ජනාධිපතිට අත්දැකීම් අඩුයි.. තේරුම්යන්නේ පරක්කු වෙලා.. වියතුන්ට පුළුවන් යයි කලින් කියා දැන් බෑ කියනවා.. – විමලවීරගෙන් දැඩි විවේචන..

ජනාධිපතිට අත්දැකීම් අඩුයි… තේරුම්යන්නේ පරක්කු වෙලා.. වියතුන්ට පුළුවන් යයි කලින් කියා දැන් බෑ කියනවා.. – විමලවීරගෙන් දැඩි විවේචන..

*********************************************

ජනාධිපතිට අත්දැකීම් අඩුයි… තේරුම්යන්නේ පරක්කු වෙලා.. වියතුන්ට පුළුවන් යයි කලින් කියා දැන් බෑ කියනවා.. – විමලවීරගෙන් දැඩි විවේචන..

(20.01.2022 – 10:40 +0530 – lankacnews.com)

මේ මොහොතේ ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් විවේචනය කරන මැති ඇමැතිවරුන් ඉවත් කරන තත්ත්වයක් තුළ හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් කෙලින් කතා කරන තමන් ද ඉදිරියේදී වනජීවී රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බව විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

වර්තමාන ජනාධිපතිවරයාට දේශපාලන අත්දැකීම අඩු නිසාවෙන් ඇතැම් දේශපාලන කාරනා කල්ගොස් තේරුම් යන බව දිසානායක මහතා පෙන්වා දෙයි.

වියතුන්ට රට ගොඩනැගිය හැකි බව ජනාධිපතිවරයා මුලින්ම සිතුවත් වියත් කම පමණක් රටක් ගොඩනැගීමට ප්‍රමාණවත් නොවන බව අද ජනාධිපතිවරයාම සඳහන් කරන බව ඔහු පවසයි.

මේ වන විට රටේ දැවැන්ත ගෑස් අර්බුදයක් හා ගෑස් ලිප් පිපිරීමක් ඇති වී ඇතත් එයට සෘජුවම වගකිය යුතු ගෑස් සමාගම් වල සභාපතිවරුන් එම ධූරවලින් ඉවත් නොකිරීම ප්‍රශ්න සහගත බවත් ජනාධිපතිවරයා විසින් සිදුකරන එය බරපතළ වරදක් ලෙසත් විමලවීර දිසානායක මහතා කියා සිටී.

පාස්කු ප්‍රහාරය සහ බොරැල්ලේ දේවස්ථානයකින් අත් බෝම්බයක් හමුවීම සම්බන්ධයෙන් සිදු කරන පොලිස් පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් කාදිනල් හිමියන් සිදු කරන ප්‍රකාශ සාපරාධි අසත්‍ය ප්‍රකාශ බවද ඒ මහතා පෙන්වා දෙයි. කාදිනල් හිමියන් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ජනතාව නොමග යවමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට ඒක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

***************************************

මිල්කෝ සභාපති ගෙදර යැව්වෙ මෙන්න මේ ඇමතිලු

(20.01.2022 – am.lk)

පාඩු ලබමින් තිබූ මිල්කෝ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කළේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා යි.

එවන් සාර්ථක ගමනක් ගිය වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් ඉවත් කොට එම ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාව පත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

පත්වීමේ ලිපිය

ඒ සඳහා වන පත්වීමේ ලිපියද රේණුක පෙරේරා මහතා වෙත ලබා දී ඇති මුත් ඔහු තවමත් එම ධූරයේ වැඩ කටයුතු භාර ගෙන නැහැ.

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් ඉවත් කිරීම පිටුපස විවිධ අයගේ නම් කියවෙනවා.

ඒ සම්බන්ධයෙන් ‘ඒෂියන් මිරර්’ කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ වික්‍රමසිංහ මහතාව එම ධූරයෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දැඩි අවශ්‍යතාවයක් තිබූ බවයි.

සභාපති ගැන මතය

මීට වසරකට පමණ පෙර සිටම අලුත්ගමගේ අමාත්‍යවරයා වික්‍රමසිංහ මහතාව එම ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය සුදුසු වේලාවක් එනතුරු බලා සිටි බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

වික්‍රමසිංහ මහතා දක්ෂයකු වුවද ඔහුගේ සභාපති ක්‍රියා පිළිවෙත දේශපාලන අධිකාරිය සමග ගැලපෙන්නේ නැති බව අලුත්ගමගේ අමාත්‍යවරයාගේ මතය වී තිබෙනවා.

මිල්කෝ ආයතනයේ ආණ්ඩුවට හිතැති වෘත්තිය සමිතිද සභාපතිවරයාට එරෙහිව පෙළ ගැස්වීමට අලුත්ගමගේ ඇමතිවරයා කලක පටන් කටයුතු කරන බව නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මිල්කෝ ආයතනය භාරව සිටින්නේ ඩී.බී. හේරත් රාජ්‍ය අමාත්‍යවරයා වුවද එම විෂය භාර කැබිනට් අමාත්‍යවරයා වන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතායි.

විකල්ප කණ්ඩායම

ඒ හැරුණු කොට වික්‍රමසිංහ මහතා නියෝජනය කරන්නේ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා සභාපතිත්වය දරන ‘යුතුකම’ සංවිධානයයි.

එම සංවිධානයද ආණ්ඩුවේ ඇතැම් ජනතා විරෝධී ක්‍රියා විවේචනය කරන කණ්ඩායමක් මෙන්ම ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 ක සහභාගිත්වයෙන් යුත් විකල්ප කණ්ඩායමේ සාමාජිකයෙක්.

වික්‍රමසිංහ මහතා මිල්කෝ ආයතනයේ සභාපති ලෙස පත් වීමෙන් පසු රු. මිලියන 2000 කට අධික වාර්ෂික පාඩුවක් ලැබූ එම ආයතනය 2020 හා 2021 වර්ෂවල රු. මිලියන 800 ඉක්මවා ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කළා ෴

++++++++++++

පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මිල්කෝ සභාපති ධුරයට

(20.01.2022 – 19:40 +0530 – hirunews.lk/sinhala)

මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කර තිබෙනවා.

ඔහු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතින් අද (20) පස්වරුවේ සිය පත්වීම් ලිපිය ලබාගනු ලැබුවා.

මිල්කෝ සමාගමේ සභාපති ධුරයෙන් තමා ඉවත් කර ඇති බව ලසන්ත වික්‍රමසිංහ මහතා ප්‍රවෘත්‍ති සාකච්ඡාවක් කැඳවමින් ඊයේ (19) සඳහන් කළා.

කෙසේ වෙතත් සභාපති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව තමා දැනුවත් වී නොමැති බවත් නව සභාපතිවරයෙකු වැඩ භාරගන්නා තුරු තමන් ධුරයේ කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළා.

දියර කිරි ලීටරයක් සඳහා ගෙවන මුදල රුපියල් 5 කින් ඉහළ දමන බව ඔහු අද ප්‍රකාශ කළේ මෙවන් පසුබිමක් තුළයි.

මේ අතර, ලසන්ත වික්‍රමසිංහ මහතා මිල්කෝ සභාපති ධුරයෙන් ඉවත් නොකරන ලෙසට ඉල්ලමින් මිල්කෝ සමාජ ආරක්ෂක අරමුදලේ අධ්‍යක්ෂවරුන් පිරිසක් පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා හමුවී දැනුවත් කර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා දියර කිරි ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට ගත් තීරණය පිළිබඳවද අදහස් පළ කලා.

ඔහු සඳහන් කළේ දියර කිරි මිල වැඩිකිරීම සම්බන්ධව සභාපතිවරයාට තීරණයක් ගත නොහැකි බවයි.

මිල්කෝ සමාගම දියර කිරි ලීටරයකට ගෙවෙන මුදල රුපියල් 5 කින් ඉහළ දමා ඇත්තේ ලසන්ත වික්‍රමසිංහ මහතා එහි සභාපති ධුරයෙන් ඉවත්කළ බවට වාර්තාවන පසුබිමක වීමත් විශේෂත්වයක්.

මේ අතර, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය අද (20) පස්වරුවේ නිවේදනය කළේ මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණු රේණුක පෙරේරා හෙට (21) සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි.

***************************************

ගුරුවරුන්ට 5000 දීමනාව නැහැ !

(20.01.2022 – 07:00 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය පළාත් අංක 03/2022 දරණ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින්ට ජනවාරි මස සිට රුපියල් 5000 ක අතිරේක දීමනාවක් හිමි ගැන්වීම ගුරු සේවයට හිමි නොවන බවට වාර්තා වනවා.

අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයට අනුවයි මේ බව තහවුරු වී ඇත්තේ.

ඉහත අංකය දරණ චක්‍රලේඛය අනුව 2022 ජනවාරි මස සිට රජයේ සේවකයින්ට හිමි ගැන්වෙන රුපියල් 5000 දීමනාව ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පෙරේදා (18) දිනයේ අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පැවති ගණකාධිකාරිවරුන්ගේ රැස්වීමේදී යි.

එම අතිරේක දීමනාව අදාළ ගුරු වැටුප් පත්‍රිකාවේ පෙන්නුම් කළ ද, එය වැටුපට එක් නොකර ඇති බව ද නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කෙසේවෙතත්, ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000 ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ පසුගිය 02 වැනි දිනයි.

මෙම දීමනාව විශ්‍රාමිකයන්ට ද ලබා දීමට තීරණය කෙරුණා.

ඒ අනුව විශ්‍රාමිකයින් ලෙස සිටින 6,66,480 ක් දෙනාට ද රුපියල් 5000 ක් මාසිකව අතිරේක දීමනාවක් ලෙසින් ලබාදීමටයි යෝජනා කෙරුණේ.

මේ අතර සමෘද්ධිලාභීන්ගේ 3500 මාසික දීමනාවට ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1000 ක දීමනාවක් ද හිමි ගැන්වීමට තීරණය කෙරුණු අතර, පර්චර්ස් 20 ක ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට ද රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට තීරණය කරනු ලැබුවා.

එසේම අක්කරයට අඩු පර්චර්ස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ද ලබාදීමට තීරණය කළේ.

මෙම අතිරේක දීමනාවයි රාජ්‍ය සේවයේ නියුතු වුව ද ගුරු සේවයේ නියුතුවූවන්ට හිමි ගැන්වීම තාවකාලිකව අත්හිටුවා ඇති බවට අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරිවරයා නිකුත් කළ නිවේදනයට අනුකූලව දැක්වෙන්නේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ රජයෙන් ලබා දුන් රුපියල් 5000 දීමනාව උතුරුමැද පළාතේ ඇතැම් ගුරු සහ විදුහල්පතිවරුන්ට ලැබී නොමැති බවයි.

මධ්‍යම පළාතේ ගුරු – විදුහල්පතිවරුන්ට ද රුපියල් 5000 දීමනාව ලබාදිය නොහැකි බවට ලිපියක් නිකුත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියා.

පිරිවෙන් ගුරුවරුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා ‘ගුරු හා විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීමට ලබාදුන් අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව පිරිවෙන් ගුරුවරුන්ගේ වැටුප් සැකසීම’ මැයෙන් සංදේශයක් කෙටුම්පත් කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඊට අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව පිරිවෙන් ගුරු වැටුප් සංශෝධනය කර මේ වසරේ පෙබරවාරි මස සිට ජනවාරි මාසයට ද හිමි හිඟ වැටුප් සහිතව ගෙවීම සිදුකිරීමට කටයුතු කරන බවයි, එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

***************************************

සිමෙන්ති කොට්ට ලක්ෂ 06 ක් දිවයිනට

(20.01.2022 – 07:31 +0530 – hirunews.lk/sinhala)

සිමෙන්ති හිඟය ලබන 25 වැනිදායින් පසු බොහෝදුරට පහව යනු ඇති බව සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් පවසනවා.

ඔවුන් සඳහන් කළේ ඊයේ (19) සිමෙන්ති කොට්ට ලක්ෂ 06 ක් රැගත් නෞකා දෙකක් (2) දිවයිනට පැමිණි බවයි.

ඉන්දුනීසියාවේ සිට එක් නෞකාවක් පැමිණ ඇති අතර, එහි සිමෙන්ති කොට්ට ලක්ෂ දෙකක් (2) පවතිනවා.

එමෙන්ම, පාකිස්තානයේ සිට සිමෙන්ති කොට්ට ලක්ෂ 04 ක් රැගත් තවත් නෞකාවක් පැමිණ තිබෙනවා.

මේ වනවිට එම සිමෙන්ති නිදහස් කරගෙන ඇති බවත්, ඒවා කඩිනමින් වෙළඳපොල වෙත නිකුත් කරන බව ද සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් සඳහන් කළා.

මේ වනවිට වෙළඳපොලේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375 ක් ලෙස සටහන් වූව ද, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවන් සිමෙන්ති අලෙවි කරන්නේ රුපියල් 1500 කට ආසන්න මුදලකටයි.

ඇතැම් අලෙවිකරුවන් වැලි හෝ ගල් මිල දී ගැනීමේදී පමණක් සිමෙන්ති අලෙවි කරනවා ෴

***************************************

ඇමති සරත්ටත් කොවිඩ්

(20.01.2022 – 08:04 +0530 – hirunews.lk/sinhala)

මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට අද (20) පෙරවරුවේ දී තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඔහු නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ.

කලක් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරියෙකු වූ සරත් වීරසේකර, ත්‍රස්තවාදී සමයේ මානුෂීය මෙහෙයුම වෙනුවෙන් රට වෙනුවෙන් සිය සේවය සිදු කළ රණවිරුවෙක් ද වනවා.

ඔහු පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළ අතර, හිටපු අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වනවා.

හිටපු නියෝජ්‍ය කම්කරු අමාත්‍යවරයා ද වූ සරත් වීරසේකර මෙවර මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුව නියෝජනය කරමිනුයි ෴

***************************************

නීතිවිරෝධී කටයුතුවල යෙදුණු පුද්ගලයින් තිදෙනකු STF භාරයට

(20.01.2022 – 08:46 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව කේරළ ගංජා අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) පස්වරුවේ සිදු කළ මෙම වැටලීමේ දී සැකකරු සන්තකයේ අලෙවියට සූදානම් කර තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 297 ක තොගයක් සහ එම මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් රුපියල් 40,000 ක්, ජංගම දූරකථන 02 ක් ද සොයා ගැනුණා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 04 කට අධික බවයි අනාවරණ වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ රාගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර, දඹුල්ල විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (19) සිදු කළ වැටලීමකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සීගිරිය පොලිස් වසමේ ඇහැලගල ප්‍රදේශයේ 2009 වර්ෂයේ සිට කිසිවෙකු පදිංචි නොවූ, අතහැර දැමූ නිවසක පිටුපස වැසිකිළි කාමරයේ සඟවා තිබී ජීව උණ්ඩ තොගයක් සොයා ගැනුණා.

මෙම ජීව උණ්ඩ තොගය අදාළ කාමරයේ තබා තිබූ ලීටර් 05 ක් පමණ වන ප්ලාස්ටික් බෝතලයක බහා තිබී ඇති අතර, සොයා ගැනුණු ජීව උණ්ඩ ගණන 354 ක්.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනවා.

මේ අතර, ගම්පොළ විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ සෝදිසි කිරීමකදී නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ කසළ තේ තොගයක් සොයා ගෙන තිබෙනවා.

මෙම කසළ තේ තොගය විකිණීමට සූදානම් කර තිබූ පොහොර උරවල බහාලූ මළු විශාල ප්‍රමාණයක් සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.

දවුලගල – මුරතගහමුල ප්‍රදේශයේ ගබඩාවක සූක්ෂ්ම ලෙස තබා තිබූ මෙම කසළ තේ තොගය පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 54 හැවිරිදි දවුලගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *