විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවය සංවෘත සේවාවන් බවට පත් වෙයි

විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවය සංවෘත සේවාවන් බවට පත් වෙයි

*********************************************

විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවය සංවෘත සේවාවන් බවට පත් වෙයි

(15.01.2022 – 06:18 +0530 – hirunews.lk/sinhala)

විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පසුගිය වසරේ අගෝස්තු මස 30 වන දා සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව එදින සිට මෙම සේවාවන් තුන (3) සංවෘත සේවාවන් 3 ක් බවට පත්වනු ඇති.

පත්කිරීම්, උසස් කිරීම්, විනය, ස්ථාන මාරු සහ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන ඒ ඒ සේවාවන් සඳහා දැනට ක්‍රියාත්මක අයුරින් බල පැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

පසුගිය සමයේ ගුරු සහ විදුහල්පති වෘත්තිය සමිති වර්ජන සහ විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වූයේ වැටුප් විෂමතාව සහ සිය සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

පසුගිය දා ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය පියවර ගනු ලැබූ අතර, විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීමෙන් ඔවුන්ගේ තවත් ප්‍රධාන ඉල්ලීමක් ඉටුවනවා.

+++++++

කලකට පසු ගුරු – විදුහල්පතිවරුන් සතුටින්

(15.01.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala)

විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බව, ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ වසර 9 කට ආසන්න කාලයක් තිස්සේ මෙලෙස අදාළ සේවා සංවෘත සේවාවන් බවට පත් කිරීමට අරගලයක් සිදුකළ බවයි.

විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කරමින් ඊයේ (14) දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පසුගිය වසරේ අගෝස්තු මස 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදියි.

පසුගියදා ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය පියවර ගනු ලැබූ අතර, විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීමෙන් ඔවුන්ගේ තවත් ප්‍රධාන ඉල්ලීමක් ඉටුවනවා.

***************************************

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි (2) සැසිය චාම් අයුරින්

(15.01.2022 – 07:26 +0530 – hirunews.lk/sinhala)

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසිවාරය විවෘත කිරිමේ උත්සවය චාම් අයුරින් සංවිධාන කර ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය විවෘත කිරීමේ උත්සවය මෙන් මෙම අවස්ථාව ද ඉතා චාම්ව සංවිධාන කරන ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලද ඉල්ලීම මත එම කටයුතු චාම් ව සිදු කෙරෙන බවයි වේත්‍රධාරිවරයා සඳහන් කළේ.

ඒ අනුව මෙවර උත්සවයට ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි ඇතුළත් කෙරෙන්නේ නැහැ.

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය විවෘත කිරීමේ උත්සවය ලබන 18 වැනි දා පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත යි.

එදිනට පාර්ලිමේන්තුවට පැමිණෙන මාධ්‍යවේදීන් හා විවිධ සේවා සපයන්නන් සඳහා කොරෝනා පරීක්ෂණය අනිවාර්ය කර තිබෙනවා.

එසේම, ආරාධිත අමුත්තන් ඇතුළු පිරිස් එන්නත්කරණ කාඩ්පත රැගෙන පැමිණීම අනිවාර්ය බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

මිරිගම – කුරුණෑගල කොටස පස්වරුවේ විවෘත වෙයි

(15.01.2022 – 07:33 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම සහ කුරුණෑගල දක්වා වන දෙවන (2) අදියරේ කොටස අද (15) ජනතා අයිතියට පත්කෙරෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරු 4 ට ඇතුගල්පුර පිවිසුම විවෘත වීමට නියමිත යි.

මීරිගම සහ කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කිලෝමීටර් 41 කට ආසන්නයි. පාරිසරික සහ සමාජයීය බලපෑම් අවම වන පරිදි ඉදිකළ මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මඟ හරිමින් හිස් ඉඩම් හරහා ඉදිකර තිබෙනවා.

මංතීරු 4 ක් යටතේ ඉදිකළ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙසට යි හඳුනාගෙන ඇත්තේ.

දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ගය ඉදිකර ඇති බවයි මහාමාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ග පිටිය යන ස්ථානයේදී මුදල් ගෙවීමේ කවුළු ස්ථාපිත කර ඇති අතර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 149 ක්.

***************************************

දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට

(15.01.2022 – 07:43 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අත්හිටුවීමත් සමග අද (15) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම වර්ජනය ඊයේ (14) පස්වරුවේ අවසන් කිරීමත් සමග ඒ මොහොතේ සිටම දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයට වාර්තා කර තිබූ බවද ඔහු කියා සිටියා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 12 වන දා මධ්‍යම රාත්‍රියේ හදිසි වර්ජනයක් ආරම්භ කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්, පෙරේදා (13) මැදියම් රැයෙන් එය අවසන් කළ අතර, ඊයේ (14) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතුවලට එක්වුණා.

එහෙත් ඊයේ (14) දහවල් යළිත් ඔවුන් වර්ජනයකට යොමුවුණේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උපසභාපතිවරයාගේ සේවය අත්හිටුවීමට සාමාන්‍යාධිකාරීවරයා ගත් තීරණයට මෙන්ම, වර්ජනය අතරතුර ස්ථානාධිපතිවරුන් එන්ජින් රියදුරන්ට පහරදුන් බව කියන සිද්ධියට අදාළ ව සිදු කරන ලද පැමිණිල්ලට විරෝධය දක්වමින්.

මේ හේතුවෙන් දෙස් විදෙස් මගීන් ඊයේ (14) දිනයේත් දැඩි අපහසුතාවයට පත්වුණේ ඇතැම් දුම්රිය, මගීන් සමඟ අතරමග නතර කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් ස්ථානාධිපති සංගමයේ උපසභාපතිවරයා යළි සේවයේ ස්ථාපිත කිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වර්ජනය ඊයේ (14) පස්වරුවේ අත්හිටවනු ලැබුවා ෴

***************************************

සිමෙන්ති කොට්ට ලක්ෂ දෙකක් (2) 18 වැනි දා දිවයිනට

(15.01.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala)

සිමෙන්ති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව සිමෙන්ති ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් පවසනවා.

හිරු ප්‍රවෘත්තී අංශය කළ විමසීමක දී ඔවුන් සඳහන් කළේ ඩොලර් නො මැති වීම හේතුවෙන් සිමෙන්ති ආනයනයේ දී ගැටලු මතු වී ඇති බවයි.

කෙසේ නමුත් ලබන 18 වැනි දා වන විට සිමෙන්ති කොට්ට ලක්ෂ 2 ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවන අතර, ලබන 22 වනදායින් පසු පවතින සිමෙන්ති හිඟය අවම වනු ඇති බව සිමෙන්ති ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් සඳහන් කළා ෴

***************************************

බුලත්සිංහල දී මාරක රිය අනතුරක්

(15.01.2022 – 09:57 +0530 – hirunews.lk/sinhala)

බුලත්සිංහල පොලිස් වසමේ මතුගම හොරණ මාර්ගයේ දී මාරක රිය අනතුරක් සිදු වී තිබෙනවා.

වේගය පාලනය කරගත නො හැකි වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමෙනු යි මෙම අනතුර සිදු වී ඇත්තේ.

බරපතළ තුවාල ලැබූ තුවාලකරු හොරණ රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගිය බව වාර්තා වෙනවා.

මරණකරු වයස අවුරුදු 56 ක තිබ්බොට්ටාව, බුලත්සිංහල පදිංචිකරුවෙක්.

මේ අතර, ගම්පොළ ප්‍රදේශයෙන් ද රිය අනතුරක් වාර්තා වෙන අතර, නවතා තිබූ ලොරි රථයක් පණ ගැන් වූ විට ඉදිරියට ඇදී ගොස් පුද්ගලයෙකු යට වීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 60 ක දොළුව, ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බියගම දී සිදු වූ ත්‍රීරෝද රථ අනතුරකින් වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු ද මිය ගිය බව පොලිස් මාධ්‍ය ඒකකය වාර්තා කරනවා ෴

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඔමික්‍රොන් ගැන සෙවූ සාම්පල 182 ක වාර්තා අද (15)

(15.01.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය වෙත යොමු කළ පටල සාම්පල 182 ක අවසන් වාර්තා අද (15) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබා දෙන බව ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.

එමෙන්ම ඉදිරි දෙසතිය තීරණාත්මක බැවින් හැකි ඉක්මනින් මෙම සතිය තුළ බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 677 ක් ඊයේ (14) හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,94,996 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,190 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (14) වාර්තා වූ කොරෝනා මරණ 16 ත් සමඟ යි.

මේ අතර පානදුර – ගොරකාන ප්‍රදේශයේ පැවති මංගල උත්සවයක විනෝද වෙමින් සිටින අතරතුර හදිසියේ ඇද වැටී මිය ගිය තරුණයාගේ සෙම් පටල සාම්පල කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, එම වාර්තා අද (15) ලැබීමෙන් අනතුරුව පශ්චාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවයි.

පෙරේදා මංගල උත්සවයක මිතුරන් සහ ඥාතීන් සමග නර්තනයේ යෙදෙමින් සිටින අතරතුර එලෙස හදිසියේ ඇද වැටී මිය ගියේ වාද්දුව – පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.

ඔහු පානදුර – පරත්ත ප්‍රදේශයේ පොලිතින් නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවය කරන තරුණයෙකු බව ද පොලිසිය ප්‍රකාශ කළා.

පවතින තත්ත්වය හමුවේ ඉදිරි සති 2 ක ඉතා තීරණාත්මක බැවින් වයස අවුරුදු 20 ඉක්ම වූ සියලු පුරවැසියන් මෙම සතිය තුළ හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යංශය ජනතාවට දැනුම් දී සිටිනවා.

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත්කරණය යටතේ වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයන්ගෙන් පළමු මාත්‍රාව 98% ක්ද දෙවන මාත්‍රාව 94% ක්ද ලබා ගෙන තිබෙනවා.

කෙසේවෙතත් 3 වැනි මාත්‍රාව ලෙස ලබා දෙන බූස්ටර් මාත්‍රාව තවමත් ලබා ගෙන ඇත්තේ 31.3 ක පිරිසක් පමණයි ෴

++++++++++

කොරෝනාව මාරාන්තික වීමට හේතුවන ජානය හඳුනාගැනේ

(15.01.2022 – 09:14 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ආසාදනය වූවන් අසාධ්‍ය තත්වයට පත්වීම සහ මියයාමට හේතුවන ජානයක් පෝලන්ත වෛද්‍ය විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.

පෝලන්තයේ බියලිස්ටොක් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් අනාවරණ කරගෙන ඇත්තේ, එම ජානය සහිත පුද්ගලයන්ට වෛරසය ආසාදනය වූ විට කොරෝනා රෝගය උත්සන්න වියහැකි බවයි.

යුරෝපයේ ජනගහණයෙන් සියයට 9 ක මෙන්ම පෝලන්ත ජනගහණයෙන් සියයට 14 ක මෙම ජානය පවතින බව හෙළි වී තිබෙනවා.

යුරෝපයේ කොරෝනා රෝගය දරුණු අන්දමින් පැවති පෝලන්තයේ මේ වනවිට කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.

ඉන්දීය ජනගහණයෙන් සියයට 27 ක් සතුව මෙම කොරෝනාව ආසාධ්‍ය බවට පත්වීමේ ජානය පවතිනවා.

කෙසේ නමුත් මෙම ජානය කොරෝනාව උත්සන්න වීමේ සිව්වන (4) හේතුව බවයි පෝලන්ත විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

කොරෝනාව උත්සන්න වීමට සහ එයින් මරණයට පත්වීමට බලපාන මුල් කරුණු තුන (3) වන්නේ වයස, බර සහ ස්ත්‍රී පුරුෂ භාවයයි.

++++++++++

මෙරටින් තවත් ඔමික්‍රොන් ආසාදිතයන් 160 ක් හඳුනාගැනේ

(15.01.2022 – 12:59 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් ඔමික්‍රොන් කොරෝනා ආසාදිතයන් 160 දෙනෙකු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ ඔමික්‍රොන් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය වෙත යොමු කළ පටල සාම්පල 182 ක ජාන විශ්ලේෂණ පරීක්ෂණ මගින් මේ බව තහවුරු වූ බවයි.

මීට අදාළ වාර්තාව මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබෙනවා ෴

++++++++++

බූස්ටර් එන්නත ලබාගැනීමේ ප්‍රවණතාව ඉහළට

(15.01.2022 – 13:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන බූස්ටර් එන්නත මේ වනවිට දිනකට 50,000 ඉක්මවූ පිරිසකට ලබාදෙන බව, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

කොරෝනා තුන්වන (3) මාත්‍රාව ලබා ගන්නා ප්‍රමාණය මීට පෙර අඩු ප්‍රවණතාවයක් පැවතියද පසුගිය දින දෙකේදී (2) එම එන්නත ලබා ගැනීමට පැමිණි පිරිසේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ.

එමෙන්ම, ඔමික්‍රොන් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය වෙත යොමු කළ පටල සාම්පල 182 ක අවසන් වාර්තාව අද (15) පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීමට නියමිතයි.

මේ අතර, කොරෝනා වෛරස් ආසාදනය වූවන් අසාධ්‍ය තත්වයට පත්වීම සහ මියයාමට හේතුවන ජානයක් පෝලන්ත වෛද්‍ය විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.

පෝලන්තයේ බියලිස්ටොක් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් අනාවරණ කරගෙන ඇත්තේ, එම ජානය සහිත පුද්ගලයන්ට වෛරසය ආසාදනය වූ විට කොරෝනා රෝගය උත්සන්න වියහැකි බවයි.

යුරෝපයේ ජනගහණයෙන් සියයට 9 ක මෙන්ම පෝලන්ත ජනගහණයෙන් සියයට 14 ක මෙම ජානය පවතින බව, හෙළිවී තිබෙනවා.

යුරෝපයේ කොරෝනා රෝගය දරුණු අන්දමින් පැවති පෝලන්තයේ මේ වනවිට කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.

ඉන්දීය ජනගහණයෙන් සියයට 27 ක් සතුව මෙම කොරෝනාව ආසාධ්‍ය බවට පත්වීමේ ජානය පවතිනවා.

කෙසේ නමුත්, මෙම ජානය කොරෝනාව උත්සන්න වීමේ සිව්වන (4) හේතුව බවයි, පෝලන්ත විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

කොරෝනාව උත්සන්න වීමට සහ එයින් මරණයට පත්වීමට බලපාන මුල් කරුණු තුන (3) වන්නේ වයස, බර සහ ස්ත්‍රී පුරුෂ භාවයයි.

++++++++++

තවත් කොරෝනා මරණ 07 ක්

(15.01.2022 – 18:50 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 07 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 15,197 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *