රටම කළුවර වෙයි ද ? – විදුලි අර්බුදය ගැන අද (19) ඉහළ පෙළේ සාකච්ඡාවක්

රටම කළුවර වෙයි ද ? – විදුලි අර්බුදය ගැන අද (19) ඉහළ පෙළේ සාකච්ඡාවක්

*********************************************

රටම කළුවර වෙයි ද ? – විදුලි අර්බුදය ගැන අද (19) ඉහළ පෙළේ සාකච්ඡාවක්

(19.01.2022 – 06:39 +0530 – hirunews.lk/sinhala)

කැලණිතිස්ස හා සපුගස්කන්ද බලාගාර ක්‍රියාත්මක කරන ඩීසල් සහ නැප්තා අවසන් වීම හේතුවෙන් කැළණිතිස්ස විදුලි බලාගාරයේ ක්‍රියාකාරිත්වය නැවතී තිබෙනවා.

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වූ මෙගා වොට් ප්‍රමාණය මෙගාවොට් 300 ක්.

මෙම බලාගාරයේ ක්‍රියාකාරිත්වය ඇන හිටීමත් සමග බස්නාහිර පළාතේ ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීම් වාර්තා වුණා.

මේ සමගම ඇතැම් වාර්තා සඳහන් කළේ අද (19) රාත්‍රී 10 පමණ වන විට සපුගස්කන්ද ඩීසල් විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද අඩපණ වන බවයි.

විදුලි ඉංජිනේරුවන් ඊයේ (18) සවස පවසා සිටියේ පවතින ඩීසල් සහ නැප්තා තොග ප්‍රමාණවත් වන්නේ සපුගස්කන්ද විදුලි බලාගාරය රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මක කිරීමට පමණක් බවයි.

කෙසේ වෙතත් මෙම විදුලි බලාගාර දෙකම (2) බිඳ වැටීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 450 ක ධාරිතාවක් අහිමි වනවා.

මේ වන විට කෙරවලපිටිය ගල් අඟුරු විදුලි බලාගාරයේ ද එක් (1) ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති මෙගා වොට් ගණන 300 ක්.

මේ අනුව කෙරවලපිටිය සපුගස්කන්ද සහ කැලණිතිස්ස විදුලි බලාගාර තුනම අක්‍රීය වීම හේතුවෙනි, ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 750 කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ගොස් තිබෙනවා.

මතුව ඇති තත්ත්වය අනුව ඉදිරියේ දී වැඩිම විදුලි ඉල්ලුමක් ඇති අවස්ථාවන්වල දී පැය එකහමාරකට (1½) වැඩි කාලයක් විදුලි විසන්ධි වීම් සිදු විය හැකි බවටයි විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ.

මේ අතර, අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ විදුලි කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය ලබාදීම රජයේ අපේක්ෂාව බවයි.

කෙසේ වෙතත්, විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිත බව වාර්තාවනවා. ඒ, පවතින විදුලි අර්බුදයට විසඳුමක් සෙවීමටයි.

විදුලිබල අර්බුදය මතු වුවහොත් ඉදිරියේදී ජල සැපයුමට බාධා ඇතිවිය හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

පරිසර අමාත්‍යාංශයේ ඊයේ (18) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට සියලු පුරවැසියන්ගේ යුතුකම බවයි.

මේ අතර අද (19) දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට නිරත වන බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු ප්‍රකාශ කළා ෴

+++++++++++++

කැලණිතිස්ස අද (19) ඇරෙයි ද ?

(19.01.2022 – 09:14 +0530 – hirunews.lk/sinhala)

දැනට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් නතර කර ඇති කැළණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙක (2) සඳහා අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (19) දින සිට එළඹෙන 22 වන දා දක්වා දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් දහසක් (1000) ලබාදෙන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ වන විට කැළණිතිස්ස විදුලි බලාගාර සංකීර්ණයේ බලාගාර දෙකම (2) ඩීසල් සහ නැප්තා නොමැතිවීම හේතුවෙන් ඊයේ (18) රාත්‍රියේ සිට අක්‍රීය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති ධාරිතාව මෙගාවෙට් 280 ක්.

එමෙන්ම මෙම ඉන්ධන අර්බුදය නිසා ඊයේ (18) පස්වරුව වන විට යළිත් සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ද වසා දැමීමටයි එහි බලධාරින් තීරණය කෙරුණේ.

මෙවන් වටපිටාවක දී ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ, බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට රට තුළ ඩොලර් හිඟයක් ඇති තිබෙන බැවින් සහ නිසි කලට බලාගාර නඩත්තු නොවීම නිසා විවිධ අවස්ථාවලදී දිවයිනේ විවිධ ප්‍රදේශවලට විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදු විය හැකි බවයි ෴

+++++++++++++

විදුලිය කැපීමේ අවශ්‍යතාවක් නැහැ – ඇමති ලොකුගේ

(19.01.2022 – 10:49 +0530 – hirunews.lk/sinhala)

මෙට්‍රික් ටොන් දස දහසක (10,000) ඉන්ධන තොගයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලැබීම නිසා විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ කියා සිටියේ, දිනකට මෙට්‍රික් ටොන් 1500 බැගින් දින 8 ක් සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් දස දහසක් (10,000) අද (19) සිට විදුලි උත්පාදනය වෙනුවෙන් නිදහස් කරන බවයි.

මහබැංකුව ඊයේ (18) ඩොලර් නිදහස් කිරීම හේතුවෙන් කොළඹ වරායට එපිටින් නැංගුරම්ලා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් අඩංගු නෞකා දෙකක (2) ඉන්ධන ගොඩබෑම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එම ඩීසල් තොගයෙන් මෙට්‍රික් ටොන් දස දහසක් (10,000) විදුලි උත්පාදනයට වෙන් කළ බවයි අමාත්‍ය උදය ගම්මන්පිළ සදහන් කළේ.

ඉන්ධන නො මැති වීම හේතුවෙන් ඊයේ (18) කැලණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 280 ක බලාගාර දෙකක් සහ සපුගස්කන්ද බලාගාරය ද අක්‍රිය වුණා.

මෙම තත්ත්වය මතු වූයේ නොරොච්චෝල බලාගාරයේ එක් (1) ජනන යන්ත්‍රයක් අක්‍රිය වීමෙන් මෙගාවොට් 300 ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති පසුබිමක යි.

මේ අතර, ජනතාව වැඩි වශයෙන් ඉටි පන්දම් මිල දී ගැනීමට පෙළඹීම නිසා වෙළදපළේ ඉටි පන්දම් මිල ඉහළ යාමක් මෙන්ම හිඟවීමක් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ඉටි පන්දම් මිල රුපියල් 15 කින් පමණ ඉහළ ගොස් ඇති අතර ඒ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය මිල ද රුපියල් 10,000 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි නිෂ්පාදකයින් සදහන් කළේ.

මේ අතර, විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින් සැලසුම් කළ පරිදි අද (19) පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, හදිසි බිද වැටීම් නිවැරදි කිරීමට මැදිහත් වන බවයි එම සංගමය සඳහන් කළේ.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන්නේ ද යන්න පිළිබදව තීරණය කිරීම සඳහා ඉංජිනේරු සංගමයේ විධායක කමිටුව මේ වන විට රැස්වී තිබෙනවා ෴

+++++++++++++

විදුලි බලාගාරවල තෙල් හිඟයට පැලැස්තරයක්

(19.01.2022 – 12:31 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 23 වැනිදා දක්වා අඛණ්ඩව දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් දහසක් (1000) මෙරට ඩීසල් විදුලි බලාගාර වෙත ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ලබන 23 වැනිදා දක්වා ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන කැලණිතිස්ස විදුලි බලාගාරය නැවත පණ ගැන්විය හැකි බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.

කෙසේ වෙතත් මේ වන තුරුත් කිසිදු තෙල් තොගයක් කැලණිතිස්ස විදුලි බලාගාර පරිශ්‍රය වෙත ලැබී නොමැති බවයි අප සමග අදහස් දැක්වූ විදුලි ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පවසනවා.

කෙසේ වෙතත් කැලණිතිස්ස විදුලි බලාගාරයේ දෛනික ක්‍රියාකාරීත්වය සඳහා ආසන්න වශයෙන් දිනකට ඩීසල් ලීටර මිලියන 1.5 ක් පමණ අවශ්‍ය වන අතර ඩීසල් බලාගාර හරහා ජනනය කෙරෙන විදුලිය ඒකකයක් සඳහා දළ වශයෙන් රුපියල් 110.00 ක් පමණ වැය වන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම කැලණිතිස්ස විදුලි බලාගාර පද්ධතිය සතුව නැප්තා ඉන්ධන භාවිතා කරමින් ක්‍රියාත්මක කළ හැකි මෙගාවොට් 165 ක ධාරිතාවක් සහිත ජනන යන්ත්‍රයක් ද සතුව තිබෙනවා.

එම ජනන යන්ත්‍රය භාවිතා කර උත්පාදනය කෙරෙන විදුලි ඒකකයක් සඳහා වැය වන්නේ රුපියල් 65 ත් 70 ත් අතර මිලක්.

කෙසේ වෙතත් මේ වන විට පවතින නැප්තා හිඟය හේතුවෙන් එම විදුලි ජනන යන්ත්‍රය ද පණගැන්වෙන්නේ ඩීසල් භාවිත කරමින්.

මේ අනුව ඔහු පෙන්වා දෙන්නේ එම යන්ත්‍රයට අවශ්‍ය කරන නැප්තා අඛණ්ඩව සැපයිය හැකිනම් ඒ හරහා උත්පාදනය කෙරෙන එක් විදුලි ඒකකයකින් පමණක් රුපියල් 40 ට අධික මුදලක් ඉතිරි කරගත හැකි බවයි.

එමෙන්ම සපුගස්කන්ද විදුලි බලාගාරයේ ඇති ජනන යන්ත්‍රය සඳහා භාවිතා කෙරෙන්නේ ෆර්නස් තෙල් හෙවත් දැවි තෙල්.

එම බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා ද දිනකට ෆර්නස් තෙල් ලීටර ලක්ෂ 6 ක් අවශ්‍ය බවටයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් කැලණිතිස්ස විදුලි බලාගාරය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කරවීම සඳහා දිනකට ඉන්ධන ලීටර් මිලියන එකයි 1.5 ක් අවශ්‍ය වෙනවා.

කෙසේ වෙතත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තහවුරු කර ඇත්තේය දිනකට ඉන්ධන ලීටර් මිලියනයක් පමණක් ලබාදෙන බවයි.

ඒ අනුව කැලණිතිස්ස විදුලි බලාගාරය ද උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොපවතින බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.

කෙසේ වෙතත් එම ඉන්ධන සැපයුම ද කඩිනම් ව සිදුකළ යුතු බවට අවධාරණය කරන විදුලි ඉංජිනේරුවන් පවසන්නේ ඉන්ධන සැපයුමෙන් අනතුරුව ද කැළණිතිස්ස විදුලි බලාගාරයේ උත්පාදනය ජාතික පද්ධතියට එක් කිරීම සඳහා පැය 7 ක් කාලයක් ගතවන බවයි ෴

+++++++++++++

ඩොලර් නැතිව ඩොලර් ගෙවීම ගැන ඩලස් උත්තර දෙයි

(19.01.2022 – 13:28 +0530 – hirunews.lk/sinhala)

පවතින ඩොලර් අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් රජයේ අවධානය යොමු වී නැතැයි කැබිනට් මණ්ඩල ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා අද (19) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි, ඔහු මේ බව සඳහන් කළේ.

මෙරට විසින් ගෙවිය යුතු ස්වෛරීත්ව බැඳුම්කරය වෙනුවෙන් ඊයේ (18) දින උදෑසන ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ගෙවනු ලැබූ අතර, මාධ්‍යවේදිනියක් ඒ පිළිබඳ ව ද අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරමින් විමසා සිටියේ, ඩොලර් හිඟ වූ රටේ විදේශ සංචිත තුළ මෙලෙස ණය මුදලක් ගෙවා දැමුවේ කෙසේ ද යන්නයි.

ඊට ප්‍රති උත්තර ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය දිනක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සිදු කළ විදෙස් සංචාරය මගින් මෙරටට විශාල ආර්ථිකමය සවියක් උදාකර දීමට මුදල් අමාත්‍යවරයා සමත් වූ බවයි.

+++++++++++++

වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි – අනුර කියයි

(19.01.2022 – 13:37 +0530 – hirunews.lk/sinhala)

රටකට ආර්ථික වශයෙන් සිදුවිය හැකි සියල්ල සිදු වී අවසන් බව, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ නවගමුවේ පැවති රැස්වීමක් අමතමින්.

මේ වනවිට රට තුළ විශාල ඩොලර් හිඟයක් ඇති වීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීම පමණක් නොව, විදුලි බලාගාරවල ජනන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම වැනි ආර්ථිකමය වශයෙන් බැරෑරුම් අර්බුද රැසකට රට මුහුණ දීමේ තත්ත්වයකට ලක් වීමෙන් අරාජිකත්වයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

මෙම තත්ත්වයට වත්මන් පාලකයින් පමණක් නොව, රට පාලනය කළ සියලුම වගකිව යුතු නිලධාරින් උත්තර බැඳිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මන්ත්‍රීවරයා පැවසුවේ, වත්මන් බලධාරින් පවා සිය අමාත්‍ය ධුරය තුළ කිසිදු වගකීමකින් තොරව කටයුතු කරන අයුරු දැකිය හැකි බවයි.

+++++++++++++

පැය 1 යි මිනිත්තු 45 ක් ජනතාවට අඳුරේ ඉන්න සිදු වනවා – ලංවිම

(19.01.2022 – 15:49 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ පිහිටා ඇති සියලුම විදුලි බලාගාරවල විදුලි ජනන කටයුතු සඳහා මේ වනවිට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම හේතුවෙන් විදුලි කප්පාදුවකට යොමු වීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා පවසනවා.

විදුලි බලාගාරවල උපරිම ධාරිතාව ඉක්මවා යමින් පවතින අතර, එහි සමබරතාව රැක ගැනීම වෙනුවෙන් මෙම තීරණයට එළඹීමට සිදුව ඇති බවයි හෙතෙම කියා සිටියේ.

එමෙන්ම තවමත් ඊයේ දින (18) ඩීසල් සහ නැප්තීන් සැපයීමට නොහැකි වූ බැවින් කැළණිතිස්ස බලාගාරය සහ සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ දෛනික වැඩ කටයුතු අක්‍රීයතාවයේ පවතින බව ද විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා.

දෛනිකව විදුලිය උත්පාදනයට අත්‍යවශ්‍ය කරන ඉන්ධන නොලැබීම හේතුවෙන් විදුලි කප්පාදුවකට එළඹෙමින් හෝ එම ක්‍රියාවලිය යම් තරමකට හෝ ආරක්ෂා කරගත යුතු බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

ඒ අනුව දිවයිනේ විදුලිය කප්පාදුව සිදු කෙරෙන වේලාවන් සහ කාල පරාසය පිළිබඳ ව ද අද (19) පැවති මාධ්‍ය හමුවේ දී කමිටු සාමාජික එරංග කුඩාහේවා නිවේදනය කළා.

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පස්වරු 02:30 සිට 09:30 තෙක් කාණ්ඩ 04 ක් යටතේ විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

ඒ අනුව පාරිභෝගිකයා හට විදුලිය නොමැතිව පැය 1 යි මිනිත්තු 45 ක කාලයක් සිටීමට සිදුවන බව ද එම සංගමය නිවේදනය කරනවා.

කෙසේවෙතත් රෝහල් ආදී අත්‍යවශ්‍ය සහ හදිසි මහජන සේවා සිදු කෙරෙන ස්ථාන වෙත මෙම විදුලි කප්පාදුව සිදු නොකෙරෙන බව ද හෙතෙම පවසනවා.

මෙම විදුලි කප්පාදුව හෙට (20) දිනයේ සිට යළි යථා තත්ත්වයට පත් කර ගත හැකි බව ප්‍රකාශ කරන කමිටු සාමාජික එරංග කුඩාහේවා කියා සිටියේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙට්‍රික් ටොන් 10,000 ක ඉන්ධන තොගයක් ලබාදීමට එකඟ වූ බැවින් මෙම අර්බුදය යම් තාක් දුරකට විසඳාගත හැකි වන බවයි.

නමුත් අද (19) පැවති මාධ්‍ය හමුවක දී විදුලිබල අමාත්‍යවරයා සහ බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟ වීමත් සමග කිසිම විටෙක විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදු නොවන බවයි.

+++++++++++++

පොරොන්දු වූ ඉන්ධන තවම නැහැ – විදුලිය කැපීම ඇරඹේ

(19.01.2022 – 19:14 +0530 – hirunews.lk/sinhala)

අක්‍රීය වු කැළණිතිස්ස විදුලි බලාගාර සඳහා පෙරොන්දු වු පරිදි තෙල් සංස්ථාව තවමත් ඉන්ධන ලබා නොදීම නිසා අද (19) දිනයේ විදුලි කප්පාදුව මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

අද (19) පස්වරු 02:30 සිට රාත්‍රී 09:30 දක්වා, පැය 1 යි මිනිත්තු 45 ක කාලයක් දිවයින කොට්ඨාශ 4 කට බෙදා විදුලි කප්පාදුව සිදුකරන බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ.

විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ අප කළ විමසිමකදි කියා සිටියේ කොළොන්නාව නිමාවේ සිට කැළණිතිස්ස බලාගාර 2 කට නළ මාර්ගයෙන් ඉන්ධන ලබාදීම අද (19) පස්වරු 5 වනවිටත් ආරම්භ වී නොතිබුණු බවයි.

කැළණිතිස්ස මොගාවොටි 165 ක බලාගාරයක් සහ ජි.ටී. 7 මෙගාවොට් 115 ක තාප බලාගාරය ඊයේ (18) රාත්‍රියේ අක්‍රිය වුයේ ඩීසල් සහ නැප්තා නොමැති වීම හේතුවෙන්.

ඒ අනුව, අද (19) අළුයම වනවිට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 280 ක ධාරිතාවයක් අහිමි වුණා.

එමෙන්ම, සපුගස්කන්ද බලාගාරය ද මේවනවිට පවතින්නේ අක්‍රියවයි.

කෙසේ වෙතත්, මහ බැංකුව ඩොලර් සැපයීම හේතුවෙන් අද (19) පෙරවරුව, වනවිට මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකා දෙකකින් (2) ඉන්ධන ගොඩබෑම ආරම්භ වුණා.

එම තත්ත්වය මත විදුලි නිෂ්පාදනය වෙනුවෙන් ඉන්ධන මෙට්‍රික්ටොන් 10,000 ක් ලබාදීමට පියවර ගන්නා බවයි අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ සොයා බැලිමකදි වාර්තා වුයේ තෙල් සංස්ථාව සිය සංචිත වලින් කැළණිතිස්සට අවශ්‍ය දෛනික ඉන්ධන මෙට්‍රික්ටොන් 1500 මුදා හැර නොමැති බවයි.

එය ප්‍රවාහන සහ කර්මාන්ත ශාලා වෙනුවෙන් වෙන් කර මේ වනවිට ගොඩබාමින් පවතින නෞකා දෙකෙන් (2) කැළණිතිස්ස බලාගාරයට මුදා හරින බව දැනුම් දි තිබෙනවා.

එම හේතුව මතයි තවදුරටත් කැළණි තිස්ස බලාගාරය ඩීසල් නොලැබීමෙන් අක්‍රිය වී ඇත්තේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *