කොරෝනා : යළි ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිවීමක්

කොරෝනා : යළි ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිවීමක්

*********************************************

කොරෝනා : යළි ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිවීමක්

(18.01.2022 – 07:32 +0530 – hirunews.lk/sinhala)

ලබන 22 වනදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව කොරෝනා ආසාදිත සිසුන් සඳහා විශේෂිත විභාග මධ්‍යස්ථාන 108 ක් ස්ථාපිත කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,943 කදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පෙනී සිටිීමට නියමිත විභාග අපෙක්ෂකයින් සංඛ්‍යාව 3,40,508 ක්.

විභාගයේ සම්බන්ධීකරණ කටයුතු සඳහා විශේෂ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496 ක් ද පිහිටුවා තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් එම්.එල්.ඩී. ධර්මසේන කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙවර විභාගයේදී සෞඛ්‍ය පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කිරීමට සියලු සිසුන්, ගුරුවරුන් සහ ශාලාධිපතිවරුන් ඇතුලු විභාග කාර්ය මණ්ඩල කටයුතු කල යුතු බවයි.

එමෙන්ම කොරෝනා ආසාදිත සහ නිරෝධායනය වෙමින් සිටින සිසුන් සඳහා දිවයින පුරා විශේෂිත විභාග මධ්‍යස්ථාන 108 ක් ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා.

එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා කියා සිටියේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන සිසුන් සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන සිසුන් වෙනුවෙන් සෑම විභාග මධ්‍යස්ථානයකම විශේෂ විභාග ශාලාවක් වෙන් කෙරෙන බවයි.

මේ අතර, මෙරට කොරෝනා දැඩිසත්කාර ඒකක සඳහා වෙන් කර ඇති ඇඳන් 70 න් 52 ක්ම මේ වන විට කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී පවතින බව කොවිඩ්-19 පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හන්දානි කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම, ඊයේ (17) දිනයේදීත් මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 688 දෙනෙකු වාර්තා වුණා ෴

++++++++++++

කොරෝනා නිසා පාසලක පන්ති දෙකක් (2) වැසේ

(18.01.2022 – 14:50 +0530 – hirunews.lk/sinhala)

ගිනිගත්හේන ජාතික පාසලේ සිසුන් පිරිසකට සහ ගුරුවරුන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පන්ති දෙකක් (2) තාවකාලිකව වසා දමා තිබෙනවා.

ළමුන් 8 දෙනෙකුට සහ ගුරුවරුන් තුන් දෙනෙකුට (3) කොවිඩ් ආසාදනය වී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අනතුරුව එම සිසුන් අධ්‍යාපනය ලබන 10 සහ 11 පන්ති තාවකාලිකව වසා දමා ඇති අතර සමස්ත පාසලම විෂබීජහරණයට ලක් කළ බව විදුහල්පතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ළමුන් පිරිසකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද (18) දිනයේ පාසලට පැමිණ ඇත්තේ ළමුන් 150 ක පමණ පිරිසක් වන අතර ඉන් රෝග ලක්ෂණ සහිත සිසුන් පිරිසක් නැවත නිවෙස් වෙත යොමුකර තිබෙනවා.

අද (18) දිනයේ පාසලට පැමිණ ඇත්තේ ගුරුවරුන් 63 දෙනෙකු පමණක් බව ද විදුහල්පතිවරයා සඳහන් කළා.

පාසලට නොපැමිණි ළමුන් වෙනුවෙන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති අතර ආසාදිත ළමුන් සහ ගුරුවරුන්ගේ ආශ්‍රිත සිසුන් මෙන්ම ගුරුවරුන් ස්වයං නිරෝධායනයට ද පියවර ගෙන තිබෙනවා.

පාසලේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද විධිමත් කර ඇති අතර ආසාදිත ළමුන්ගේ සමීප ආශ්‍රිතයන් වූ වූ ළමුන් 500 ක් පමණ නිවාසවල රඳවා ඇතැයි සඳහන්.

ගිනිගත්හේන ජාතික පාසලේ ළමුන් 2100 ක් පමණ අධ්‍යාපනය ලබන අතරගුරුවරුන් 100 කට ආසන්න පිරිසක් ඉගැන්වීමේ කටයුතුවල නිරතවනවා ෴

++++++++++++

කොරෝනා ආසාදිතව සිටි තවත් 133 දෙනෙකු සුවය ලබයි

(18.01.2022 – 15:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 133 දෙනෙකු අද (18) දිනයේ දී සුවය ලබා තිබෙනවා.

ඒ අනුව, සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 5,68,506 ක් ලෙසයි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 13,311 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++

දීර්ඝ සතිඅන්තයේදී විනෝද චාරිකාවල ගිය පිරිස්වලට විශේෂ දැනුම්දීමක්

(18.01.2022 – 15:20 +0530 – hirunews.lk/sinhala)

ගතවූ දීර්ඝ සතිඅන්තයේදී විනෝද චාරිකාවල සහ විවිධ සංචාරවල නිරතවූ පිරිස්වලට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

විනෝද චාරිකා ගිය පුද්ගලයෙකු හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකුට ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණයක් මතුවුවහොත් වහාම කොවිඩ් පරීක්ෂණයක් සිදුකරගන්නා ලෙසටයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්විවරයා පෙන්වා දුන්නේ ගතවූ දීර්ඝ සති අන්තයේදී ජනතාව ඒකාරාශීවීම් රැසක් නිරීක්ෂණය වූ බවයි.

මෙම තත්වයෙන් අනතුරුව රෝගීන්ගේ වැඩිවීමක් සිදුවිය හැකි බවයි ඔහු අනතුරු අඟවන්නේ.

මෙය පාලනය කර ගැනීම සඳහා සහ තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම වෙනුවෙන් මෙම පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

සුළුවෙන් හෝ උණ තත්වයක් දින කිහිපයක් පවතින්නේ නම් ඩෙංගු රෝගය ද මේ දිනවල පවතින බැවින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි ඔහු කියාසිටියේ.

ගෙවුණු දිනයේදීත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 690 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,97,035 ක් ලෙසයි.

මේ අතර උත්සව සමය තුළ විනෝද චාරිකා යෑමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්වලට අනුකූලව කටයුතු කරන ලෙසටයි සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දෙන්නේ.

මේ අතර වර්ධන එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් ඔමික්‍රොන් ප්‍රභේදය උදාසීන කළ හැකි බව අමෙරිකාවේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයෙකුගෙන් තවත් ආසාදිතයෙකුට පැතිරීමට ගත වන්නේ දින 2 ක් වැනි කෙටි කාලයක්.

මේ හේතුව නිසා හැකි ඉක්මනින් කොවිඩ් මර්දන එන්නතේ තෙවැනි (3) මාත්‍රාව ලබාගැනීමට වග බලාගන්නා ලෙසයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මේ අතර, ඔමික්‍රෝන් ප්‍රභේදය මර්දනය කිරීමේ එන්නතක් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

ජෙනෝවා නම් ඖෂධ නිෂ්පාදන ආයතනය විසින් නිෂ්පාදනය කරමින් පවතින මෙම එන්නත ඉදිරි මාස 2 ක ඇතුළත නිම කළ හැකි බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ නිවේදනය කර ඇත්තේ ෴

++++++++++++

කොළඹ වරාය නගරයෙන් කොවිඩ් පොකුරක් මතුවීමේ අවදානමක්?

(18.01.2022 – 15:26 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින කිහිපය තුල කොළඹ වරාය නගරයේ මරීනා මහජන මංතීරුවට පැමිණි අති විශාල ජනකාය බරපතල සෞඛ්‍ය ගැටලුවක් ඇති කිරීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

පසුගිය දින කිහිපයේ යෙදී තිබුණු දීර්ඝ සතිඅන්ත නිවාඩුව හේතුවෙන් මෙම මහජන මං තීරුවට පැමිණ සිටි දේශීය සංචාරකයින් කිසිදු සෞඛ්‍යය පිළිවෙතක් අනුගමනය නොකිරීම මෙම අනතුරු දායක තත්ත්වය ඇතිවීමට හේතුව බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ වන විට මෙලෙස වරාය නගරයේ මහජන මං තීරුවට පැමිණි පිරිස පිළිබඳ නිල සංඛ්‍යා දත්ත වාර්තා එළි දැක් වී ඇති අතර එම වාර්තාවන්ට අනුව පසුගිය දින කිහිපය මුළුල්ලේ මෙම මං තීරුවට පුද්ගලයින් 89,540 පැමිණ තිබෙනවා.

මෙලෙස අඛණ්ඩව වරාය නගර මහජන මංතීරුවට දේශීය සංචාරකයින් පැමිණීම හේතුවෙන් අවස්ථා ගණනාවකදී එම මං තීරුවට ඇතුළු වන ගේට්ටු පවා වසා දැමීමට පොලිසියට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙලෙස පැමිණි බොහෝ දෙනෙකු කෝවිඩ්-19 සෞඛ්‍යය මාර්ගෝපදේශ නොසලකා හරිමින් මුහුණු ආවරණ පවා නොමැතිව එම මහා ජනකාය සමග ගැවසෙන අයුරු දැක්වෙන ඡායාරූප බොහොමයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා ෴

++++++++++++

තවත් කොරෝනා මරණ 13 ක්

(18.01.2022 – 18:19 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 13 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ ගණන 15,231 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ප්‍රියන්ත කුමාරගේ බිරිඳට පාකිස්ථාන ව්‍යාපාරික ප්‍රජාවගෙන් රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයකට ආසන්න මුදලක්

(18.01.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala)

පකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර වෙනුවෙන් එරට ව්‍යාරික ප්‍රජාව සහ ඔහු සේවය කළ කර්මාන්ත ශාලාවේ මාසික වැටුප ද සහිතව ඩොලර් ලක්ෂයක (1,00,000) මුදලක් බිරිඳගේ ගිණුම වෙත යොමුකර තිබෙනවා.

පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුප සෑම මාසයකදීම ඔහුගේ බිරිඳට යැවීමට සමාගමේ බලධාරීන් එකඟතාව පළකර ඇති බවයි.

මෙම මුදල මෙරට වටිනාකමින් රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයකට (2,40,00,000) ආසන්නයි.

ඔහු ඝාතනයට ලක්වන විට සියල්කොට් නුවර Rajco Industries සමාගමේ කළමණාකරු වශයෙන් සේවය කරමින් සිටියා.

ඝාතනයෙන් පසු පළමු (1) වැටුප ඊයේ (17) දිනයේ අදාළ සමාගම විසින් ප්‍රියන්ත කුමාරගේ බිරි‍ඳ වෙත යොමුකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිටින ඇයගේ ගිණුමට ඊයේ (17) දිනයේ ඩොලර් 100,000 ක මුදලක් යොමු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඊට ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුප වන ඩොලර් 1667 ද ඇතුලත්.

සියල්කොට් හි ව්‍යාපාරික ප්‍රජාව මියගිය ප්‍රියන්ත කුමාර වෙනුවෙන් ඩොලර් 100,000 ක් රැස් කර ඇති අතර එය, ඔහුගේ වැටුප ද සමග බිරිඳට යවන බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිවේදනය කර තිබෙනවා.

සියල්කොට් ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර පසුගිය දෙසැම්බර් මාසයේදී ඝාතනය කරනු ලැබුවා.

සියල්කොට් හි වසිරාබාද් පාරේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර තිබුණේ සේවකයන් විසින් අලවා තිබූ පෝස්ටරයක් ගලවා ඉවත් කළ බවට චෝදනා කරමින්.

කලහකාරීන් පිරිස කර්මාන්ත ශාලාවට ද ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම ම්ලේච්ඡ ඝාතනය, පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මෙන්ම හමුදාවේ ඉහළ නායකත්වයේ ද දැඩි හෙළා දැකීමට ලක්වුණා.

සිද්ධියට අදාළව ප්‍රධාන විත්තිකරුවන් ලෙස හැඳින්වෙන දෙදෙනකු (2) ඇතුළු සැකකරුවන් 100 කට අධික ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පන්ජාබ් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ පොලිසිය සැකකරුවන් සම්බන්ධයෙන් නඩුවක් ගොනුකර ඇති බවයි.

++++++++

පාකිස්තානයේ ඇඟලුම් කම්හල් කළමනාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටියදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර දියවඩන වෙනුවෙන් වගකීම් ඉටු කිරීම පිළිබදව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රසාදය පළ කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, ප්‍රියන්ත කුමාරගේ වැන්දඹු බිරිදගේ ගිණුමට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් එනම් රුපියල් 2,13,00,000 මුදලක් බැර කිරීමට සියල්කොට් හි ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කර ඇති බවයි.

එමෙන්ම, ඇයගේ ගිණුමට ප්‍රියන්ත කුමාර සේවය කළ සමයේ ලබාදුන් මාසික වැටුප වන ඩොලර් 2000 ක මුදලක් බැර කර ඇති බව ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේ එය ඉදිරි වසර 10 පුරාම ක්‍රියාත්මක වනු ඇති බවයි.

***************************************

ඇල්පිටියේ රිය අනතුරකින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

(18.01.2022 – 09:05 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය – පිටිගල ප්‍රධාන මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මව සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඔවුන් ගමන් කළ යතුරුපැදිය ලොරි රථයක ගැටී ඊයේ (17) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

පැලවත්ත ප්‍රදේශයේ පදිංචි මව වයස අවුරුදු 47 ක් වන අතර පුත්‍රයාගේ වයස අවුරුදු 21 ක්.

අනතුරෙන් පසු ලොරි රථයේ රියදුරු පලා ගොස් ඇති අතර පසුව පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජනවල වටිනාකම වාර්තාගත ලෙස වර්ධනය වෙයි

(18.01.2022 – 10:06 +0530 – hirunews.lk/sinhala)

සේවක අර්ථ සාධක අරමුදල කොටස් හිමිකම්වල සිදුකළ ආයෝජනවල වටිනාකම පසුගිය 2021 වසර තුළ වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇති බව මහබැංකුව පවසනවා.

2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වසර තුළ සේවක අර්ථසාධක අරමුදලේ කොටස් හිම්කම් වටිනාකම රුපියල් බිලියන 112 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා සිදුකළ වැය රුපියල් බිලියන 84 ක් පමණයි.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ කොටස් හිමිකම් අගය රුපියල් බිලියන 28 කින් ඉහළ ගොස් ඇති බවයි මහබැංකුව පෙන්වා දෙන්නේ ෴

***************************************

ගෙවුණු පැය 24 තුළ දියේ ගිලීම් සහ අනතුරුවලින් 6 ක් මරුට

(18.01.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ගෙවීගිය පැය 24 තුළ දියේ ගිලීම් සහ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම, පානදුර මුහුදේ දියනෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙකු ද අතුරුදන් වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු සොයා ජීවිතාරක්ෂක කණ්ඩායම් මෙහෙයුම් සිදු කරන අතර අතුරුදන් සිසුවා පානදුර – එළුවිල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි.

ඔහු තම පියා සහ සෙහොයුරෙකු සමග දිය නාමින් සිටිය දී රළ පහරට හසුව මෙලෙස අතුරුදන්ව තිබෙනවා.

මේ අතර, වාද්දුව මුහුදු වෙරළේ කුඩා දරුවෙකු සමග සෙල්ලම් කරමින් සිටිය දී බෝලයක් ගැනීමට ගොස් රළ පහරට හසුව දියේ ගිලී 37 හැවිරිදි තරුණයෙකු ඊයේ (17) ජීවිතක්ෂයට පත්වුණා.

මියගිය පුද්ගලයා වාද්දුව – පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

වැඩි ඉල්ලුමක් ඇති එළවළු රැසක මිල ඉහළ බව වෙළෙඳුන් කියයි

(18.01.2022 – 15:07 +0530 – hirunews.lk/sinhala)

පැවති තත්ත්වයට සාපේක්ෂව එළවළු කිහිපයක මිල පහත වැටී ඇති බව විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කිහිපයකින් වාර්තාවනවා.

කෙසේ වෙතත් වැඩි ඉල්ලුමක් ඇති එළවළු රැසක් තවමත් අලෙවිවන්නේ ඉහළ මිල ගණන් යටතේ බවද වෙළෙඳුන් පෙන්වා දෙනවා ෴

***************************************

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මවක සහ පුතෙකු අත්අඩංගුවට

(18.01.2022 – 15:45 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මවක සහ පුතෙකු තලෙයිමන්නාරමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට පත්වන අවස්ථාවේ, ඔවුන් සතුව රුපියල් කෝටියකට (1,00,00,000) අධික වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 20 ක් තිබුණු බවටයි, පොලීසිය පවසන්නේ ෴

***************************************

ප්‍රෝඩාකාරී අන්දමින් බලය ලබාගත්ත අය රට විනාශ කරනවා – සජිත් ප්‍රේමදාස

(18.01.2022 – 14:04 +0530 – hirunews.lk/sinhala)

බදු ගෙවන ජනතාවගේ මුදලින් පාලකයන් සුඛෝපභෝගි ජීවිත ගත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

බණ්ඩාරවෙල පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

ප්‍රෝඩාකාරී අන්දමින් බලය ලබාගත්ත අය රට විනාශ කරන බවත්, ආණ්ඩුව හැමදේටම සල්ලි නැති බව පවසන බවත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *