කොරෝනා ආසාදිත ළමයින් සංඛ්‍යාව ඉහළට

කොරෝනා ආසාදිත ළමයින් සංඛ්‍යාව ඉහළට

*********************************************

කොරෝනා ආසාදිත ළමයින් සංඛ්‍යාව ඉහළට

(19.01.2022 – 07:20 +0530 – hirunews.lk/sinhala)

රිජ්වේ ආර්යා ළමා රෝහලට කොරෝනා ආසාදිතව පැමිණෙන ළමයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කුඩා දරුවන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගන්නා ලෙස යි සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙන්නේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වු ළමයින් 31 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

දෙසැම්බර් මස මුල් කාල සිමාව තුළ වෛරසය ආසාදනය වු ළමයින් 4 දෙනෙකු පමණක් රෝහලේ ප්‍රතිකාර ලැබූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

එම නිසා පාසල් වෙත යොමු කිරිමේ දී මෙන්ම වෙනත් ගමන් සඳහා දරුවන් රැගෙන යාමේ දී නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි දෙමාපියන්ගෙන් ඉල්ලිමක් කරන්නේ.

එමෙන්ම, ගිනිගත්හේන ජාතික පාසලේ ළමයින් 8 දෙනෙකුට සහ ගුරුවරුන් තිදෙනෙකුට (3) කොරෝනා වෛසරය ආසාදනය වීම නිසා එම සිසුන් අධ්‍යාපනය ලැබු 10 සහ 11 පන්ති කාමර තාවකාලිකව වසා දැමිමට පාසල් බලධාරින් කටයුතු කර තිබෙනවා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 672 දෙදෙනෙකු මෙරටින් ඊයේ (18) හඳුනාගත් අතර, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,97,707 ක් දක්වා ඉහළ ගියා.

නව මරණ 13 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ, 15,231 ක් ලෙසයි ෴

+++++++++++++

බූස්ටර් ලබාගෙන තිබෙන්නේ කව්ද ? – වෛද්‍ය හේමන්ත හේරත්

(19.01.2022 – 12:39 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව, කුමන හෝ එන්නතක් ලබාගෙන මාස තුනකට (3) පසුව තුන්වන (3) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගත යුතු බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ස්පුට්නික් එන්නත ලබා ගත් බොහෝ අය දෙවන (2) මාත්‍රාව ලබාගෙන තිබෙන බවත්, දෙවන (2) මාත්‍රාව ලබා නොගත් අයට පුද්ගල අවශ්‍යතාවය මත එන්නත් ලබාදීමට කටයුතු කරන බවයි, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ.

වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ, පාසල් දරුවන්ට එන්නත් ලබා දීමේදී දෙමව්පියන්ටත් ලබා ගැනීමට හැකියාව පවතින අතර, පාසල තුළ පිටස්තර පුද්ගලයින් ඒකරාශී වීමට නොහැකි නිසා පාසලට සම්බන්ධ අයට මෙහිදී එන්නත් ලබා ගැනීමට හැකි බවයි.

ලෝකයේ බොහෝ ප්‍රභේද පැතිරී කලක් ගිය පසුව අපේ රටේ පැතුරුණ බවත්, ඒ නිසා ඉදිරියේදී ඕනෑම පුද්ගලයෙකුට මෙම රෝගය වැළඳුණු කෙනෙක් වීමේ හැකියාව පවතින බවත්, මේ හේතුවෙන් පුද්ගල සම්බන්ධතා වලදී ප්‍රවේසම් වීම වැදගත් බවත්, ඔහු වැඩිදුරටත් පැවසුවා.

තුන්වන (3) මාත්‍රාව ලබා ගෙන තිබෙන්නේ බොහොම සුළු පිරිසක් බවත්, දෙවන (2) මාත්‍රාව ලබා ගත් පිරිසෙන් තුනෙන් එකක් (1/3) සදහා සාධාරණ කාලයක් අවශ්‍ය බවත් (?), ඒ අනුව ලෝක තත්ත්වයන් සමාලෝචනය කරමින් කටයුතු කරන බවට, වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

කිසිඳු එන්නතක් ලබා නොගත් අයගෙන් රෝගය පැතිරීමට ඉඩකඩක් ඇත්තා සේම, සංකූලතා ඇති අය මරණයට පත් වීමේ ප්‍රවණතාවක් පවතින බවයි, ඔහු මෙහිදී පැවසුවේ.

දිනකට රෝගීන් සංඛ්‍යාව 4000 ඉක්මවා පවතින මොහොතේදී ද අපි පාලනයකින් කටයුතු කළ බවත්, මේ නිසා නැවත ‍රෝගින් වැඩි වීමට ඉඩ නොදී කටයුතු කිරීමට අප වග බලා ගත යුතු බවත්, වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

+++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 131 ක් සුවය ලබයි

(19.01.2022 – 16:19 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 131 දෙනෙකු අද (19) සුවය ලබා තිබෙනවා. ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,68,637 ක් දක්වා ඉහළ යනු ඇති ෴

+++++++++++++

ජෛව ආරක්ෂණ බුබුලු සංකල්පය වර්තමානයේ ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නැහැ – වෛද්‍ය හේමන්ත හේරත්

(19.01.2022 – 18:10 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සදහා ක්‍රියාත්මක කළ ජෛව ආරක්ෂණ බුබුලු සංකල්පය වර්තමානයේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (19) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මේ බව කියා සිටියා.

එම ජෛව බුබුලු සංකල්පය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවක් පවතීනම් එය කළයුත්තේ නියමිත කොවිඩ් පරීක්ෂණ ක්‍රමවේදවලට බාහිරව මෙරටට පැමිණෙන සහ වෙනත් විශේෂ හේතුවක් ඇති සංචාරකයින්ට පමණක් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ.

මේ අතර පසු කොවිඩ් රෝගී තත්වයක් ලෙස දියවැඩියා රෝගය වැළදීමේ ප්‍රවණතාව ඉහළගොස් ඇති බවට නවතම දත්ත අනුව වාර්තාවී ඇති බවට මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක සදහන් කළා.

ඒ අනුව පවුලේ වෙනත් සාමාජිකයෙකුට හෝ දියවැඩියාව නොමැති අවස්ථාවක පසු කොවිඩ් රෝගී තත්වයක් ලෙස දියවැඩියා රෝගී තත්වයට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දැකගැනීමට හැකිවී ඇති බවයි ඔහු පෙන්වා දෙනවා ෴

+++++++++++++

තවත් කොරෝනා මරණ 12 ක්

(19.01.2022 – 18:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 12 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,243 ක් ලෙසටයි.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ (18) තහවුරු කළ මරණ 12 අතර නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ කාන්තාවක් (1) සහ පිරිමියෙක් (1) මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 10 ක් තහවුරු වී ඇති අතර ඒ පිරිමි 4 ක් සහ කාන්තාවන් 6 ක් වශයෙන්.

මෙරටින් මේවන විට කොරෝනා ආසාදිතයන් 5,97,707 ක් හඳූනාගෙන ඇති අතර ඉන් 13,839 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,68,637 ක් ෴

+++++++++++++

අද (19) කොරෝනා ආසාදිතයන් 829 ක්

(19.01.2022 – 22:11 +0530 – hirunews.lk/sinhala)

අද (19) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 829 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,98,536 ක් ලෙසටයි.

අද (19) වාර්තා කළ ආසාදිතයන් අතර විදේශගතව සිට පැමිණ හඳුනාගත් 9 දෙනෙකු ද වනවා.

ඉන් ආසාදිතයන් 14,656 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,68,637 ක්.

මෙරටින් කොරෝනා මරණ 15,243 ක් වාර්තාවී ඇති අතර ඒ අද (19) දිනයේ වාර්තා කළ මරණ 12 ත් සමගින් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ජනපති ලේකම් පුටුවට නව මුහුණක්

(19.01.2022 – 08:44 +0530 – hirunews.lk/sinhala)

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් අද (19) පෙරවරුවේ වැඩභාර ගැනීමට නියමිතයි.

දැනට ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කරන ආචාර්ය පී.බී. ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනුයි නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් පත්වීමට නියමිතව ඇත්තේ.

ඔහු මේ වන විට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරනවා.

1984 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයෙහි විභාගය සමත්ව ත්‍රිකුණාමලය, මොරවැව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස සිය රාජකාරි දිවිය ආරම්භ කළ ගාමිණි සෙනරත් එදා මෙදා තුර රාජ්‍ය පරිපාලන සේවයෙහි විවිධ තනතුරු දරමින් ඉදිරියට ආ අයෙක්.

හක්මණ ඉඩම් හිමි වැවිලිකරු ලයනල් ජෝර්ජ් සේදර සෙනරත් පියාණන්ට සහ රත්නායක මැතිනියට දාව මෙලොව එළිය දුටු ගාමිණී සෙනරත්, තම පරම්පරාවේ වතුපිටි, ඉඩකඩම් පෞද්ගලික පරිහරණය කරනවා වෙනුවට එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන පොදු පහසුකම් නංවාලීම සඳහා පරිත්‍යාග කරමින් කටයුතු කළේ මාපියන්ගෙන් ලද ‍උදාර ගතිගුණ නිසාවෙනි.

මාතර රාහුල විද්‍යාලයෙන් සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ගාමිණී සෙනරත් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන අතර, දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ රාජ්‍ය සේවයේ විවිධ තනතුරු දරමින් රටේ ජනතාවගේ සංවර්ධනය, සුබසාධනය ඇති කරලීම සඳහා වෙහෙසි ක්‍රියා කළ කීරිතිමත් රාජ්‍ය නිලධාරියෙකු බවයි වාර්තා වන්නේ.

කලක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුල් පුටුව, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, අග්‍රාමාත්‍ය ලේකම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ධුරය ද මොහු හෙබවූ උස් පුටු ය.

මෙරට පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ තේරීපත් වූ 2005 නොවැම්බර් 17 පැවැති ජනාධිපතිවරණ මැතිවරණයට පෙර අගමැති ධුරය හොබවද්දි අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් විසින් සුවිසල් කාර්යභාරයක් ඉටු කළ බව එම ක්ෂේත්‍රයේ බොහෝ අයෙකු දන්නා ප්‍රසිද්ධ කාරණයක්.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සිටින අතරම මහජන බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක ද මුල් පුටුව හෙබ වූ සෙනරත්, සංචාරක කර්මාන්තයේ ද විශාල වැඩ කොටසක් ඉටු කළ රාජ්‍ය පරිපාලකයෙක්.

මේ අතර වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක ද අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස හෙට (20) වැඩ භාර ගැනීමට නියමිතයි.

++++++++++

අගමැති ලේකම් පුටුවට වාරිමාර්ගයේ ලොක්කෙක්

(19.01.2022 – 09:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අනුර දිසානායක වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, නව අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට හෙතෙම පත් කර තිබෙනවා.

අමාත්‍යාංශ කිහිපයක ලේකම් ධුරය හොබවා ඇති හෙතෙම රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු රැසක් හෙබවූ අත්දැකීම් බහුල රාජ්‍ය නිලධාරියෙක්.

අනුර දිසානායකගේ නව පත්වීමත් සමග පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඩබ්. අයිවන් ද සිල්වා පත් කර ඇති අතර ජනාධිපතිවරයා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කරනු ලැබුවා.

රටේ සෑම දෙයක්ම රාජ්‍ය සේවය මත රඳා පවතින බවත්, එම නිසා සියලුම අමාත්‍යාංශ ලේකම්වරු ඉදිරියේ දැවැන්ත වගකීම් කොටසක් පැවරී ඇති බවත් ජනාධිපතිවරයා සියලුම කැබිනට් ලේකම්වරුන් අමතමින් මෙහිදී ප්‍රකාශ කළා.

රජයේ ඉදිරි සැලසුම් සහ ඉලක්ක අමාත්‍යාංශ වෙත ලබා දී ඇති අතර, නිලධාරීන් දිරිගන්වමින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම අමාත්‍යාංශ ලේකම්වරු සතු වගකීමක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

++++++++++++

නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් වැඩ භාර ගනියි

(19.01.2022 – 11:05 +0530 – hirunews.lk/sinhala)

නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වූ ගාමිණී සෙනරත් අද (19) පෙරවරුවේ එම ධුරයේ වැඩභාර ගනු ලැබුවා.

හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ඉල්ලා අස්වීම හේතුවෙනුයි එම ධුරයට ගාමිණී සෙනරත් පත් කරනු ලැබුවේ.

1984 වසරේදී පරිපාලන සේවයට එක්වූ ගාමිණී සෙනරත්, පළමුවෙන් පදවි ශ්‍රී පුර සහකාර ප්‍රාදේශීය ලේකම් ධුරයට පත්වූ අතර පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරියෙකු ලෙස කටයුතු කළා.

පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන සමයේ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු ජනාධිපති ලේකම් ධුරයට පත්වීමට පෙර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළා.

පුරප්පාඩු වී ඇති අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක පත් කර ඇති අතර ඔහු හෙට (20) එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත යි.

මේ අතර, මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් කියා සිටියේ, එම තනතුරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේනුක පෙරේරා පත් කර ඇති බවයි.

***************************************

වෙඩිමුර – රථ පෙළපාලි නැති නව වසරේ මැතිසබ ඇරඹුම

(19.01.2022 – 10:22 +0530 – hirunews.lk/sinhala)

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනපති අතින් ඊයේ විවෘත කෙරුණා.

මෙම උත්සවය ඉතා ම චාම් අයුරින් පැවැත්වීම විශේෂත්වයක්.

ආචාර වෙඩිමුර, රථ පෙළපාලි ආදි කිසිවක් නො තිබුණු මෙම අවස්ථාව, ජනපතිවරයාගෙ උපදෙස් මත සිදු වූවක් බවට යි වාර්තා වෙන්නේ.

ජනපතිවරයා පිළිගැනීමට පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ මූලිකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයක් පමණක් පැවැත්වීමට සංවිධානය කර තිබුණා.

ඉන් අනතුරු ව ජනපතිවරයා විසින් රාජාසන කතාව ඉදිරිපත් කළ අතර, ඔහු එය ඉදිරිපත් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාර ව ඔහුට පැවරී ඇති බලතල අනුව යි.

++++++++++++

රාජ්‍ය ප්‍රතිපත්ති ගැන කල් තැබීමේ විවාදය ඇරඹේ

(19.01.2022 – 14:00 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන කල් තැබීමේ විවාදය අද (19) පස්වරුවේ ආරම්භ කෙරුණා.

ඊයේ (18) දින පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීමෙන් සහ රාජාසන කතාවෙන් නව වසරට අදාළ මංගල පාර්ලිමේන්තු සැසිවාරයේ වැඩකටයුතු ඇරඹුණා.

ජනාධිපතිවරයා විසින් මෙම වසරේ රජය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නව වැඩපිළිවෙළ ගැන හැඳින්වීමක් සහ ආණ්ඩුව විසින් අවධානය වැඩි වශයෙන් යොමු කරනු ලබන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

මෙලෙස රැස් වූයේ ඊයේ (18) දින 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරයයි.

අනතුරුව සභාව කල් තැබීමට සභා නායක දිනේෂ් ගුණවර්ධන විසින් ඉල්ලා සිටි අතර, සභාව අද (19) පස්වරුව තෙක් කල් තැබීම ද සිදු කෙරුණා.

මෙලෙස අද (19) පස්වරුවේ ඇරඹුණේ නව වසරේ කතානායකවරයා ප්‍රමුඛව විවාදවලට එළඹෙන මැති ඇමතිවරුන්ගේ පළමු විවාද හමුවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *