ශිෂ්‍යත්ව සහ උසස්පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ

ශිෂ්‍යත්ව සහ උසස්පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ

*********************************************

ශිෂ්‍යත්ව සහ උසස්පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ

(14.01.2022 – 14:44 +0530 – hirunews.lk/sinhala)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 22 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එය විභාග මධ්‍යස්ථාන 2943 කදී පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 07 වනදා සිට මාර්තු මස 05 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2438 කදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 3,40,507 ක් සහභාගී වනවා.

ඒ සිංහල මාධ්‍යෙයන් 255,062 ක් සහ දෙමළ මාධ්‍යයෙන් 85,445 ක් වශයෙන්.

ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496 ක් ස්ථාපිත කර තිබෙනවා.

මේ අතර උසස් පෙළ විභාගය වෙනුවෙන් මෙවර පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන් සංඛ්‍යාව 3,45,242 ක්.

ඉන් 2,79,141 ක් පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 66,101 ක් වනවා.

එම විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316 ක් ස්ථාපිත කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පැනවූ සංචරණ සීමා සහ පාසල් වසා තැබීම හමුවේයි 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාග කල්දමනු ලැබුවේ.

මේ අතර විභාග පැවැත්වෙන කාලසීමාව තුල විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්වල ඩෙංගු මර්දන ධූමායන කටයුතු සිදු කිරීම සඳහා මේවන විටත් අදාළ බලධාරීන් වෙත දැනුම්දී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කර ගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ඔවුන් සඳහන් කළේ ෴

***************************************

මධ්‍යම අධිවේගයේ මීරිගම – කුරුණෑගල කොටස හෙට (15) විවෘත වෙයි

(14.01.2022 – 09:36 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමට සමගාමීව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහාමාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පාපැදි තරගාවලියක් අද (14) පැවැත්වෙනවා.

කාණ්ඩ 3 ක් යටතේ ජාතික හා අන්තර්ජාතික තරග නීතිරීතිවලට මෙන්ම කොරෝනා මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වෙන මෙම පාපැදි තරගාවලියේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 80 ක්.

ත්‍රිවිධ හමුදාව, වරාය අධිකාරිය, දෙහිවල – ගල්කිස්ස නගර සභාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුලු පාපැදි ක්‍රීඩා සමාජ 30 ක් පමණ මෙම තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව ඇති අතර, පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී පාපැදි ක්‍රීඩකයින් 125 දෙනෙකුට අධික පිරිසක් ද ඊට එක්වනු ඇති.

***************************************

පසුගිය වසරේ අධිවේග මාර්ගවල මෙහෙයුම්වලින් රුපියල් බිලියන 8.8 ක ආදායමක්

(14.01.2022 – 10:17 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 2021 වසරේදී මෙරට අධිවේගී මාර්ගවලින් රුපියල් බිලියන 8.8 ක ආදායමක් උපයා තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඒ අනුව එක්රැස් කරගෙන ඇත්තේ වසරකදී (1) ලැබූ ඉහළම ආදායමයි.

එමෙන්ම එය පෙර වසරට සාපේක්ෂව සියයට 21 ක වර්ධනයක් ලෙස සැළකිය හැකියි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම්වලින් පසුගිය වසරේ ඉපයූ ආදායම රුපියල් බිලියන 4.5 ක් වන අතර, කටුනායක අධිවේගී මාර්ගයෙන් සහ පිටත වටරවුම් මාර්ගයේ මෙහෙයුම්වලින් ඉපයූ ආදායම රුපියල් බිලියන 4.3 ක්.

එමෙන්ම ගතවූ 2021 වසරේදී අධිවේගී මාර්ග ජාලය ඔස්සේ ගමන් ගත් වාහන සංඛ්‍යාව මිලියන 38.6 ක් ෴

***************************************

ඉන්ධන මිල ගැන සමගි ජනබලවේගය කථා කරයි

(14.01.2022 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී මෙරටට ඉන්ධන ලබා ගැනීමේදී ජාත්‍යන්තර මිලට වඩා වැඩි මිලක් ගෙවීමට සිදුවීමේ අවදානමක් පවතින බව සමගි ජන බලවේගය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ඊයේ (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ණයවර ලිපි නිකුත් නොවීම හේතුවෙන් කොළඹ වරායේ රඳවා තිබෙන ඉන්ධන නෞකා 2 ක් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට ද මෙරට රජයට සිදුවනු ඇති බවයි.

එමෙන්ම මුදල් ගෙවන තෙක් මෙරටට ඖෂධ නිකුත් නොකරන බවට මේ වන විට ඉන්දීය ඖෂධ සමාගම් කිහිපයක් නිවේදනය කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ඉන්දීය සංචිත බැංකුව මගින් මෙරටට ඩොලර් මිලියන 900 කට අධික පහසුකමක් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මේ බව සඳහන් කළේ ඊයේ (13) මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හමුවීමෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ෴

***************************************

මුතුරාජවෙල පෙත්සම යළි කැඳවීම මාර්තු හතරවනදා (04)

(14.01.2022 – 08:31 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල අභය භූමියේ මායිම් ලකුණු කිරීමේ කටයුතු වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණය නියම කළා.

එම කටයුතු කිරීමේදී ඇතිවන අපහසුතා හෝ බාධා තිබේ නම් ඒ පිළිබඳවද එම වාර්තාව මගින් දැනුම් දෙන ලෙස ද එහිදී නියෝග කර තිබෙනවා.

මීට අදාළව කාදිනල් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ඊයේ (13) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝග නිකුත් කෙරුණා.

අනතුරුව පෙත්සම ලබන මාර්තු මස 04 වැනිදා නැවත කැඳවීමට නියම වුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෑතකදී පෞද්ගලික සමාගමක් මෙම තෙත්බිමේ අක්කර 50 ක් නීතිවිරෝධී ලෙස පස් පිරවීම සඳහා ලබාගෙන ඇතැයි දැනගන්නට ලැබී ඇති අතර මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් මෙම පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වීමේ තත්ත්වයක් උද්ගත වන බවයි.

එබැවින් මුතුරාජවෙළ වගුරු ආශ්‍රිත බිම් පිරවීම සඳහා සහ අපද්‍රව්‍ය දැමීම වළකාලන තහනම් නියෝගයක් වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්බාර, වනජීවී අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.සී වේරගොඩ, ගොවිජන සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක රෝහණ රාජපක්ෂ, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, වත්තල, මීගමුව සහ ජා-ඇල ප්‍රාදේශීය ලේකම්වරුන්, නීතිපති ඇතුළු 12 දෙනෙකු නම් කර තිබෙනවා ෴

***************************************

සංචාරක පොලීසිය අලුත් වෙයි

(14.01.2022 – 09:32 +0530 – hirunews.lk/sinhala)

විදෙස් සංචාරකයින්ගේ පහසුව සඳහා ඉදිරියේදී නව මෘදුකාංගයක් හඳුන්වාදෙන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඊයේ (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලීසිය පවත්වාගෙන යනු ලබන සංචාරක පොලිස් සේවාව නව ස්වරූපයකින් වර්ධනය කිරීමට ද සැලසුම් කර ඇති බවයි.

සංචාරක පොලීසිය රටක් තුළ පිහිටුවීමෙන් බලාපොරොත්තු වන්නේ, විවිධ ප්‍රදේශවල සුන්දර ස්ථාන මෙන්ම ආගමික ස්ථාන ආදි තැන් නැරඹීමේ දී දේශීය සහ විදේශීය නරඹන්නන්ට පූර්ණ රැකවරණය සැලසීම සහ ඔවුන්ට මග පෙන්වීම ආදි කටයුතු සඳහා උදව් කිරීමයි ෴

***************************************

දිවයිනේ පැය 24 ක් තුළ වාර්තා වුණ මත්ද්‍රව්‍ය වැටලීම්

(14.01.2022 – 09:55 +0530 – hirunews.lk/sinhala)

තලෙයිමන්නාරම පොලිස් වසමේ තලෙයිමන්නාරම මන්නාරම මාර්ගයේදී තලෙයිමන්නාරම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත, බස්රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී වැටලීම්ක් සිදු කර තිබෙනවා.

ඊයේ(13) දින වැටලීම සිදු කළ ඇති අතර, එහිදී බස් රථයේ රියදුරු සහ රිය සහායක අත් අඩංගුවට ගත් බවටයි, පොලිස් වාර්තා සදහන් කරන්නේ.

අත් අඩංගුවට පත් වන අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 260 ක් තිබූ බවට සදහන්.

සැකකරුවන් වයස අවුරුදු 28 හා 39ක් වූ තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංච්කරුවන්.

අද (14) දින මන්නාරම මහේස්‍රාත් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන තලෙයිමන්නාරම පොලීසිය විසින් සිදු කරනු ඇති.

එමෙන්ම ඊයේ (13) දින කඩවත පොලිස් වසමේ ගල්හේන ක්‍රීඩාපිටිය අසලදී කඩවත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත, හෙරොයින් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට පත්වන අවස්ථාවෙ සැකකරු සන්තකව හෙරොයින් ග්‍රෑම් 13 ක් මිලි ග්‍රෑම් 150 ක් තිබූ බවට සදහන්.

සැකකරු වයස අවුරුදු 23 ක ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම, ඊයේ (13) උදෑසන අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේදී වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබෙනවා.

එහිදී,නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 9,465 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ව අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවටයි, පොලිස් වාර්තා සදහන් කරන්නේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන්, වයස අවුරුදු 35 ත් 46 ත් අතර පසුවන අවිස්සාවේල්ල, පානදුර හා රාගම ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

***************************************

රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

(14.01.2022 – 10:26 +0530 – hirunews.lk/sinhala)

රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකාරිය ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය, පසුගිය 2020 වසරේ මෙම ජාවාරම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් 35 හැවිරිදි දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය ප්‍රාදේශීය සභා වැඩ පරිපාලක නිලධාරිනියක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා ෴

***************************************

සහල් මිල වැඩි කිරීම පාපකර්මයක් බව ඇමති බන්දුල කියයි

(14.01.2022 – 13:21 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් කන්ටේනර් 500 ක් ඊයේ(13) දිනය වනවිට කොළඹ වරායට පැමිණ ඇති බව, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, බදු සහන යටතේ ගෙන්වූ මෙම සහල් වෙළඳපොලට නිකුත් කළ පසු සහල් මිල අඩුවිය යුතු බවයි.

මේ වනවිට සහල් මාෆියාවක් ක්‍රියාත්මක බව පෙන්වා දෙන වෙළඳ අමාත්‍යවරයා කියා සිටියේ, සහල් සඳහා කෘත්‍රිම මිලක් ඇතිවීම වැළැක්වීමට කටයුතු කරන බවයි.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ, ඊයේ (13) බලපිටිය ප්‍රදේශයේ සතොස ශාඛාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, වැඩි ලාභ ලබාගැනීම සඳහා සහල් මිල වැඩි කිරීම පාප කර්මයක් බවයි.

සතොස හරහා අඩුමිලට සහල් ලබාදෙන බවට වෙළඳ අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළද, පිටකොටුව වෙළඳපොල සහල් සිල්ලර මිල ගණන් උපුටා දක්වමින් මහ බැංකුව පෙන්වා දෙන්නේ සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 165 කටත්, රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 155 කටත් මෙම සතිය තුළ පැවති බවයි.

එමෙන්ම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මෙම සතියේ සම්බා සහල් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 167.50 කටත්, රතු කැකුළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 140 කටත් පැවති බව, ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දෙනවා.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මෙම සතියේ සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 172.50 ක මිලකටත්, රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 168.75 ක මිලකටත් අලෙවි වූ බව, එහි වැඩිදුරටත් දැක්වෙනවා.

***************************************

දෙහිවල සත්තුවත්තේ කළු හංස පැටවුන් ප්‍රදර්ශනයට

(14.01.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ආගන්තුක දුර්ලභ පක්ෂි විශේෂයක් වන කළු හංස පැටවුන් තුන්දෙනෙකු (3) දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලබා තිබෙනවා.

ඒ පසුගිය 05 වන දා සහ 06 වන දා යන දෙදින තුලයි.

සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ කළු හංස යුවලකට දාව මෙම හංස පැටවුන් බිහි වී ඇති බවයි, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉකුත් වසරේදී පළමු (1) මාසයේ දී පළමු වරට කළු හංස පැටවුන් පස් දෙනෙකු (5) දෙහිවල සත්වෝද්‍යානයේදී උපත ලබා තිබුණා.

කොවිඩි වසංගතයේ බලපෑමත් සමඟ එම සත්වයින් මහජන ප්‍රදර්ශනයට විවෘත වුණේ පසුගිය දෙසැම්බර් මාසයේ දීයි.

කෙසේ වෙතත්, දෙහිවල සත්වෝද්‍යානයට එක් වු මෙම නව සාමාජිකයින් දැක බලා ගැනීමට මහජනතාවට අද (14) දින සිට අවස්ථාව හිමි වන බවයි, දෙහිවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ සඳහන් කළේ.

***************************************

තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක්රැස් කෙරෙයි

(14.01.2022 – 14:33 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ සිටින තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ තොරතුරු එක්රැස් කිරීම කොළඹ නගරයේ ග්‍රාම සේවා වසම් 77 පදනම් කර ගනිමින් සිදු කරනු ඇති.

පොලිසිය සඳහන් කළේ, ජාතික ආරක්ෂාව, අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් මෙම තොරතුරු එක්රැස් කරන බවයි.

ඒ සඳහා පොලිස් නිලධාරීන් 600 ක් පමණ යොදවා ඇති අතර, අද (14) හෙට (15) සහ අනිද්දා (16) යන දිනවල මෙම තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රියාවලිය සිදු වන බවයි පොලිසිය සඳහන් කළේ ෴

***************************************

කළුතර පන්විල හේනවත්ත ප්‍රදේශයේ නිවසකට මැර ප්‍රහාරයක්

(14.01.2022 – 14:51 +0530 – hirunews.lk/sinhala)

කළුතර පන්විල හේනවත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (13) රාත්‍රියේ මැර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඉඩම් ගැටළුවක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුකර ඇති බවටයි නිවැසියන් පවසන්නේ.

ඉඩම් වෙන්දේසි සමාගමක් විසින් කළුතර පන්විල හේනවත්ත ප්‍රදේශයේ ඉඩමක සංවර්ධන කටයුතු සිදු කිරිමේදී ඒ අසළ පදිංචිකරුවෙකු ඔවුන් සමඟ බහින් බස් වීමක් සිදුව තිබෙනවා.

පසුව නිවසියන්ට දැන ගැනිමට හැකිව ඇත්තේ නිවසේ සියළු බඩු භාහිරාදිය විනාශ කර ඇති බවයි.

නිවසට පහර දීමට පැමිණි පිරිස නිවසේ තිබු රුපියල් 30,000 ක පමණ මුදල්ද රැගෙන ගොස් ඇති අතර, දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා භාවිත කළ පරිඝණකයටද අලාබ හානි සිදු කර තිබුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *