ක් ලෙසයි.

මෙවන් පසුබිමක ඔමික්‍රොන් ප්‍රභේදය සමග රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් සමාජය තුළ බහුල බව අනාවරණ වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් වාර්තා වීමද ගෙවුණු සති කිහිපය තුළදී ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ජනතාව එන්නත් ලබා නොගන්නේ නම් අතිරික්ත එන්නත් ප්‍රමාණය අවශ්‍යතාව සහිත වෙනත් රටවල්වලට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පවසනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට (?)

(20.01.2022 – 20:00 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව පොලිස් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාට බෝම්බය ලබාදී ඇත්තේ මෙම පුද්ගලයා බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

මේ අතර අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ පුත්‍රයා ඊයේ (19) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල කළා.

බොරැල්ල – සියලු සාන්තුවරයින්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුවුණේ පසුගිය 11 වැනිදායි.

එදින පස්වරුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගැණුනු අතර දේවස්ථානය පිරිසිදු කටයුතු කරන සේවකයෙකු ද ඒ අතර වුණා.

කෙසේ වෙතත් දින දෙකකට (2) පසු කාදිනල් හිමිපාණන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මෙම සිද්ධිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ විවේචනය කළා.

උන් වහන්සේ එහිදී පැවසුවේ සිද්ධිය වු දිනයේ පස්වරු 3 න් පසු CCTV දර්ශන පමණක් පරික්ෂා කර ඇති බවයි.

ඊට පසුදින විෂයභාර අමාත්‍ය සරත් වීරසේකර මහතා කාදිනල් හිමියන්ට පිළිතුරු දෙමින් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්දයෙන් අවශ්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධි දාමයෙන් පසු කාදිනල් හිමිපාණන් විසින් CCTV දර්ශණ ඔස්සේ පෙන්වා දුන් දේවස්ථානයේ බෝම්බය තැබූ බවට සැකකෙරෙන පුද්ගලයාව පසුගිය 16 වැනිදා පොලිසිය අත්අඩංගුවට ගත්තා.

ඒ ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී.

අදාළ සැකකරු කඩවත අශෝකාරාම පාරේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී වෛද්‍යවරයකු විසින් බෝම්බය ලබා දුන් බවටත්, ඒ සඳහා රුපියල් 50,000 ක මුදලක් ලබාදුන් බවත් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු පොලිසිය පසුගිය 17 වැනිදා පිළියන්දල ප්‍රදේශයේ පදංචි විශ්‍රාමික වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත්තා.

අනතුරුව පොලිසිය පිළියන්දල – වටමාවතේ පිහිටි සැකකරුගේ තෙමහල් නිවසද පරීක්ෂාවට ලක්කළා.

එහිදී ආයුධ කිහිපයක් පෙලිසිය සොයා ඇති බවට වාර්තා වනවා.

සැකකාර වෛද්‍යවරයා පිළියන්දල ප්‍රාදේශිය රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරීවරයා බවයි තහවුරු වී ඇත්තේ.

ඇඹිලිපිටියේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා විශ්‍රාමික වෛද්‍ය අධිකාරිවරයා ගේ පෞද්ගලික බෙහෙත් ශාලාවේ ආරක්ෂක නිලධාරියා හැටියට කලකට ඉහතදී සේවය කරන ලද පුද්ගලයකුද බවටට හෙලි වී ඇතැයිද වාර්තා වනවා ෴

***************************************

සුපිරි කාර් එක වෙළඳපොළට එන්නේ කවදා ද? (20.01.2022)

***************************************

මුළු රජපවුලෙම එළිමහන් සාද භාරව ඉන්නෙ මම – මහරැජිණ ළඟට යන හැමවෙලේම මට මතක්වෙන්නෙ මගෙ ආච්චි අම්මාව (20.01.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *