මධ්‍යම අධිවේගයෙන් ජනතාවට දැනුම්දීමක්

මධ්‍යම අධිවේගයෙන් ජනතාවට දැනුම්දීමක්

*********************************************

මධ්‍යම අධිවේගයෙන් ජනතාවට දැනුම්දීමක්

(16.01.2022 – 20:24 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ ගමන් ගන්නා වාහන වලින් අද (16) දහවල් 12 සිට ගාස්තු අයකිරීම ආරම්භ කළ බව අධිවේගී මාර්ග මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂක නිහාල් ලොඩිවික් ප්‍රකාශ කළා.

ඒ, අනුව ඕනෑම අන්තර් හුවමාරු දෙකක් (2) අතර සැහැල්ලු වාහනයක් ගමන් කරන්නේ නම් රුපියල් සියයක (100) මුදලක් සහ බර වාහනයක් ගමන් කරන්නේ නම් රුපියල් 150 ක මුදලක් ගෙවිය යුතුයි.

එමෙන්ම, මීරිගම සිට කුරුණෑගල දක්වා සැහැල්ලු වාහනයකින් ගමන් කරන්නේ නම් රුපියල් 250 ක් ගෙවිය යුතු වනවා.

මේ අතර, අධිවේගී මාර්ගයේ වාහන දෙකක් (2) අතර අවම දුර මීටර 50 ක්වත් පවත්වාගත යුතු අතර, විඩාබර ගතියක් දැනෙන්නේ නම් අධිවේගි මාර්ගයක ඇතුල්වීමෙන් වලකින ලෙසයි අධිවේගී මාර්ග මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර ජනතා අයිතියට පත් කෙරුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ ගාස්තු ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙරට සුන්දරම අධිවේගී මාර්ගය ලෙසින් සැලකෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන (2) අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණේ ඊයේ (15) පස්වරුවේයි.

ඒ අනුව ඊයේ (15) මධ්‍යම රාත්‍රී 12 සිටම එම මාර්ගය ජනතාවට විවෘත කෙරුණු අතර අද (16) මධ්‍යහ්න 12 දක්වා නොමිලේ ගමන් කිරීමට ජනතාවට අවස්ථාව ලබා දුන්නා.

ඒ අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා අවසර ලත් වාහනවලට පමණයි.

මේ අතර මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ග කොටසේ ගාස්තු අය කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඇක්සල 2 ක් සහ රෝද 4 ක් ඇති හෝ ඇක්සල 2 ක් සහ රෝද 6 ක් ඇති ද්විත්ව කාර්යය වාහන සඳහා මීරිගම උතුර අන්තර් හැවමාරුවේ සිට යග්ගපිටිය අන්තර් හුවමාරුව දක්වා ගාස්තුව රුපියල් 250 ක්.

එම වාහනවලට මීරිගම සිට නාකලගමුව දක්වා රුපියල් 150 ක්, දම්බොක්ක දක්වා රුපියල් 200 ක් කුරුණෑගල දක්වා රුපියල් 250 ක් අයකෙරෙනවා.

සැහැල්ලු වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් (2) අතර අවම ගාස්තුව රුපියල් 100 ක් වන අතර ඒ කුරුණෑගල සිට දම්බොක්ක දක්වායි.

මේ අතර ඇක්සල දෙකක් (2) සහ රෝද 6 ක් ඇති වාහන සඳහා අවම ගාස්තුව කුරුණෑගල සිට දම්බොක්ක දක්වා රුපියල් 150 ක්.

එම වාහන සඳහා මීරිගම සිට යග්ගපිටිය හුවමාරුව දක්වා රුපියල් 350 ක ගාස්තුවක් අයකෙරෙනවා.

ඇක්සල 2 ට වැඩි වාහන සඳහා අවම ගාස්තුව රුපියල් 150 ක් වන අතර ඒ කුරුණෑගල අන්තර් හුවමාරුවේ සිට දම්බොක්ක අන්තර් හුවමාරුව දක්වායි.

එම වාහන සඳහා මීරිගම සිට යග්ගපිටිය අන්තර් හුවමාරුව දක්වා අයකෙරෙන ගාස්තුව රුපියල් 550 ක්.

මේ අතර එළැඹෙන 20 වැනිදා සිට මෙම මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ සඳහා ද අවසර ලබා දී තිබෙනවා.

ආරම්භයේදී මහනුවර – කොළඹ සහ කොළඹ – කුරුණෑගල බස් රථ සඳහා අවසර ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

***************************************

යතිවර සුරක්ෂා ශිෂ්‍යත්ව ප්‍රදානය ජනපති අතින් සබරගමුව මහ සමන් දේවාල පුද බිමේදී

(16.01.2022 – 15:57 +0530 – hirunews.lk/sinhala)

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා යතිවර සුරක්ෂා ශිෂ්‍යත්ව ප්‍රධානය අද (16) සබරගමුව මහ සමන් දේවාල පුද බිමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී එය ආරක්ෂා කිරීමත්, පෝෂණය කිරීමත් අරමුණු කරගෙනයි ජනාධිපති කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය විසින් එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ.

ඒ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා ශිෂ්‍යත්ව පිරිනැමීම සංකේතවත් කරමින් භික්ෂූන් වහන්සේ 11 නමකට ශිෂ්‍යත්ව ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදුකෙරුණා.

රත්නපුර මහ සමන් දේවාල පුද බිමට පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර, පුද බිමට රැස්ව සිටි ජනතාව සමග සුහද කතාබහක ද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

***************************************

සමගි ජනබලවේග රජයක ජාති ආගම් භේද දුරු කරන බව විපක්ෂ නායක කියයි

(16.01.2022 – 16:47 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේග රජයක් තුලින් මෙරට ජාති, ආගම් භේදය සම්පුර්ණයෙන්ම තුරන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියාසිටියේ නුවරඑලිය මහ නගර සභා ක්‍රිඩාංගණයේ සංවිධානය කර තිබු තෛපොංගල් දින උත්සවයට සහභාගි වෙමින්.

මෙහිදි අදහස් දැක් වු විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ තෛපොංගල් උත්සවය යනු උත්කර්ෂවත් ලෙස සමරන ආගමික උත්සවයක් බවයි.

ආගමික අනන්‍යතාවය ඉදිරියටත් සුරක්ෂිත කිරීමට තමන් කටයුතු කරන අතර සියළුම ආගම් ආරක්ෂා කිරිමට කටයුතු කරන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

“වතු කම්කරුවන් සිය දහදිය මහන්සිය වෙහෙසලා තේ ක්ෂෙත්‍රයෙන් මේ රටට විදේශි විනිමය ගේනකොට ඔහුන්ට මෙරට පුරවැසිභාවය තිබුණේ නෑ. රණසිංහ ප්‍රේමදාස මහතා වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය ලබා දිලා අයිතින් සුරක්ෂිත කරා. වතු කම්කරුවන් කම්කරුවන් වශයෙන් සිමා නොකර කුඩා තේ වතු හිමියන් බවට පත් කිරිමේ සටන රණසිංහ ප්‍රේමදාසගේ පුතා වශයෙන් සජිත් ප්‍රේමදාස කටයුතු කරනවා. අපි මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නවා වතු කම්කරු ප්‍රඥප්තිය සම්බන්ධයෙන්. සමගි ජනබලවේගයේ අනාගත ප්‍රතිපත්ති ප්‍රකාශයට එකතු කරලා අනාගත ජනාධිපතිවරයා වශයෙන් වතු කම්කරුවන්ගේ දියණුව සංවර්ධනය උදෙසා වෙනමම ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපනය කරනවා. මේවා සම්බන්ධයෙන් මම ප්‍රකාශ කරද්දි ජනාධිපතිවරණයේදි, මහ මැතිවරණයේදි සමාජයේ සමහරු ජාති වාදය, ආගම් වාදය, ජාති ආගම් භේදය විවිධ මාධ්‍ය හරහා, සමාජ මාධ්‍ය හරහා මට පහර ගැහුවා. මම ජාතිවාදීන්ට ආගම්වාදීන්ට බය නැ. සමගි ජන බලවේග ආණ්ඩුවක් තුලින් ජාති ආගම් භේදය සම්පුර්ණයෙන්ම තුරන් කරනවා.

සමහර ජාති ආගම්වාදීන්ට මේ රටේ ජනතාවගේ දුක තේරෙන්නේ නැ, පාලකයන්ට තේරෙන්නෙත් නැ. ඒ මොකද ඒ ඇත්තොන්ගේ අතේ ගෑස් පිපිරෙන්නේ නෑ. දියර පොහොර කෑන් පිපිරෙන්නේ නෑ. ඒ අය ගෑස් පොලිම් වල නෑ. ඒ අය පොහොර නැතුව අනාත වෙලා නෑ. ඒ අය සිනි, හාල්, කිරිපිටි, ඉන්ධන පොලිම් වල නෑ. මොකද ඒ ඇත්තොන්ට ඒවා බන්දේසියක තියලා මන්දිරයටම ගෙන්නා උකුලටම භාර දෙනවා. ජනාතව දැන් හොදට ඇස් අරින්න කාලය හරි. ජාතිවාදයට, ආගම්වාදයට යලි ඉඩක් දෙන්න එපා. මේ මාතෘ භුමිය සංවර්ධනය කරන්න සියළු ජාතින්, සියළු ආගම්වල පිරිස් එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. අද දරිද්‍රතාවය එන්න එන්නම ඉහල යනවා. මේ බල ප්‍රදේශයේ මාතෘ සහ ළදරු සෞඛ්‍ය තත්ත්වයන් ඉතාමත් පහල මට්ටමක පවතින්නේ. මනුෂ්‍යත්වය මුල් කරගෙන යන ගමනක් තුල අපිට ඔබලාගේ දුක තේරෙනවා. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මොදි සමග අපිට විශේෂ සබදතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය වැඩි දියුණු කරගෙන මේ රටේ වතු කම්කරු ජනතාවගේ ආර්ථික, සමාජිය, අධ්‍යාපනික, නිවාස, සෞඛ්‍ය, සංස්කෘතිමය අයිතින් සුරැකිමට අපි කටයුතු කරනවා.
මම නිවාස අමත්‍යවරයා වශයෙන් කටයුතු කරනකොට නරේන්ද්‍ර මොදි මහතා අපිට ආධාර ලබා දුන්නා. ගිණි පොලි ණය නෙවෙයි ආධාර ලබා දුන්නා.”

යනුවෙන් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

***************************************

කූරගලට ගිය ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙසක්

(16.01.2022 – 19:13 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක නිරතවී තිබෙනවා.

එහි ඉදිකිරීම් කඩිනම් කරන ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

අද (16) පස්වරුවේ කූරගල පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා ඉදිවෙමින් පවතින දාගැබ, බුදු පිළිම වහන්සේ සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

බලංගොඩ සිට කිලෝමීටර් 30 ක් දුරින් පිහිටි කල්තොට නිම්නයේ කූරගල පුදබිම පිහිටා තිබෙනවා.

මහ රහතන් වහන්සේලා වැඩ සිටි ගල් ලෙන් 13 ක් සහිත කූරගල පුදබිම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ උපදේශකත්වයෙන් කූරගල විහාර භූමියේ සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා.

එහි ඉදිකිරීම් නිරීක්ෂණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුදබිම ආශ්‍රිත මාර්ග පද්ධතියේ සහ ආසන දෙදහසක් (2000) පැනවිය හැකි ලෙස නිර්මාණය කර ඇති ධර්ම ශාලාවේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

පුදබිමට පැමිණ සිටි ජනතාව සමග කතා බහ කළ ජනාධිපතිතුමා අවට භූමිය ද නිරීක්ෂණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ ෴

***************************************

දමන රිය අනතුරකින් 3 දෙනෙකු මරුට

(16.01.2022 – 19:56 +0530 – hirunews.lk/sinhala)

අම්පාර දමන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අද (16) පස්වරුවේ ලොරියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

***************************************

අද්භූත සිද්ධියක්, පානදුර ගමක් බිය වද්දයි

(16.01.2022 – 20:33 +0530 – hirunews.lk/sinhala)

පානදුර – නල්ලුරුව – දිබ්බැද්ද – වෙන්දේසිවත්ත ප්‍රදේශයේ රාත්‍රී කාලයේදී සිදුවන අද්භූතජනක සිද්ධියක් හේතුවෙන් තමන් දැඩි ලෙස භීතියට පත්ව ඇති බවට එම ජනතාව චෝදනා කරනවා.

මේ පිළිබදව පිංවත්ත පොලීසිය ද ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මාස එක හමාරකට (1½) අධික කාලයක සිට රාත්‍රී කාලයේදී සිය නිවාසවලට ගල් සහ බෝතල් ප්‍රහාර එල්ල වීම නිසා නිවෙස්වල වහලවලට හානි සිදුව ඇති බව ද ප්‍රදේශවාසීන් පවසනවා.

මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය පිංවත්ත පොලීසියෙන් විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලද පැමිණිලිවලට අනුව අවස්ථා කිහිපයකදී පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාර කළත් මෙවැනි සිද්ධීන් පිළිබඳ තොරතුරු වාර්තා නොවූ බවයි.

මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීමට හිරු ප්‍රවෘත්ති කණ්ඩායම පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

පානදුර දිබ්බැද්ද ගම්මානය පිහිටා තිබෙන්නේ වෙන්දේසිවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේයි.

මාසයක පමණ කාලයක සිට තමන් මුහුණ දෙන අද්භූත සිදුවීමක් නිසා දිබ්බැද්ද ජනතාව පත්ව සිටින්නේ දැඩි පීඩාවකටයි.

දින කිහිපයක සිට ගල් කැටවලට අමතරව විවිධ ප්‍රමාණ වලින් යුත් හිස් මත්පැන් බෝතල් පවා තම නිවාස මත වැටෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.

ඇතැම් ගල්වල නිවෙස් හිමිකරුවන්ගේ නම් පවා සඳහන් කර තිබීම විමතියට කරුණක්.

මේ සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් සොයාගත නොහැකිව දිබ්බැද්ද ජනතාව දැඩි මානසික පීඩාවකටද ලක්ව සිටිනවා.

***************************************

සහල් මිල තවදුරටත් ඉහළට

(16.01.2022 – 21:03 +0530 – hirunews.lk/sinhala)

පාලන මිලක් නොමැති වීම හේතුවෙන් වෙළඳුන් තවදුරටත් සහල් මිල ඉහළ දමමින් සිටින බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

ඒ, ඉහළ යන ජීවන වියදම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති අවධියකයි.

පාරිභෝගිකයින් චෝදනා කළේ පාලන මිලක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳුන් අධික මිල ගණන් යටතේ සහල් අලෙවි කරන බවයි.

කෙසේ වෙතත්, පසුගිය සතියට සාපේක්ෂව එළවළු මිල ගණන්වල තරමක අඩුවක් දක්නට ලැබෙනවා.

පොහොර ගැටලුව හේතුවෙන් පසුගිය දිනවල වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉහළ අගයක් දක්නට ලැබුණු අතරල මේවන විට වෙළෙඳපොළේ එළවළු බොහෝමයක මිල තරමක් පහළගොස් තිබෙනවා.

එළවළු මිල ගණන් පහළ ගියද මේ දිනවල සහල් මිල ඉහළ ඇති අයුරු දක්නට ලැබෙනවා.

පාරිභෝගිකයින් චෝදනා කළේ පාලන මිලක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳුන් අධික මිල ගණන්වලට සහල් අලෙවි කරන බවයි.

මීට අමතරව මත්ස්‍ය මිල ගණන්ද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

කෙසේ වෙතත් වෙළෙඳුන් පැවසුවේ කුඩා මත්ස්‍යයන්ගේ මිල ගණන් සාපේක්ෂව අඩු මට්ටමක පවතින බවයි.

මේ අතර, පසුගිය දිනවල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවලු මිල මේ වනවිට සුළු පහත වැටීමක් දක්නට ලැබෙනවා.

වෙළදුන් ප්‍රකාශ කළේ මිල අඩු වුවද ජනතාව වෙළඳපොල වෙත පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

***************************************

රටේ සම්පත් අලෙවි කර ජීවත්වෙන්න සිදුවෙලා – අනුර කුමාර

(16.01.2022 – 22:25 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුනොවීම සම්බන්ධයෙන් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කරනවා.

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් කියාසිටියේ පාස්කු ප්‍රහාරය දේශපාලන වුවමනාවක් මත සිදුවූවක් බවට ප්‍රකාශ කිරීම බරපතල තත්වයක් බවයි.

මෙවැනි ප්‍රකාශ තුලින් සැබෑ වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවීමේ හැකියාවක් ද පවතින බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කළේ රජයේ ජනප්‍රියතාව දිනෙන් දින පහළට යාම හමුවේ යම්කිසි කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් දේවස්ථානයෙන් බෝම්බයක් හමුවීමේ සිද්ධිය පිටුපස තිබිය හැකි බවයි.

මේ අතර රජයට මුදල් නොමැතිවීම හමුවේ රටේ සම්පත් අලෙවිකර ජීවත්වීමට සිදුවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *