නව ගුවන් පාලම් 04 ක් ඉදි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

නව ගුවන් පාලම් 04 ක් ඉදි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

*********************************************

නව ගුවන් පාලම් 04 ක් ඉදි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

(19.01.2022 – 12:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මූල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව හා හංගේරියාව අතර මූල්‍ය සහයෝගීතා ගිවිසුමකට එළබ තිබෙනවා.

ඒ යටතේ කොහුවල සහ ගැටබේ ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘති මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි කැබිනට් මණ්ඩලය තීන්දු දැනුම්දීමේ නිවේදනයේ දැක්වෙන්නේ.

එකී ව්‍යාපෘතීන්ට අමතරව ජාතික මාර්ග ජාලයේ මුත්තෙටුගල දුම්රිය හරස් මාර්ගය සහ හිරිපිටිය හන්දිය, පස්යාල මංසන්ධිය, මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය සහ තලවතුගොඩ මංසන්ධිය යන ස්ථානවල පවතින වාහන තදබදය සඳහා විසඳුම් ලබාදීම පිණිස ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගනු ලැබුවා.

ඒ අනුව එකී ස්ථානවල ගුවන් පාලම් 04 ක් ඉදි කිරීම පිණිස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අද (19) හිමි වුණා ෴

***************************************

ගෙවුණු පැය 24 තුළ විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 05 කු අත්අඩංගුවට

(19.01.2022 – 10:10 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු පැය 24 තුළ පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලින් නීතිවිරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

ඒ අනුව, පෑලියගොඩ පොලිස් වසමේ මීගමුව පාර ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනකු (2) අත්අඩංගුවට ගැනුණේ කේරළ ගංජා තොගයක් ද සමගින්.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසිනුයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 760 ක් වන අතර, ඔවුන් 19 සහ 22 වැනි වියෙහි පසුවන්නන්.

ඔවුන් ඊයේ (18) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

ඊයේ (18) උදෑසන කාලයේ දී අගුලාන – සයුරපුර මහල් නිවාස සංකීර්ණය අසල දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.

අගුලාන පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි, මිලිග්‍රෑම් 500 ක් සොයා ගැනුණා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව පදිංචි 29 හැවිරිදි අයෙක්.

ඊයේ (18) දින අදාළ සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, අධිකරණය නියෝග කළේ, සැකකරු 28 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මේ අතර, වත්තල – ඇලකන්ද ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 100 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.

ඒ වත්තල පොලීසිය විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි වියෙහි පසුවන හැදල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු අද (19) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (18) දින පිළියන්දල පොලිස් වසමේ සීලරතන මාවතේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළග තබා ගැනීමේ චෝදනාව මතයි.

එහිදී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 160 ක් සොයා ගැනුණා.

41 හැවිරිදි මෙම සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු (19) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

බුද්ධිමය දේපොළ පනත සංශෝධනය කිරීමට පියවර

(19.01.2022 – 10:38 +0530 – hirunews.lk/sinhala)

2003 අංක 36 දරන බුද්ධිමය දේපොළ පනත සංශෝදනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉදිරිපත් වී තිබෙනවා.

2020 ඔක්තෝබර් මස 12 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී බුද්ධිමය දේපොළ පනත සශෝධනය කිරීම සඳහා අනුමැතිය හිමි වුණා.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති අතර, ඒ අනුව යි එය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් නියමිත ව ඇත්තේ ෴

***************************************

විදුලි උප පොළක් නිර්මාණයට කැබිනට් මණ්ඩලයෙන් අවසර

(19.01.2022 – 10:39 +0530 – hirunews.lk/sinhala)

කැලණිය හා පෑලියගොඩ ප්‍රදේශයේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා නව උප පොළක් ඉදි කිරීම පිණිස කැලණිය ප්‍රදේශයෙන් ඉඩම් කොටසක් ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම විසින් නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් සිදු කෙරුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මුදුන් ඇළ සංවර්ධන ව්‍යාප්‍ර්තිය සඳහා අත් කරගත් ඉඩමෙන් රූඩ් 02 පර්චස් 26.5 ක කොටසක් රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත ලංකා විදුලිබල මණ්ඩලයට පැවරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සිදු කරන ලද යෝජනාව අද (19) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා.

මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (19) දින හිමිව තිබෙනවා ෴

***************************************

දින තුනකට (3) පසු හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් බෙදා හරියි

(19.01.2022 – 11:11 +0530 – hirunews.lk/sinhala)

ලිට්‍රෝ ගැස් සමාගම විසින් දින තුනකට (3) පසු, හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන්ට සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් බෙදා හැරීමට තීරණය කර තිබෙනවා.

ඉල්ලුමට සරිලන සැපයුමක් තම සමාගම විසින් ලබා නො දෙන බවත් හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන්ට ගැස් තොග ලැබිමට ප්‍රථම මුදල් ලබාගෙන ටෝකන් ලබාදෙන බවත් අලෙවි නියෝජිතයන් කියා සිටියා.

ටෝකන් ක්‍රමයට ගෘහස්ථ ගැස් සිලින්ඩර් බෙදා හැරිමේ දී ගැස් ලබා ගැනිමට පොලිම් ඇති නොවන බව යි ගෑස් සමාගම සඳහන් කරන්නේ.

ගෑස් තොග අවසන් වීමෙන් පසු තම අලෙවිසල යළිත් ගැස් තොග ලැබෙන තෙක් තාවකාලිකව වසා දමන බව හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයින් වැඩිදුරටත් අවධාරණය කළා ෴

***************************************

වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්

(19.01.2022 – 12:52 +0530 – hirunews.lk/sinhala)

වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර වරාය අධිකාරියේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ අතර වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මීට පෙර එම ධුරයේ කටයුතු කළේ, කපිතාන් නිහාල් කැප්පෙටිපොළයි ෴

***************************************

‘පිස්සිගේ පලා මල්ල’ වූ විද්‍යාපීඨ නිසා කබළෙන් ළිපට වැටුණු විද්‍යාර්ථින්

(19.01.2022 – 12:55 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගත තත්ත්වය සමග දිවයිනේ සියලුම පාසල්, විශ්වවිද්‍යාල මෙන්ම විද්‍යාපීඨ ද තාවකාලිකව 2020 වර්ෂයේ දී වසා දැමුනේ, ඒ වනවිටත් රට තුළ පැවති අයහපත් සහ අර්බුදකාරි සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන්.

මෙලෙස වසා දැමුණු පාසල්, විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා වරින්වර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිසුන් සඳහා විවෘත වුව ද, විද්‍යාපීඨ සිසුන් සඳහා ඒ අවස්ථාව හිමි වුණේ නැහැ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය යම් තරමකට පාලනය කෙරුණු මේ මොහොතේ දී රට තුළ පාසල්, විශ්වවිද්‍යාල සහ සියලුම විද්‍යාපීඨ ද ජනවාරි මස 15 වැනි දින යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමට අවසර හිමි වුණා.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ දිවයිනේ සියලුම විද්‍යාපීඨ තාවකාලිකව වසා දමනු ලැබුවේ 2020 ඔක්තෝම්බර් මස 09 වැනි දිනයි.

එම සිසුන් හට අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට සිදු කෙරුණ ද , ඔවුන් පාසලක ඉගැන්වීමට අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු තෙවැනි (3) වසරේ සීමාවාසික පුහුණුව මෙතෙක් ලැබී නැහැ.

එය ලැබීමට නියමිතව තිබුණේ, 2021 ඔක්තෝම්බර් මස 24 දින සිටයි.

එය තවදුරටත් පමා වන්නේ, විද්‍යාපීඨ ශිෂ්‍ය නේවාසිකාගාර කොවිඩ් මර්දන වැඩපිළිවෙළ යටතේ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීම හේතුවෙන්.

මෙම පැවරීමේ දී නිවෙස්ගත ව සිටි විද්‍යාපීඨ ශිෂ්‍ය නේවාසිකාගාර සිසුන් හට තම අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය, පොත්පත් හෝ කිසිවක් ලබා ගැනීමට විද්‍යාපීඨ භූමියට පැමිණීමට පාලනාධිකාරියෙන් කිසිදු අවසරයක් හිමි වන්නේ නැහැ.

එහෙත්, නව වසර උදාවත් සමග විද්‍යාපීඨ පාලනාධිකාරියෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලබන්නේ, ජනවාරි 15 වැනිදා සිට යළි විද්‍යාපීඨ වෙත පැමිණෙන ලෙසය.

නමුත් ගැටලුව ඇත්තේ, පුරා දෙවසරකට ආසන්න කාලයක් නිවෙස්ගත ව අධ්‍යාපන ලැබූ මෙම සිසුන් නැවත නේවාසිකාගාරවලට පැමිණීමේ දී ඔවුන් සතු වූ පොත්පත් මෙන්ම බඩුබාහිරාදිය කිසිවක් මේ වන විට දකින්නට නොමැති වීමයි.

ඇතැම් බඩු භාණ්ඩ යළි භාවිත කිරීමට නොහැකි මට්ටමක පවතින අතර, ඇතැම් බඩු භාන්ඩ මෙම ස්ථානවල නිරෝධානයට ලක් වූවන් විසින් සොරකම් කරගෙන ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පාලනාධිකාරිය වෙත චෝදනා කරන විද්‍යාපීඨ ශිෂ්‍ය ප්‍රජාව පවසන්නේ සිය නේවාසිකාගාර, නිරෝධායන මධ්‍යස්ථාන සඳහා පූර්ව දැනුම්දීමකින් තොරව ලබා දුන්නේ නම්, සිය බඩුබාහිරාදියෙහි පූර්ණ රැකවරණය සම්බන්ධයෙන් ද පාලනාධිකාරිය වගකිව යුතු බවයි.

කෙසේ වෙතත් විද්‍යාපීඨ ශිෂ්‍යයින්ට පාලනාධිකාරිය විසින් දැනුම් දී ඇත්තේ, එළඹෙන ජනවාරි 15 වැනි දින පළමු (1) වසරේ මෙන් සියලුම බඩු බාහිරාදිය, පොත්පත් අලුතෙන් මිල දී ගෙන යළි නේවාසිකාගාර වෙත මාස තුනක (3) අධ්‍යයන කාලයක් සම්පූර්ණ කිරීමට පැමිණෙන ලෙසයි.

මෙම දැනුම් දීමත් සමග විද්‍යාපීඨ ශිෂ්‍යයින් දැඩි අර්බුදකාරි තත්ත්වයකට ලක්ව ඇත්තේ එම රැගෙන ආ යුතු භාණ්ඩ ලැයිස්තුව සඳහා රුපියල් 37,695 ක් පමණ වැය කිරීමට සිදු වන බැවින්.

විද්‍යාපීඨ පාලනාධිකාරියේ නොසැලකිලිමත්කම හේතුවෙන් ශිෂ්‍යයින් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටීමක් වැනි වූ මෙම ගැටලුව පිළිබඳ විවිධ අවස්ථාවල දී දේශපාලන වේදිකාවේ ද අදහස් පළ කළා.

මෙවන් තත්ත්වයක් තුළ පසුගිය 15 වැනි දින විද්‍යාපීඨ යලි විවෘත වීමත් සමග නේවාසිකාගාර වෙත ගිය ශිෂ්‍යයින් මේ වනවිට තවත් අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

ඒ දිවයිනේ ඇතැම් විද්‍යාපීඨවල කොවිඩ්-19 පරීක්ෂණ සිදු කර නේවාසිකාගාර වෙත ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනුණ ද බොහෝ විද්‍යාපීඨවල කිසිදු කොවිඩ් පරීක්ෂණයක් සිදු නොකර බලධාරින් විසින් තම ජිවිත අවදානමක දමා ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

එබැවින් මෙම ගැටලු වහාම විසඳීමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු සෙසු වගකිව යුතු බලධාරින්ගේ දෑස් විවර වනු ඇතැයි හිරු ප්‍රවෘත්ති අපි විමසිල්ලෙන්…

***************************************

සහල් මිල ඉහළට

(19.01.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ගත වූ සතිය තුළ වෙළදපළේ සියළුම සහල් වර්ගවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

මහබැංකු දෛනික වාර්තාවට අනුව පිටකොටුව තොග වෙළදපළේ සම්බා සහල් කිලෝවක් රුපියල් 165 ක් වන අතර නාඩු සහල් කිලෝවක් රුපියල් 148 ක මිලක පවතිනවා.

සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 157 කට සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 160 ක් ලෙස සටහන් වුණා.

ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව සුදු කැකුළු සහල් හැර අනෙකුත් සියළුම සහල් වර්ගවල මිල රුපියල් 5 කින් ඉහළ ගොස් තිබෙනවා.

වෙළදුන් පවසන්නේ, පවතින තත්ත්වය හමුවේ සහල් අලෙවි කර ගත නො හැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

මේ අතර, කිලිනොච්චිය ප්‍රදේශයේ කාන්තා සංවිධාන කිහිපයක් ඊයේ (18) කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට පා ගමනින් පැමිණ විරෝධතාවක නිරත වුණා.

ඒ, රට තුළ උද්ගත වී ඇති සහල් අර්බුදයත් සමග මහ කන්නයේ නෙලා ගත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වී අස්වැන්න බාහිර ප්‍රදේශවලින් පැමිණෙන වී මෝල් හිමියන්ට අලෙවි නොකරන ලෙස ඉල්ලමින්.

මේ අතර, සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් මෙරටට නොමිළේ ලබාදීමට චීනය ගෙන ඇති තීරණය පිළිබදව අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදිනියක් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලප්පෙරුමගෙන් විමසීමක් කළා ෴

***************************************

වසර 80,000 ක් පැරණි රයිනෝසිරස් හිස් කබල් දෙක (2), ගොඩ ගන්නැයි ඉල්ලීමක්

(19.01.2022 – 13:21 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 80,000 කට පමණ පෙර මෙරට සිටි බව පවසන කඟවේනා හෙවත් රයිනෝසිරස් දෙදෙනෙකුගේ (2) හිස් කබල් දෙකක් (2) තවමත් බදුල්ල – මඩොල්සිම සහ රිලාඋළු කඳුපාමුල පිහිටි වෙල් යායක පොළොව අභ්‍යන්තරයේ පවතින බව සත්ත්ව විශේෂඥ කැලුම් නලින්ද මනමේන්ද්‍රආරච්චි පවසනවා.

මීට වසර 26 කට පෙර එනම් 1996 වර්ෂයේ පතල් කම්කරුවන් පිරිසකට මෙම හිස්කබල් සහිත හමුවූ පොසිල පරීක්ෂණ සඳහා යොමුකර තිබුණා.

එම සතුන් දෙදෙනාගේ (2) දත් පමණක් ගොඩට ගෙන පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව ඒවා වසර 80,000 කට පෙර ප්ලයිස්ටෝසීන යුගයේ ජීවත් වූ රයිනෝසිරස් හෙවත් කඟවේනාගේ පොසිල බවට හඳුනා ගනු ලැබුවා.

1996 වර්ෂයේ දී මෙම සතුන්ගේ හිස්කබල් දෙක (2) සොයා ගත්ත ද එකවරම පතල වර්ෂාවත් සමග ජලයෙන් යට වී තිබෙනවා.

පසුව එම ස්ථානයේ නායයාමක් ද සිදුව ඇති අතර ඒ හේතුවෙන් අදාළ හිස්කබල් දෙක (2) තවමත් අඩි 62 ක් පොලව යට පවතින බවයි සත්ත්ව විශේෂඥ කැලුම් නලින්ද සඳහන් කළේ.

ඒ හේතුවෙන් කඩිනමින් එම ස්ථානය කැණීම් කර අදාල හිස්කබල් ගොඩගන්නා ලෙස සත්ත්ව විශේෂඥ කැලුම් නලින්ද මනමේන්ද්‍රආරච්චි බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, වෙන්නප්පුව – බෝලවත්ත පරලෝක රාජේෂ්වරියගේ දේවස්ථාන භූමියෙන් හමු වූ ඉපැරණි සොහොන් බිමේ කැණීම් කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරින් කණ්ඩායමක් එහි පැමිණ තිබෙනවා.

ඒ අනුව අද (19) සිට එහි කැණීම් කටයුතු ආරම්භ කළ බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඊයේ (18) දේවස්ථානයේ ඉදිකිරීමක් සඳහා කැණිම් සිදු කරන අවස්ථාවේදී මෙම සොහොන් බිම හමුව තිබුණා ෴

***************************************

සුළඟකින් යාපනයේ නිවාස 15 කට හානි

(19.01.2022 – 13:25 +0530 – hirunews.lk/sinhala)

යාපනය අර්ධද්වීපයේ ප්‍රදේශ කිහිපයක් හරහා අද (19) අලුයම හමා ගිය තද සුළඟකින් නිවාස 15 කට පමණ හානි සිදුව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ, එම නිවාසවල වටිනාකම තක්සේරු කර ඉදිරියේ දී වන්දි ලබා දීමට කටයුතු කරන බවයි.

මේ හේතුවෙන් ගස් කඩා වැටීම නිසා ප්‍රදේශ කිහිපයකට විදුලිබල සැපයුම ද ඇණහිට තිබෙනවා.

මේ අතර, වාකරේ – කායන්කේනි – යානික්කල් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අතුරුදන්ව සිටි පියාගේ සහ පුත්‍රයාගේ සිරුරු කායන්කේනී වෙරළ තීරයට ගොඩ ගසා තිබිය දී සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එය දියේ ගිලී සිදුවූ මරණයක් බවට මරණ පරීක්ෂණ වාර්තාව මගින් අනාවරණය වී ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, මානික්කේනි ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පියෙකු සහ 21 හැවිරිදි ඔහුගේ පුත්‍රයා යි ෴

***************************************

තවත් කිඹුලෙකු වැල්ලවත්ත මුහුදට

(19.01.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

අද (19) උදෑසන වැල්ලවත්ත මුහුදෙහි කිඹුලෙකු දක්නට ලැබීමත් සමග යළි මුහුදේ කිඹුලන් සැරිසැරීම පිළිබදව කතාබහක් හටගෙන තිබෙනවා.

දෙහිවල – දුම්රියපළ පිටුපස මුහුදේ විසිතුරු මසුන් අල්ලමින් සිටි කිමිදුම්කරුවෙකු පසුගිය දා කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ අතර අනතුරුව දෙහිවල, ගල්කිස්ස සහ ගාලුමුවදොර යන මුහුදු ප්‍රදේශයේ කිඹුලන් වරින් වර දක්නට ලැබුණා.

වනජීවී දෙපාර්තමේන්තුව විසින් අදාළ කිඹුලන් අල්ලා ගැනීම සඳහා ගාලු මුවදොර ආශ්‍රිත මුහුදේ විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර එවන් පසුබිමකයි අද (19) දින වැල්ලවත්ත මුහුදේ කිඹුලෙකු සිටින බවට වාර්තා වුණේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *