බොරැල්ල දේවස්ථාන බෝම්බ සිද්ධියට, විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිළියන්දල දී අල්ලයි (?)

බොරැල්ල දේවස්ථාන බෝම්බ සිද්ධියට, විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිළියන්දල දී අල්ලයි (?)

*********************************************

බොරැල්ල දේවස්ථාන බෝම්බ සිද්ධියට, විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිළියන්දල දී අල්ලයි (?)

(19.01.2022 – 07:18 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිළියන්දල ප්‍රදේශයේ දී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (18) මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින තුනකට (3) පෙර ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 65 හැවිරිදි පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

මෙම වෛද්‍යවරයා පිලියන්දල දිසා රෝහලේ සේවය කර ඇති අතර එම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන ගොස් ඇති බවටයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල දිසා රෝහලේ ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කර ඇති බවට ද වාර්තා වනවා.

++++++++++++

දේවස්ථාන බෝම්බ සිද්ධියට අදාළ වෛද්‍යවරයාගේ නිවසින් කඩු කිනිසි හමුවෙයි (?)

(19.01.2022 – 11:45 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාගේ සුවිසල් නිවස තුළ තිබී ගිනි අවි සහ ආයුධ රැසක් සොයා ගත් බව පොලිසිය වාර්තා කරනවා.

එම ගිනි අවි අතර පිස්තෝල හතරක් (4) රිවෝල්වර එකක් (1) කඩු දෙකක් (2) රම්බෝ පිහියක් (1) සහ හඳුනාගත නො හැකි ගිනි අවියක් ද වනවා.

දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත් අඩංගුවට ගත්තා.

ඔහුගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව යි ඊයේ (18) රාත්‍රියේ මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

++++++++++++

අත්බෝම්බයට ඇල්ලූ වෛද්‍යවරයාගේ පුත්‍රයාගෙන් පොලීසියට චෝදනා

(19.01.2022 – 19:21 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ලේ සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, වෛද්‍යවරයාගේ පුත් ‘ඕෂල හේරත්’ කොළඹදී අද (19) මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිසියට චෝදනා කිහිපයක් එල්ල කළා.

අදාළ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුවුණේ පසුගිය 11 වැනිදායි.

එදින පස්වරුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගැණුනු අතර දේවස්ථානය පිරිසිදු කටයුතු කරන සේවකයෙකු ද ඒ අතර වුණා.

කෙසේ වෙතත්, පසුව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් පරීක්ෂණ විවේචනයට ලක් කළා.

උන්වහන්සේ එහිදී පැවසුවේ සිද්ධිය වු දිනයේ පස්වරු 3 න් පසු සී.සී.ටී.වී. දර්ශන පමණක් පරික්ෂා කර ඇති බවයි.

ඊට පසුදින විෂය භාර අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර කාදිනල් හිමියන්ට පිළිතුරු දෙමින් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධි දාමයෙන් පසු කාදිනල් හිමිපාණන් විසින් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පෙන්වා දුන් දේවස්ථානයේ බෝම්බය තැබූ බවට සැකකෙරෙන පුද්ගලයාව පසුගිය 16 වැනිදා පොලිසිය අත්අඩංගුවට ගත්තා.

ඒ, ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී. අදාළ සැකකරු කඩවත අශෝකාරාම පාරේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වෛද්‍යවරයකු විසින් බෝම්බය ලබා දුන් බවටත්, ඒ සඳහා රුපියල් 50,000 ක මුදලක් ලබාදුන් බවත් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ඇඹිලිපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු පොලිසිය පිළියන්දල ප්‍රදේශයේ පදංචි විශ්‍රාමික වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත්තා.

අනතුරුව පොලිසිය පිළියන්දල – වටමාවතේ පිහිටි සැකකරුගේ තෙමහල් නිවසද පරීක්ෂාවට ලක්කළා. එහිදී ගිනි අවි කිහිපයක් සහ තියුණු ආයුධ කිහිපයක් පොලීසිය සොයා ඇති බවට වාර්තා වනවා.

කෙසේ වෙතත්, අද (19) පැවති මාධ්‍ය හමුවේදී අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ පුත්‍රයා වන ‘ඕෂල හේරත්’ කියා සිටියේ පොලීසිය විසින් සිය පුත්‍රයාගේ සෙල්ලම් තුවක්කුවක්, තමා භාවිත කළ වායු රයිෆල කිහිපයක් රැගෙන ගොස් ඇති බවයි.

එසේම, අත්අඩංගුවට ගත් තම පියාව මෙතෙක් තමාට හෝ නීතිඥයින්ට හමුවීමට අවස්ථාව ලබානොදුන් බවට ද ඔහු චෝදනාවක් එල්ල කළා.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද අද (19) පෙරවරුවේ බොරැල්ල – සියලු‍ සාන්තුවරයින්ගේ දේවස්ථාන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී ඔහු කියා සිටියේ විනිවිදභාවයකින් යුක්තව මෙම සිදුවීමට අදාළ විමර්ශන සිදුකිරීම පොලීසියේ වගකීම බවයි.

++++++++++++

බොරැල්ලේ අත්බෝම්බ සිද්ධියට වෛද්‍යවරයෙකු ‘පටලැවීම’ ගැන පුතා කියන කතාව

(19.01.2022 – 19:50 +0530 – mawbima.lk)

බොරැල්ල පල්ලියේ බෝම්බ සිද්ධියට නාඳුනන පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් මත කිසිදු සම්බන්ධයන් නොමැති තම පියා පටලවා ඇතැයි ඕෂල හේරත් මහතා චෝදනා කර යි.

පොලිසිය මාධ්‍ය යොදා ගෙන ගිනි අවි ලෙසින් හුවා දක්වන්නේ තම නිවසේ තිබූ වායු පිස්තෝල හා සිහිවටන ලෙස එකතු කළ කිරිච්චි යැයි ද ඔහු ‘මව්බිමට’ පැවසීය.

ඒවා වෙළඳපොළේ ඕනෑ ම අයෙකුට මිල දී ගත හැකි පාරිභෝගික භාණ්ඩ යැයි ද හේරත් මහතා අවධාරණය කළේ ය.

රාජ්‍ය සේවයේ සිට විශ්‍රාම ලැබූ තම පියා කිසිදු දිනක දේශපාලනය නොකළේ යැයි ද ඔහු අද භුක්ති විඳින්නේ තමා කළ දේශපාලනයේ ප්‍රතිවිපාක යැයි ද ඔහු පැවසීය.

නොකළ වරදකට තම පියා මෙසේ පටලැවූයේ කවුදැයි නිශ්චිතව කිව නොහැකි යැයි ද හෙතෙම සඳහන් කළේ ය.

2010 වසරේ සිට ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලඥයන් කිහිප දෙනෙකුගේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු තම විසින් කරනු ලැබූ බව ද ඔහු පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය :

“ඔය කියන මනුස්සයා අපි දැකල ත් නැහැ. අපිට පෙන්නලාවත් නැහැ. දන්නෙත් නැහැ. දැකලත් නැහැ. හැබැයි එයාලා කියනවා අපේ ගෙදර මුරකාරයෙක් කියලා ඒ මනුස්සයා. ජීවිතෙකට අපේ ගෙදර මුරකාරයෝ නැහැ.

පොලිසියෙන් ඇවිත් පරික්ෂා කරනකොට අපේ ගෙදර තිබ්බ ඔක්කොම ෆෝන් ටික ලැප්ටොප් ටික අරන් ගියා. මගේ නිදන කාමරය චෙක් කරද්දී තමා ගිනි අවි හමුවෙලා තිබුණේ. එතන තිබ්බ ඒ.කේ. 47 එකක් වගේ ලොකු මැෂින් ගන් එක, රුපියල් 18,000 ට වගේ මිරිහානේ කඩයක් තියනවා, ඒකෙන් ගන්න පුළුවන්. ඒකට දාන්නේ වෝටර් පෙලට්. අර වතුරට දාපුවා ම පිම්බෙන බෝල තියෙන්නේ. ඒක සෙල්ලම් තුවක්කුවක්. තව පිස්තෝල තුනකුයි රිවොල්වරයකුයි තියනවා නේ. ඒවා ඔක්කොම වායු තුවක්කු. එයාර් ගන් කියලා තියෙන්නේ. ඒවා ඕනේ තරම් ගන්න තියෙනවා. ගූගල් එකේ සර්ච් කරලා බලන්නකෝ ඕනේ තරම් තැන් තියනවා. කඩවත, දෙහිවල, ගල්කිස්සේ, බම්බලපිටියේ තැන් තියනවා.

කිසි ම පිස්තෝලයක් අපේ ගෙදර තිබිලා හම්බුණේ නැහැ. ඔය පින්තුරවල තියන ඔක්කොම එයාර් පිස්ටල්. කඩු දෙකක් තියනවා නේ. දැකලා තියනව ද සූවනියර් ස්වෝඩ්. වන් ගෝල් ෆේස් එකට ගිය ත් ඒ වගේ තියෙනව නේ අර කිරිගරුඬ කොපුවක් අස්සේ දාලා චිනච්චට්ටිවලින් හදපුවා. ඒවගෙන් පොල් ගෙඩියක් තියා අඹ ගෙඩියක්වත් කපන්න ගන්න බැහැ. මේ වායු රයිෆල් හතර මගේ. මේවා දැනට අවුරුදු 15 කට විතර කලින් මගේ පුතා හම්බවෙන්නත් කලින් ගත්ත ඒවා. එක දවසේ ගත්ත ඒවා නෙවේ. වරින් වර අරන් එකතු කරපු වායු රයිෆල්. ගැසට්වලත් තියනවා වායු රයිෆල් කියන්නේ ගිනි අවියක් නෙවේ කියලා.

අද වෙනකම් අපේ තාත්තා දේශපාලනය කරලා නැහැ. එයා ආණ්ඩුවේ රස්සාව කළා. රිටයර් වුණා. ප්‍රයිවට් ප්‍රැක්ටිස් කළා. මාව යි අක්කව යි හොඳින් ඇති දැඩි කළා. මගේ මොළේ අමාරුවක් ආවා 2010 ඉඳන්. පොඩි පොඩි දේශපාලනඥයෝ ආශ්‍රය කරනවා වැඩි යි. ඒක කරපු සාපේ තමා මට මේ කරලා තියෙන්නේ. 2010 ආණ්ඩුවේ විපක්ෂයේ දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ ම සෝෂල් මිඩියා කැම්පේන් එක කරා.

මේක පටන් ගන්නේ කතෝලික පවුලකින්. මේකට කතෝලික පවුලක් බිලි වුණාම ඔක්කොම තර්ක විතර්ක ඉවරයි නේ. මුලින් ම අල්ල ගත්තා පල්ලිය සුද්ධ කරන මනුස්සයා. ඒ මනුස්සයා කියපු නම්වලින් මොකක් හරි, තව මොක්කු ද දන්නේ මොක්කු ද දන්නේ කියලා අහද්දී කතෝලික ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ඇති. එයාව අල්ල ගන්න ඇති.

අපේ ගෙදරට පොලිසිය මුලින් ම ආවේ තාත්තාගෙන් කට උත්තරයක් ගන්න. තාත්තා වාඩි වෙලා ඉද්දි මට කිව්වා උඩට යන්න කියලා. කාමරවල තියෙන දේවල් පෙන්නන්න කිව්වා. ඊට පස්සේ ටිකකින් ඇවිත් කිව්වා මගේ අක්කට යි මගේ බිරිඳට යි ඇඳඳගන්න කියලා ළමයවත් එක්කන් යන්න ඕනේ කියලා එයාලා එක්ක. ඒ කියලා විනාඩි දෙකක් ගියේ නැහැ ආපහු ඇවිල්ලා කිව්වා හරි හරි ඔයාලව එක්කන් යන්න ඕනේ නැහැ කියලා. මම ඒ එක්ක ම පහළට දුවගෙන ගිහින් ඇහුවා මොකක් ද ප්‍රශ්නේ? ඇයි මේ ගොල්ලන්ව ගෙනියන්නේ කියලා? එතකොට කිව්වා මේ ගොල්ලන්ව ගෙනියන්න ඕනේ නැහැ තාත්තා පිළිගත්තා කියලා. මට තාත්තා එක්ක ඒ මොහොතේ වචනයක්වත් කතා කරන්න දුන්නේ නැහැ. තාත්තව ගෙදර වෙන ම තැනකට ගෙනිච්චා. මම කතා කරන්න ඕනේ කිව්වා ම පොඩ්ඩක් ඉන්න දැන් ම කතා කරන්න බැහැ. ගෙනියද්දි කතා කරන්න දෙන්නම් කියලා.

ඊට පස්සේ ඒ ගොල්ලෝ කිව්වා ඔයාගේ තාත්තාගේ මොළේ මොකක් හරි ප්‍රශ්නයක් තියනවා. එයා අම්මා නැති වෙච්ච දවසේ ඉඳන් සමාජයත් එක්ක වෛරයෙන් ඉන්නවා කියලා. අම්මා නැති වුණාට පස්සේ මගේ තාත්තගේ එක ම දේ වුණේ ගෙදර දේවල් බලන් ඉන්න එක. මගේ මුණුපුරා හින්දා තමා එයා ගෙදර පොඩ්ඩක් හරි හිනා වෙලා හිටියේ.

එයාලා බලපෑම් කළා මගේ සහෝදරිවයි බිරිඳව යි පොඩි පුතාව යි ඔක්කොම ගෙනියනවා කියලා. මට කිව්වා නම් මගේ පුතාවත් කොහේ හරි අරන් යනවා කියලා මම නැති මඟුලක් හරි පිළිගන්නවා නේ. මට මගේ ළමයින්ව බිරිඳව පොලිසි ගාණේ රස්තියාදු කරලා පුරුද්දක් නැහැ. ඒ මිනිස්සු හරි අහිංසකයි නේ. ඒ මිනිස්සු ජීවිතේකට දේශපාලනයක් කරලා නැහැ. අපේ කරුමයක් ගෙවන්න ඕනේ නැහැ නේ. අපේ තාත්තලා එයාලගේ ජීවිතවලට වඩා අපිට ආදරෙ යි. අපිට නියපොත්තකින් පාරක්වත් ගහලා නැහැ. අපේ අක්කලට උස් හඬකින් කතා කළා ම ඇඬෙනවා.”

+++++++++++

+++++++++++

+++++++++

++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *