මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ කුරුණෑගල කොටස ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ කුරුණෑගල කොටස ජනතා අයිතියට

*********************************************

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ කුරුණෑගල කොටස ජනතා අයිතියට

(15.01.2022 – 16:43 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගයේ ඇතුගල්පුර පිවිසුම ජනපති හා අගමැති අතින් ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම සහ කුරුණෑගල දක්වා වන දෙවන (2) අදියරේ කොටස වූ ඇතුගල්පුර පිවිසුම අද (15) ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

අධිවේගී මාර්ගය විවෘත කළ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙන්ම සෙසු මැති ඇමතිවරුන් මේ වනවිට මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටිනවා.

මෙම කොටසේ මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල පිවිසුම් ඉදිකර තිබෙනවා.

මීරිගම සහ කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන (2) අදියරේ දුර කිලෝමීටර් 41 කට ආසන්නයි.

පාරිසරික සහ සමාජයීය බලපෑම් අවම වන පරිදි ඉදිකළ මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මඟ හරිමින් හිස් ඉඩම් හරහා ඉදිකර තිබෙනවා.

මංතීරු 4 ක් යටතේ ඉදිකළ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙසට යි හඳුනාගෙන ඇත්තේ.

දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ගය ඉදිකර ඇති බවයි මහාමාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 149 ක්.

++++++++++

මීරිගම සිට කුරුණෑගල දක්වා මධ්‍යම අධිවේගයේ ඇතුගල්පුර පිවිසුම ජනතා අයිතියට පත් කෙරේ

(15.01.2022 – 19:46 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම සහ කුරුණෑගල දක්වා වන දෙවන (2) අදියර – ඇතුගල්පුර පිවිසුම අද (15) ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

එය විවෘත කළ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කළා.

ජනාධිපතිවරයා ගමන් කළ රථය අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පැදවූ අතර, අග්‍රාමාත්‍යවරයා ගමන් කළ රථය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් පැදවීම ද විශේෂත්වයක්.

මීරිගම සිට කුරුණෑගල දක්වා වන මෙම කොටසේ දුර කිලෝමීටර් 41 කට ආසන්නයි. පාරිසරික සහ සමාජයීය බලපෑම් අවම වන පරිදි ඉදිකළ මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මඟ හරිමින් හිස් ඉඩම් හරහා ඉදිකර තිබෙනවා.

මංතීරු 4 ක් යටතේ ඉදිකළ එය ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙසටයි හඳුනාගෙන ඇත්තේ. ඒ යටතේ මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල පිවිසුම් ඉදිකර තිබෙනවා.

සැහැල්ලු වාහන සඳහා මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කිරීමට රුපියල් 250 ක් අය කෙරෙන අතර, බරවාහන සඳහා අය කෙරෙන මුදල් රුපියල් 350 සිට 550 දක්වා අගයකයි පවතින්නේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ ව්‍යාපෘතිය අදියර 4 කින් සමන්විතයි. ඊට කඩවත සිට මීරිගම දක්වා කොටස, පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස මෙන්ම කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන කොටස ද ඇතුළත්.

අද (15) විවෘත කළ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස මගින් විනාඩි 25 ක කාලයක් තුල ජනතාවට මීරිගම සිට කුරුණෑගලට ළගා විය හැකියි.

++++++++++

හෙට (16) දහවල් 12 දක්වා මධ්‍යම අධිවේගීයේ ගමන් ගන්නා වාහන වල ගාස්තු අය නොකෙරේ

(15.01.2022 – 22:01 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස අද (15) රාත්‍රී 12 සිට අධිවේගී මාර්ගවල ගමන් කිරීමට අනුමැතිය ලත් වාහනවලට භාවිත කළ හැකි බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම හෙට (16) දහවල් 12 දක්වා ගාස්තු අය නොකෙරන බවද මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළා.

++++++++++

මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කරන අවස්ථාවේ නෙත නොගැටුණු අපුරූ දසුන්

(15.01.2022 – 23:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට අධිවේගී මාර්ග පද්ධතියේ සිව්වැනි (4) සාමාජිකයාවන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවන (2) කොටස අද (15) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවේදී කාගේත් නෙත නොගැටුණු අපුරූ ඡායාරූප පෙළක් අප නෙත ගැටුණා.

***************************************

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්ට ගෞරව ආචාර්ය උපාධියක්

(15.01.2022 – 17:56 +0530 – hirunews.lk/sinhala)

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියට කැළණි විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් ප්‍රදානය කර තිබෙනවා.

***************************************

කොළඹ පුරපතිනියට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් විමර්ශනයක්

(15.01.2022 – 18:20 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පුරපතිනිය වන, රෝසි සේනානායක විසින් සිදුකරන ලද මූල්‍ය වංචා පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා.

කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම විසින්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම කොමිෂන් සභාවේ ලේකම්, අප්සරා කල්දේරා විසින්, මේ සම්බන්ධයෙන්, නාගරික මන්ත්‍රීවරයාට දැනුවත් කිරීමක් සිදු කර ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් මෙම විමර්ශනය සිදු වන දිනය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ.

කොළඹ නගරාධිපතිනි, රෝසි සේනානායක අයවැයට වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන වලට අමතරව, ජනතා බදු මුදල් අවභාවිත කර ඇති බවට කොළඹ නගර සභාවේ මන්ත්‍රී කණ්ඩායම් විසින් බරපතල චෝදනා එල්ල කරනු ලබනවා.

කෙසේ වෙතත් නගරාධිපතිනි, රෝසි සේනානායක පවසන්නේ, මෙම සියළු චෝදනා පදනම් විරහිත සහ අසත්‍ය චෝදනා බවටයි.

***************************************

සතොසට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට බදාදා (19) සාකච්ඡාවක්

(15.01.2022 – 19:49 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොල තුල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පැවතීම සහ මිල ගණන් ඉහළ යමින් පවතින තත්ත්වයක් තුල සතොසට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ලබන බදාදා (19) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව, අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයුම්කරුවන් සහ වෙළඳ අමාත්‍යවරයා අතර මෙම සාකච්ඡාව පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

එවන් පසුබිමක ආනයනකරුවන් පවසන්නේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 1700 ක් පමණ වරාය තුල සිරවී ඇති බවයි.

පවතින ඩොලර් හිඟය ඊට හේතුව බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එසේම, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වරායේ සිරවී තිබීම සහ වෙළඳපොල තුල පවතින අර්බුද තත්ත්වය සම්බන්ධයෙන් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (15) මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.

මේ අතර, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම සහ පවතින හිඟය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් අද (15) තිරප්පනේ නගරයේදී පැවැත්වුණා.

එය සංවිධාන කර තිබුණේ සමගි ජනබලවේගය විසින්.

එසේම, පොහොර නොමැතිව වගා විනාශ වූ ගොවීන්ට සාධාරණ වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය දඹුල්ල නගරයේ අද (15) විරෝධතාවක නිරත වුණා.

මේ අතර, ගොවීන් පෙන්වා දෙන්නේ පොහොර සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීමෙන් තමන් තවදුරටත් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

එසේම, හඟු‍රන්කෙත – තලාව ප්‍රදේශයේ වී වගා කරන ගොවීන් පිරිසක්ද පොහොර ගැටලු‍වට විසඳුම් ඉල්ලා දේව කන්නලව්වක නිරත වුණා.

පොළොන්නරුව – ගිරිතලේ ව්‍යාපාරය යටතේ ගොවිතැන් කටයුතු කළ හතමුණ ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ අවශ්‍ය පොහොර නොමැතිකමින් තමන් ගැටලු‍ රැසකට මුහුණ පා ඇති බවයි.

මේ අතර, පාකිස්ථානයෙන් ආනයනය කරන ලද බිට්රූට් තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හොර රහසේ අලෙවි කිරීමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බව එහි වෙළෙඳුන් පවසනවා.

එසේම, රට පුරා ගෑස් ආශ්‍රිතව සිදුවන අනතුරු වළක්වා දෙන ලෙස ඉල්ලමින් ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව අද (15) දෙහිවල විෂ්ණු කෝවිලට පැමිණ දේව කන්නලව්වක නිරත වුණා.

ඊට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එහි සභාපති නලින් සමන්ත ප්‍රකාශ කළේ නව සංයුතියෙන් යුක්ත ගෑස් පුපුරායාම පිටුපස යම් කුමන්ත්‍රණයක් පැවතිය හැකි බවයි ෴

***************************************

ඉදිරි වසර 03 තුළදී ලබාදුන් පොරොන්දු සියල්ල ඉටුකරනවා – ජනපති

(15.01.2022 – 22:06 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර 03 තුළදී ඉටු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

එබැවින් තමා කෙරෙහි විශ්වාසය තබන ලෙසයි ජනාධිපතිවරයා රටවැසියන්ගෙන් ඉල්ලා සිටියේ.

පටු විවේච්චන එල්ල කර ජනතාව අධෛර්යමත් නොකරන ලෙසද ගෝඨාභය රාජපක්ෂ මහතා සෑම පාර්ශවයකින්ම ඉල්ලා සිටියා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීමේ උත්සව සභාව අමතමිනුයි.

කොවිඩ් නිසා ආදායම විශාල වශයෙන් අහිමි වු බවත් එන්නත්කරණය සහ සංචාරකයන් පැමිණීම් ඉහළ යන්නේ නම් රට ඉදිරියට ගෙන යා හැකි බවත් රාජපක්ෂ මෙහිදී කියා සිටියා.

කිසි දිනක ගොවියා අමතක නොකරන බවට ප්‍රතිඥා දුන් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කලේ වහාම වගා සංග්‍රාමයක් ආරම්භ කරන බවයි.

එදා තමන් වෙත විශ්වාසය තබා දුන් ඡන්දයේ ගෞරවය ආරක්ෂා කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ප්‍රතිඥා දුන්නා.

***************************************

බස් රථයකට යටවී පාපැදිකරුවෙකු මරුට

(15.01.2022 – 22:41 +0530 – hirunews.lk/sinhala)

බස් රථයකට යටවී පාපැදිකරුවෙකු මියයෑමෙන් පසු මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැමිණ බස් රථයට ගිනි තබා තිබෙනවා.

අවිස්සාවේල්ල – මාලියන්ගම මාර්ගයේ රිටිගහවෙල මංසන්ධියේදී එම අනතුර සිදුවී ඇත්තේ.

එම බස් රථය කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙන්නේ.

ඒ අද (15) සවස් කාලයේදීය.

අනතුරට ලක්වූ 65 හැවිරිදි පාපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

බස් රථයේ රියදුරු සිද්ධියෙන් පසු පලාගොස් තිබෙනවා.

අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරීන් පැමිණ බස් රථය සිය භාරයට ගන්නා අවස්ථාවේදී කුපිත වූ ඥාතීන් බස් රථයට ගිනිතබා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

එම අවස්ථාවේ බස් රථයේ සිටි පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *