ජපානයේ රැකියා අවස්ථා ලබාදීමට නව වෙබ් අඩවියක්

ජපානයේ රැකියා අවස්ථා ලබාදීමට නව වෙබ් අඩවියක්

*********************************************

ජපානයේ රැකියා අවස්ථා ලබාදීමට නව වෙබ් අඩවියක්

(19.01.2022 – 13:41 +0530 – hirunews.lk/sinhala)

මෙරට තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා සකස් කළ වෙබ් අඩවියක් ඊයේ (19) එළිදක්වනු ලැබුවා.

ඒ, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්නගේ සහ මෙරට ජපන් තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ෴

+ http://services.slbfe.lk:8086/?%22

+ https://www.lk.emb-japan.go.jp/Sinhala/ssw/

++++++++

ජපානයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබාගැනීමට වෙබ් පිටුවක්…

(19.01.2022 – facebook.com/slbfeOfficial/)

වෙබ් පිටුවට පිවිසෙන්න – http://services.slbfe.lk:8086/?%22

ජපානයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබාගැනීම සඳහා වන වෙබ් අඩවියක් එළි දැක්වීමට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව කටයුතු යොදා තිබේ. එම වෙබ් අඩවිය නිල වශයෙන් අන්තර්ජාලයට මුදා හැරීම ඊයේ (2022.01.18) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න හා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිෂුකොෂි හිදෙකි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

විශේෂ කුසලතා ඇති (Specified Skilled Worker (SSW)) තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවශ්‍ය වන විභාග ශ්‍රි ලංකාවට ලබාගැනීම මෑතදී සිදුවිය. ඒ අනුව 2022 ජනවාරි සිට එම විභාග පැවැත්වෙන අතර, එම විභාගවලට පෙනී සිටීමට අවශ්‍ය උපදෙස් හා තොරතුරු මෙම වෙබ් පිටුව මගින් ලබාගැනීමට හැකියාව ලැබේ.

විශේෂ කුසලතා සහිත තරුණ තරුණියන්ට ජපානයේ වසර 5 ක කාලයකට රැකියා සඳහා අවසර හිමිවේ. ඒ අනුව ආරම්භක පියවර යටතේ, ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් යටතේ රැකියා අවස්ථා ලබාගැනීමට හැකිවේ. ඒ අනුව සාත්තු සේවය හා ආහාර පිළිගැන්වීමේ සේවා යන ක්ෂේත්‍ර දෙකට අදාළ විභාග තොරතුරු, අයදුම්පත හා උපදෙස් මෙම වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.

කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස, SSW ජපන් (SSW Japan) මෙනුවට පිවිසීම මගින් ජපන් රැකියා තොරතුරු ලබාගැනීමට හැකිවේ. ජපානයේ සාත්තු සේවා හා ආහාර පිළිගැන්වීමේ සේවා රැකියා සඳහා ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JFT) සමත්වීම අනිවාර්ය වන අතර, කුසලතා පරික්ෂණයද සමත්වීම අවශ්‍ය වේ. මේ සම්බන්ධ සියළුම තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.

පසුගිය වසර තුනක (3) කාලය තුළ ජපානයේ රැකියා සඳහා පුද්ගලයින් 3440 දෙනෙකු පිටව ගොස් තිබේ.

වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වන මංගල රන්දෙණිය හා මාධව දේශප්‍රිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් වන පී.ජී.ජී.එස් යාපා, එම්.ආර්.සී.බී.ඒකනායක, අයි. පතිනායක හා ජපන් තානාපති කාර්යාලයේ නිළධාරින් පිරිසක් එක්වී සිටියහ ෴

***************************************

මහජන මුදල් වැය කර තැනූ රාජ්‍ය දේපළ අනතුරේ

(19.01.2022 – 14:07 +0530 – hirunews.lk/sinhala)

ඌරුබොක්ක – කීරිපිටිය – යහමුල්ල වැව ආසන්නයේ පිහිටා ඇති මෙම දෙමහල් නිවාස දරුවන්ගේ නැණස පාදන ගුරුවරුන් වෙනුවෙන් ඉදිවූවක්.

එහෙත් මේ වනවිට එහි වත්මන් තත්ත්වය සංවර්ධනයක් හෝ කිසිදු ප්‍රතිසංස්කරණයක් හෝ නොමැතිව තිබෙන අයුරු දැකිය හැකියි.

රුපියල් ලක්ෂ හාරසීයක මුදලක් වැය කරමින් ඉදිකර ඇති මෙම දෙමහල් නිවාස මීට වසර දෙකකට පෙර වැඩ නිමවා ඇත්තේ ඌරුබොක්ක ජාතික පාසලේ ගුරුවරුන්ට නේවාසික පහසුකම් සැලසීමේ අරමුණින්.

කෙසේ වෙතත් මේ දක්වා ඊට විදුලිය සැපයීමට නොහැකි වීමෙන් මෙම නිවාස ගුරුවරුන්ගේ පරිහරණයට ලබාදීමට හැකි වී නැහැ.

එම පසුබිම හමුවේ මෙහි විදුලි පරිපථ පද්ධති සහ ඇතුළු දෑ ඇතැම් පිරිස් ගලවා දමා ඇති ආකාරය ද දැකගත හැකියි.

කැලෑබද ප්‍රදේශයක පිහිටි මෙම ගුරු නිවාස දහවල් කාලයට මෙන්ම රාත්‍රී කාලයටත් නොයෙකුත් අපචාර සහ දුරාචාරයන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ජනතාවගේම මුදල් වැය කරමින් ආරම්භ කෙරෙන මෙවැනි ව්‍යාපෘතිවල ප්‍රතිඵලද අදාළ පාර්ශ්ව වෙත ලබාදීම බලධාරීන් සතු වගකීමක්.

ඌරුබොක්ක, කීරිපිටියේ ඉදිකෙරුණ මෙම ගුරු නිවාසවල දැනට පවතින ගැටලු නිරාකරණය කර ගුරුවරුන්ට ලබාදෙන තෙක් රතු මිනිත්තුව අවධානයෙන්.

***************************************

සංවර්ධනය හීනයක් වූ ලේවැල්ල පාලම

(19.01.2022 – 14:14 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධනය කරා යන ගමනේදී පැරණි දේ වෙනුවට අලුත් දේ එක්කර ගැනීම නිතැතින්ම සිදු වන්නනක්.

කෙසේ වෙතත්, පැරණි දේ අමතක කර දැමීම කිසිසේත් සිදුනොකළ යුත්තක්.

එලෙස වසර ගණනාවක් සේවය සපයා මේ වනවිට බලධාරීන්ගේ ඇසින් ගිලිහී ගිය පාලමක් පිළිබඳවයි මේ තොරතුරු.

මහනුවර නගරයත් දුම්බර මිටියාවතත් යා කරමින් මහවැලි ගඟට ඉහළින් ඉදිකර තිබූ ලේවැල්ල පාලමයි මේ.

එවක ඉංග්‍රීසි පාලන සමයේ දී ඉදිකෙරුණු මෙම සංගිලි පාලම වසර 150 කට ආසන්න කාලයක් දුම්බර මිටියාවතේ ජනතාවට ලබාදුන් සේවය සුළු පටු නැහැ.

1993 වසරේදී මෙම ස්ථානයට ස්ථිර පාලමක් හිමිවන්නේ මහනුවර නගරයේ සංවර්ධනයත් සමගයි.

කෙසේවෙතත්, වසර ගණනාවක් තිස්සේ විශාල පිරිසකට සේවය සැපයූ පාලම බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහීමේ ප්‍රතිඵලයයි මේ.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, මේ වනවිට දැඩි ලෙස අබලන් වී ඇති ලේවැල්ල සංගිලි පාලම මතු පරපුර වෙනුවෙන් කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි.

බ්‍රිතාන්‍ය පාලනය සමයේ ඉදිකෙරුණු සංගිලි පාලම් සහ යකඩ පාලම් වෙනුවෙන් නව පාලම් ඉදිකර තිබුණ ද එම පැරණි පාලම් පුරාවිද්‍යා දේපළක් වශයෙන් සංරක්ෂණය කෙරෙන බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

එහෙත් ලේවැල්ල පාලමට එවැනි අවධානයක් යොමුනොවීම කනගාටුවට කරුණක් බවයි ඔවුන් චෝදනා කරන්නේ.

සංවර්ධන අවශ්‍යතා පුළුල් වීමත් සමඟ පැරණි දේ වෙනුවට අලුත් ව්‍යාපෘති එක්කිරීම මෙන්ම පෞරාණික වටිනාකම් සහිත දෑ සංරක්ෂණය කිරීමත් බලධාරීන් සතු වගකීමක්.

***************************************

අපේ රටේ අපේ දෙයින් දිවි දිනූ ව්‍යවසායකයා

(19.01.2022 – 14:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව කියන්නේ නව නිර්මාණකරුවන්ගේ තෝතැන්නක්.

විවිධ වූ හැකියාවන්ගෙන් සන්නද්ධව ඔවුන් සොයා ගන්නා නව නිර්මාණවලින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියටත් එක් කරන්නේ සැලකියයුතු දායකත්වයක්.

එවන් නව සොයා ගැනීමක් තුළින් දේශීය රැකියා වෙළෙඳපොළ ජයගත් පුද්ගලයෙකු පිළිබඳ අපට වාර්තා වුණේ කරුවලගස්වැව ප්‍රදේශයෙන්.

ඉවතලන ද්‍රව්‍යවලින් සහ අවට පරිසරයෙන් සොයා ගන්නා ලද ද්‍රව්‍ය අධාරයෙන් කඩදාසි නිෂ්පාදනය කර මෙරට නිෂ්පාදන ක්‍රියාවලියට දායකවන මෙම කුඩා පරිමාණ කර්මාන්ත ශාලාව පිහිටා තිබෙන්නේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුත්ගම ප්‍රදේශයේ.

වසර 2012 දි පමණ ඇරඹුණු කර්මාන්තශාලාවෙන් දේශීය පරිභෝජනය මුල් කරගෙන කඩදාසි නිෂ්පාදනය කෙරෙනවා.

ඒ සඳහා අක්‍රමණශීලි ශාඛයක් වන අලිමානා, කෙසෙල්, ඉලුක්වර්ග, අලි වසුරු, ජපන් ජබර ආදී ස්වභාවික ද්‍රව්‍ය උපයෝගී කර ගැනීම විශේෂත්වයක්.

අලෙවිය සඳහා කඩදාසි සැකසීම පුළුල් නිෂ්පාදන ක්‍රියාවලියක් ඔස්සේ සිදු කරන්නේ මෙලෙසින්.

මෙම කර්මාන්තශාලාව මඟින් 30 කට ආසන්න සංඛ්‍යාවක් සෘජු හා වක්‍ර රැකියා ගම්වාසීන්ට ලැබීම ද තවත් විශේෂත්වයක්.

කර්මාන්තශාලාවෙන් ඉවතලන කඩදාසි උපයෝගී කරගනිමින් ස්වර්ණාභරණ ඇසුරුම් පෙට්ටි, බෑග්, ෆයිල් කවර,ආදී විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා ද මෙම පිරිස යොමු වී ඇත්තේ සකසුරුවම කදිමට අවබෝධ කර ගනිමින්.

මේ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් සැපයෙන්නේ නම් වඩාත් පුළුල් ලෙස සිය නිෂ්පාදන වෙළෙඳපොළට සැපයීමට හැකි බවයි මෙහි කළමනාකරු පවසන්නේ.

***************************************

දින හතක් (7) තුළ ගණන් උස්සපු සහල්

(19.01.2022 – 14:50 +0530 – hirunews.lk/sinhala)

​ගත වූ සතිය තුළ වෙළඳපොළේ සියලු සහල් වර්ගවල මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙනවා.

වෙළෙඳුන් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ දේශීය සහල් අලෙවි කරගත නොහැකි තරමට මිල ඉහළ ගොස් ඇති බවයි.

මහ බංකු දෛනික වාර්තාවට අනුව පිටකොටුව තොග වෙළඳපොලේ සම්බා සහල් කිලෝවක් රුපියල් 165 ක්, නාඩු සහල් කිලෝවක් රුපියල් 148 ක්, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 157 ක් සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 161 ක් ලෙස සටහන් වනවා.

ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව සුදු කැකුළු සහල් හැර අනෙකුත් සියලු සහල් වර්ගවල මිල රුපියල් 5 කට වැඩි මිලකින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ආනයනික සහල් පවතින්නේ සාපේක්ෂව පහළ අගයකයි.

ඒ අනුව පොන්නි සම්බා සහල් කිලෝවක් රුපියල් 126 ක්, ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 120 ක් සහ ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 122 ක් ලෙසයි සටහන් වුණේ.

මෙම තත්ත්වයත් සමඟ පාරිභෝගිකයින් දේශීය සහල් මිල දී නොගන්නා තත්ත්වයක් පවතින බවයි වෙළෙඳුන් පවසන්නේ.

කෙසේ වෙතත් අවසානයේ ජනතාවට සිදුව ඇත්තේ ප්‍රමිතියෙන් උසස් සහල් මිල දී ගැනීම වෙනුවට වෙළෙඳපොලේ අඩු මිලට ඇති ඕනෑම සහල් වර්ගයක් මිල දී ගැනීමටයි.

***************************************

පූජිතගේ නඩුවේ දෝෂ – හේමසිරි නිදහස් කරන්නේ ද යන්න තීරණය පෙබරවාරි 18 වනදා

(19.01.2022 – 15:24 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදහස් කරන්නේද? නැද්ද යන නියෝගය ලබන මස 18 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා.

ඒ මෙම නඩුව අද (19) නාමල් බළල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා දන්වා සිටියේ පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම අවසන් කරන බවයි.

එම කරුණ සළකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල චෝදනාවලින් විත්තිකරු නිදහස් කරන්නේ ද? එසේ නොමැතිනම්, ඔහු වෙනුවෙන් විත්තිවාචකයක් කැඳවන්නේද? යන නියෝගය ලබන මස 18 වනදා ප්‍රකාශයට පත්කරන බව සඳහන් කළා.

ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව පවරා ඇති නඩුව ද කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (19) යළි විභාගයට ගැණුනා.

මෙහිදී පැමිණිල්ල විසින් සාක්ෂි වශයෙන් ලකුණු කර තිබූ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් විත්තිකාර පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමු කර බුද්ධි වාර්තා අඩංගු ලේඛන 38 කට අදාල මුල් ලේඛන ඉදිරිපත් කිරීම සඳහා පොලිස්පතිවරයාට ලැබෙන බුද්ධි වාර්තා පවත්වාගෙන යාමේ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් සේනාරත්න සාක්ෂියට කැඳවා තිබුණා.

තමා විසින් ලකුණු කළ ලේඛන අතුරින් ලේඛන හයක (6) මුල් පිටපත් නොමැති බව මෙහිදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණයට දන්වා සිටියා.

එමෙන්ම, එක් (1) ලේඛනයක මුල් පිටපත සාක්ෂිකරු විසින් රැගෙනවිත් නොමැති බවයි ඔහු අධිකරණයට දන්වා සිටියේ.

ඉන් අනතුරුව සාක්ෂිකරු මාර්ගයෙන් අදාල මුල් ලේඛන ලකුණු කිරිම ආරම්භ කෙරුණු අතර එහිදී ඇතැම් ලේඛනවල අසම්පූර්ණතාවයන් සහ එකිනෙකට වෙනස් ලේඛන අධිකරණය විසින් නිරීක්ෂණය කරනු ලැබුවා.

එහිදී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් යම් විමර්ශනයක් සිදු කළ විට ඊට අදාළ සම්පූර්ණ වාර්තා අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමට පොලිසිය කටයුතු කළ යුතු බව ප්‍රකාශ කළා.

පැමිණිල්ල විසින් ලකුණු කළ ඇතැම් ලේඛන වල මුල් ලේඛන වෙනස් තත්ත්වයක පවතින බව විනිසුරුවරයා පෙන්වා දුන්නා.

මෙවැනි ක්‍රියා හරහා අපරාධ විමර්ශන ක්‍රියාදාමය කෙරෙහි ජනතාව තබා තිබෙන විශ්වාසය බිඳ වැටීමකට ලක් වන බව ද විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ප්‍රකාශකළා.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බලල්ලේ ප්‍රකාශ කළේ මෙම නඩුවේ පැමිණිල්ල විසින් ලකුණු කර තිබෙන ලේඛන දෙස පිරික්සීමේදී මෙම නඩුව ගොනු නොකර සිටිය යුතුව තිබූ බව පෙන්වා දුන්නා.

පැමිණිල්ල විසින් ඇතැම් ලේඛන ඉදිරිපත් කර තිබෙන ආකාරය වැරදි සහගත බවත් ඔහු පැවසුවා.

ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් විසින් මෙම නඩුවට අදාළව ලකුණු කළ ලේඛන 31 කට අදාළ මුල් ලේඛන සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ ලකුණු කළා.

අනතුරුව විත්තිකාර පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොෂාන් දෙහිවල මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් විත්තිකාර පොලිස්පතිවරයා වෙත යොමු කර තිබූ ලිපි 31 අතරින් ලිපි බහුතරයක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස විත්තිකරු විසින් සටහන් යොදා ඇතැයි පිළිගත්තා.

එම බුද්ධි වාර්තා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා, වයඹ හා සබරගමුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වරුන්ට අදාල ලේඛන ව සටහන් යොදා විත්තිකරු විසින් ඒවා යොමු කර තිබූ බව සාක්ෂිකරු පිළිගත්තා.

පැමිණිල්ල විසින් ලකුණු කළ බුද්ධි වාර්තා අඩංගු ලේඛන අතුරින් වාර්තා 21 ක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් සටහන් යොදා තිබූ බවත් අධිකරණය හමුවේ අනාවරණය වුණා.

අනතුරුව වැඩිදුර විභාගය හෙට (20) දින තෙක් කල් තැබුණා.

***************************************

බුද්ධශාසන, ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

(19.01.2022 – 15:31 +0530 – hirunews.lk/sinhala)

පූජනීය ස්ථාන කරා පැමිණීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතවීමක් සියලු බැතිමතුන්ගෙන් අපේක්ෂා කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන නිවේදනය කළේ, පූජනීය ස්ථාන වන්දනා කිරීම සඳහා බැතිමතුන්ට යළි අවස්ථාව උදාවීම සතුටට කරුණක් බවයි.

එමෙන්ම, පූජනීය ස්ථාන වල ගෞරවය ආරක්ෂා වන පරිදි විධිමත් සුදු ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙස ද ලේකම්වරයා ඉල්ලා සිටිනවා ෴

***************************************

අනුර කුමාරයි මායි හිටියේ එකම ඇඳක.. ඔහු ලෙක්චර් එකකටවත් ගියේ නෑ..රෑට කොහෙද ගිහින් උදේට ජනේලෙන් එනවා… ඒත් පාස්.. – තිස්ස ජනනායක

(20.01.2022 – 09:24 +0530 – lankacnews.com)

විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ තමන් සහ අනුර කුමාර දිසානායක මහතා සිටියේ එකම නේවාසිකාගාර එකම ඇඳක බව ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

තමන් එකල දේශන සඳහා යාමට සූදානම් වෙද්දී අනුර දිසානායක කොහේදෝ සිට ජනේලයෙන් කාමරයට පැමිණ නිදාගන්න බවත් තමන් ආපසු එන විට අනුර දිසානායක කාමරයෙන් පිට වී යන බවත් ඔහු පැවසීය.

එසේ යන්නේ දේශපාලන වැඩවලට බවද අනුර දිසානායක කිසිම දිනක විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා සහභාගී නොවූ බවත් ඔහු පැවසීය.

දේශණවලට සහභාගී වූ අයගේ සටහන් පොටෝකොපි කරගෙන පාඩම් කර විභාගය ද සමත් වූ බවත් හෙතෙම කියා සිටියේය.

තම උපකාරක පන්තියට සහභාගි වූ සිසුන් පිරිසක් ඉදිරියේ දී හෙතෙම මේ බව පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *