විදුලිබල අමාත්‍යාංශය අදත් (18) සාකච්ඡාවක – ඉංජිනේරුවරුන් ලෙඩ වෙයි

විදුලිබල අමාත්‍යාංශය අදත් (18) සාකච්ඡාවක – ඉංජිනේරුවරුන් ලෙඩ වෙයි

*********************************************

විදුලිබල අමාත්‍යාංශය අදත් (18) සාකච්ඡාවක – ඉංජිනේරුවරුන් ලෙඩ වෙයි

(18.01.2022 – 07:34 +0530 – hirunews.lk/sinhala)

සැලසුම් කළ පරිදි අසනීප නිවාඩු වාර්තා කරමින් අද (18) සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයාගේ පත්වීමට විරෝධය පළ කරමින්.

ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊට සමගාමීව පෙරවරු 10 ට විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක ද නිරත වන බවයි.

මේ අතර, විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය දැවි තෙල් පවතින්නේ අද (18) දිනය දක්වා පමණක් බව ද විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දුන්නා.

මෙවන් පසුබිමක් තුළ ඉදිරි දින සඳහා විදුලිබල මණ්ඩලය වෙත ඩීසල් තොග ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන සමග අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ කියා සිටියේ ෴

+++++++++++

බලශක්ති ඇමැති උදය ගම්මන්පිලගෙන් චෝදනාවක්

(18.01.2022 – 09:39 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මාසයට ඩීසල් අවශ්‍ය නැති බව කී ලංකා විදුලිබල මණ්ඩලය එක්වර ම සිය වචනය වෙනස් කර ඉකුත් 11 වැනි දා ඉන්ධන ඉල්ලා සිටි බවට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල චෝදනා කරනවා.

ආනයනය කළ ඩීසල් තොග විදුලිබල මණ්ඩලයට ලබා දුන හොත් රථවාහන ධාවනය සඳහා නිකුත් කිරීමට ඉන්ධන නැති වන බැවින් එය කළ නො හැකි කාර්යක් බව යි ඇමැතිවරයා අවධාරණය කරන්නේ.

මේ වනවිට විදුලිබලය සඳහා නිකුත් කිරීමට ඉන්ධන නො මැති බව කී ඔහු, ලංකා විදුලි බල මණ්ඩලය තමන්ට ඩොලර් ලබා දුන හොත් අවශ්‍ය ඉන්ධන ආනයනය කර ලබාදිය හැකි බව පවසනවා.

රටේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන දහසක් (1000) වුවත් එයින් රටට නිශ්චිත ව ලැබෙන්නේ ඩොලර් මිලියන 750 ක් පමණක් බව සඳහන් කරන ගම්මන්පිල අමාත්‍යවරයා, එයින් ඩොලර් මිලියන 400 ක් ඉන්ධන සඳහා ලබාගැනීම යනු, අපනයන ලැබීම්වලින් 55% ක් ඉන්ධන සඳහා යෙදීමක් බවත් රට පවතින ආර්ථික අර්බුදය හමුවේ එය කිරීමට අපහසු දුෂ්කර වැඩක් බවත් අවධාරණය කරනවා.

අතිශය පීඩාකාරී වටපිටාවක සිටින තමාට විදුලිබලය සඳහා අවශ්‍ය ඩොලර් සෙවීම කළ හැකි කාරියක් නොවන බව කියන ඔහු, විදුලිබලය සඳහා අවශ්‍ය ඩොලර් සම්පාදනය කරගැනීම එම විෂය භාර බලධාරීන්ගේ කාර්යක් බව ද සඳහන් කළා.

+++++++++++

අද (18) සවස පහේ (5) සිට කැලණිතිස්ස විදුලි ජනනය නවතියි – ඉංජිනේරු සංගමයෙන් අනතුරු ඇඟවීමක්

(18.01.2022 – 12:00 +0530 – hirunews.lk/sinhala)

අද (18) පස්වරු 05:00 සිට කැලණිතිස්ස විදුලි බලාගාර සංකීර්ණයේ සියලු ම තාප විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

මීට හේතු වී ඇත්තේ, එම විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග අද (18) සවස් වනවිට අවසන් වීමයි.

අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට අවස්ථා ගණනාවක දී බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කළ ද එම සාකච්ඡාවලට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් හිමි වී නැහැ.

මේ අනුව අද (18) සවස පහේ (5) සිට ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 300 ක ධාරිතාවක් අහිමි වනු ඇති.

මේ හේතුවෙන් අද (18) දින සිටම රාත්‍රී කාලයේ පැය එක හමාරක (1½) විදුලි කප්පාදුවක් කිරීමට සිදු වනු ඇති බවට යි විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පවසන්නේ.

මේ අතර තත්ත්වය මෙසේ තිබිය දී විදුලිබල මණ්ඩල ඉංජිංජිනේරු සංගමය අද (18) දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නො කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකටත් එළඹී තිබෙනවා.

+++++++++++

විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන අද (18) පස්වරුවේ

(18.01.2022 – 14:02 +0530 – hirunews.lk/sinhala)

හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ එවැනි තත්වයකදී විදුලි කප්පාදුව සිදුකරන ප්‍රදේශ ඇතුළත් කාලසටහන පිළිබදව අද (18) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරන බවයි.

එමෙන්ම තාප බලාගාරවල විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා ලංකා අයි.ඕ.සී. සමාගම සමඟ අද (18) සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් ලංකා අයි.ඕ.සී. සමාගම ප්‍රකාශ කළේ ඉන්ධන මිලදී ගැනීමේදී, තමන්ද ඛනිජ තෙල් සංස්ථාව මෙන් ණයවර ලිපි විවෘත කිරීමේ ගැටළුවකට මුහුණ දෙන බවයි.

මේ නිසා මෙරට එල්.අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන සැපයීමට මේ මොහොතේ ප්‍රමුඛත්වයක් ලබාදෙන බවද සමාගම අවධාරණය කළා.

මේ අතර විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන අයි.ඕ.සී. සමාගමෙන් ලබාගැනීමේ විදුලිබල අමාත්‍යවරයාගේ සැලසුම පිටුපස මෙරට තාප විදුලි බලාගාර ඉන්දියාව සතු කිරීමේ වැඩපිළිවෙළක් ඇතැයි විදුලි වෘත්තීය සමිති චෝදනා කරනවා.

පවතින විදුලි අර්බුදය හමුවේ මේ වන විට විදුලි ඉංජිනේරුවන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකද නිරත වනවා.

පවතින විදුලි අර්බුදය පාලනය කර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික් ටොන් 3000 ක් කැලණිතිස්ස බලාගාරයට පසුගියදා ලැබී තිබුණත් එම ඉන්ධන ප්‍රමාණවත් වන්නේ අද (18) දිනයට පමණයි.

ඒ අනුව අවශ්‍ය ඉන්ධන නොලැබුණහොත් ලබන 22 වැනිදා දක්වා ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් ඇතිකිරීම ගැටලු සහගත වී තිබෙනවා.

විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඩොලර් ලබාදිය යුතු බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විදුලිබල මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දුන්නේ.

කෙසේ වෙතත් අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට විකල්ප ක්‍රියාමාර්ග සොයමින් සිටින විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේල ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය ඉන්ධන අයි.ඕ.සී. සමාගමෙන් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

එමෙන්ම අවශ්‍ය ඩොලර් ලබා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශය සමඟ අද (18) සාකච්ඡා කරන බවද විදුලිබල අමාත්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

පවතින අර්බුදය මධ්‍යයේ ලංකා විදුලි ඉංජිනේරු සංගමය අද (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙන අතර විදුලිබල මණ්ඩලය ඉදිරිපිට ඔවුන් විරෝධතාවකද නිරත වුණා.

විදුලි ඉංජිනේරුවන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට හේතු වී ඇත්තේ විදුලිබල මණ්ඩලයේ පත්කිරිම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක්.

මේඅතර, අබුඩාබියේ දී එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයෙන් අනතුරුව මැදපෙරදිග තෙල් සැපයුම පිළිබඳව මතුව ඇති අවිනිශ්චිතතාවය හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වසර 7 කට පසුව අද (18) ඉහළම අගයට පත්වුණා.

අබුඩාබි ප්‍රහාරයෙන් පසු ඉරාන සන්ධානය සහ සෞදි සන්ධානය අතර ඇතිවී තිබෙන උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් තෙල් සැපයුම අඩුවිය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මේ නිසා බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අද ආසියානු වෙළෙඳ පොළේ අලෙවි වූයේ ඩොලර් 86.92 ක මිලකටයි.

එමෙන්ම අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද සටහන් වූයේ ඩොලර් 84.62 ක් ලෙසයි ෴

+++++++++++

සපුගස්කන්ද බලාගාරයේ විදුලි උත්පාදනය නතර කරයි

(18.01.2022 – 15:18 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන නොමැතිකම හේතුවෙන් සපුගස්කන්ද බලාගාරයේ විදුලි උත්පාදනය නතර කර තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන මෙට්‍රික් ටොන් 900 ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීමට ආරම්භ කර ඇති බවටයි, වාර්තා වන්නේ.

කැලණිතිස්ස විදුලි බලාගාර සංකීර්ණයේ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (18) පස්වරු 05:00 සිට සියලු තාප ජනන යන්ත්‍ර වසා දැමීමට සිදුවන බව, ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය මීට පෙර ප්‍රකාශ කළා.

අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සඳහා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළද එම සාකච්ඡාවලට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

ඒ අනුව අද (18) පස්වරු 05:00 සිට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 300 ක ධාරිතාවක් අහිමි වුණා.

මේ හේතුවෙන් අද (18) සිට රාත්‍රී කාලයේ පැය එකහමාරක් (1½) විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවයි ලංවිම ලේකම්, ධම්මික විමලරත්න ප්‍රකාශ කළේ.

මේ අතර, තත්ත්වය මෙසේ තිබියදී විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද (18) ලෙඩ නිවාඩු ගෙන සේවයට වාර්තා නොකර වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා ෴

+++++++++++

ශ්‍රී ලංකාවට ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක්

(18.01.2022 – 16:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබාදෙන බවට සහතික කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජෙයිශංකර් මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත ලිපියක් නිකුත් කර තිඛෙනවා.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව තහවුරු කළා.

ශ්‍රී ලංකාවට මෙම ණය මුදල ලබාදෙන බවට පළමුවෙන් එකගතාවය පළව තිබුනේ පසුගිය වසරේදියි.

පසුගිය සෙනසුරාදා ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජෙයිශකංර් හා ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවකදි එය යළි තහවුරුවී තිබුනා ෴

+++++++++++

එල්.අයි.ඕ.සී. සමාගම තෙල් දීම ප්‍රතික්ෂේප කරයි – සපුගස්කන්ද විදුලි බලාගාරය වැසේ

(18.01.2022 – 20:49 +0530 – hirunews.lk/sinhala)

කුමන මොහොතක විදුලිය විසන්ධි වේදැයි ජනතාව අවිනිශ්චිත තත්වයක පසුවන මොහොතක මෙරට විදුලි උත්පාදනයට දායක වන බලාගාර වැසීයාම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන්. එවන් පසුබිමක විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ කළ ඉල්ලීමට අනුව ඉන්ධන ලබාදිය නොහැකි බවයි ලංකා අයි.ඕ.සී. සමාගම අද (18) දැනුම්දී තිබුණේ.

දැවි තෙල් අවසන්වීම හේතුවෙන් සපුගස්කන්ද විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අද (18) දහවල් නතර වුණා.

එසේම හෙට (19) අලුයම් කාලයේදී කැළණිතිස්ස බලාගාර දෙක (2) ද වසා දැමීමට සිදුවනු ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැවි තෙල් මෙට්‍රික් ටොන් 900 ක් ලැබෙමින් පවතින බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමනි කියා සිටියේ.

දැනට ලැබුණු ඩීසල් සහ දැවි තෙල් තොග අනුව අද (18) රාත්‍රියේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ අමතර ඉන්ධන තොග නොමැතිවීම හේතුවෙන් මේ මොහොතේ ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාදිය නොහැකි බව ලංකා ඉන්දියානු ඔයිල් සමාගම දැනුම් දුන් බවයි.

මේ සම්බන්ධයෙන් ලංකා අයි.ඕ.සී. සමාගමෙන් අප කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙන්ම තම සමාගමද මේ වනවිට ඩොලර් අර්බුදයකට මුහුණදී සිටින බවයි.

එවන් පසුබිමක තම සමාගමේ මූලික අභිප්‍රාය වන්නේ ඉන්ධන පිරවුම්හල් සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම බවද ලංකා අයි.ඕ.සී. සමාගම ප්‍රකාශ කළා.

මේ අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දීය රජය මීට පෙර එකඟතාව පළ කර තිබූ ඩොලර් මිලියන 500 ක ණය මුදල අද අනුමත වී තිබෙනවා.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද (18) පස්වරුවේ මේ බව තහවුරු කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

පවතින තත්ත්වය හමුවේ කොළඹ වරායේ නෞකාවක පවතින ඉන්ධන කඩිනමින් සපයා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සාකච්ඡා කරමින් පවතින බවයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ.

+++++++++++

ලෙඩ වූ විදුලි ඉංජිනේරුවන් හෙට (19) සිට අකුරට වැඩ

(18.01.2022 – 20:54 +0530 – hirunews.lk/sinhala)

විදුලි අර්බුදයක් පවතිද්දී ලංකා විදුලි ඉංජිනේරු සංගමය අද (18), අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවුණේ විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය සුසන්ත පෙරේරා පත් කිරීමට විරෝධය පළ කරමින්.

ඔහුව කඩිනමින් එම තනතුරෙන් ඉවත් නොකළහොත් හෙට (19) දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ.

කෙසේ වෙතත් ආචාර්ය සුසන්ත පෙරේරා අද (18) සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ භාරගත්තා.

***************************************

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයට ගෙවීම් කළ බව මහ බැංකු අධිපති කියයි

(18.01.2022 – 21:31 +0530 – hirunews.lk/sinhala)

අද (18) දිනයට කල් පිරුණු ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයේ ගෙවීම සිදු කල බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

මහබැංකු අධිපතිවරයා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ නිසි වේලාවට බැඳුම්කර පියවීමට රජය කටයුතු කරන බවයි.

මේ වසර තුළ ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවිය යුතු වනවා.

ඉන් ඩොලර් බිලියනයක් වටිනා බැදුම්කර මේ වසරේ ජුලි මාසයේදී කල් පිරීමට නියමිතයි.

***************************************

මාස 10 කට සංචිත ප්‍රමාණවත් – සහල් හිඟයක් නැහැ – මෝල් හිමියන්

(18.01.2022 – 07:37 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස 10 කට ප්‍රමාණවත් පරිදි වී සංචිත රට තුළ පවතින බැවින් සහල් හිඟයක් ඇති නොවන බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති බී.කේ. රංජිත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ උතුරු – උතුරු මැද පළාත් වලින් වී අස්වනු ලැබීම හේතුවෙන් මෙම සතිය තුල සහල් මිලෙහි කිසියම් අඩු වීමක් අපේක්ෂා කරන බවයි.

මේ වන විට වෙළදපළේ සෑම වර්ගයකම සහල් මිල ගණන් ඉහළ අගයක පවතිනවා. පාරිභෝගිකයින් චෝදනා කළේ පාලන මිල ඉවත් කිරීමත් සමග ව්‍යාපාරිකයින් හිතුමතේ සහල් මිල ඉහළ දමමින් සිටින බවයි.

මේ නිසා සහල් සඳහා පාලන මිලක් පනවන ලෙස සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් යෝජනා කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *