බොරැල්ලේ බෝම්බ සිද්ධියට අදාළව වෛද්‍යවරයෙකු පිලියන්දල ප්‍රදේශයේ දී අඩංගුවට ගැනේ

බොරැල්ලේ බෝම්බ සිද්ධියට අදාළව වෛද්‍යවරයෙකු පිලියන්දල ප්‍රදේශයේ දී අඩංගුවට ගැනේ

*********************************************

බොරැල්ලේ බෝම්බ සිද්ධියට අදාළව වෛද්‍යවරයෙකු පිලියන්දල ප්‍රදේශයේ දී අඩංගුවට ගැනේ

(18.01.2022 – 22:28 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිලියන්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින්.

එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින තුනකට (3) පමණ ඉහතදී ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 65 හැවිරිදි සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව බව පොලීසිය පවසනවා.

පිලියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කර තිබූ එම සැකකරු ඒ ආසන්නයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එවකට එහි ආරක්ෂක නිලධාරියා ලෙස පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු ක්‍රියා කර තිබූ බවත් විමර්ශනවල දී හෙළි වූ බව පොලීසිය පැවසුවා.

එම සැකකරුට මුදල් මෙන්ම බෝම්බය ලබාදී ඇත්තේ, මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවද මේ වන විට තොරතුරු හෙළිවෙමින් පවතින බවත් එයට හේතුව තවමත් නිශ්චිත ලෙස අනාවරණය නොවූ බවත් වාර්තා වනවා.

නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට මීට මාස කීපයකට ඉහතදී බෝම්බය තැබීමටද කටයුතු කර ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවට ද තොරතුරු අනාවරණ වී ඇති නමුත් එය තහවුරු කරගැනීම සඳහා වෛද්‍යවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් දෙදෙනාම (2) මේ වන විට වරාය පොලිසියේ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රඳවා ඇති බව වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

***************************************

රාජ්‍ය අමාත්‍යවරයෙකුට සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී වරයෙකුට වැඩ වරදින ලකුණු ?

(18.01.2022 – 21:16 +0530 – hirunews.lk/sinhala)

දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මෙරට අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබා සිටි ක්‍රිෂාන් පීරිස් නැමැති එතනෝල් ජාවාරම්කරු හට හොර රහසේ ලංකාවට පැමිණීමට පහසුකම් සැපයූ රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ රජයේ මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉතා දැඩි තීරණයක් ගැනීමට සූදානම්ව සිටින බව වාර්තා වනවා.

මෙලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තය හරහා අදාළ වරෙන්තුකරු ලංකාවට කැඳවාගෙන පැමිණ ඇත්තේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ බවයි වාර්තා වන්නේ.

ඩුබායි රාජ්‍යයේ පැවැති එක්ස්පෝ ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ නික්ම ගිය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ නැවත පැමිණීමේ දී අදාළ වරෙන්තුකරු සමග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තය හරහා පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව අදාල වරෙන්තුකරු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු හට භාර දී ඇති අතර ඔහු මෙම වරෙන්තුකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඔහුට ඇප ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රිෂාන් පීරිස් නැමැති මෙම වරෙන්තුකරු ලොව සුප්‍රකට මත්පැන් සන්නාම සහිත බෝතල් වලට වර්ණ ගැන්වූ ජලය පුරවා එම බෝතල් විදේශයන්ට ප්‍රති අපනයනය කිරීම සම්බන්ධයෙන්යෙන් සහ එතනෝල් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයෙක්.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහුට එරෙහිව විමර්ශන දියත් කොට ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබුණා.

මේ අතර වාරයේ අදාල එතනෝල් ජාවාරම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ උසාවිය මග හරිමින් විදෙස් රටකට පලාගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිට නියෝග කර තිබෙනවා.

මේ වන විටත් මෙම සිද්ධියට අදාළ සම්පුර්ණ සිදුවීම පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයාට යොමු කර ඇති බවට වාර්තා වන අතර ඒ සමග එම සිද්ධිය ඇතිවූ අවස්ථාවේ ගුවන්තොටුපල සීසීටීවී දර්ශන සියල්ල ද ලබාදී ඇති බවටයි පැවසෙන්නේ.

ඒ අනුව මෙම සිදුවීම් මාලාවට මැදිහත් වූ රාජ්‍ය අමාත්‍යවරයා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා සම්බන්ධයෙන් නුදුරේදීම දැඩි තීරණයක් ජනාධිපවරයා විසින් ගනු ඇති බවටයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ෴

***************************************

සී.අයි.ඩී.යට කැඳවූ දිල්රුක්ෂිගේ අධ්‍යාපනික ආයතනයට ප්‍රහාරයක්

(18.01.2022 – 15:07 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සටහනක් හුවමාරු (share) කළ ආශා දිල්රුක්ෂි ගේ අධ්‍යාපනික ආයතනයට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

අදාළ සටහන සම්බන්ධයෙන් ඇය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ද කැඳවා තිබුණා.

අප වාර්තාකරු සඳහන් කළේ මත්තෙගොඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පිහිටි ඇයගේ අධ්‍යාපන ආයතනයේ පුවරුවට, ඒ අසල පිහිටි නිවසට ගල් මුල් සහ අසූචි ප්‍රහාරයක් එල්ලකර තිබූ බවයි.

අද (18) අලුයම මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් උදෑසන 07:15 ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර මත්තෙගොඩ පොලිසියයි විමර්ශණ සිදු කරනවා.

ජනාධිපතිවරයාට අපහාසාත්මක වන අයුරින් සමාජ ජාලාවල සටහනක් හුවමාරු කිරීමට අදාළව ආශා දිල්රුක්ෂි පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ද පෙනී සිටියා.

ආශා දිල්රුක්ෂි පෙරේරා නම් ඇය ‘එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සම්මේලනයේ කාන්තා සංවිධානයේ ජාතික කැඳවුම්කරු හා ජාතික සංවිධායක’ ලෙසට ද කටයුතු කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පසුගිය දා මාධ්‍යවෙත සඳහන් කළේ ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් සමාජ ජාලා මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීමක් සිදුකළ නොහැකි බවයි.

කිසියම් පුද්ගලයෙකු විසින් එසේ කළහොත්, ඔහුට හෝ ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාවක් පොලීසියට ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබුණා ෴

***************************************

ශිෂ්‍යත්වයට තවමත් ඔන්ලයින් පන්ති කරන, ගුරුවරුන්ට එරෙහිව නීතිමය පියවර

(19.01.2022 – 07:22 +0530 – hirunews.lk/sinhala)

උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇති කාලය තුළ ඔන්ලයින් ක්‍රමයට දේශන සිදු කරන ගුරුවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන කියා සිටියේ උපකාර පන්ති පැවැත්වීම තහනම් කර ඇති කාලය තුළ ඔන්ලයින් ඉගැන්වීම් හා සම්මන්ත්‍රණ පැවැත්වීමට ඇතැම් ගුරුවරුන් සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ලබන 22 වනදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ ඇතුළු සියලු ආකාරයේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීම ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරුණා.

එමෙන්ම මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළව පාසල් වලට සිසුන් තෝරා ගැනීම සඳහා වන කඩයිම් ලකුණු වෙනස් කිරීමේ සූදානමක් නොමැති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,943 කදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පෙනී සිටීමට නියමිත විභාග අපෙක්ෂකයින් සංඛ්‍යාව 3,40,508 ක්.

මේ අතර 2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පෙබරවාරි 07 වනදා සිට මාර්තු 05 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,438 කදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා පෙනී සිටීමට නියමිත විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 3,45,242 ක්.

මෙවර උසස් පෙළ විභාගයේදී කොරෝනා අසාදිත විභාග අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම එක් රෝහලක් විභාග මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා ෴

***************************************

මාර්තුවෙන් පසු නැනෝ පොහොර තොගයක්

(19.01.2022 – 07:24 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් මෙරටට නැනෝ දියර පොහොර ඇනවුම් ලැබීමේ ක්‍රියාවලියේ යම් ප්‍රමාදයක් සිදු ව ඇති බව එම පොහොර ආනයනය කරන කොමර්ෂල් පොහොර සමාගම පවසනවා.

එහි සභාපති මෙත්සිරි විජේගුණවර්ධන කියා සිටියේ, ඒ අනුව ඉතිරි නැනෝ පොහොර තොග ලබන මාර්තු මාසයෙන් පසුව මීළඟ කන්නය සඳහා ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙම කන්නය සඳහා වන නැනෝ දියර පොහොර කුඩා තොගයක් ලබන සතියේ දී මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමට සාකච්ඡා පවත්වන බව ඔහු කියා සිටියා.

ඒ අනුව ඊට අදාළ සාකච්ඡාවක් අදාළ පොහොර නිෂ්පාදන සමාගම සමග අද (19) පැවැත්වීමට නියමිත යි.

මෙතෙක් මෙරටට ලැබී ඇති නැනෝ පොහොර සියල්ල මේ වන විට ගොවීන් වෙත බෙදා අවසන් කර ඇති බවයි කමර්ෂල් පොහොර සමාගම සඳහන් කළේ.

කෙසේ වෙතත් පොහොර නො මැති බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් තවදුරටත් චෝදනා එල්ල කරනවා.

මේ අතර පෞද්ගලික පොහොර සමාගම් මඟින් රසායනික පොහොර ආනයනය සඳහා වන ඇනවුම් ඉදිරිපත් කරමින් සිටින බව පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

එහි අධ්‍යක්ෂ චන්දන හේවගේ කියා සිටියේ, මිශ්‍ර පොහොර සහ ඇමෝනියම් සල්ෆේට් අන්තර්ගත තේ පොහොර වර්ග සඳහා වැඩි වශයෙන් ඇනවුම් ලැබෙමින් පවතින බවයි.

කෙසේ වෙතත් යූරියා පොහොර සඳහා මෙතෙක් වැඩි වශයෙන් ඇනවුම් ලැබී නො මැති බව ඔහු ප්‍රකාශ කළා ෴

***************************************

අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(19.01.2022 – 08:05 +0530 – hirunews.lk/sinhala)

කැස්බෑව – සුදර්ශන මාවත ප්‍රදේශයේ දී අත්බෝම්බයක් සමඟින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, ඊයේ (18) සිදු කළ වැටලීමකට අනුව මෙම අත්බෝම්බය සොයා ගත් බව යි.

සැකකරු විසින් මුදලට අලෙවි කිරීම සඳහා අදාළ අත්බෝම්බය තබාගෙන සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු අවුරුදු 37 ක් වයසැති මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(19.01.2022 – 08:13 +0530 – hirunews.lk/sinhala)

නාවින්න ප්‍රදේශයේ දී ඊයේ (18) දින සිදු කළ වැටලීමකින් නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු (2) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

වලංගු වීසා බලපත්‍රයක් නො මැති ව මෙරට රැඳී සිටීමේ වරද යටතේ යි මොවුන් දෙදෙනා (2) ව මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා (2) මහරගම පොලිසිය වෙත භාර දී ඇති අතර, අද (19) දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි ෴

***************************************

ගල්කිස්සේ දී ගණිකා නිවාසයක් වැටලෙයි

(19.01.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස පොලිස් වසමේ වෙඩිකන්ද පාර – රත්මලාන ප්‍රදේශයේ දී සිදු කළ වැටළීමකින් සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් හසු වී තිබෙනවා.

එහි දී ගණිකා නිවාසය කළමනාකරණය කළ හා ගණිකා වෘත්තියේ යෙදී සිටිමේ අදහසින් එහි රැඳි සිටි කාන්තාවක් හත් දෙනෙකු (7) අත් අඩංගුවට ගත් බව යි වාර්තා වෙන්නේ.

අත් අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 34 ත් 51 ත් අතර වයස්වල පසුවෙන කොට්ටාව, පොළොන්නරුව, නාරම්පනාව, මිද්දෙණිය, රත්මලාන හා පාණදුර යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.

සැකකාරියන් අද (19) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස පොලිසිය මඟින් මෙහෙයවෙනු ඇති ෴

***************************************

හේන් පිටින් ගංජා වැවූ අයට වැඩ වරදියි

(19.01.2022 – 08:36 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරින් විසින් සිදු කරන ලද වැටලීමක දී ගංජා හේන් 03 ක් සමග මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සහ වියළි ගංජා ළඟ තබා ගත් පුද්ගලයින් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (18) දින හම්බෙගමුව පොලිස් වසමේ උඩවලව ජාතික වනඋද්‍යානය, පොකුණතැන්න සහ තණමල්විල පොලිස් වසමේ අරඹේකෙම – කිරිවාඩිය ඉදිරිපිට දි යි මෙම වැටලීම් සිදු කර ඇත්තේ.

විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් ඊයේ (18) උදෑසන 10 සිට සවස 3 තෙක් සිදු කළ විශේෂ මෙහෙයුම් සංඛ්‍යාව 05 ක් වන අතර, එහිදි මෙම නීතිවිරෝධී ක්‍රියාවන්ගේ නිරත වන පුද්ගලයින් සිව්දෙනා (4) අත්අඩංගුවට ගැනුණේ.

මෙලෙස අත් අඩංගුවට ගත් කැබලි කරන ලද වියළි ගංජා කිලෝග්‍රෑම් 732 කට අධික ප්‍රමාණයක්, හේන් තුනක (3) වගා කල ගංජා ගස් 12,000 කට අධික තොගයක්, මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක්, වතුර මෝටරයක්, අඩි 100 ක් දිග රබර් හෝස් උපකරණයක් ද සොයා ගෙන තිබෙනවා.

මෙම නීතිවිරෝධී කටයුත්තේ යෙදී සිටි තණමල්විල, මිද්දෙණිය සහ බලංගොඩ ප්‍රදේශවල පදිංචි 25, 27, 30 සහ 45 වැනි වියෙහි පසුවූවන් පිරිසක් අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බෙගමුව සහ තණමල්විල පොලිස් ස්ථාන වෙත භාර දී ඇති අතර, ගංජා හේන් ගිනි තබා විනාශ කිරීම ද සිදු කෙරුණා.

***************************************

අතුරුදන් වූ ධීවරයින් දෙදෙනාගේ (2) සිරුරු හමුවේ

(19.01.2022 – 10:05 +0530 – hirunews.lk/sinhala)

වාකරේ – කායන්කේනි – යානික්කල් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අතුරුදන්ව සිටි එකම පවුලේ පියා සහ පුත්‍රයාගේ සිරුරු වෙරළට ගොඩ ගසා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කායන්කේනි වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී ඊයේ (18) දින මෙම සිරුරු සොයා ගත් බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 56 සහ 21 හැවිරිදි මානික්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *