නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

*********************************************

නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

(17.01.2022 – 17:27 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංගීත ක්ෂේත්‍රයේ කෘතහස්ත ගායිකාවක වන විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය අද (17) සිය දිවිසැරියට සමුදුන්නා.

ඒ උපන් බිමෙන් ගව් ගණනාවක් දුර ඉතාලියේ මිලානෝ නගරයේ දී.

අද (17) උදෑසන හදිසි හෘදයාබාධයකට ලක්ව නීලා වික්‍රමසිංහයන් රෝහල්ගත කෙරෙන විට ඇය ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියා.

1959 මාර්තු මස 20 වැනි දින වත්තලදී මෙලොව එළිය දකින දෝන ඩෙලිසියා නීලා වික්‍රමසිංහ කුඩා කල සිටම ගායනයට අති මහත් සමත්කමක් දැක්වූ ගායිකාවක්.

ඇයට යන්තම් මාස 6 ක් සපිරෙද්දී නීලා වික්‍රමසිංහයන් රුදුරු පෝලියෝ රෝගයට ගොදුරු වනවා.

කෙසේ වෙතත් එය කිසි විටෙකත් බාධාවක් කර නොගත් මෙම දිරිය ගැහැණිය ඇයගේ පළමු සරල ගීය තැටි ගත කරන්නේ 1967 වර්ෂයේදී.

ඩෝල්ටන් අල්විස් ශූරීන් විසින් රචනා කරන ලද එම ගීතයට සංගීතය සපයා තිබුනේ ලයනල් අල්ගමයන් විසින්.

1973 වසරේ දී නීලා වික්‍රමසිංහයන් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ‘ඒ ශ්‍රේණියේ’ ගායිකාවක ලෙස වර්ගීකරණයට ලක් වෙනවා.

1974 වර්ෂයේදී ඇය සංගීත විශාරද උපාධිය ලබාගන්නේ උතුරු ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය හදාරමින්.

පසුව සංගීත ගුරුවරියක ලෙස දිවයිනේ පාසල් ගණනාවක සේවය කරන ඇය වසර 23 ක් වූ ගුරු දිවියට සමුදෙන්නේ 1998 වසරේ දී.

සංගීත ගුරුවරියක ලෙස ඇයගේ දශක දෙකකට (2) මඳක් වැඩි වූ සේවා කාලයේ වසර අටක් (8) ම කොළඹ විශාකා විද්‍යාලයේ සංගීත ගුරුවරිය ලෙස දැයේ සුවහසක් දරු දැරියන්ට සංගීත දැනුම බෙදා දුන්නා.

චිත්‍රපට 67 ක පසුබිම් ගී ගායනා කර ඇති නීලා වික්‍රමසිංහයන් ගීත 50 කට ආසන්න සංඛ්‍යාවකට සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායකත්වය ලබාදී තිබෙනවා.

විශාරද නීලා වික්‍රමසිංහයන් සිය සංගීත දිවිය තුළ අවස්ථා තුනකදී (3) හොඳම චිත්‍රපට පසුබිම් ගායනය සඳහා වන සරසවි සම්මානය දිනාගෙන තිබෙනවා. ඒ 1984, 1986 සහ 1992 යන වසර වලදීයි.

එමෙන්ම 1996 වර්ෂයේ දී හොඳම ටෙලි නාට්‍ය පසුබිම් ගායනයට හිමි සුමති සම්මානයත් නීලා වික්‍රමසිංහයන් අත්කරගෙන තිබෙනවා.

සිය උදරයේ හටගත් පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් දරුණු ලෙස බැට කෑ නීලා වික්‍රමසිංහයන් එම පිළිකා මාරයා ද පරදවා ජයග්‍රහණය කරන්නට සමත් වූ අසාමාන්‍ය මානසික ශක්තියකින් හෙබි ගායිකාවක්.

සිය දීර්ඝ සංගීත චාරිකාව තුළ ඉතා ප්‍රවේශමෙන් තෝරා බේරාගෙන ගීත ගායනා කළ ඇය ගැයූ ගී අතර – දරුවෝ ඇති අම්මාලා, බෝධියේ විහාරයේ, චාමර සැලුනාවේ, ඈත දුරක දෑස පාවෙලා, මගේ ලොවට ඔබ වඩින තුරා, මේ අවන්හලේ, මිහිදුම් සළු තිර, ඔබගේ සෙවණේ, පෙම් සිලිලාරේ, පුංචි සිතේ පුංචි සිනා, රහසේ හඬනා අප හැඟුම්, රන් ටිකිරි සිනා, සූ සැට බරණින් සැරසීලා, වියෝ ගී ගැයෙනා හදේ වැනි ගීත අදටත් රසික සවන් පත් තුළ රැව් පිළි රැව් දෙනවා.

කිංකිණි සැලෙන හඬින් ගැයුණු පුංචි සිතේ පුංචි සිනා හඬ මැකී යද්දී යාළුවේ සිතින් හඬන්නෙපා යැයි කීවත් ඔබගේ වියොව නිසා ගැයෙන වියෝ ගී තවත් බොහෝ කලක් ඇසේවි.

සිංහල සංගීත ක්ෂේත්‍රයේ මිණිකිංකිණි නදට සුභ ගමන්.

+++++++

meemessasinhalasongs.com : Neela Wickramasinghe (mp3)

++++++++

නීලා තම ජීවිතය පිළිබඳ කළ ආත්ම කථනය (දිවයින – 18.01.2022)

***************************************

රටේ ජාතික සම්පත් සම්බන්ධයෙන් සැලැස්මක් රජයට නෑ – හඳුන්නෙත්ති

(17.01.2022 – 12:54 +0530 – hirunews.lk/sinhala)

රටේ ජාතික සම්පත් සම්බන්ධයෙන් සැලැස්මක් ආණ්ඩුවට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.

ඒ, අනුරාධපුරයේ ඊයේ (16) පැවති ජන හමුවකට එක්වෙමින්.

එහි දී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වත්මන් ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය හේතුවෙන් විදෙස් රටවලට ශ්‍රී ලංකාව උවමනා නො වන තත්ත්වයට පත්ව ඇති බවයි.

***************************************

‘පාණදුර සළිඳු’ගේ මත් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට

(17.01.2022 – 12:57 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘පානදුර සළිඳු’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර උතුර – රතුවත්ත ප්‍රදේශයේ දී ඇයව ඊයේ (17) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තවත් පුද්ගලයෙකුට හෙරොයින් ලබාදීම සඳහා සූදානමින් සිටියදියි.

‘ඊසි කෑෂ්’ ක්‍රමයට මත් ජාවාරම වසර ගණනාවක් තිස්සේ මෙම කාන්තාව සිදු කරගෙන ගොස් ඇති බවට සිදු කළ පරීක්ෂණවල දී හෙළි වී තිබෙනවා.

ඒ සඳහා යොදාගත් ජංගම දුරකතන දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන ඇති අතර, 44 හැවිරිදි වියේ පසුවන දෙදරු මවක් වන සැකකාරිය වලාන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් ෴

***************************************

සහල් මිල අඩු වන බවට අනාවැකියක්

(17.01.2022 – 12:59 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සතියේ සිට සහල් මිලේ අඩුවීමක් අපේක්ෂා කරන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති බී.කේ. රංජිත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, මෙම සතිය තුළ වී අස්වනු ලැබීම හේතුවෙන් එලෙස සහල් මිල අඩුවන බවයි.

මේ අතර මැදවච්චිය – රඹෑව ප්‍රදේශයේ ගොවීන් කියා සිටියේ පොහොර නො ලැබීම නිසා තමන් අසීරුතාවට පත්ව ඇති බවයි ෴

***************************************

මධ්‍යම අධිවේගයේ පැය 12 ක ආදායම රුපියල් මිලියන 2.8 ක්

(17.01.2022 – 13:16 +0530 – hirunews.lk/sinhala)

පෙරේදා විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ ඊයේ (16) දහවල් 12 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ වාහන ගමනාගමනයෙන් රුපියල් විසිඅට ලක්ෂ පන්දහස් එකසියයක (28,05,100) ආදායමක් ලැබී තිබෙනවා.

අධිවේගී මාර්ග මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂක නිහාල් ලොඩිවික් සඳහන් කළේ, වාහන 13,583 ක් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ගාස්තු අය කිරීමෙන් අනතුරුව ගමන් කර ඇති බවයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ඊයේ (16) දහවල් 12 දක්වා නොමිලේ ගමන් කිරීමට අවස්ථාව හිමිවූ අතර, ඉන් අනතුරුව මෙලෙස ගාස්තු අය කරනු ලැබුවා.

අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමඟ රථවාහන විශාල සංඛ්‍යාවක් ගමන් කිරීමට පැමිණීම හේතුවෙන් මීරිගම පිවිසුම අසල දැඩි රථවාහන තදබදයක් ද පැවති බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ ෴

***************************************

ආණ්ඩුව ඩොලර් හිඟාකනවා – සජිත්

(17.01.2022 – 13:51 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයේ දී පුරසාරම් දෙඩූ වත්මන් පාලකයින් මේ වනවිට ඉන්ධන, ඖෂධ හා ආහාර හිඟය මඟහරවා ගැනීම සඳහා ලොව වටා ඩොලර් හිඟමනේ යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ, මස්කෙළිය ප්‍රදේශයේ පැවති රැස්වීමක දී.

***************************************

මස්කෙළිය – නල්ලතන්නිය මාර්ගයේ රිය අනතුරක්

(17.01.2022 – 14:29 +0530 – hirunews.lk/sinhala)

මස්කෙළිය – නල්ලතන්නිය මාර්ගයේ රිකාටන් ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු වී තිබෙනවා.

මෝටර් රථයක් මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවක ගැටී, එම විදුලි කණුව පාරට වැටී ඇති බව යි වාර්තා වෙන්නේ.

එම හේතුවෙන් මස්කෙළිය – නල්ලතන්නිය මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බවයි වාර්තා වෙන්නේ ෴

මස්කෙළිය – නල්ලතන්නිය මාර්ගයේ රිකාටන් ප්‍රදේශයේ අද (17) දහවල් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධි බලැති විදුලි කණුවක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ.

විදුලි කණුව මාර්ගය හරහා වැටීමෙන් මස්කෙලිය – නල්ලතන්නිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා. කෙසේ වෙතත්, මේ වන විට මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා ෴

***************************************

තෙවැනි ඇසෙහි සටහන් වූ හඳුන් දිවියෝ

(17.01.2022 – 15:51 +0530 – hirunews.lk/sinhala)

කඳුකර කොටියන් සහ හඳුන් දිවියන් නිරන්තරයෙන් ආහාර සොයා තම නිවාස අසළට පැමිණීම හේතුවෙන් තමන් පීඩාවට පත්ව සිටින බවට හැටන් කොමර්ෂල් සහ සමඟිපුරම් ගම්මාන වල ජනතාව මැසිවිලි නඟනවා.

හඳුන් දිවියන් කිහිපදෙනෙකු නිවාස අසළට පැමිණෙන ආකාරය සී.සී.ටී.වී. කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

+++++++

වලිකාමම් වෙරළ තීරයේ අහස හැඩකළ සරුංගල් සැණකෙළිය

(17.01.2022 – 17:08 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා පැවැති තෛපොංගල් දිනය නිමිත්තෙන් සංවිධාන කළ සංරුංගල් සැණකෙළියක් වලිකාමම් නැගෙනහිර කට්ටෙයිකාඩු වෙරළ තීරයේදී පැවැත්වුණා. කට්ටෙයිකාඩු ශාන්ත මරියා ක්‍රීඩා සමාජය විසින් මෙය සංවිධානය කර තිබුණා.

***************************************

‘සොත්ති උපාලි’ගේ බෑණා, මත්කුඩු සමඟ අත්අඩංගුවට

(17.01.2022 – 16:39 +0530 – hirunews.lk/sinhala)

ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක ‘සොත්ති උපාලි’ නැමැත්තාගේ බෑණනුවන් රුපියල් ලක්ෂ දෙකකට (2) අධික මත්කුඩු තොගයක් සමග බණ්ඩාරගම – වැල්ලමිල්ල – කැන්දලන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 90 ක් සොයාගෙන ඇති අතර, පසුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී වළ දමා තිබූ තවත් හෙරොයින් මිලිග්‍රෑම් 7 ක් සොයා ගැනුණා ෴

***************************************

අබුඩාබි නගරයේ ස්ථාන දෙකක (2) ට ප්‍රහාරක්

(17.01.2022 – 16:49 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ ස්ථාන දෙකකට (2) අද (17) එල්ල වූ ප්‍රහාරවලින් 3 දෙනෙකු මිය ගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මිය ගිය පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු (2) ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් පුද්ගලයා (1) පාකිස්තාන ජාතිකයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අබුඩාබි පොලීසිය ප්‍රකාශ කළේ ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවට සැක කරන බවයි.

එක් ප්‍රහාරයක් අබුඩාබි ගුවන් තොටුපළේ ඉදිකිරීම් සිදුකෙරෙමින් පවතින ස්ථානයකට එල්ල වී ඇති අතර අනෙක් ප්‍රහාරය කාර්මික නගරයක තෙල් බෙදා හැරීම් සිදුකරන ස්ථානයක් අසලට එල්ල වුණා.

එහිදී ඉන්ධන රැගත් ට්‍රක් රථ 3 ක් ගිනිගෙන තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම තමන් භාර ගන්නා බවයි යේමනයේ සිටින හූති කැරළිකරුවන් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් මේ දක්වා සිදුකර නැහැ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා කියා සිටියේ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වී නොමැති බවයි.

***************************************

දක්ෂිණ අධිවේගයේ වාහන තදබදයක්

(17.01.2022 – 19:04 +0530 – hirunews.lk/sinhala)

පිටත වට රවුම් අධිවේගී මාර්ගයේ කොතලාවල අන්තර් හුවමාරුව ආසන්නයේදී කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් කොට්ටාව සිට කඩවත දක්වා දිවෙන කොටසේ රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

එමෙන්ම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ 75 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී බස් රථ දෙකක් (2) එකිනෙක ගැටීමෙන් තවත් අනතුරක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා ෴

***************************************

අල, පරිප්පු නිසා එළවළු මිල අඩු වී ඇතැයි, ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්

(17.01.2022 – 19:29 +0530 – hirunews.lk/sinhala)

එළවළුවල මිල සීග්‍ර ලෙස ඉහල යාමත් සමඟ ජනතාව පරිප්පු සහ අර්තාපල් වැඩි වශයෙන් පරිභෝජනයට යොමුවීම හේතුවෙන් එළවළු මිල ගණන් පහල බැස ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

සතොස හරහා රුපියල් 3998 කට භාණ්ඩ වර්ග 20 ක් ඇතුළත් සහන මල්ලක් ලබාදීම පිළිබදව දැනුවත් කිරීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *