ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිසකට සහනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිසකට සහනයක්

*********************************************

ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිසකට සහනයක්

(19.01.2022 – 17:07 +0530 – hirunews.lk/sinhala)

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිවාඩු මත සේවය කරන කම්කරුවන්ගේ සහ සිසුන්ගේ වීසා ගාස්තු කපා හැරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

පවතින කොවිඩ් වසංගතය පාලනය කිරීම අගමැතිවරයාගේ ප්‍රමුඛ අපේක්ෂාව බැවින් ජාත්‍යන්තර කම්කරුවන් සහ සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙලෙස වීසා ගාස්තු කපාහැරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔමික්‍රොන් වෛරසයේ වර්ධනය හමුවේ රජය එම වසංගතය පාලනය කිරීම අඛණ්ඩව සිදු කරන බැවින් ජාත්‍යන්තර කම්කරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා අගමැතිවරයා විසින් මෙම මූල්‍ය දිරිගැන්වීම් ප්‍රකාශයට පත් කර ඇතැයි සඳහන්.

කම්කරුවන් සහ සිසුන් 175,000 ක් වෙනුවෙන් ඩොලර් මිලියන 55 ක් වටිනා මෙම සහන පැකේජය හඳුන්වාදීමත් සමග අගමැති ස්කොට් මොරිසන්ට දැඩි චෝදනා එල්ලවී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවට පැමිණෙන විදේශීය සිසුන්ට සහ කම්කරුවන්ට බදාදා (19) සිට මෙම වට්ටම් යෝජනා ක්‍රමය සඳහා අයදුම් කිරීමට හැකියාව පවතිනවා.

මේ යටතේ එක් සිසුවෙකුට ඩොලර් 630 ක පමණ මුදලක් වීසා ගාස්තුවලින් කපා හැරෙනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ අනුව සිසුන් 150,000 කට පමණ මෙම සහනය හිමිවනු ඇති.

මෙම පියවර මගින් ඔස්ට්‍රේලියාවට පැමිණීම වෙනුවෙන් පවතින පසුබෑම ඉවත් කිරීම මෙන්ම විසා අයදුම් කිරීමට තවත් පෙළඹවීමක් ඇතිකරනු ඇතැයි රජය අපේක්ෂා කරනවා ෴

***************************************

කොළඹ – ටෙක්නිකල් හන්දිය විරෝධයකට මැදි වෙයි – ගමනාගමනයටත් බාධා

(19.01.2022 – 16:06 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කර ඇති විරෝධතාවක් හේතුවෙන් කොළඹ – පිටකොටුව සහ මරදාන – ටෙක්නිකල් මංසන්ධිය අවට මේ වන විට රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමේ ගිවිසුම හකුලා ගන්නා ලෙස බල කරමිනුයි මෙම විරෝධතාව පැවැත්වෙන්නේ.

මෙරට තුළ මේ වනවිට උද්ගත ව ඇති ආර්ථික සහ සමාජීය ගැටලුවලට වහා විසඳුම් ලබාදෙන ලෙසට සහ විදේශ සංචිත අවම වීම, විදුලි කප්පාදුව, රාජ්‍ය භාණ්ඩාගාරය හිස් වීම, පොහොර ගැටලුව ආදී අර්බුදවලට එරෙහිව ද මෙම විරෝධතාව ක්‍රියාත්මක වෙනවා.

***************************************

බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන්නේ ද නැද්ද යන නියෝගය ලබන පළවෙනිදා (01)

(19.01.2022 – 17:01 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව පවතින ලිත් නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන මස පළමුවනදා (01) ප්‍රකාශයට පත්කරන බව, කොළඹ මහාධිකරණය සඳහන් කළා.

ඒ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ අද (19) කැඳවූ අවස්ථාවේයි.

පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම අවසන් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දුන්නා.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියේ තම සේවාදායකයින්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙසයි.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 2,94,00,000 මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබෙනවා ෴

***************************************

24 හැවිරිදි බිරිඳගේ අභිරහස් මරණයට සැමියා අත්අඩංගුවේ

(19.01.2022 – 17:50 +0530 – hirunews.lk/sinhala)

මස්කෙළිය ගඟේවත්ත ප්‍රදේශයේ නිවසක පදිංචි කාන්තාවක් අභිරහස් ලෙසට නිවස තුලදීම මියයාමේ සිද්ධියකට ඇයගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි එක්දරු මවක්.

සැමියා පොලිසියට පැමිණිලි කර තිබී ඇත්තේ අද (19) උදෑසන පිබිදී බැලීමේදී බිරිඳ නිදි යහනේම මියගොස් සිට ඇති බවටයි.

මියගිය කාන්තාව සහ සැමියා අතර නිරන්තරයෙන් අඩ දබර සිදුවන අතර මීට පෙර අවස්ථා කිහිපයකදී ද පහරදීම් පිළිබඳ ඇය විසින් මස්කෙළිය සහ බදුල්ල පොලිසියට පැමිණිලි කර තිබූ බව ප්‍රදේශවාසීන් ප්‍රකාශකර තිබෙනවා.

සැකකාර සැමියා කුලී රැකියාවක නිරතව සිට ඇති අතර ඊයේ (18) දිනයේදී ද අඹුසැමියන් අතර ආරවුලක් ඇතිවූ බව එම නිවස ආසන්නයේ පදිංචි වතු කම්කරැවන් ප්‍රකාශකර තිබෙනවා.

මියගිය කාන්තාවගේ සිරුර සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරියගේ ස්ථාන පරීක්ෂාවෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය රෝහලට යොමුකර තිබෙනවා.

මස්කෙළිය පොලිසියයි මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන්නේ ෴

***************************************

මන්ත්‍රීවරුන්ගේ පොත් පරිශීලනය ගැන කතානායකගෙන් හෙළිදරව්වක්

(19.01.2022 – 18:12 +0530 – hirunews.lk/sinhala)

2021 වසර තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පුස්තකාලයෙන් ලබාගෙන ඇත්තේ පොත් 330 ක් පමණක් බව පාර්ලිමේන්තු පුස්තකාල තොරතුරු මගින් පෙන්නුම් කෙරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ලබාගෙන ඇති එම පොත් අතර ප්‍රබන්ධ 122 ක්, දේශපාලන විද්‍යාව පිළිබඳ ලියැවුණු පොත් 94 ක්, සමාජ විද්‍යාව සම්බන්ධ පොත් 27 ක්, ආර්ථික විද්‍යාව පිළිබඳ 11 ක්, විද්‍යාව පිළිබඳ 4 ක්, නීතිය පිළිබඳ පොත් 5 ක්, තාක්ෂණය පිළිබඳ 3 ක් සහ අධ්‍යාපනය පිළිබඳ 3 ක් වන බවයි කතානායකවරයා පෙන්වා දෙන්නේ.

විවිධ විවාදවලදී අදාළ විෂය කරුණු සම්බන්ධයෙන් සූදානමක් නොමැතිකම හමුවේ අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා නැගීම්වලට හේතුවී ඇති බව කතානායකවරයා සඳහන් කර තිබෙනවා.

***************************************

‘කොණ්ඩ හොරා’ අත්අඩංගුවට

(19.01.2022 – 18:28 +0530 – hirunews.lk/sinhala)

= බසයක ගිය පාසල් සිසුවියන්ගේ කොණ්ඩය හොරෙන් කැපූ පුද්ගලයෙකු අත්අඩංගුවට =

බස් රථයක ගමන් ගත් පාසල් සිසුවියන් දෙදෙනෙකුගේ කොණ්ඩය කැපූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (18) සවස බණ්ඩාරවෙල සිට හීල්ඔය දක්වා ගමන් කළ බස් රථයේ ගිය සිසුවියන් දෙදෙනෙකුගේ (2) දිගට තිබූ කොණ්ඩය මෙම සැකකරු කපා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු අල්ලා පොලිසියට භාරදීමට එක් සිසුවියකගේ පියෙක් කටයුතු කර තිබෙනවා.

මෙම සිද්ධියට මුහුණදුන් එක් සිසුවියකගේ පියෙකු සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් වී ඇත්තේ වෙනත් කාන්තාවක් ලබාදුන් දුරකථන ඇමතුමකින්.

ඔහු එම ස්ථානයට පැමිණෙන විට අදාළ බස් රථය පිටත්ව ගොස් තිබූ බව සඳහන්. අනතුරුව ඔහු තම දියණිය ද සමග සිය ත්‍රී රෝද රථයෙන් බස් රථය පසුපස ගොස් ඇති අතර බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ වෙළඳ සැලක සිටියදී සැකකරු හමුවී තිබෙනවා.

පසුව කළ පරීක්ෂාවේදී ඔහුගේ කලිසම් සාක්කුවක තිබී කතුරක් ද හමුවී ඇති අතර ගමන් බෑගයේ තිබී කොණ්ඩා හමුවී තිබෙනවා.

මෙම පුද්ගලයා ඌවපරණගම ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන 33 හැවිරිදි අයෙක් බව සඳහන්.

මෙම පුද්ගලයාගේ බෑගය තුල තවත් කපන ලද කොණ්ඩ එකතු කර අලංකාර ලෙස තබාගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

සැකකරුගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත්තේ තමාට ඇති ආශාව හේතුවෙන් මෙලෙස කාන්තාවන්ගේ දිගට ඇති කොණ්ඩ කපා රැස් කරන බවයි.

මෙම පුද්ගලයා විවාහකයෙක් වන අතර බණ්ඩාරවෙල පොලිසිය සැකකරු පිළිබඳ විමර්ශන සිදුකරනවා ෴

***************************************

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීම ජනපති පහදයි

(19.01.2022 – 19:10 +0530 – hirunews.lk/sinhala)

නිලධාරින් දිරි ගන්වමින්, රජයේ ඉදිරි සැලසුම් සහ ඉලක්ක සපුරා ගැනීම අමාත්‍යංශ ලේකම්වරු සතු වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් එම ධුරයේ රාජකාරි ඇරඹිමෙන් පසු පැවැති කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ හමුව අමතමින්.

නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වූ ගාමිණී සෙනරත් ජනාධිපති කාර්යාලයේ දී අද (19) පෙරවරුවේ රාජකාරි අරඹනු ලැබුවා.

එම අවස්ථාවට හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ද එක්ව සිටියා.

ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධුරයට පත්වීමත් සමඟ පුරප්පාඩු වී ඇති අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක පත් කර ඇති අතර, ඔහු සිය පත්වීමේ ලිපිය අද (19) ජනාධිපතිවරයා අතින් භාර ගනු ලැබුවා.

එසේම, වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ. ඩබ්ලිව්. අයිවන් ද සිල්වා යි.

මේ අතර වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව, නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ එහි උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න යි.

එමෙන්ම, මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කර එම තනතුරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, තමාව ධුරයෙන් ඉවත් කළ බවට දැනුම්දීමක් සිදුකර නොමැති බවයි කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ කියා සිටියේ.

***************************************

පෞද්ගලික සේවකයන්ට ගෙවන වන්දි මුදලක් ඉහළට

(19.01.2022 – 19:31 +0530 – hirunews.lk/sinhala)

වැඩබිම්වල සිදුවන අනතුරු හේතුවෙන් මියයන සහ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සඳහා ගෙවනු ලබන වන්දි මුදල රුපියල් 14,50,000 කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ දක්වා රුපියල් 5,50,000 ක මුදලක් වන්දි ලෙස ලබාදුන් අතර, ඉදිරියේදී එවැනි තත්ත්වයකට භාජනය වන පුද්ගලයයෙකුට රුපියල් විසි ලක්ෂයක (20,00,000) වන්දියක් හිමිවනු ඇති බවයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියාසිටියේ.

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට ප්‍රතිලාභ සළසා දීම සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක නෛතික ප්‍රතිපාදනය වනුයේ 1934 අංක 19 දරණ සේවක වන්දි ආඥා පනතයි.

මෙම පනත මගින් අනුමතව තිබූ වන්දි මුදල් ප්‍රමාණය 2005 අංක 10 දරණ සංශෝධන පනත මගින් වැඩි කිරීමට පියවර ගනු ලැබුව ද වසර 16 කට පෙර නියම කරන ලද එම වන්දි මුදල සහ නෛතික ප්‍රතිපාදන ද වර්තමානයට නොගැලපෙන හෙයින් එම පනත වර්තමානයට ගැලපෙන සේ යාවත්කාලීන කිරීමේ අරමුණ ඇතිව මෙම නව සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත කඩිනමින් ඉදිරිපත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අවධාරණය කළා.

ඒ සඳහා කඩිනමින් පියවර ගැනීමට අවශ්‍ය බලය කැබිනට් මණ්ඩලය විසින් ලබාදීම මෙරට වැඩ කරන ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි ඔහු කියා සිටියේ.

අමාත්‍යවරයා කියා සිටියේ පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවට ඉතාම වැදගත් මෙම පනත් සංශෝධනය ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ‘රට වෙනුවෙන් වැඩ සංස්කෘතියක්’ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමක් බවයි.

1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත සංශෝධනය කර සේවකයන්ට හිමිවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය ඉහළ නංවන බව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අවධාරණය කර තිබෙනවා.

මෙම පනත සංශෝධනය කිරීමෙන් පසුව රැකියාව හේතුවෙන් සේවකයන්ට සිදුවන අනතුරුවලට අමතරව සේවකයා පදිංචි ස්ථානයේ සිට රැකියා ස්ථානයට යන අතරතුරේදී සහ රැකියාව නිමවී පදිංචි ස්ථානයට ආපසු යෑමේදී සිදුවන අනතුරු සඳහා ද වන්දි ලබා ගැනීමටත් වැඩකරන ජනතාවට අවස්ථාව උදා වනවා.

එමෙන්ම, මිය ගිය සේවකයකු වෙනුවෙන් වන්දි ලෙස තැන්පත් කරනු ලබන මුදලින් රුපියල් ලක්ෂය (1,00,000) නොඉක්මවන මුදලක් ඔහුගේ අවමංගල්‍ය වියදම් දැරීම සඳහා ගෙවීමට අවශ්‍ය බලය කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත පැවරීමටත්, අධිකරණ සේවා කොමිසන් සභාව මගින් පත් කරනු ලබන රෙජිස්ටාර් තනතුරක් හඳුන්වා දීම මෙන්ම වන්දි අයකර ගැනීමේ කාර්ය පටිපාටිය කඩිනම් කිරීම සඳහා පවත්නා නීති රාමුව තුළ පිස්කල්වරයකු මගින් කොමසාරිස්වරයාට වන්දි අයකර ගත හැකි අයුරින් කාර්ය පටිපාටිය සකස් කිරිමටත්, මෙම නව සංශෝධිත පනත මගින් අපේක්ෂිතයි.

දෛනික සහ කෑලි ක්‍රමයට වැටුප් ලබන සේවකයින්ට ගෙවනු ලබන වන්දි ප්‍රමාණය ගණනය කිරීම,කම්කරු වන්දි ගෙවීමේදී අදාල කර ගන්නාවූ අවම සහ උපරිම මාසික වැටුප තීරණය කිරීම සහ නිත්‍ය පූර්ණ සහ තාවකාලික බෙලහීනතාවයකදී ගෙවන වන්දි ප්‍රමාණය ඇතුළු කරුණු සියල්ලම පාහේ නව සංශෝධිත පනත මගින් යාවත්කාලීන කරන බව කම්කරු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා ෴

***************************************

විදේශීය පුරවැසියන් සමග විවාහ සිදු කර ගැනීමේ දී පනවා ඇති රෙගුලාසියකට එරෙහිව පෙත්සමක්

(19.01.2022 – 20:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකිකයින් විසින් විදේශීය පුරවැසියන් සමග විවාහයන් සිදු කරගැනීමේ දී පනවා ඇති නව රෙගුලාසියක් බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

එවැනි විවාහයකදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිෂ්කාසන වාර්තාවක් ලබා ගතයුතු බවට එම නව රෙගුලාසිය පනවා ඇති අතර
නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතා විසිනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්. මුණසිංහ මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ලංකාව අත්සන් කර ඇති මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පිළිගෙන ඇති අයිතියක් ලෙස සෑම පුද්ගලයෙකුටම කැමති ඕනෑම පුද්ගලයකු සමග විවාහ වීමට නිදහස පවතින බවයි.

තමන් ශ්‍රී ලංකාවේ විදේශීය පුරවැසි කාන්තාවක සමග විවාහ වී සිටින බවද සිය බිරිඳ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති බවද පෙත්සම්කරු පවසනවා.

සිය බාලවයස්කාර දරුවන් දැනට විදේශ පුරවැසියන් වන බවද පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් හා විවාහවීමට අදහස් කරන විදේශිකයන් විවාහ ලියාපදිංචියට පෙර තම විවාහය ලියාපදිංචි කිරීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස ‘ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක්’ ලබාගත යුතු බවට පසුගිය වසරේ ඔක්තෝබර් මස 18 වනදා චක්‍රලේඛයක් නිකුත් ඇති අතර මෙම රෙගුලාසිය ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බවද පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මෙම නියෝග නීතියට පටහැනි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරු, එබැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා ෴

***************************************

ජනපති කොමිසම හමුවට පැමිණි හිටපු ජනපතිනියගෙන් චෝදනාවක්

(19.01.2022 – 21:04 +0530 – hirunews.lk/sinhala)

තම පාලන සමයේදී ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කළත් වර්තමාන පාලනය විසින් එම තත්ත්වය විනාශ කර දමා ඇති බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය චෝදනා කරනවා.

ඇය මේ බව සඳහන් කළේ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

යහපාලන රජය සමයේ අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුව විසින් සිදුකරන ලද කාර්යයන් පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර ඇති විශේෂ ජනාධිපති කොමිසම වෙත හිටපු ජනාධිපතිවරිය අද (19) පෙරවරුවේ කැඳවා තිබුණා.

කෙසේවෙතත් ඇය කොමිෂන් සභා කාර්යාලය වෙත නොගිය අතර, විමර්ශන නිලධාරීන් ඇයගෙන් ප්‍රකාශ ලබාගනු ලැබුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පිහිටි හිටපු ජනාධිපතිවරියගේ කාර්යාලයේදියි.

එහිදී හිටපු ජනාධිපතිවරියගෙන් පැය 3 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *