රුපියල් මිලියන 26 ක මත්පෙති අත්අඩංගුවට

රුපියල් මිලියන 26 ක මත්පෙති අත්අඩංගුවට

*********************************************

රුපියල් මිලියන 26 ක මත්පෙති අත්අඩංගුවට

(15.01.2022 – 21:46 +0530 – hirunews.lk/sinhala)

නෙදර්ලන්තයෙන් මෙරටට එවූ කිලෝ 5 ක් පමණ බරැති පාර්සලයක තිබී මත් පෙති තොගයක් හමුවී තිබෙනවා.

වැල්ලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු නමට එවා ඇති අදාළ පාර්සලය රැගෙන යාමට පැමිණි ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාල මත්පෙති තොගය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පරීක්ෂණ සිදුකෙරෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ සේවය කරන රේගු නිලධාරීන් විසින් අද (15) දින නෙදර්ලන්තයේ සිට යාපනයේ පදිංචි පුද්ගලයකු වෙත ඒවා තිබූ පාර්සලයක් පරීක්ෂා කිරීමේ දීයි එහි තුල ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මෙතෆෙටමින් (Methamphetamine) අඩංගු එක්සටසි (Ecstasy) නමැති මත් පෙති තොගයක් සොයාගෙන ඇත්තේ.

ඇඳ ඇතිරිලි සහ සෙල්ලම් බඩු මෙම පාර්සලයේ අඩංගු බවට රේගුවට ප්‍රකාශ කර තිබූ අතර එහි කාඩ් බෝඩ් බිත්ති තුළ ඉතා සූක්ෂ්ම ලෙස මෙම මත් පෙති සඟවා තිබී ඇතැයි සඳහන්.

මෙම මත් පෙති තොගයේ ග්‍රෑම් 1600 ක් බර මත් පෙති 4000 පමණ අඩංගු බව මේ වන විට සොයා ගෙන තිබෙන අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 26 පමණ වන බව රේගු මත් ද්‍රව්‍ය පාලන අංශය නිලධාරීන් විසින් තක්සේරු කර තිබෙනවා.

මෙම මත් පෙති ආනයනය පිළිබඳ මූලික විමර්ශන කටයුතු රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ මත් පෙති තොගය පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාර දීමට නියමිතයි.

***************************************

දීගොඩ කුමාර මහතා 15.01.2022 දින පැවැත්වූ දෙව් සුව සේවා දුරස්ථ දිව්‍යමය ආලෝක සුව මෙහෙය වැඩසටහනේ විඩියෝවෙන් උපුටා ගන්නා ලදී :

***************************************

අද විදුලිය කැපෙයි ද ?

(16.01.2022 – 07:04 +0530 – hirunews.lk/sinhala)

අද (16) දිනයේත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි අතිරේක සාමාන්‍යාධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඊයේ දිනයේදී ලබාගත් ඩීසල් මෙට්‍රික් ටොන් 3,000 සැපයුම තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් බවයි.

එසේම, අති විශාල විදුලි ඉල්ලුමක් ඉදිරි දින කිහිපයේදී නොලැබුනහොත් ලබන අඟහරුවාදා (18) වනතුරු අදාළ ඉන්ධන තොගය ප්‍රමාණවත් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ඉදිරියේදී විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් අඟහරුවාදා (18) දිනයේදී තීරණයක් ගන්නා බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, නිසි වේලාවට බොරතෙල් ආනයනය කර පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑම සිදුකර ගැනීමට නොහැකි වූ නිලධාරීන් ඇතුළු වගකිව යුත්තන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය ඉල්ලීමක් කරනවා.

ඒ, විෂය භාර අමාත්‍යවරයාට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාරවරයාට ලිපියක් යොමු කරමින්.

පිරිපහදුව බොරතෙල් නොමැතිවීමත් සමඟ වසා දැමීම හේතුවෙන් එහි සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවයටද බලපෑමක් ඇති කරන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴

++++++++++

විදුලි අර්බුදය ගැන තීරණාත්මක සාකච්ඡාවක් හෙට (17)

(16.01.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

මෙහිදී ඉදිරි දින කිහිපය තුළ අඛන්ඩ විදුලි සැපයුමක් සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අද (16) පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ සඳහන් කළා.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රියවීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300 ක ධාරිතාවක් අහිමිවුණා.

මේ හේතුවෙන් අඛණ්ඩ විදුලිබල සැපයුම අභියෝගයට ලක්වූ අතර, කැළණිතිස්ස බලාගාරයේ හදිසියේ මතුවූ කාර්මික දෝෂය හේතුවෙන් මෙම අර්බුදය තවදුරටත් උග්‍ර වුණා.

මෙවැනි පසුබිමක ජලවිදුලි උත්පාදනයද පවතින්නේ දැඩි අභියෝගාත්මක තත්වයකයි.

වැසි රහිත කාලගුණයත් සමඟ ජලවිදුලි බලාගාරවල ජල මට්ටම සීග්‍රයෙන් අවම වෙමින් පවතින අතර, වාරිමාර්ග සහ පානීය ජලපහසුකම් සඳහා අවශ්‍ය ධාරිතාව වෙන් කිරීමෙන් පසු මේ වනවිට විදුලිබල නිෂ්පාදනයට වෙන්වන්නේ ජලාශවල සමස්ත ධාරිතවයෙන් සීයයට 35 ක් වැනි ප්‍රතිශතයක්.

මෙම තත්වය මත ඩීසල් සහ දැවිතෙල් මගින් ක්‍රියාත්මක වන බලාගාර සඳහා ඉන්ධන අවශ්‍යවීම ගැටළුවක් බවට පත්ව ඇත්තේ රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදය හේතුවෙන්.

කෙසේ වෙතත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ විදුලි නිෂ්පාදනය ඇතුලු රටට අවශ්‍ය සමස්ත ඛනිජ තෙල් ආනයනය සඳහා ඩොලර් ලබාදීමේ අභියෝගයට මහ බැංකුව සාර්ථකව මුහුණදෙමින් සිටින බවයි.

එමෙන්ම පවතින තත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය පහසුකම් සපයාගැනීම සඳහා තවත් විකල්ප අවස්ථා කිහිපයක් සළකා බලමින් සිටින බවද මහ බැංකු අධිපතිවරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියා.

වසරේ ඉදිරි කාලසීමාව තුළ ඉන්ධන ආනයනය සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන හතරක් (4) පමණ අවශ්‍ය වනු ඇතැයි අපේක්ෂිතයි.

***************************************

92 වෙනුවට ඔක්ටේන් 91 ගෙන්වීමේ සූදානමක් – වෘත්තීය සමිතිවලින් චෝදනා

(16.01.2022 – 20:46 +0530 – hirunews.lk/sinhala)

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් වෙනුවට ඔක්ටේන් 91 වර්ගයේ පෙට්‍රල් මෙරටට ගෙන්වීමේ සූදානමක් පවතින බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැදවුම්කරු ආනන්ද පාලිත පවසනවා.

මෙරටට ඉන්ධන රැගෙන එන නෞකාවලට මුදල් ගෙවා ගත නොහැකිවීමෙන් ඉදිරියේදී දැඩි අර්බුදකාරී තත්ත්වයක් ද මතුවිය හැකි බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මෙම චෝදනා ප්‍රතික්ෂේප කළා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බවත්, ඔක්ටේන් 91 වර්ගයේ පෙට්‍රල් ගෙන්වීමක් සිදුකර නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

මේ අතර ලබන 22 වන දා තෙක් විදුලි බලාගාරය සඳහා ඉන්ධන නොලැබුණහොත් විදුලිය විසන්ධි කිරීම පිළිබද තීන්දුවක් ගැනීමට සිදුවන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

***************************************

ගෙදර ගියොත් අඹු නසී – මඟ හිටියොත් තෝ නසී

(17.01.2022 – 06:58 +0530 – hirunews.lk/sinhala)

ඉන්දන නොමැති වීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ බලාගාර කිහිපයක් ගිය සතියේ අක්‍රිය වුණේ, ජනතාව හා රටේ දෛනික කාර්‍යයන් බරපතළ අර්බුදයකට ඇද දමමින්.

එය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් තුන් දහසක් (3000) අවස්ථා දෙකක (2) දී ලබා දී ඇතැ යි කී උදය ගම්මන්පිල අමාත්‍යවරයා, ඩොලර් නොමැති ව මින් ඉදිරියට ඒ ආකාරයෙන් ඉන්ධන දිය නො හැකි බව පවසනවා.

විදුලිබල මණ්ඩලය ඩොලර් ලබාදුන හොත් ඛනිජ තෙල් ආනයනය කර ලබාදිය හැකි බව කී අමාත්‍යවරයා, ඒ සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇතැ යි ද අවධාරණය කරනවා.

විදුලිබල මණ්ඩලයට ලබා දීමට තරම් අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාවට නො මැති බව යි ඔහු ප්‍රකාශ කළේ.

එසේ නොමැති ව පවතින ඉන්ධන තොග විදුලි නිෂ්පාදනයට ලබාදුන හොත් වාහන ධාවනය කිරීමට නො හැකි වනු ඇති බව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරනවා.

ඉන්ධන නොමැති වුව හොත් විදුලි සැපයුම පැයකට දෙකකට (1-2) කපාහැර තත්ත්වය කළමනාකරණය කිරීමට හැකියාව ඇති නමුත් වාහන ධාවනය සඳහා එවැනි පියවරකට යා නොහැකි බව යි අමාත්‍යවරයා අවසාන වශයෙන් හෙළිදරව් කරන්නේ ෴

***************************************

‘ෂාටා’ අල්ලන්න පොලිසියට බැරිවෙයි – පොලීසිය නිකුත්කළ නිවේදනය දැක ‘ෂාටා’ම භාරවෙලා

(16.01.2022 – 07:32 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මග හරිමින් සිටි ‘උදයංග ලක්මාල්’ හෙවල් ‘ෂාටා’ නම් මත්ද්‍රව්‍ය ජවාරම්කරු ත්‍රිකුණාමලය පොලීසියට භාරවීමෙන් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු පසුගිය කාලයේ හෙරොයින් කිලෝග්‍රෑම් 200 ක් සහ පිස්තෝල 14 ක් මෙරටට ගෙන්වා ඇති බවයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සිදුකළ විශේෂ විමර්ශනයක් සඳහා අව්‍යශව සිටි ‘උදයංග ලක්මාල්’ හෙවත් ‘ෂාටා’ පසුගිය කාලය පුරාම පොලීසිය මග හරිමින් සැඟව සිටීම හේතුවෙන් පොලීසියට ඔහුව සොයාගැනීමට මහජන සහාය පැතීමට සිදුවුණා.

පොලීසිය නිකුත්කළ නිවේදනයක් සමග ‘ෂාටා’ පසුගියදා ත්‍රිකුණාමලය පොලීසියට පැමිණ භාරවී තිබුණා.

ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට රැගෙන පැමිණි සැකකරුව දින 07 ක් රඳවාගෙන ප්‍රශ්න කර තිබෙනවා.

සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු ප්‍රකාශකර ඇත්තේ තමන් පසුගිය කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 200 ක් හා විදෙස් රටවල නිෂ්පාදිත පිස්තෝල 14 ක් මෙරටට ගෙන්වා ඇති බවයි.

අදාළ හෙරොයින් තොගය සහ පිස්තෝල 14 න් 10 ක් 2020 වසරේ ජනවාරි මාසයේදී බණ්ඩාරගමදී පොලීසිය සොයාගත් බවද ඔහු පවසා තිබෙනවා.

ඉතිරි පිස්තෝල 4 න් දෙකක් (2) බූස්ස ප්‍රදේශයේ තම සගයෙකු සතුව ඇති බවද සැකකරු එහිදී හෙළිකරා.

ඒ අනුව එම පිස්තෝල දෙක (2) සහ පතුරම් ගැබ් 04 ක් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සොයාගෙන තිබෙනවා.

අනතුරුව ‘ෂාටා’ ජනවාරි 14 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 14 ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා ෴

***************************************

විශ්‍රාම ගිය පිරිසක් සංවෘත සේවයට එක්කරන්නැයි ගුරු සංගම් යළි ඉල්ලයි

(16.01.2022 – 08:29 +0530 – hirunews.lk/sinhala)

1997 වසරේ සිට විශ්‍රාම ගිය ගුරු විදුහල්පතිවරුන්ද, ගුරු – විදුහල්පති සංවෘත සේවයට එක් කළ යුතු බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම සන්ධානය මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදීයි.

ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශන සේවා 2021 වසරේ අගෝස්තු මස සිට ක්‍රියාත්මක වන පරිදි සංවෘත සේවා බවට පත්කරන බව දක්වමින් පෙරේදා (14) මධ්‍යම රාත්‍රියේදී ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණු අතර, එහි විශ්‍රාමික ගුරුවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සටහන් කර තිබුණේ නැහැ.

ඒ අනුව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන ලංකා ගුරු සංගමයේ උප සභාපති රසිකා හඳපාන්ගොඩ කියා සිටියේ අදාල සේවා සංවෘතකරණයට විශ්‍රාමික ගුරුවරුන්ද ඇතුළත් කළ යුතු බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *