තෙල් ටැංකි ගිවිසුමෙන් සතියකට පසු ඉන්දීයාවෙන් සහන මල්ලක්

තෙල් ටැංකි ගිවිසුමෙන් සතියකට පසු ඉන්දීයාවෙන් සහන මල්ලක්

*********************************************

තෙල් ටැංකි ගිවිසුමෙන් සතියකට පසු ඉන්දීයාවෙන් සහන මල්ලක්

(16.01.2022 – 07:08 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව වඩා හිතකර හා දෙරටටම වැදගත් දිශානතියක් වෙත මේ වනවිට වර්ධනය වෙමින් තිබෙනවා.

එවැනි පසුබිමක මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් විසින් මාර්ගගත හමුවක් පවත්වනු ලැබුවා.

හමුව අවසානයේ ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබුණේ එහිදී ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ස්ථීර සහ විශ්වසනීය හවුල්කරුවෙකු බව යළිත් තහවුරු කළ බවයි,

ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව සමඟ සිට ඇති බවත්, COVID-19 වසංගතයෙන් එල්ල වන ආර්ථික සහ අනෙකුත් අභියෝග ජය ගැනීම සඳහා හැකි සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට සහාය දෙන බවත් ජයශංකර් ප්‍රකාශ කළ බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

සමීප මිතුරන් සහ සමුද්‍රීය අසල්වැසියන් ලෙස, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටටම සමීප ආර්ථික අන්තර් සම්බන්ධතා වලින් වාසි ලැබෙන බව එම නිවේදනයේ සඳහන්.

සාර්ක් මුදල් හුවමාරු විධිවිධානය යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් ලබාදීම සහ ACU (Asian Cleaning Union – බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මියන්මාරය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල මහබැංකු එක්ව පිහිටුවා ගනු ලැබූ කලාපීය එකමුතුවකි) වෙත ගෙවීමට ඇති ඩොලර් මිලියන 515.2 මාස දෙකකින් (2) පියවීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මෙම හමුවේ දී අමාත්‍යවරු දෙදෙනා (2) ධනාත්මකව අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ආහාර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක සහ ඉන්දියාවෙන් ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ඉන්දියානු ණය පහසුකම් දීර්ඝ කිරීමේ ප්‍රගතිය අමාත්‍යවරුන් දෙදෙනා (2) විසින් සමාලෝචනය කල බවද ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා.

ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ දීර්ඝකාලීන සහයෝගීතාව සිහිපත් කළ බැසිල් රාජපක්ෂ එරටින් ලැබෙන සහයෝගය ගැඹුරින් අගය කර තිබෙනවා.

වරාය, යටිතල පහසුකම්, බලශක්තිය, පුනර්ජනනීය බලශක්තිය සහ නිෂ්පාදන ඇතුළු වැදගත් ක්ෂේත්‍ර ගණනාවක ඉන්දීය ආයෝජන ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට ලක් වූ බව සිහිපත් කර ඇති මුදල් අමාත්‍යවරයා එවැනි ආයෝජන දිරිගැන්වීම සඳහා සුදුසු පරිසරයක් ලබා දීමට සහතික වූ බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙම සන්දර්භය තුළ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති මෑත කාලීන පියවර ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීමට අමතරව ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නංවන බව අමාත්‍යවරු දෙදෙනාම (2) සඳහන් කර තිබෙනවා.

හවුල් ප්‍රගතිය සහ සෞභාග්‍යය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් දිගුකාලීන ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සඳහා මග පෙන්වීම ලබාදෙමින් සමීප සම්බන්ධතාවකින් සිටීමට අමාත්‍යවරුන් දෙදෙනා (2) එකඟ වූ බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළ තීරයේ උපාය මාර්ගිකව පිහිටා ඇති ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා දෙරට අතර දිගුකාලීනව පවතින ගිවිසුමකට අත්සන් කිරීමෙන් සතියකට පසුව ඉන්දියාව විසින් මෙම මූල්‍ය හුවමාරුව තහවුරු කිරීම සැලකිය යුතු කරුණක්.

දෙරට අතර ඕනෑම මූල්‍ය ආධාරයක් ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව සිදු කළ යුතු බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග මීට පෙර පෙන්වා දී තිබූ බව ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

ඉන්දීය සංචිත බැංකුවේ (RBI)හි සහාය ශ්‍රී ලංකාවට සිය වර්තමාන ආර්ථික අභියෝගයට මුහුණ දීමට උපකාර කිරීමක් වන අතර ආයෝජනය සහ ඉන්දියන් සාගරයේ එහි උපායමාර්ගික අවශ්‍යතා යන දෙඅංශයෙන්ම ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ඉන්දීය අවධානය යොමු වී තිබුණා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට ජනවාරි මස 06 වැනිදා ශ්‍රී ලංකා රජය , ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් නමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව ස්ථාපිත නව සමාගම යන පාර්ශවයන් මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබුවා.

නව ගිවිසුමත් සමග 2003 බදු ගිවිසුම අහෝසි වන අතර ඉන්දියන් ඔයිල් කෝපරේෂන් අනුබද්ධිත ලංකා ඉන්දියන් ඔයිල් සමාගම දැනට භාවිත කරන ටැංකි 14 ක තවත් වසර 50 ක් බදු පදනම යටතේ තවදුරටත් එම සමාගමට හිමි වනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ටැංකි 24 ක් පවත්වාගෙන යනු ඇති.

මෙම තත්ත්වය සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ගබඩා ධාරිතාව මසකින් ඉහළ නැංවෙන අතර උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත් වෙත ඉන්ධන ප්‍රවාහන වියදමෙන් සැලකිය යුතු කොටසක් ඉතිරි කර ගැනීමටද හැකි වනවා.

ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට ටැංකි 61 ක් හිමි වනවා.

ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යනු ලංකා ඛනිජතෙල් සංස්ථාවට 51% ද ලංකා ඉන්දියානු තෙල් සමාගමට 49%ද කොටස් හිමි ලංකා ඛනිජතෙල් සංස්ථාවේ පාලිත සමාගමක් වන අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලය ලංකා ඛනිජතෙල් සංස්ථාව මඟින් පත් කරන සිව් (4) දෙනෙකුගෙන් සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් පත් කරන තිදෙනකු (3) ගෙන් සමන්විතයි

සෑම ටැංකියක්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 100 ක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ටැංකි සංකීර්ණය සංවර්ධනය කර පවත්වා ගෙන යෑමට අමතරව අක්කර 827 ක් වන මෙම භූමිය සූර්ය විදුලි උද්‍යානයක් බවට පත් කීරීමටද නියමිතයි.

ඒ අනුව මෙරට බලශක්ති සුරක්ෂිතතාවය ද එමගින් තහවුරු වනු ඇති ෴

***************************************

වරායේ සිර වූ බහළුම්වලට දඩ ගැසීම නතර කරන්නැයි ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක්

(16.01.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala)

වරායේ පවතින බහාළුම් දින 07 ක් තුළ ඉවත් කර නොගන්නේ නම් දඩ මුදල් අය කිරීම තාවකාලිකව නතර කරන ලෙසට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

ඔවුන් එම ඉල්ලීම සිදුකළේ පවතින ඩොලර් හිඟය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහාළුම් 1700 ක් පමණ වරාය තුළ සිර වී තිබීම හේතුවෙන්.

මෙලෙස තාවකාලිකව දඩ මුදල් අය කිරීම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළ බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.

වරාය අධිකාරිය, එස්.ඒ.ජී.ටී. පර්යන්තය සහ ජයබහලුම් පර්යන්තයේ පවතින බහළුම්වලින් මෙලෙස ප්‍රමාද ගාස්තුවලට අමතරව දින 07 කට පසුව දඩ මුදලක්ද අය කරනු ලබනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහළුම්වලින් බහුතරයක් පවතින්නේ එස්.ඒ.ජී.ටී. හෙවත් දකුණු ආසියානු පිවිසුම් පර්යන්තයේ බැවින් වරාය අධිකාරිය පමණක් අදාළ දඩ මුදල් අය නොකර සිටියහොත් එයද ගැටළුකාරී තත්ත්වයක් බවයි ආනයනකරුවන් පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් රජය පාර්ශවය පමණක් දඩ මුදල් අය කිරීම නතර කරනවා වෙනුවට ප්‍රතිපත්තියක් ලෙස පර්යන්ත තුනෙන්ම මෙලෙස දඩ මුදල් අය කිරීම තාවකාලිකව නතර කර දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ ෴

***************************************

බදු එක්රැස් කිරීමේ භාණ්ඩාගාර ඒකකයක් පිහිටුවීම ගැන සුරාබදු වෘත්තිය සමිති විරෝධය

(16.01.2022 – 08:32 +0530 – hirunews.lk/sinhala)

මෙවර අයවැයෙන් ප්‍රකාශිත විශේෂ භාණ්ඩ හා සේවා බද්ද සහ වැට් එක්රැස් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් පිහිටුවීමට ගෙන ඇති යෝජනාවට සුරාබදු වෘත්තීය සමිති එකමුතුවද විරෝධය පළ කරනවා.

මීට පෙර මෙම යෝජනාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිද සිය විරෝධය පළ කර සිටියා.

නව වැඩපිලිවෙලට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 07 ක බදු එක්රැස් කිරීම අලුතින් පිහිටුවීමට නියමිත විශේෂ ඒකකය යටතට පත්වනවා.

ඒ අනුවයි අදාළ ආයතනවල වෘත්තීය සමිති ඊට විරෝධය පළ කරන්නේ.

දේශීය ආදායම් සේවා සංගමය ප්‍රකාශ කළේ ඊට කඩිනම් විසඳුම් නොලැබුනහොත් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

අදාළ ඒකකය පිහිටුවීම සහ එහි බදු එක්රැස් කිරීම සම්බන්ධ ක්‍රියාවලිය විධිමත් නොවන බවයි සුරාබදු වෘත්තීය සමිති එකමුතුවේ සම ලේකම් නිරෝෂ් ජයකොඩි කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද සහ වැට් එක්රැස් කිරීම සඳහා යෝජිත නව ඒකකය භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකුගේ අධීක්ෂණය යටතේ පිහිටුවීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔහු විසින් බදු එක්රැස්කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් අවශ්‍ය නිලධාරීන් පිරිසක් යෙදවීමට නියමිතයි.

නව ක්‍රමවේද යටතේ සුරාබදු, රේගු, ගුවන් තොටුපල සහ වරාය බදු එක්රැස් කිරීමේ ක්‍රියාවලිද වෙනස්කම්වලට ලක්වනු ඇති ෴

***************************************

රිය අනතුරක් සිදුකර පලාගිය සැකකරුවෙකු අත්අඩංගුවට

(16.01.2022 – 09:56 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන – හේවාදිවෙල ප්‍රදේශයේදී පදිකයෙකු යටකර පළාගිය වෑන් රථ රියදුරෙකු කොටවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 50 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ට විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කිරීමේ සිද්ධීන් රැසකට මොහු සම්බන්ධ බවටයි.

සැකකරු අද (16) දින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴

***************************************

මෙරට ආහාර හිඟයක් ගැන ජගත් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

(16.01.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala)

මෙරට දලදේශීය නිෂ්පාදිතය මේ වසරේදී සියයට 2.6 ක වර්ධනයක් අත්කරගනු ඇති බව ජගත් සංවිධාන වාර්තාවකින් පුරෝකථනය කරනවා.

2022 වසරේ ලෝක ආර්ථික වාතාවරණය සහ ප්‍රවණතා පිළිබඳ අදාළ වාර්තාව සකස් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින්.

ගෝලීය ආර්ථිකය මන්දගාමී වීමට එමඟින් දක්වා ඇති කරුණු අතර, කොරෝනා වෛරස් ගෝලීය වසංගතය, අස්ථාවර ශ්‍රම වෙළඳපොල, සැපයුම් දාමයේ අභියෝග සහ උද්ධමනය ඉහළ යාමේ පීඩනය ප්‍රධානයි.

ජගත් සංවිධාන වාර්තාව පෙන්වා දෙන පරිදි ආහාර හිඟය, විදේශ සංචිතය හීනවීම සහ ස්වෛරීත්ව ණය අවදානම, ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රධාන අභියෝග අතර වනවා.

පසුගිය වසර මැද භාගයේ මහ බැංකුව මගින් පොලී අනුපාත ඉහළ නැංවීමද මෙරට උද්ධමනය ඉහළ යාමට හේතුවී තිබෙනවා.

ආර්ථිකයේ ප්‍රකෘතිමත්වීම සහ මූල්‍ය මෙන්ම මිල ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහය වන පරිදි මහබැංකු විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳ පූර්ව ඇගයීමක් සිදුකළ යුතු බවයි ජගත් සංවිධාන වාර්තා මගින් පෙන්වා දෙන්නේ.

එම ප්‍රතිපත්ති වෙනස්කම්වල බලපෑම මෙන්ම කාලානුරූප බවද එහිදී සැළකිල්ලට ගත යුතු බව එමඟින් අවධාරණය කරනවා.

කෙසේ නමුත් කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එහි විශේෂ සඳහනක් සිදුකර තිබෙනවා.

2022 වසරේ ලෝක ආර්ථික වාතාවරණය සහ ප්‍රවණතා පිළිබඳ වාර්තාව මගින් සඳහන් කරන පරිදි ඉන්දියාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස ප්‍රකෘතිමත් වෙමින් පවතින අතර, මේ වසරේදී සියයට 6.7 ක වර්ධනයක් අත්කරගනු ඇති.

මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අස්ථාවර භාවය සම්බන්ධයෙන් කැනඩාව එරට වැසියන් වෙත අවදානම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන කැනේඩියානු ජාතිකයන් ආහාර, ජලය සහ ඉන්ධන සැපයුම් පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු අතර, එම සැපයුම් අඩාල විය හැකි බවයි කැනේඩියානු රජය සඳහන් කර ඇත්තේ ෴

***************************************

යටිතල පහසුකම් සංවර්ධනයෙන් පමණක් ආර්ථික අභිවෘද්ධිය සිදුවන්නේ නැහැ – ඇමති විමල්

(16.01.2022 – 13:32 +0530 – hirunews.lk/sinhala)

විදේශ ණය ලබගනිමින්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පමණක් ආර්ථික අභිවෘද්ධියට ප්‍රමාණවත් නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.

බුත්තල කර්මාන්තපුර පරිශ්‍රයේ නව කර්මාන්තශාලා 03 ක් විවෘත කිරීමේ සහ නව කර්මාන්තශාලා 07 කට මුල්ගල් තැබීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ කර්මාන්ත ශක්තිමත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

විදෙස් වත්කම් සංචිතය බලගන්වන එකම සහ නිවැරදි ක්‍රමය ආනයන අදේශන කර්මාන්ත සහ අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත වැඩි වශයෙන් බලගැන්වීම බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.

***************************************

තොටළඟ දෙමහල් නිවසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල

(16.01.2022 – 13:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් තොටළඟ – 75 වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක් කඩාවැටීමෙන් 14 හැවිරිදි සිසුවෙකු සහ තවත් පුද්ගලයෙකු බරපතල තුවාල තිබෙනවා.

අද (16) පෙරවරු 10:30 කඩාවැටුනු දෙමහල් නිවසේ වැඩකරමින් සිට පෙදරේරුවෙකු සහ යාබද නිවසක පදිංචිව සිටි සිසුවෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සිසුවා සහ පෙදරේරුවා කඩාවැටුනු නිවසේ සුන්බුන් අතර සිරවි සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර, කොළඹ 06 ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක 07 වැනි මහලෙන් බිමට පනිනු ලැබූ පුද්ගලයෙකු ඊයේ (15) පස්වරුවේ බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදි ජීවිතක්ෂයට පත්වුණා.

පොලිසිය ප්‍රකාශ කලේ 87 හැවිරිදි එම පුද්ගලයා සිත්තැවුලක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි ෴

***************************************

අගමැති දළදා සමිඳුන් වැඳ පුදාගනී

(16.01.2022 – 13:59 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (16) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ දළදා වහන්සේ වැඳ පුදාගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු මහ විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි.

එහිදී නාහිමියන් විසින් අග්‍රාමාත්‍යවරයාට අනුශාසනාවක් පැවැත්වීමෙන් අනතුරුව තිළිණයක් ලෙස බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ප්‍රදානය කර තිබෙනවා.

***************************************

ශිෂ්‍යත්වය මධ්‍යස්ථාන 2943 කදී 22 වන දා – උසස් පෙළ පෙබරවාරි 07 ඇරඹේ

(16.01.2022 – 15:09 +0530 – hirunews.lk/sinhala)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 22 වන දා මධ්‍යස්ථාන 2943 කදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම විභාගය සඳහා සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අපේක්ෂකයන් 3,40,508 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

මේ අතර, උසස් පෙළ විභාගය ද පෙබරවාරි 07 වන දා සිට මාර්තු 05 වන දා දක්වා මධ්‍යස්ථාන 2438 කදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ සඳහා පාසල් අයදුම්කරුවන් 2,79,141 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 66,101 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි ෴

***************************************

ප්‍රදේශ කිහිපයකට වැසි

(16.01.2022 – 15:33 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් සවස 2 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

සබරගමුව පළාතේත් කලුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 කට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර මඩකලපුව සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 ක් 45 ක් පමණ දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා.

එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රලු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *