පොල්තෙල් නිෂ්පාදකයින්ගෙන් හෙළිදරව්වක්

පොල්තෙල් නිෂ්පාදකයින්ගෙන් හෙළිදරව්වක්

*********************************************

පොල්තෙල් නිෂ්පාදකයින්ගෙන් හෙළිදරව්වක්

(15.01.2022 – 13:12 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික ආයතනයක් මගින් ඇණවුම් කළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 12,000 ක් බදු සහන ලබා දී මෙරටට ගෙන්වා රුපියල් මිලියන 1,500 කට ආසන්න බදු වංචාවක් කිරීමේ සූදානමක් පවතින බවට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරනවා.

එහි කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මේ බව කියා සිටියේ, දඹුල්ලේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදි යි.

දේශීය පොල්තෙල් නිෂ්පාදනාගාර අඩපණ වුව හොත් සත්ත්ව ආහාර නො මැති ව කුකුළු ගොවිපොළ ද වැසී යාමේ අවදානමක් ද පවතිනවා.

එය, කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය සඳහා බලපාන බවයි එම සංගමයේ සමකැඳවුම්කරු දේශක්ති අලහකෝන් මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ.

***************************************

ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන බකමූණේ දිරිය කතුන්

(15.01.2022 – 13:21 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන කාන්තාවන් පිරිසක් අඹන් ගඟෙන් වැලි ගොඩ දමා ජීවන අරගලයට මුහුණ දෙන පුවතක් පොළොන්නරුව – ඇලහැර – බකමූණ ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

පොහොර නො මැති ව වගාවන් සිදු කර ගැනීමට නො හැකි වීම නිසා සිය අදායම් මාර්ගය වූ ගොවිතැන අහිමි වී ඇති මොවුන්ට නිරතුරු ව බියෙන් දිවි ගෙවීමට සිදු ව ඇත්තේ ගම්මානයට පවතින වන අලි තර්ජන හේතුවෙන්.

ඒ අනුව ස්ථීර රැකියාවක් නො මැති මෙම කාන්තාවන්ට අඹන් ගඟෙන් වැලි ගොඩ දමා දෛනික අවශ්‍යතා සඳහා මුදලක් ලබා ගැනීමට යොමුව තිබෙනවා.

ඔවුන් ඒ සඳහා මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර නොව, සරල උපකරණ භාවිත කිරීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මෙලෙස වැලි ගොඩ දැමීම සඳහා ඔවුන්ට බලපත්‍ර නො මැති වීම නිසා වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙය අනවසර වැලි ගොඩදැමීමක් බවයි.

ඒ අනුව මෙම කාන්තාවන්ට නෛතික ගැටලු රැසකට මුහුණ දීමට සිදු ව තිබෙනවා.

හිරු ප්‍රවෘත්තී අංශයට අදහස් දක්වමින් මෙම දිරිය කාන්තාවන් ඉල්ලා සිටින්නේ, වැලි ගොඩදැමීම සඳහා තමන්ට නිසි අවසරයක් ලබා දෙන ලෙසට යි ෴

***************************************

ඉන්දියානු විදේශ අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ට්විටර් සටහනක්

(15.01.2022 – 14:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දියානු විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර මාර්ගගත හමුවක් පවත්වා තිබෙනවා.

එහිදී ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ස්ථීර සහ විශ්වසනීය හවුල්කරුවෙකු වීම යළිත් තහවුරු කළ බවයි, එරට විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ට්විටර් සටහනක් තබමින් පවසා සිටියේ ෴

***************************************

මාතර බන්ධනාගාරයට දුම්කොළ සහ ජංගම දුරකතනයක් සහිත පාර්සලයක් විසි කිරීම ගැන විමර්ශනයක්

(15.01.2022 – 14:43 +0530 – hirunews.lk/sinhala)

මාතර බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් තාප්පයට ඉහළින් විසිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.

බන්ධනාගාර කොමසාරිස් පාලන සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ, ඊයේ (14) පස්වරුවේ නිල්වලා ගඟ ඔස්සේ බෝට්ටුවකින් පැමිණ බන්ධනාගාරයට යාබද ව පිහිටි හෝටල් පරිශ්‍රයේ සිට තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් බන්ධනාගාරය තුළට විසිකර ඇති බව යි.

බන්ධනාගාරයේ ආරක්ෂක රාජකාරිවල නිරත නිලධාරියෙකු විසින් ඒ පිළිබඳ බන්ධනාගාර නිලධාරින් දැනුවත් කිරීමෙන් පසු අදාළ පාර්සලය බන්ධනාගාර නිලධාරින් භාරයට ගෙන පරීක්ෂා කර තිබෙනවා.

එහි තිබී ජංගම දුරකථනයක්, චාජරයක්, ඩේටා කේබලයක් සහ දුම්කොළ සහිත පාර්සලයක් සොයා ගෙන ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ෴

***************************************

රට විනාශයට ගෙන යන ආණ්ඩුවක් අද රටේ තියෙන්නේ – සජිත් ප්‍රේමදාස

(15.01.2022 – 14:52 +0530 – hirunews.lk/sinhala)

එකමුතු වීම සහ එක්සත් බව තුළින් ඕනෑම ගැටළුවකට විසඳුම් සොයාගත හැකි බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමඟි ජන බලවේගයෙන් හුස්මක් වැඩසටහන යටතේ චාවකච්චේරිය රෝහලට වෛද්‍ය උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජනතාවට සුබසාධනය සැලසීම අද (15) වනවිට ප්‍රමුඛ අවශ්‍යතාවක් වී ඇති බවයි.

***************************************

නවසීලන්තය ඇතුළු රාජ්‍යයන් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්

(15.01.2022 – 15:01 +0530 – hirunews.lk/sinhala)

මුහුදු පත්ලේ පිහිටි ගිනි කන්දක් සක්‍රිය වීමත් සමඟ ටොංගා, ෆීජි රාජ්‍ය සහ නවසීලන්තය ඇතුළු පැසිෆික් කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍යය වාර්තා කළේ, ටොංගා රාජ්‍යයේ ප්‍රදේශයකට මුහුදු රළ ගලා යන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි.

ගිනි කන්දේ පිපිරීම එහි සිට කිලෝමිටර් 800 ක් දුරින් පිහිටි ෆීජි රාජ්‍යයට ද ඇසුණු බව වාර්තා වනවා.

ගිනි කන්ද සක්‍රීය වූ ස්ථානයේ සිට ටොන්ගා අගනුවරට ඇත්තේ, කිලෝ මීටර් 25 ක පමණ දුරක්.

එම නගරයේ පදිංචිකරුවෙකු ප්‍රකාශ කර ඇත්තේ, ගිනි කන්ද සක්‍රීය වන විට තමන් රාත්‍රී ආහාරය සඳහා සූදානම් වෙමින් සිටි බව යි.

එම ශබ්දය බෝම්බයක් පුපුරා යන ශබ්දයක් වන්නට ඇතැ යි තමන්ට සිතුන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ටොන්ගා නුවර භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, ගිනි කන්දෙන් නිකුත් වෙන දුම හා අළු කිලෝමීටර් 20 ක් පමණ ඉහළට ගමන් කරමින් පවතින බව යි.

ගිනි කන්ද සක්‍රීය වූ ස්ථානයේ සිට කිලෝ මීටර් 800 ක පමණ දුරකින් පිහිටි ෆීජි දූපත්වලට ද මෙහි කම්පනය දැනී තිබෙනවා.

එරට බලධාරින්, වෙරළාසන්න ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ, පදිංචි ස්ථානවලින් ඉවත් වන ලෙසට යි.

ඔවුන් වෙනුවෙන් ආපදා සහන මධ්‍යස්ථාන ද ස්ථාපිත ද මේ වනවිට ස්ථාපිත කර තිබෙනවා ෴

+++++++++

පැසිෆික් සයුරේ ගිනි කන්දක් පුපුරයි

(15.01.2022 – 18:59 +0530 – hirunews.lk/sinhala)

මුහුදු පත්ලේ පිහිටි ගිනි කන්දක් සක්‍රිය වීමත් සමග ටොංගා, ෆීජි රාජ්‍ය සහ නවසීලන්තය ඇතුළු පැසිෆික් කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා.

ටොංගා රාජ්‍යයට මුහුදු රළ කඩා වැදෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර, මේ දක්වා ඉන් සිදුවූ ජිවිත හෝ දේපල හානි පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර නැහැ.

ගිනි කන්දේ පිපිරීම එහි සිට කිලෝමිටර් 800 ක් දුරින් පිහිටි ෆීජි රාජ්‍යයට ද ඇසුණු බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

මේ අතර,ගිනි කන්ද සක්‍රිය වීමත් සමඟ දුම්වලා සහ කම්පන රළ ඉහළට මතුවන ආකාරය චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

https://www.youtube.com/watch?v=pbL2cQY8gBg

***************************************

කේරළ ගංජා කිලෝග්රැම් 250 ක් සමඟ සැකකරුවෙකු

(15.01.2022 – 15:46 +0530 – hirunews.lk/sinhala)

යාපනය සිට කොළඹ බලා කේරළ ගංජා කිලෝග්රැම් 250 කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අද (15) දහවල් අත්අඩංගුවට ගත් බව වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ වන්නි යුධ හමුදා බුද්ධි නිළධාරීන්ට ලද තොරතුරක් මත සැකකටයුතුලොරි රථයක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු යාපනය කිරීමලෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත්කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වෙත බෙදා හැරීමට රැගෙන යමින් සිටියදී යුධ හමුදා බුද්ධි නිළධාරීන් සිය සිය බාරයට ගෙන ඊරට්ටපෙරියකුලම පොලිසිය වෙත භාරදී තිබෙනවා.

සැකකරු හා අත්අඩංගුවට ගත් ගංජා තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් වන්නි යුධ හමුදා බුද්ධි නිළධාරීන් හා ඊරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

***************************************

පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමති තරීක් අහමඩ් ශ්‍රී ලංකාවේ සංචාරයකට සැරසේ

(15.01.2022 – 15:53 +0530 – hirunews.lk/sinhala)

පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ රාජ්‍ය අමාත්‍ය තරීක් අහමඩ් ඉදිරි දින කිහිපයේදී මෙරට සංචාරයක් සඳහා පැමිණීමට නියමිතයි.

ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි, ඒ බව සඳහන් කර ඇත්තේ.

වෙළඳ, ආයෝජන, ආර්ථික, අධ්‍යාපන පරිසර හා මානව හිමිකම් යන අංශ සම්බන්ධයෙන් මෙරට නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බව, ඔහු එම ට්විටර් සටහනේ දක්වා තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ රාජ්‍ය අමාත්‍ය තරීක් අහමඩ් ලිංගික ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වන බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ද කටයුතු කරනු ලබනවා ෴

***************************************

5 වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක්

(15.01.2022 – 19:16 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 18 මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු 5 ශිෂ්‍යත්වයට අදාලව සහ පෙබරවාරි 01 මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ විභාගයට අදාලව, උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා ෴

***************************************

නිදහස් පක්ෂයේ ගමන අත්හිටුවීමට සූදානම් නැහැ – මෛත්‍රීපාල කියයි

(15.01.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala)

නිදහස් පක්ෂයේ ගමන අත්හිටුවීමට සූදානම් නොමැති බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිසා සමුළුව අද (15) අමතමින්.

***************************************

වසරකින් පසු බොරතෙල් මිල ඉහළම අගයට

(15.01.2022 – 20:13 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල යළි වසරකින් ඉහළම අගයට ළගා වී තිබෙනවා.

ඒ අනුව අද වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 86 ක් ලෙස පැවතියා.

එය පසුගිය වසරේ ජනවාරි දෙවන සතිය වනවිට පැවතියේ ඩොලර් 54 ක මිලකටයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *