තමා වෙත කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබුනු බව පිළිගන්නවා – දේශබන්දු තෙන්නකෝන්

තමා වෙත කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබුනු බව පිළිගන්නවා – දේශබන්දු තෙන්නකෝන්

*********************************************

තමා වෙත කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබුනු බව පිළිගන්නවා – දේශබන්දු තෙන්නකෝන්

(18.01.2022 – 18:48 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වන බවට තමා වෙත කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබුනු බව විවෘත අධිකරණයේ දී පිළිගනී.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද (18) යළි කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම විභාගය පැවැත්වුණා.

එම අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්ගේ මෙහෙයවීම යටතේ නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් නම් කර සිටි බස්නාහිර පළාත භාර වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සාක්ෂි ලබා දුන්නා.

පාස්කු ප්‍රහාරය එල්ල වූ 2019 වසරේ අප්‍රේල් මස තමා බස්නාහිර උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වරයා වශයෙන් රාජකාරි කළ බව සාක්ෂිකාර දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළා.

තමා යටතේ කැලණිය, මීගමුව සහ ගම්පහ යනුවෙන් පොලිස් කොට්ඨාස තුනක් තිබූ බවත් පොලිස් ස්ථාන 34 ක් හා ග්‍රාම සේවා වසම් 1722 තිබුණු බවත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

මෙහිදී ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් 2019 වසරේ අප්‍රේල් මස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ නන්දන මුණසිංහ විසින් ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු ලබා දී තිබුණේ දැයි සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකාර දේශබන්දු තෙන්නකෝන් ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් විසින් පොලිස්පතිවරයා හරහා යොමු කර තිබූ ලිපියක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විසින් 2019 වසරේ අප්‍රේල් මස 11 වනදා තමා වෙත යොමු කර තිබූ බව සඳහන් කළා.

“ස්වාමීනි.. එම ලිපිය සමඟ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගේ ඇමුණුමකුත් අමුණා තිබුණා. එම ඇමුණුම් වල සඳහන් කර තිබුණේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් කතෝලික පල්ලි ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බව. එම ඇමුණුම සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උපදෙස් හතරක් (4) ද ලබාදී තිබුණා. සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි නිලධාරීන් දැනුවත් කරන ලෙසත්, එම සැකකරුවන්ගේ ඡායාරූප ලබාගෙන ඔවුන් නිවාස වල හෝ නවාතැන්පොළ වල සැඟවී සිටින්නේ දැයි සොයා බලන ලෙසත් එම උපදෙස් වල සඳහන් කර තිබුණා. එමෙන්ම මහජනතාව තැති ගැන්වීමක් නොවන ආකාරයට මෙම විමර්ශන සිදුකරන ලෙසත් කතෝලික පල්ලිවල ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් එම උපදෙස් වල වැඩිදුරටත් සඳහන් කර තිබුණා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙම ලිපිය ලැබුණු පසුව මාගේ ආවරණ ලිපියක් ද සහිතව ඉදිරි පියවර ගැනීම සඳහා එය මා යටතේ තිබෙන පොලිස් කොට්ඨාශය වෙත යොමු කළා.” යනුවෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළා.

ඔබ විසින් ලබාදුන් උපදෙස් මත පොලිස් ස්ථාන කටයුතු කර තිබුණේ දැයි එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රශ්නයක් යොමු කළා.

“ඔව් ස්වාමීනි…. 2019 අප්‍රේල් මස 12 වනදා වන විට මගේ ලිපිය මා යටතේ තිබුණු පොලිස් කොට්ඨාශ සහ පොලිස් ස්ථාන වලට යවා තිබුණා. 12 වන දා සවස් වෙද්දී මීගමුව ප්‍රදේශයේ පොලිසි වලට ඒවා ගිහින් තිබුණා. උපදෙස් පන්ති වලදී මෙම ලිපිය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කෙරුණු බව කටාන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ ද සඳහන් කර තිබුණා” යනුවෙන් සාක්ෂිකාර දේශබන්දු තෙන්නකෝන් පැවසුවා.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විසින් යොමු කළ ලිපියේ ‘අති රහසිගතයි’ යනුවෙන් සඳහන් කර තිබෙනවා නොවේදැයි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රශ්න කළා.

“ඔව්.. ස්වාමීනී, ප්‍රසිද්ධ ලියවිල්ලක් නොවන අවස්ථාවක තමයි ‘අති රහසිගතයි’ යන පදය යොදන්නේ. බස්නාහිර පළාත තුළ පොලිස් නිලධාරීන් 15,000 ක් පමණ සිටිනවා. ‘අති රහසිගතයි’ යනුවෙන් සඳහන් වුණත් එම නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අදාළ ලිපිය පහළ නිලධාරීන් වෙත යැවීමට සිදු වුණා” යනුවෙන් සාක්ෂිකාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා පැවසුවා.

වැඩිදුරටත් සාක්ෂි දුන් දේශබන්දු තෙන්නකෝන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලබාදුන් තොරතුරු වල නිශ්චිත භාවයක් නොතිබූ නිසා ප්‍රහාරය වළක්වා ගැනීම අසීරු වූ බව සඳහන් කළා.

“ස්වාමීනි… නිලන්ත ජයවර්ධන විසින් ලබා දුන් තොරතුරු වල ‘පාස්කු’ යන වචනය සඳහන් කර තිබුණේ නැහැ. පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වන බව සඳහන් කර නැහැ. ඉදිරියේදී ප්‍රහාරයක් එල්ල විය හැකි බව පමණයි සඳහන් කර තිබෙන්නේ. එහි නිශ්චිත භාවය ගැන ප්‍රශ්නයක් තිබුණා. මේක බැරෑරුම් කමක් සහිත නිශ්චිත බුද්ධි තොරතුරක් නෙවෙයි. මෙවැනි තොරතුරු අපට නිතරම ලැබෙනවා. ප්‍රහාරය එල්ල වන දිනය පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබා දී තිබුණා නම් ක්ෂණික ක්‍රියාමාර්ග ගෙන එය වලක්වා වීමට පියවර ගැනීමට හැකියාව තිබුණා” යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළා.

මෙහිදී විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් ප්‍රශ්නයක් යොමු කරමින් ප්‍රහාරයක් වළක්වා ගැනීම සඳහා නිශ්චිත දිනය හා වේලාව දැන ගෙන සිටීම අවශ්‍ය දැයි සාක්ෂිකරුගෙන් විමසුවා.

“ස්වාමීනී.. මේ තොරතුර නිශ්චිත නැහැ. වියහැකි ප්‍රහාරයක් කියලයි සඳහන් කර තිබෙන්නේ. ඒ නිසා නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නැහැ” යනුවෙන් දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළා.

විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් යළිත් ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ප්‍රහාර වලට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප ලබාගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළේ දැයි සාක්ෂිකරු ගෙන් විමසුවා.

“ස්වාමීනි…. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ගේ ඡායාරූප අපි සතුව තිබුණේ නැහැ. වනාතවිල්ලුව සිද්ධිය, මාවනැල්ල බුදුපිළිම ප්‍රහාර සිද්ධිය වගේ දේවල් ගැන පරීක්ෂණ සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඔවුන් සතුව තමයි එම ඡායාරූප තිබුණේ. මා යටතේ තිබූ පොලිසි වල එම ඡායාරූප තිබුණේ නැහැ.”

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන වලින් ඡායාරූප ලබාගෙන විමර්ශන සිදුකිරීමට හැකියාවක් තිබුණා නොවේ දැයි විනිසුරු ඉර්ෂඩීන් නැවතත් ප්‍රශ්නයක් යොමු කළා.

“ස්වාමීනි… එවැනි ඡායාරූප තිබෙනවා නම් අදාල ආයතන ඒවා අපට ලබාදිය යුතුයි. අපට ඒවා සොයා ගැනීම අපහසුයි. ජාතික මට්ටමින් කටයුතු කරන රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන තමයි ඒවා ලබාදිය යුත්තේ” යනුවෙන් සාක්ෂිකාර දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.

මෙම ප්‍රහාරය එල්ල වන බවට ලැබුණු තොරතුරු පිළිබඳව ඔබගේ යටතේ තිබෙන පොලිස් ස්ථානවල බුද්ධි අංශ හරහා පරීක්ෂණයක් කළේ නැද්දැයි විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමු කළා.

“ස්වාමීනි.. නියෝජ්‍ය පොලිස්පති වශයෙන් මගේ යටතේ බුද්ධි අංශයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. පොලිස් කොට්ඨාශ යටතේ බුද්ධි අංශ ක්‍රියාත්මක වෙනවා. එම බුද්ධි අංශ වල ක්‍රියාත්මක වන නිලධාරීන්ගේ වෘත්තීමය භාවය ගැන ගැටලු තිබෙනවා. ඔවුන් සොයා බලන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා සිදුවන අපරාධ පිළිබඳ බුද්ධි තොරතුරුයි. මෙම ප්‍රහාරය වැනි සංවේදී තොරතුරු පිළිබඳව විමර්ශනය සිදු කළ යුත්තේ රාජ්‍ය බුද්ධි සේවය වැනි ආයතන විසින්” යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළා.

විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ප්‍රශ්නයක් යොමු කරමින් පාස්කු ප්‍රහාරයට පෙර යෙදී තිබුණු සිංහල හින්දු අලුත් අවුරුදු දින වල මෙවැනි ප්‍රහාරයක් එල්ල වීමට ඉඩකඩ තිබු බව ඔබට සිතුණේ නැද්දැයි විමසා සිටියා.

“ස්වාමීනි… සිංහල හා හින්දු අවුරුදු උත්සව සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. එය සාමාන්‍යයෙන් සිදු වන්නක්. කෙසේ වෙතත් පාස්කු දිනෙත් අපි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. මීගමුව ‘දූවේ’ පැවති පාස්කු උත්සවයට අපි විශේෂ ආරක්ෂාවක් ලබා දුන්නා. ‘පාස්කු ඉරුදින’ ප්‍රහාරයක් එල්ල වන බවට මට ලැබුණු තොරතුරු වල නිශ්චිතව සඳහන්ව තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට තිබුණේත් නෑ. එසේ සඳහන් කර තිබුණා නම් පියවරක් ගන්න තිබුණා” යනුවෙන් සාක්ෂිකරු පැවසුවා.

පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වන බවට අප්‍රේල් මස 20 වන දා සවස ඔබට කිසියම් පණිවුඩයක් ලැබී තිබුණේ දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කළා.

“ස්වාමීනි.. පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වන බවට පොලිස් මූලස්ථානයෙන් හෝ රාජ්‍ය බුද්ධි සේවයෙන් මට කිසිදු තොරතුරක් ලැබී තිබුණේ නෑ. කිසිම ‘වට්ස්ඇප්’ පණිවුඩයක් ලැබී තිබුණෙත් නෑ. මගේ බල ප්‍රදේශය තුළ කතෝලික දේවස්ථාන සියයකට (100) අධික සංඛ්‍යාවක් තිබෙනවා. එවැනි තොරතුරක් ලබාදී තිබුණා නම් වහා ක්‍රියාත්මක වී අවශ්‍ය පියවර ගන්න තිබුණා යනුවෙන් දේශබන්දු තෙන්නකෝන් පැවසුවා.

වැඩිදුරටත් සාක්ෂි දුන් දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් මස 18, 19 සහ 20 යන දිනවල තමා නිවාඩු ලබා සිටි බව සඳහන් කළා.

බස්නාහිර දකුණ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ එම කාලවකවානුවේ තමන් වෙනුවෙන් වැඩ බැලූ බවද ඔහු පැවසුවා.

තමා නිවාඩු අයදුම් කළේ අප්‍රේල් මස 03 වනදා බවත් එම අවස්ථාවේ සහරාන් හෂීම් ඇතුළු අනුගාමිකයින් ප්‍රහාරයක් එල්ල කරන බවට ශ්‍රී ලංකා පොලීසිය වෙත තොරතුරු ලැබී නොතිබූ බවත් සාක්ෂිකරු සඳහන් කළා.

ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් මස 21 දා තමා නිවාඩු මත මහනුවර ප්‍රදේශයේ සිටි බවත් කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව දැනගත් පසු තමා වහා මීගමුව ප්‍රදේශයට පැමිණි බව සඳහන් කළ සාක්ෂිකරු කාදිනල්තුමා කටුවාපිටිය දේවස්ථානයේ පිපිරීම නිරීක්ෂණය කළේ තමන් සමග ගොස් බවත් සඳහන් කර සිටියා.

ප්‍රහාරයක් එල්ල වන බවට තමන් වෙත ලබාදුන් තොරතුරු සහ ඒ පිළිබඳව ගත් පියවර පිළිබඳව එවක පොලිස්පතිවරයා විසින් කිසිදු අවස්ථාවක තමාගන් පසු විපරමක් සිදු නොකළ බවයි සාක්ෂිකරු සඳහන් කළේ

ඉන් අනතුරුව විත්තිකාර පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාර දේශබන්දු තෙන්නකෝන් පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වන බවට තමා වෙත කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබුනු බව විවෘත අධිකරණයේ පිළිගත්තා.

අනතුරුව වැඩිදුර විභාගය හෙට (19) දින තෙක් කල් තැබුණා ෴

***************************************

සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහි ව විරෝධතාවක්

(18.01.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

පොදුජන පෙරමුණට අනුබද්ධ, ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවක සංගමය අද (18) පෙරවරුවේ දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඒ, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ එම ධුරයෙන් ඉවත් කරන ලෙසට බල කරමින්.

මේ අතර, දේශීය ආදායම් සේවා සංගමය මේ වනවිට මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.

ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ පරිපාලනය කරන ලද බදු වර්ග කිහිපයක්, රැස් කිරීම මහා භාණ්ඩාගාරයේ වෙත පැවරීමට විරෝධය පළ කරමින්.

මේ හරහා මහජන මුදල් අවභාවිතයක් සිදු විය හැකි බව දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි කියා සිටියා.

+++++++++

පරීක්ෂණ නතර නොකරන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කියයි

(18.01.2022 – 20:37 +0530 – hirunews.lk/sinhala)

වෘත්තිය සමිති විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වුවද, රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ නතර නොකරන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ ප්‍රකාශ කළා.

ජාතික සත්වෝද්‍යාන ක්‍රියාකාරී සේවක සංගමය සහ ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමය අද (18) පෙරවරුවේ දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණේ මෑතකදී පත්වූ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කරන ලෙස බල කරමින්.

නරඹන්නන් වෙත ප්‍රවේශපත්‍ර ලබාදීමට විරෝධතාවයේ නිරත පිරිස් කටයුතු නොකිරීමත් සමඟ වෙනත් නිලධාරීන් පිරිසක් ප්‍රවේශපත්‍ර ලබාදීමට මැදිහත් වුණා. ඔවුන්ටද එහිදී විරෝධය පළවූ අතර, පොලිසියද ඊට මැදිහත් වුණා.

එමෙන්ම විරෝධතාවයේ නිරත වෘත්තිය සමිති සත්‍යග්‍රහයක්ද ආරම්භ කරනු ලැබුවා.

මෙම විරෝධතාවට සමගාමීව හම්බන්තොට – රිදීගම සෆාරි උද්‍යානයේ සේවකයන් පිරිසක්ද විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

***************************************

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකියි

(18.01.2022 – 16:31 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඊයේ (17) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් මෙරට විදේශ අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සිවිල් වැසියන් කිහිපදෙනෙකුට මරු කැදවමින් එක්සත් අරාබිඑමීර් රාජ්‍යයේ වෙසෙන සිවිල් වැසියන් සඳහා වූ පහසුකම්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය දැඩි ලෙස හෙළා දකන බවයි එහි දැක්වෙන්නේ.

විපතට පත්වූවන්ගේ පවුල්වලට, එක්සත් අරාබි එමීර්රාජ්‍යයේ ජනතාවට සහ රජයට ශ්‍රී ලංකාව සිය බලවත් ශෝකය පළ කර සිටින බවයි විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ.

එමෙන්ම ගෝලීය සාමයට සහ ආරක්ෂාවට හානි එල්ලවන ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව අඛණ්ඩව සුපරීක්ෂාකාරී වීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව යළිත් අවධාරණය කරන බවත් එහි සදහන් ෴

***************************************

මඩොල්සිම කදු පාමුලින් හමුවූ රයිනෝසිරස් රංචුව

(18.01.2022 – 17:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ වසර මිලියන අටකට (8) පෙර ජීවත් වු රයිනෝසිරස් රංචුවකගේ හිස් කබල් ඇතුලු අස්ථි කොටස් මඩොල්සිම කදු පාමුල වෙල්යායක අඩි අසුවක් (80) යට මැණික් පතලක මිහිදන්ව තිබියදි පතල් කරුවන් පිරිසක් විසින් 1996 වර්ෂයේදි සොයාගෙන තිබුනත් මේ වන තෙක් ඒවා පිළිබද පර්යේෂණ සිදු නොකළ බව ප්‍රදේශවාසීන් පවසනවා.

ලුණුගල ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයේ ලුණුගලගම මළ අමුණ වෙල්යායේ 1996 වර්ෂයේ අඩි අසුවක් (80) ගැඹූර මැණික් පතලකින්
පතල්කරුවන්ට විශාල සත්ව හිස් කබල් සහිතව හමුවු පොසීල පිළිබද විද්‍යඥයින් සිදු කළ පරීක්ෂණයකින් පසු ඒවා ප්ලයිස්ටෝනසීන යුගයේ ජීවත් වු වසර අසු දහසකට (80,000) පෙර උල්කාපාත වර්ෂාවකින් මියගිය රයිනෝසිරස් රංචුවකගේ හිස් කබල් ඇතුලු අස්ථි කොටස් බවට හදුනාගෙන තිබෙනවා.

මෙවැනි පෞරාණික වටිනාකමක් තිබෙන සත්ව කොටිඨාශයක තොරතුරු හමුවී ඒවා සියල්ල ගොඩට ගැනීමට වසර 16 ක් ගෙවී ගියත් කිසිම රාජ්‍ය ආයතනයක් හෝ කිසිවෙකු මෙතෙක් ඉදිරිපත් නොවුන බව ප්‍රදේශවාසින් පවසනවා.

***************************************

රත් වුණු හම්බන්තොට ලුණු ලේවාය

(18.01.2022 – 22:10 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට ලුණු සමාගමේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් සිදුකළ සත්‍යග්‍රහය අතරතුරදී අද (18) උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, ලුණු ලේවාය ඉදිරිපිටට පැමිණි පිරිසක් එහි සී.සී.ටී.වී. කැමරාවලට හානි සිදුකරමින් කළහකාරී ලෙස හැසිරීමත් සමඟයි.

පාලක මණ්ඩලයේ වැටුප් වැඩි කරගැනීම හා හම්බන්තොට අවට ව්‍යාපාරිකයින්ගේ ලුණු පංගු කපා ඉවත් කිරිමට විරෝධය පළ කරමින් ලංකා ලුණු සමාගමේ සභාපති වරයා ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් මහ ලේවායේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද ආරම්භ කළේ පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදායි.

සති කිහිපයක් තිස්සේ පැවති සත්‍යග්‍රහය අතරතුර හම්බන්තොට නගරාධිපතිවරයා විසින් තමන්ට මරණ තර්ජන සහ බියවැද්දීම් කළ බවට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරන මහතා ඊයේ (17) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද භාර දුන්නා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *